Skip to content

පටුනට යන්න

යේසුස් ගැන ඇත්ත නැත්ත

යේසුස් ගැන ඇත්ත නැත්ත

යේසුස් ගැන ඇත්ත නැත්ත

පහත සඳහන් කරුණු සැබෑද?

යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදායි.

යේසුස් ඉපදුණ දවසේදී ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියා.

යේසුස්ට සහෝදර සහෝදරියන් සිටියේ නැහැ.

යේසුස් ලෙස මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියේ ස්වර්ගයේ සිටි දෙවියි.

යේසුස් දෙවිගේ පුත්‍රයායි.

ඉහත සඳහන් විශ්වාසයන් සියල්ල නිවැරදියි කියා ඔබ සිතනවාද? එම විශ්වාසයන් සැබෑ ඒවාද බොරු ඒවාද කියා දැනගැනීමට ක්‍රමයක් නැහැ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. එමෙන්ම යේසුස්ව විශ්වාස කරනවා නම් ඉහත සඳහන් තොරතුරුවල ඇත්ත නැත්ත ගැන සොයා බැලීම අවශ්‍ය නැහැ කියාත් කෙනෙකුට සිතෙන්න පුළුවන්.

නමුත් බයිබලයේ අපට උනන්දු කරන්නේ ‘යේසුස් ක්‍රිස්තුස් ගැන නිවැරදි දැනුම’ ලබාගන්න කියායි. (2 පේතෘස් 1:8) අපට එම දැනුම ලබාගත හැකි වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් පමණයි. එසේ කිරීමෙන් යේසුස් ගැන සත්‍යය තොරතුරු දැනගත හැකියි. ඒ නිසා ඉහත සඳහන් කළ විශ්වාසයන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද කියා දැන් අපි සලකා බලමු.

විශ්වාසය: යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදායි.

සැබෑද? නැහැ.

යේසුස් ඉපදුණු මාසයවත් දිනයවත් බයිබලයේ සඳහන් වී නැහැ. එසේනම් දෙසැම්බර් 25වනදා යේසුස් ඉපදුණු බවට වූ විශ්වාසය ඇති වුණේ කෙසේද? ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “අපරාජිත හිරුගේ උපන් දිනය ලෙස රෝමවරුන් පැවැත්වූ මිත්‍යා මංගල්‍යය පසු කාලයේදී යේසුස්ගේ උපන් දිනය ලෙස සැමරීම සඳහා යොදාගත්තා.” එසේ කළේ ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා අය විසිනුයි. එමෙන්ම නත්තල හා බැඳි බොහෝ චාරිත්‍ර පැමිණ තිබෙන්නේ ශීත සෘතුවේ පවත්වනු ලැබූ කෘෂිකාර්මික හා සූර්ය නමස්කාරයේ වත්පිළිවෙත්වලින් කියාත් එහි තවදුරටත් සඳහන් වී තිබෙනවා.—එම විශ්වකෝෂය The Encyclopædia Britannica.

ඇත්තටම යේසුස් ඉපදුණේ කවදාද කියා අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම යේසුස්ගේ උපන් දිනය සමරන්න කියාවත් පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් යේසුස්ගේ උපන් දිනය සැමරුවා කියාවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එසේනම් දෙසැම්බර් 25වෙනිදා යේසුස්ගේ උපන් දිනය සැමරීම යේසුස් අනුමත කරයිද? එසේ සිතීමට කිසිම පදනමක් නැහැ. නමුත් යේසුස් මිය ගිය දිනය බයිබලයේ සඳහන් වී තිබෙනවා. එමෙන්ම එය සිහි කරන්න කියාද යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. * (ලූක් 22:19) ඉන් අපට පැහැදිලි වන්නේ යේසුස් වඩා වැදගත් කොට සැලකුවේ මිනිසුන් ඔහුගේ උපත සැමරීම නොව ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම අගය කිරීම බවයි.—මතෙව් 20:28.

විශ්වාසය: යේසුස් ඉපදුණ දවසේදී ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියා.

සැබෑද? නැහැ.

යේසුස් ඉපදුණ දවසේදී ඔහුව බැලීමට තෑගි බෝග රැගෙන රජවරු තිදෙනෙකු ගවමඩුවට පැමිණි බව බොහෝ අය විශ්වාස කරනවා. නමුත් එය සත්‍යයක්ද?

