Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළේය.”—ලූක් 8:1.

සාමාන්‍යයෙන් අපි ආශා කරන යම් දෙයක් සිතේ තිබෙනවා නම් අපි ඒ ගැන ඉතා සතුටින් කතා කරනවා. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 12:34) ඒ අනුව යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී දෙවිගේ රාජ්‍යය ගැන ඉතා උනන්දුවෙන් කතා කළේ එය ඔහුගේ සිතට ඉතා සමීප දෙයක් වූ නිසයි.

දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් රාජ්‍යයක් කියන්නේ පාලකයෙකු සිටින ආණ්ඩුවකටයි. ඒ අනුව දෙවිගේ රාජ්‍යය කියා පවසන්නේ දෙවි විසින් පිහිටුවා තිබෙන ආණ්ඩුවටයි. එම රාජ්‍යය ගැන යේසුස් බොහෝ අවස්ථාවලදී කතා කළා. උදාහරණයකට මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත් හතර තුළ එම රාජ්‍යය ගැන 110 වතාවකටත් වඩා සඳහන් වී තිබෙනවා. එමෙන්ම දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද කියා උගන්වනවාට අමතරව එයින් මිනිසුන්ට ලැබෙන ආශීර්වාද මොනවාද කියා තේරුම්ගැනීම සඳහා ඔහු යම් සුවිශේෂී දේවල්ද කළා.

දෙවිගේ රාජ්‍යයේ රජ කවුද? සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක පාලකයෙකුව තෝරාගනු ලබන්නේ රටේ ජනතාවයි. නමුත් දෙවිගේ රාජ්‍යයේ පාලකයාව තෝරාගෙන තිබෙන්නේ ජනතාව නොව යෙහෝවා දෙවිමයි. එම පාලකයා තමා බව යේසුස්ද ඔහු ඉගැන්වූ දේවලින් පෙන්නුම් කළා.

දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා සදහටම පවතින රාජ්‍යයක පාලකයා වන බවට බයිබලයේ අනාවැකි සඳහන් වී තිබුණා. එම අනාවැකි ගැන යේසුස් පවා හොඳින් දැන සිටියා. (2 සාමුවෙල් 7:12-14; දානියෙල් 7:13, 14; මතෙව් 26:63, 64) එමෙන්ම එම අනාවැකිවල සඳහන් වන අභිෂේක ලත් තැනැත්තා තමා බවත් ඔහු දැනගෙන සිටියා. (යොහන් 4:25, 26) දෙවිගේ රාජ්‍යය “මගේ රාජ්‍යය” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 18:36.

දෙවිගේ රාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කිරීමට තමා සමඟ යම් පිරිසක් හවුල් වන බවත් යේසුස් පැවසුවා. (ලූක් 22:28-30) නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා සීමිතයි. ඒ නිසා යේසුස් ඔවුන්ව හැඳින්වූයේ “කුඩා රැළ” ලෙසයි. එමෙන්ම “ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා” කියාත් යේසුස් ඔවුන්ට පැවසුවා. (ලූක් 12:32) බයිබලයේ සඳහන් වන ආකාරයට එම ‘කුඩා රැළට’ 1,44,000දෙනෙක් අයත් වෙනවා.—එළිදරව් 5:9, 10; 14:1.

දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ කොහේද? “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා යේසුස් පැවසුවා. (යොහන් 18:36) ඒ නිසා දෙවිගේ රාජ්‍යයට පොළොවේ සිටින කිසිම දේශපාලන නායකයෙක් සම්බන්ධ නොවන බව පැහැදිලියි. එමෙන්ම යේසුස් දෙවිගේ රාජ්‍යය “ස්වර්ග රාජ්‍යය” ලෙසත් හැඳින්වූවා. * (මතෙව් 4:17; 5:3, 10, 19, 20) ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන බවයි.

පොළොවේ තමන්ට හිමි කාර්යභාරය අවසන් කළ පසු තමා නැවතත් ස්වර්ගයට යන බව යේසුස් දැන සිටියා. එසේ ගිය පසු තමා සමඟ පාලනයට හවුල් වීමට නියමිත අයට ‘ස්ථානයක් සූදානම් කරන’ බවට ඔහු පොරොන්දු වුණා.—යොහන් 14:2, 3.

දෙවිගේ රාජ්‍යයෙන් ඉටු වන කාර්යය කුමක්ද? “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කරන මෙන් යේසුස් තම අනුගාමිකයන්ට දිරිගැන්වූවා. (මතෙව් 6:9, 10) මේ වන විටත් යෙහෝවා දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වී තිබෙනවා. ඒ හා සමානව පොළොවේද දෙවිගේ කැමැත්ත ඉටු විය යුතුයි. ඒ දේ ඉටු වන්නේ දෙවිගේ රාජ්‍යය තුළින් පමණයි. ඒ රාජ්‍යය පොළොවේ විශාල වෙනස්කම් කිරීමටද නියමිතයි.

දෙවිගේ රාජ්‍යය තුළින් සිදු වන වෙනස්කම් මොනවාද? පොළොවේ සිටින දුෂ්ට මිනිසුන්ව දෙවිගේ රාජ්‍යය මගින් තුරන් කර දමන බව යේසුස් පැවසුවා. (මතෙව් 25:31-34, 46) එසේ කිරීමෙන් පොළොවේ තිබෙන සියලුම දුෂ්ටකම් නිමා වන බව ස්ථිරයි. ඉන්පසුව මේ පොළොවේ ජීවත් වන්නේ මෘදු ගුණැති, ධර්මිෂ්ඨ, දයාවන්ත, නිර්මල සිත් ඇති සාමකාමී අය පමණයි.—මතෙව් 5:5-9.

