Skip to content

පටුනට යන්න

ඔහු සමාව දීමට ඉගෙනගත්තා

ඔහු සමාව දීමට ඉගෙනගත්තා

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ඔහු සමාව දීමට ඉගෙනගත්තා

පේතෘස් සිටින්නේ දරාගත නොහැකි ශෝකයකින්. ඊට හේතුව කිසිදිනක යේසුස්ව තනි කරන්නේ නැහැ කියා ඔහු පවසා තිබුණත් ඒ වන විටත් තුන් වතාවක්ම ඔහු යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පවසා තිබීමයි. එසේ පැවසූ අවස්ථාවේදී ‘යේසුස් හැරී පේතෘස් දෙස බැලුවා.’ එවිට පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද! (ලූක් 22:61) තමා අතින් සිදු වුණේ කොතරම් ලොකු වරදක්ද කියා ඔහුට වැටහෙන්න ඇති.

ඉහත සිදුවීමෙන් පසු පේතෘස් සිටින්නේ බලාපොරොත්තු සුන් වූ තත්වයකද? නැහැ. ඔහුට ශක්තිමත් විශ්වාසයක් තිබුණු නිසා තම වැරදි නිවැරදි කරගන්නත් සමාව දීම සම්බන්ධයෙන් යේසුස්ගෙන් වටිනා පාඩමක් ඉගෙනගැනීමටත් අවස්ථාව තිබුණා. ඇත්තෙන්ම අන් අයට සමාව දීමට අපිත් ඉගෙනගත යුතුයි. ඒ සඳහා පේතෘස්ට සමාව ලැබුණු ආකාරය ගැන සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වෙයි.

ඔහු බොහෝ දේ ඉගෙනගත යුතු වුණා

ඉහත සඳහන් සිදුවීමට මාස හයකට පමණ පෙර කපර්ණවුම නගරයේදී පේතෘස්, යේසුස්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ස්වාමීනි, මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද? හත් වරක් දක්වා සමාව දුන්නොත් සෑහෙයිද?” පේතෘස් එම ප්‍රශ්නය ඇසුවේ එදා සිටි ආගමික නායකයන්ට වඩා තමා ධර්මිෂ්ඨයි කියා සිතූ නිසා විය හැකියි. ඊට හේතුව තුන් වතාවක් සමාව දුන්නොත් හොඳටම සෑහෙයි කියා ආගමික නායකයන් උගන්වා තිබීමයි. නමුත් යේසුස් පැවසුවේ “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියායි.—මතෙව් 18:21, 22.

හැත්තෑහත් වරක් සමාව දෙන්න කියා යේසුස් පැවසීමෙන් අදහස් කළේ කෙනෙකුට සමාව දෙන වාර ගණන අප සටහන් කර තබාගත යුතු බවද? නැහැ. ඔහු ඉන් අදහස් කළේ සමාව දීමට සීමාවක් නැති බවයි. එමෙන්ම සමාව දීම සම්බන්ධයෙන් ඒ කාලයේ සිටි ආගමික නායකයන් දැරූ වැරදි මතය පේතෘස්ට බලපා තිබූ බවත් යේසුස් ඔහුට පෙන්නුම් කළා. කොහොමවුණත් යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන කෙනෙක් සීමාවකින් තොරව අන් අයට සමාව දීමට කැමැත්තෙන් සිටිය යුතුයි.

යේසුස් පැවසූ දේ පේතෘස් වාද නොකර පිළිගත්තා. නමුත් යේසුස් පැවසූ දෙය පේතෘස්ගේ සිතට කාවැදුණාද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් අන් අයට සමාව දීම කොතරම් වටිනවාද කියා අපට වැටහෙන්නේ අප අතිනුත් වරදක් සිදු වූ විටයි. පේතෘස්ටත් සමාව දැඩි සේ අවශ්‍ය වුණා. ඒ ඇයි කියා දැනගැනීමට යේසුස් මේ පොළොව මත ගත කළ අන්තිම රාත්‍රියේදී සිදු වූ සිදුවීම් කිහිපයක් දැන් අපි සලකා බලමු.

දිගින් දිගටම සමාව ලැබෙයිද?