යේසුස්ව බැලීමට නැඟෙනහිර දෙසින් අමුත්තන් පැමිණි බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් එහි සඳහන් වන ආකාරයට පැමිණ තිබෙන්නේ රජවරුන් නොව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයනුයි. (මතෙව් 2:1) කෙසේවෙතත් ඔවුන් යේසුස්ව බැලීමට පැමිණියේ ගවමඩුවටද? නැහැ. බයිබලයේ සඳහන් වන ආකාරයට ඔවුන් යේසුස්ව බැලීමට පැමිණ ඇත්තේ ඔහුගේ නිවසටයි. ඒ අනුව ඔවුන් පැමිණ තිබෙන්නේ යේසුස් ඉපදුණ රාත්‍රියේදී නොව ඔහු ඉපදී මාස කිහිපයකට පමණ පසුවයි.—මතෙව් 2:9-11.

යේසුස්ව බැලීමට මිනිසුන් කීදෙනෙක් පැමිණියාද? පැමිණි නිශ්චිත සංඛ්‍යාවක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගෙනා තෑගි තුනක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. සමහරවිට මිනිසුන් තිදෙනෙක් පැමිණි බවට වූ විශ්වාසය පැතිරෙන්න ඇත්තේ ඒ නිසා විය හැකියි. * (මතෙව් 2:11) එමෙන්ම එම මිනිසුන්ගෙන් විවිධ ජාතීන්ව නියෝජනය වෙනවා කියාත් ඇතැමුන් පවසනවා. නමුත් බයිබලයේ එවැනි අදහසක් සඳහන් වී නැහැ. එම අදහස පැමිණ තිබෙන්නේ “අටවෙනි සියවසේ සිටි ඉතිහාසඥයෙක් පැවසූ දෙයකින්” කියා එක් පොතක සඳහන් වුණා.

විශ්වාසය: යේසුස්ට සහෝදර සහෝදරියන් සිටියේ නැහැ.

සැබෑද? නැහැ.

යේසුස්ට සහෝදර සහෝදරියන් සිටි බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. උදාහරණයකට ලූක් පොතේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ මරියතුමියගේ “කුලුඳුල් පුත්‍රයා” ලෙසයි. (ලූක් 2:7) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ගෙන් පසුව මරියතුමිය තවත් දරුවන් බිහි කළ බවයි. * එමෙන්ම යේසුස්ට සහෝදර සහෝදරියන් සිටි බවට මාක් පොතද සාක්ෂි සපයනවා. එහි සඳහන් වෙන්නේ “යාකොබ්, යෝසෙප්, යූදස් සහ සීමොන්” යේසුස්ගේ සහෝදරයන් බවයි. ඒ වගේම “ඔහුගේ සහෝදරියනුත් මේ ගමේම අය නේද” කියා මිනිසුන් පැවසූ බවත් එහි තවදුරටත් සඳහන් වෙනවා.—මාක් 6:3; මතෙව් 12:46; යොහන් 7:5.

නමුත් සමහර අය බයිබලයේ සඳහන් දේවල් නොසලකාහරිමින් කියා සිටින්නේ යේසුස්ට සහෝදර සහෝදරියන් සිටියේ නැහැ කියායි. එමෙන්ම බයිබලයේ සඳහන් වන යේසුස්ගේ සහෝදර සහෝදරියන් ඇත්තටම ඔහුගේ ඥාති සහෝදර සහෝදරියන් කියාත් තවත් අය පවසනවා. * ඊට අමතරව යෝසෙප්ට වෙනත් විවාහයකින් ලැබුණු දරුවන්ව යේසුස්ගේ සහෝදර සහෝදරියන් ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා කියාත් ඇතැමුන් සිතනවා. කොහොමවුණත් මරියතුමිය බිහි කළේ යේසුස්ව පමණක් නම් ඔවුන් ජීවත්ව සිටි නගරයේ මිනිසුන් යේසුස්ගේම සහෝදර සහෝදරියන් ගැන කතා කරයිද? මරියතුමිය යේසුස්ව බිහි කළ පසුව ඇය නැවත ගැබ්ගෙන ඇති අවස්ථාවන් ඔවුන් දකින්න ඇති. යේසුස්ගේ සහෝදර සහෝදරියන් ගැන ඔවුන් සඳහන් කතා කළේ ඒ නිසයි.