යේසුස්ගේ වධකණුව අසලින් ඇණ ගසා සිටි අපරාධකරුවා යේසුස්ට මෙසේ පැවසුවා. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.” එවිට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” (ලූක් 23:42, 43) ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ රාජ්‍යය මේ මුළු පෘථිවියම අලංකාර පාරාදීසයක් බවට පත් කරන බවයි. දෙවිගේ රාජ්‍යය මේ පොළොව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිත නිසා යහපත් මිනිසුන්ට ජීවත් වීමට සිදු වන්නේ කොතරම් අලංකාර පොළොවකද කියා සිතා බලන්න!

මිනිස් වර්ගයා වෙනුවෙන් දෙවිගේ රාජ්‍යය ඉටු කරන වෙනත් කාර්යයන් මොනවාද? දෙවිගේ රාජ්‍යය ඉදිරියේදී කිරීමට නියමිත දේවල් ගැන යේසුස් ඉගැන්වූවාට අමතරව ඉන් සමහර දේවල්ද කර පෙන්වූවා. උදාහරණයකට ඔහු අසනීප වූ අයව සුව කළා. ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ රාජ්‍යයේ පාලකයා ලෙස අනාගතයේදී ඔහු මහා පරිමාණයෙන් එසේ කරන බවයි. ඔහු කළ දේවල් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යේසුස් සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම සංචාරය කළේය.”—මතෙව් 4:23.

එක් අවස්ථාවකදී යේසුස් ‘උපතින්ම අන්ධ වී සිටි මිනිසෙකුට’ පෙනීම ලබා දුන්නා. (යොහන් 9:1-7, 32, 33) තවත් අවස්ථාවකදී ලාදුරු රෝගියෙකුව සුව කළා. (මාක් 1:40-42) ඊට අමතරව ‘බිහිරි මෙන්ම කතා කිරීමේ ආබාධයක් ඇති මිනිසෙකුවද’ සුව කළා. එසේ කිරීමෙන් “බිහිරි අයට ඇසෙන්නත් ගොළු අයට කතා කරන්නත්” සලස්වන්න තමාට බලය තිබෙන බව යේසුස් පෙන්නුම් කළා.—මාක් 7:31-37.

දෙවිගේ රාජ්‍යයේ පාලකයා වන යේසුස්ට මරණය පවා පරාජය කිරීමේ හැකියාව තිබෙනවාද? ඔව්. මිය ගොස් සිටි අයට නැවත ජීවිතය ලබා දීමෙන් ඔහු ඒ බව ඔප්පු කළා. ඔහු වැන්දඹුවෙකුගේ පුතෙකුවත්, දොළොස් හැවිරිදි දැරියක්වත් තම කිට්ටු මිතුරෙකු වූ ලාසරුස්වත් නැවත නැඟිටවූ බව බයිබලයේ වාර්තා වෙනවා.—ලූක් 7:11-15; 8:41-55; යොහන් 11:38-44.

දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන විට මිනිසුන් අද්දැකීමට නියමිත ප්‍රීතිමත් තත්වය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළිදරව් 1:1; 21:3, 4) ඇත්තෙන්ම වැලපීම, හැඬීම, වේදනාව සහ මරණය නැති කාලයක ජීවත් වීමට ලැබුණොත් එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද! එදාට යේසුස් පැවසූ ලෙස දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු වී තිබෙන ආකාරය ඔබට දැකගත හැකි වෙයි.

දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්නේ කවදාද? යේසුස් දෙවිගේ රාජ්‍යයේ පාලනය පටන්ගත් විට පොළොවේ සිදු වන දේවල් ගැන ඔහු අනාවැකියක් පැවසුවා. එම අනාවැකියේ පෙන්නුම් කළේ එම කාලයේදී යුද්ධ, සාගත, භූමිකම්පා, වසංගත සහ අධර්මිෂ්ඨ ක්‍රියා බහුලව සිදු වෙන බවයි. (මතෙව් 24:3, 7-12; ලූක් 21:10, 11) ඒ අනුව එම භයානක සිදුවීම් විශාල වශයෙන් සිදු වෙන්න පටන්ගත්තේ 1914 සිටයි. ලොව සසල කළ පළමු ලෝක මහා යුද්ධය ඇරඹුණේත් එම වර්ෂයේදීමයි. මෙම ලෝක සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජ වී තිබෙන බවයි. ඒ අනුව ඔහු ළඟදීම මේ පොළොව මත විශාල වෙනස්කම් කරන කාලය උදා වෙන බවද ස්ථිරයි. *

දෙවිගේ රාජ්‍යය මගින් ලැබීමට නියමිත ආශීර්වාද භුක්ති විඳීමට ඔබත් කැමතිද? එය තීරණය වන්නේ ඔබ යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවාද නැද්ද යන්න මතයි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. “ස්වර්ග රාජ්‍යය” යන යෙදුම මතෙව් පොතේ 30 වතාවක් පමණ සඳහන් වෙනවා.

^ 17 ඡේ. දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන කාලය ආසන්න බව දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද’” යන 9වන පරිච්ඡේදය බලන්න.