යේසුස්ගේ අන්තිම රාත්‍රිය ටිකෙන් ටික ගෙවීගෙන යමින් තිබුණා. නමුත් ඔහුගේ ගෝලයන්ට තවමත් නිහතමානීකම ඇතුළු තවත් බොහෝ දේවල් ඉගැන්විය යුතු බව යේසුස් හොඳින්ම දැන සිටියා. ඒ නිසා ඒ අවස්ථාවේදී කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ දෙයක් ඔහු කළා. එනම් ඔහුගේ අන්තිම රාත්‍රියේදී ඔහු තම ගෝලයන්ගේ පාද සේදුවා! සාමාන්‍යයෙන් නිවසකට පැමිණෙන අමුත්තෙකුගේ පාද සෝදන්නේ නිවසේ සිටින සේවකයෙක් විසිනුයි. නමුත් එදින ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා යේසුස්ම එම කාර්යය කළා. ඔහු එසේ කළේ නිහතමානිකම ගැන ඔවුන්ට වටිනා පාඩමක් ඉගැන්වීම සඳහායි. කොහොමවුණත් යේසුස් තමන්ගේ පාද සෝදනවාට පේතෘස් මුලින්ම කැමති වුණේ නැහැ. නමුත් පසුව ඔහු පැවසුවේ තමාගේ පාද පමණක් නොව අත් දෙකත් හිසත් සෝදන්න කියායි.—යොහන් 13:1-17.

ඉන් වැඩි වේලාවක් යෑමටත් පෙර තමන් අතර උතුම් තැනැත්තා කවුද යන්න ගැන ඔවුන් අතර වාදයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී පේතෘස්ද ඊට හවුල් වූ බවට සැකයක් නැහැ. නමුත් යේසුස් ඉතා කාරුණිකව ඔවුන්ව නිවැරදි කළා. එමෙන්ම ඔවුන් මෙතරම් කාලයක් තමාට විශ්වාසවන්තව සිටීම ගැන යේසුස් ඔවුන්ව අගය කළා. ඒ වගේම තව ටික වේලාවකින් ඔවුන් සියලුදෙනාම තමාව අත්හැර යන බවත් යේසුස් පැවසුවා. නමුත් පේතෘස් පැවසුවේ තමාට මැරෙන්න සිදු වුණත් තමා එවැනි දෙයක් නොකරන බවයි. ඒ වුණත් අද රාත්‍රියේදී කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් ‘ඔබ මාව හඳුනන්නේ නැහැ’ කියා තුන්වතාවක් පවසනවා කියා යේසුස් ඔහුට පැවසුවා. ඒත් පේතෘස් කියා සිටියේ අනික් ගෝලයන් යේසුස්ව අත්හැර ගියත් තමන් එසේ නොයන බවයි. ඔහු එසේ පවසන්න ඇත්තේ තමන් අනික් ගෝලයන්ට වඩා විශ්වාසවන්තයි කියා පෙන්වීමට විය හැකියි.—මතෙව් 26:31-35; මාක් 14:27-31; ලූක් 22:24-28.

අනික් ගෝලයන්ට වඩා තමා විශ්වාසවන්තයි කියා පේතෘස් සිතූ නිසා යේසුස්ට ඔහු ගැන කෝපයක් ඇති වුණාද? නැහැ. ඒ අවසාන මොහොතේදීත් ඔහු ගෝලයන් තුළ තිබූ හොඳ ගතිගුණ ගැන සිතුවා. පේතෘස් තමන්ව හඳුනන්නේ නැහැ කියා පවසන බව යේසුස් හොඳින්ම දැන සිටියත් ඔහු පේතෘස්ට මෙසේ පැවසුවා. “ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා. ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.” (ලූක් 22:32) යේසුස් එසේ පැවසුවේ පේතෘස් දුර්වල වුණත් නැවත ශක්තිමත් වී උද්‍යෝගයෙන් දෙවිට සේවය කරයි යන විශ්වාසය නිසයි. ඇත්තෙන්ම සමාව දීම සම්බන්ධයෙන් යේසුස් අපට තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