විශ්වාසය: යේසුස් ලෙස මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියේ ස්වර්ගයේ සිටි දෙවියි.

සැබෑද? නැහැ.

යේසුස් ලෙස පොළොවට පැමිණියේ ස්වර්ගයේ සිටි දෙවි බවට වූ විශ්වාසය ත්‍රිත්වය නමැති ඉගැන්වීම ඇති වීමට මුල් වී තිබෙනවා. නමුත් ත්‍රිත්වය නමැති ඉගැන්වීම ඇති වූයේ යේසුස් මේ පොළොවේ සිටි කාලයෙන් පසුවයි. ඒ පිළිබඳව එක් විශ්වකෝෂයක සඳහන් වූ මේ දෙය සලකා බලන්න. “බයිබලයේ කිසිම තැනක ත්‍රිත්වය යන වචනයවත් එම ඉගැන්වීම ගැනවත් සඳහන් වී නැහැ. එම ඉගැන්වීම ඇති වී තිබෙන්නේ සියවස් ගණනාවක් පුරා ඇති වූ වාද විවාදවලින් පසුවයි.”—The Encyclopædia Britannica.

යේසුස් ලෙස පොළොවට පැමිණියේ ස්වර්ගයේ සිටි දෙවි බව ඉගැන්වීමෙන් බොහෝ ආගම් යේසුස්ට අවමන් කර තිබෙනවා. * එසේ පැවසිය හැක්කේ ඇයි? එය තේරුම්ගැනීමට මෙම නිදර්ශනය සලකා බලමු. යම් ආයතනයක සේවකයන් පිරිසක් එහි වැඩ බලන නිලධාරියාගෙන් යම් ඉල්ලීමක් කළායැයි සිතන්න. එවිට එම ඉල්ලීම ඉටු කිරීමට තමන්ට බලය නැහැ කියා ඔහු පවසයි. ඔහු පැවසූ දෙය සත්‍යය නම් ඔහු ඉතා නිහතමානීව තමාගේ සීමාවන් තේරුම්ගෙන තිබෙන බව පැහැදිලියි. නමුත් ඔහු පැවසූ දෙය බොරුවක් නම් ඔහු ඇත්තටම කර තිබෙන්නේ තමාට කළ හැකි දෙයක් පැහැරහැරීමයි. එසේ කළා නම් ඔහු ඇත්තටම වංචාකාරයෙක්.

ඒ හා සමානව ස්වර්ග රාජ්‍යයේ විශේෂ ස්ථානයක් ඉල්ලා සිටි යේසුස්ගේ ගෝලයන් දෙදෙනෙකුට ඔහු පැවසූ දෙය සලකා බලන්න. “මගේ දකුණු පැත්තේද මගේ වම් පැත්තේද ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ. එය හිමි වන්නේ මගේ පියාණන් ඒ සඳහා සූදානම් කර තිබෙන අයටයි.” (මතෙව් 20:23) යේසුස් සැබවින්ම දෙවි නම් තමාට ඒ සඳහා අයිතියක් නැහැ කියා ඔහු පවසයිද? නැහැ. තමාට ඒ සඳහා අයිතියක් නැති බව පැවසීමෙන් යේසුස් ඉතා නිහතමානීව පිළිගත්තේ දෙවි තමාට වඩා උසස් බවයි.

විශ්වාසය: යේසුස් දෙවිගේ පුත්‍රයායි.

සැබෑද? ඔව්.

“මම දෙවිගේ පුත්‍රයා” කියා යේසුස් ඉතා පැහැදිලි ලෙස පැවසුවා. (යොහන් 10:36) නමුත් ඕනෑම කෙනෙකුට එසේ පැවසිය හැකියි කියා සමහර අයට සිතෙන්න පුළුවන්. කොහොමවුණත් යේසුස් සැබවින්ම දෙවිගේ පුත්‍රයා කියා පැවසීමට තිබෙන ප්‍රබල සාක්ෂියක් සලකා බලමු.

