Skip to content

පටුනට යන්න

දෙවි ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

දෙවි ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

දෙවි ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

“පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නේ පුත්‍රයා පමණයි. ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.”—ලූක් 10:22.

යේසුස් පොළොවට පැමිණීමට පෙර අසීමිත කාලයක් ස්වර්ගයේ ජීවත් වූ නිසා ඒ කාලය තුළ ඔහු යෙහෝවා දෙවිව ළඟින් ඇසුරු කළා. (කොලොස්සි 1:15) ඒ නිසා යෙහෝවා දෙවිගේ හැඟීම්, සිතුවිලි සහ දෙවි ක්‍රියා කරන ආකාරය ගැන ඔහු හොඳින්ම දැන සිටියා. ඔහු පොළොවට පැමිණි පසු මහත් උනන්දුවකින් යෙහෝවා දෙවි ගැන අන් අයට කියා දුන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවි ගැන යේසුස් පැවසූ දේවල් සලකා බැලීමෙන් අපට යෙහෝවා දෙවි ගැන බොහෝ දේවල් ඉගෙනගත හැකියි.

දෙවිගේ නාමය: යෙහෝවා යන දෙවිගේ නාමය යේසුස් ඉතා උතුම් කොට සැලකුවා. ඔහු මහත් උනන්දුවකින් එම නාමය අන් අයට කියා දුන්නේ ඒ නිසයි. යේසුස් යන නමේ අර්ථය වන්නේද “ගැලවීම දෙන්නේ යෙහෝවා දෙවි” යන්නයි. ඔහු දෙවිගේ නාමය අන් අයට කොතරම්දුරට දැනුම් දුන්නාද කියනවා නම් මිය යෑමට පෙර දින රාත්‍රියේදී පවා ඔහු දෙවිට යාච්ඤා කරමින් මෙසේ පැවසුවා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.” (යොහන් 17:26) ඇත්තටම දෙවිගේ නාමය ගැනත් එහි අර්ථය ගැනත් කිසිම අවබෝධයක් නොමැතිව පුද්ගලයෙකුට දෙවි ගැන දැනගන්න බැහැ. * ඒ නිසා යේසුස් අන් අයට දෙවිගේ නාමය දැනුම් දීම කොතරම් වටිනවාද!

දෙවිගේ ප්‍රේමය: දෙවිට යාච්ඤා කළ අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. ‘පියාණෙනි පොළොවේ දරුවන් බිහි වීමට කලින් ඔබ මට ප්‍රේම කළා.’ (යොහන් 17:24) ඉන් පැහැදිලි වන්නේ යේසුස් ස්වර්ගයේ සිටි කාලයේදී යෙහෝවා දෙවි යේසුස්ට කොතරම් ප්‍රේම කළාද යන්නයි. එමනිසා පොළොවට පැමිණි පසුව යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද කියා හොඳින්ම මිනිසුන්ට කියා දීමට ඔහුට හැකි වුණා.

යෙහෝවා දෙවි මුළු මිනිස් වර්ගයාටම අසීමිත ලෙස ප්‍රේම කරනවා. ඒ බව යේසුස් පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) එම බයිබල් පදයේ “ලෝකය” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් යොමු දක්වා තිබෙන්නේ පොළොවේ ජීවත් වන මිනිසුන්වයි. යෙහෝවා දෙවි මිනිස් වර්ගයාට කොතරම් ප්‍රේම කරනවාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව පොළොවට එවා අප වෙනුවෙන් මිය යෑමට ඉඩහැරියා. ඔහු එසේ කළේ මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් මුදවාගෙන ඔවුන්ට සදාකාල ජීවනය ලබා දීමටයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ ප්‍රේමය ඉතා අසීමිත බව ඉන් පැහැදිලි වන්නේ නැද්ද!—රෝම 8:38, 39.

යෙහෝවා දෙවි තමාට නමස්කාර කරන එක් එක් පුද්ගලයා ගැනත් සැලකිලිමත් වන බව යේසුස් පැවසුවා. එමනිසා ඔහු යෙහෝවා දෙවිව සමාන කළේ රැළේ සිටින එක් එක් බැටළුවා ගැන සැලකිලිමත් වන ප්‍රේමණීය එඬේරෙකුටයි. (මතෙව් 18:12-14) එමෙන්ම ඒ බව තවත් තහවුරු කිරීමට ඔහු පැවසුවේ ඉතා අඩු වටිනාකමක් තිබූ ගේකුරුල්ලන්ගෙන් එකෙක් බිමට ආවත් දෙවි ඒ බව දන්නවා කියායි. ගේකුරුල්ලෙකු ගැන දෙවි එතරම් සැලකිල්ලක් දක්වනවා නම් තමන්ට නමස්කාර කරන අය ගැන ඔහු කොතරම් සැලකිලිමත් වෙනවා ඇතිද කියා සිතා බලන්න. “ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා” කියාද යේසුස් පැවසුවා. (මතෙව් 10:29-31) දෙවි ඔබේ හිසකෙස් පවා ගණන් කර තිබෙනවා නම් ඔබ මුහුණ දෙන අභියෝග, ඔබේ ප්‍රශ්න සහ ඔබේ අවශ්‍යතා ගැන ඔහු ඊටත් වඩා කොතරම් හොඳින් දන්නවා ඇතිද!