ඒ සිදුවීමෙන් පසු යේසුස් යාච්ඤා කිරීම සඳහා ගෙත්සෙමන උයනට ගියා. ඉන්පසු තමා යාච්ඤා කර නැවත පැමිණෙන තුරු අවදිව සිටින්න කියා යේසුස් පේතෘස්ටත් යාකොබ්ටත් යොහන්ටත් පැවසුවා. මේ අවස්ථාවේදී යේසුස්ට ගෝලයන්ගේ සහය අවශ්‍ය වුණේ ඔහු දැඩි මානසික පීඩනයකින් සිටි නිසයි. කෙසේවෙතත් පේතෘස්ට සහ අනික් ගෝලයන් දෙදෙනාට යේසුස් කියූ ලෙස අවදිව සිටින්න හැකි වුණේ නැහැ. ඒත් ඒ අවස්ථාවේදී යේසුස්ට ඔවුන් ගැන කෝපයක් ඇති වුණාද? නැහැ. ඔවුන්ගේ තත්වය තේරුම්ගත් යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”—මාක් 14:32-38.

වැඩි වෙලාවක් යන්න කලින් ආයුධ රැගත් පිරිසක් එතැනට පැමිණියා. එයින් කලබලයට පත් වූ පේතෘස් කඩුව ගෙන ගැසූ පහරින් ඒ අතර සිටි උත්තම පූජකයාගේ සේවකයෙකු වූ මැල්කස්ගේ කන කැපී ගියා. ඒ අවස්ථාවේදීත් යේසුස් පේතෘස්ව නිවැරදි කළ අතර මැල්කස්ගේ කනද සුව කළා. එමෙන්ම අවි ආයුධ රැගෙන සටන් කිරීමේ ඇති බරපතළකම ගැනත් ඔහු ඔවුන්ට කියා දුන්නා. එදා යේසුස් පැවසූ ඒ දෙය අදටත් යේසුස්ගේ අනුගාමිකයන් අදාළ කරගන්නවා. (මතෙව් 26:47-55; ලූක් 22:47-51; යොහන් 18:10, 11) ඒ අවස්ථාවේදීත් පේතෘස් වරදක් කළත් යේසුස් නැවත වතාවක් ඔහුට සමාව දුන්නා. එයින් අපට පැහැදිලි වන්නේ ‘අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙන’ බවට බයිබලයේ සඳහන් වදන් කොතරම් සත්‍යයද කියායි. (යාකොබ් 3:2) ඒ නිසා අප අතින් සිදු වන වැරදිවලට අපට දිනපතාම දෙවිගෙන් සමාව ලබාගැනීමට සිදු වෙනවා. කොහොමවුණත් උත්තම පූජකයාගේ සේවකයාට පහර දීම පේතෘස් අතින් සිදු වූ අන්තිම වරද නොවෙයි. ඊට හේතුව ඒ සියල්ලටම වඩා ලොකු වරදක් ඔහු අතින් සිදු වීමයි.

පේතෘස් අතින් සිදු වූ ලොකුම වරද

තමාව අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිසට යේසුස් පැවසුවේ ඔවුන් සොයන්නේ තමාව නම් ගෝලයන්ට යන්න දෙන්න කියායි. ඉන්පසු එම පිරිස යේසුස්ව අල්ලාගෙන යන විට පේතෘස්ද අනික් ගෝලයන්ද පලා ගියා.

නමුත් පේතෘස් සහ යොහන් යේසුස්ව මුලින්ම ප්‍රශ්න කිරීමට ගෙන ගිය උත්තම පූජකයාව සිටි අන්නස්ගේ නිවස අසල නතර වෙන්න ඇති. ඉන්පසු යේසුස්ව එතැනින් ගෙන යන විට පේතෘස් සහ යොහන්ද ‘තරමක් දුරින්’ ඔවුන් පසුපසින් ගමන් කළා. (මතෙව් 26:58; යොහන් 18:12, 13) ඒ වන විටත් පේතෘස් උත්තම පූජකයාගේ සේවකයෙකුට පහර දී තිබුණ නිසා ආයුධ අතැතිව සිටි ඔවුන්ගේ පසුපසින් ගමන් කිරීමට පේතෘස්ට නිර්භීතකම අවශ්‍ය වූ බව පැහැදිලියි. ඒත් යේසුස් වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් කියා පැවසූ පේතෘස් දැන් ක්‍රියා කරමින් සිටින ආකාරයෙන් පෙනෙන්නේ එවැනි දෙයක් කිරීමට ඔහු සූදානම් නැති බවයි.—මාක් 14:31.