එම සාක්ෂිය සපයන්නේ යෙහෝවා දෙවිමයි. ඔහු අවස්ථා දෙකකදීම යේසුස්ව ‘මාගේ පුත්‍රයා’ කියා හැඳින්වූවා. (මතෙව් 3:17; 17:5) අලුත් ගිවිසුම තුළ දෙවි කතා කළ අවස්ථා සඳහන් වී තිබෙන්නේ කිහිපයක් පමණයි. ඒ අතරිනුත් අවස්ථා දෙකකදීම දෙවි යේසුස්ව හඳුන්වා දී තිබෙන්නේ ‘මාගේ පුත්‍රයා’ ලෙසයි. එසේනම් යේසුස් දෙවිගේ පුත්‍රයා කියා ඔප්පු කිරීමට ඊටත් වඩා ප්‍රබල සාක්ෂියක් අවශ්‍යද!

යේසුස් ගැන ඔබ නොදැන සිටි තොරතුරු දැනගැනීමට මෙම ලිපිය ඔබට උපකාරවත් වෙන්න ඇති. එසේනම් යේසුස් ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔබ කැමති නැද්ද? එසේ කිරීමෙන් ඔබට මහඟු ආශීර්වාද භුක්ති විඳිය හැකියි. ඒ ගැන යේසුස්ම පැවසුවේ තමා ගැනත් දෙවි ගැනත් සත්‍යය තොරතුරු දැනගැනීමෙන් “සදාකාල ජීවනය” ලබාගත හැකි බවයි.—යොහන් 17:3.

[පාදසටහන්වල]

^ 13 ඡේ. යුදෙව් දින දර්ශනයට අනුව යේසුස් මිය ගියේ පාස්කු දිනයකදීයි. එනම් නීසාන් මස 14වන දිනයි.—මතෙව් 26:2.

^ 18 ඡේ. යේසුස්ව බැලීමට පැමිණි අමුත්තන් “තම මංජුසාවන් ඇර” රන්ද කට්ටකුමංජල්ද සුවඳ ලාටුද යේසුස්ට තෑගි ලෙස දුන් බව මතෙව් පොතේ වාර්තා වෙනවා. එම වටිනා තෑගි යේසුස්ගේ පවුලේ අයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඊට හේතුව ඉතාමත් කෙටි කාලයකින් ඔවුන්ට තමන් සිටි දේශය අතහැර යෑමට සිදු වීමයි.—මතෙව් 2:11-15.

^ 21 ඡේ. මරියතුමියගේ කුසේ යේසුස් පිළිසිඳගත්තේ යෙහෝවා දෙවිගේ බලය මාර්ගයෙනුයි. නමුත් යේසුස් ඉපදුණු පසුව යෝසෙප්ට දාව මරියතුමිය තවත් දරුවන් බිහි කළා.—මතෙව් 1:25.

^ 22 ඡේ. මරියතුමිය ජීවිත කාලය පුරාවටම කන්‍යාවක්ව සිටි බව ක්‍රිස්තු වර්ෂ 383දී ජෙරොම් නමැති පුද්ගලයා පැවසුවා. නමුත් පසු කාලයේදී එම අදහස වැරදි බව ඔහු පිළිගත්තා. ඒ වුණත් අනික් මනුෂ්‍යයන් විශේෂයෙන්ම කතෝලික පල්ලිය ජෙරොම්ගේ මතය තුළ එල්බගෙන සිටියා.

^ 26 ඡේ. ත්‍රිත්වය නමැති ඉගැන්වීම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත Should You Believe in the Trinity? නමැති ප්‍රකාශනය බලන්න.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබ මෙම තොරතුරු දැන සිටියාද?

යේසුස් මිනිසුන්ව ඉතා ළඟින් ඇසුරු කළ අන් අයව තේරුම්ගත් මිත්‍රශීලී පුද්ගලයෙක්. එය තේරුම්ගැනීමට ඔහු ගැන බයිබලයේ සඳහන් වී තිබෙන තොරතුරු කිහිපයක් සලකා බලන්න.

• ප්‍රීතිමත් අවස්ථාවන්ට සහභාගි වුණා.—යොහන් 2:1-11.

• අන් අයව අගය කළා.—මාක් 14:6-9.

• දරුවන්ට ආදරයෙන් සැලකුවා.—මාක් 10:13, 14.

• ශෝක වූ අවස්ථාවකදී යේසුස්ට හැඬුණා.—යොහන් 11:35.

• අන් අයට අනුකම්පාවෙන් සැලකුවා.—මාක් 1:40, 41.