ස්වර්ගයේ සිටින පියාණන්: යේසුස් යෙහෝවා දෙවිගේ එකම පුත්‍රයා නිසා බොහෝ අවස්ථාවලදී ඔහු දෙවිව හැඳින්වූයේ තමන්ගේ “පියා” ලෙසයි. බයිබලයේ වාර්තා වී තිබෙන යේසුස් කතා කළ මුල්ම වචන කිහිපය තුළ ඔහු යෙහෝවා දෙවිව “මගේ පියාණන්” ලෙස හඳුන්වා තිබෙනවා. (ලූක් 2:49) ඒ ඔහු වයස අවුරුදු 12දී දේවමාලිගාවේ සිටි අවස්ථාවේදීයි. “පියාණන්” යන වචනය සුවිශේෂ පොත් සතර තුළ 190 වතාවක් පමණ සඳහන් වෙනවා. එමෙන්ම යේසුස් යෙහෝවා දෙවිව විවිධ අවස්ථාවලදී “ඔබේ පියාණන්,” ‘අපගේ පියාණන්’ සහ “මගේ පියාණන්” ලෙසත් හැඳින්වූවා. (මතෙව් 5:16; 6:9; 7:21) ඔහු එසේ දෙවිව හැඳින්වීමෙන් ඇඟවූයේ පව්කාර මිනිසුන්ට පවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගත හැකි බවයි.

සමාව දීමට කැමති දෙවි: අපි අතින් වැරදි සිදු වන නිසා අපට යෙහෝවා දෙවිගෙන් සමාව අවශ්‍ය බව යේසුස් දැන සිටියා. ඒ නිසා අකීකරු පුත්‍රයෙකු ගැන පැවසූ උපමාවේදී, පසුතැවිලි වී නැවත නිවසට පැමිණි පුත්‍රයාට සමාව දුන් පියාට ඔහු යෙහෝවා දෙවිව සමාන කළා. එයින් යේසුස් පෙන්නුම් කළේ පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දීමට යෙහෝවා දෙවි නිතරම සූදානමින් සිටින බවයි. (ලූක් 15:11-32) එමෙන්ම “පසුතැවිලි වීමේ අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨ අනූනවදෙනෙකු ගැන ප්‍රීති වෙනවාට වඩා පසුතැවිලි වන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවාද” කියාත් යේසුස් පැවසුවා. (ලූක් 15:7) සමාව දීමට කැමති මෙවැනි ප්‍රේමණීය දෙවි කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම ඇත්තෙන්ම වටින්නේ නැද්ද!

යාච්ඤාවලට සවන් දෙන දෙවි: යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” හැටියට තම සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දීමෙන් මොන තරම් ප්‍රීතියක් අද්දකිනවාද කියා යේසුස් දැන සිටියා. (ගීතාවලිය 65:2) එමනිසා යාච්ඤා කළ යුතු ආකාරය ගැනත් යාච්ඤා කළ යුත්තේ කුමන දේවල් ගැනද කියාත් යේසුස් පැහැදිලි කළා. උදාහරණයකට “එකම දේ නැවත නැවතත් නොකියන්න” කියා පැවසූ ඔහු දෙවිගේ ‘කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වන’ ලෙස ඉල්ලන්න කියා දිරිගැන්වූවා. (මතෙව් 6:5-13) ඇත්තෙන්ම යෙහෝවා දෙවි තමන්ට අවංකව යාච්ඤා කරන තම සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දෙන්නේ පියෙක් තම දරුවන්ගේ ඉල්ලීම්වලට සවන් දී ඒවා ඉටු කරනවා හා සමානවයි කියා යේසුස් සඳහන් කළා.—මතෙව් 7:7-11.

යෙහෝවා දෙවි පිළිබඳව මිනිසුන්ට කියා දීමට යේසුස්ට දැඩි අවශ්‍යතාවක් තිබූ බව පැහැදිලියි. එපමණක්ද නොව යෙහෝවා දෙවි මිනිස් වර්ගයාට දී තිබෙන සියලුම පොරොන්දු ඉටු කිරීමට යන දෙවිගේ රාජ්‍යය ගැනත් ඔහු ඉතා උනන්දුවෙන් මිනිසුන්ට කියා දුන්නා. ඔහු මේ පොළොව මත සිටින කාලයේදී දේශනා කළේද එම රාජ්‍යය ගැනයි.

[පාදසටහන]

^ 4 ඡේ. මුල් බයිබල් පිටපත්වල යෙහෝවා යන දෙවිගේ නාමය 7,000 වාරයකට ආසන්න වතාවක් සඳහන් වෙනවා. එම නාමයේ අර්ථය වන්නේ “කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා” යන්නයි. (නික්මයාම 3:14) දෙවිට තම අරමුණු ඉටු කිරීම සඳහා ඕනෑම දෙයක් කළ හැකි බව ඉන් අදහස් වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි තමන්ගේ නාමයට එකඟව ඔහුගේ පොරොන්දු සියල්ලක්ම ඉටු කරන බව ස්ථිරයි.