යේසුස්ව අත්අඩංගුවට ගත් පිරිසට හසු වෙයි කියා තිබූ බිය නිසා පේතෘස් යේසුස් පසුපසින් ගමන් කළේ තරමක දුරකිනුයි. ඒ හා සමානව අද සිටින බොහෝදෙනාද යේසුස්ව අනුගමනය කරන්න උත්සාහ දරන්නේ අනික් අයට නොපෙනෙන ආකාරයටයි. ඊට හේතුව අන් අයගෙන් නින්දා අපහාස විඳින්න සිදු වෙයි කියා තිබෙන බිය නිසයි. එය හරියට යේසුස්ට ‘තරමක් දුරින්’ සිට ගමන් කරනවා හා සමානයි. කොහොමවුණත් පසු කාලයකදී පේතෘස්ම සඳහන් කළේ යේසුස් තැබූ පිය සටහන් කිට්ටුවෙන්ම අනුගමනය කිරීම යේසුස්ව අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය කියායි.—1 පේතෘස් 2:21.

ප්‍රශ්න කිරීම සඳහා යේසුස්ව රැගෙන ගියේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ සුවිසල් මන්දිරයටයි. යේසුස්ගේ පසුපසින් පැමිණි පේතෘස් දොරටුව අසල නතර වුණා. ඔහු ඇතුල් මළුවට යන්න උත්සාහ කළත් ඒ සඳහා ඔහුට අවසර ලැබුණේ නැහැ. නමුත් යොහන්ට ඇතුල් වීමට අවසර ලැබුණා. පසුව ඔහු පැමිණ එහි සිටි දොරටු පාලිකාව සමඟ කතා කර පේතෘස්ටත් ඇතුළට යෑමට අවසර ඉල්ලාගත්තා. පේතෘස් ඇතුල් වුණත් ඔහු යොහන් සමඟ සිටියේ නැහැ. එමෙන්ම ඔහු යේසුස් ළඟට යෑමට උත්සාහ කළේත් නැහැ. යේසුස්ට විරුද්ධව බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න මිනිසුන් නිවස තුළට යන එන ආකාරය ඔහු බලා සිටියා.—මාක් 14:54-57; යොහන් 18:15, 16, 18.

කෙසේවෙතත් පේතෘස්ට ඇතුල් වීමට අවසර දුන් දොරටු පාලිකාව පේතෘස්ව හඳුනාගත්තා. එවිට ඇය “ඔබත් ගලීලයේ යේසුස් සමඟ සිටියා නේද” කියා ඇසුවා. එවැනි ප්‍රශ්නයක් අසයි කියා පේතෘස් බලාපොරොත්තු වුණේ නැහැ. කොහොමවුණත් යේසුස්ව හඳුනන්නේ නැති බව අඟවමින් පේතෘස් “ඔබ මොනව කියනවාද කියා මම නම් දන්නේ නැහැ” කියා ඇයට පැවසුවා. ඉන්පසු ඔහු කිසිවෙකුට නොපෙනන තැනකට යෑමට උත්සාහ කරමින් දොරටුව අසලට ගියා. නමුත් ඔහුව දුටු තවත් තරුණියක් “මේ මිනිසා නාසරෙත් නුවරින් පැමිණි යේසුස් සමඟ සිටියා” කියා පැවසුවා. එවිට පේතෘස් පැවසුවේ “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියායි. (මතෙව් 26:69-72) සමහරවිට කුකුළා හඬලන හඬ පේතෘස්ට ඇසෙන්න ඇත්තේ මේ අවස්ථාවේදී විය හැකියි. නමුත් කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන්වතාවක්ම පවසන බවට යේසුස් පැවසූ දේ ඒ අවස්ථාවේ ඔහුට මතක් නොවෙන්න ඇති.

පේතෘස් සැඟවී සිටීමට කොතරම් උත්සාහ කළත් ඒ සඳහා ඔහුට ඉඩ ලැබුණේ නැහැ. ඊට හේතුව මිනිසුන් පිරිසක් ඔහු වෙතට පැමිණීමයි. ඔවුන් අතර පේතෘස්ගෙන් පහර කෑ මැල්කස්ගේ නෑදෑයෙක්ද සිටියා. ඔහු පේතෘස්ට මෙසේ පැවසුවා. “ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මම දැක්කා.” ඒ අවස්ථාවේදීත් පේතෘස් කියා සිටියේ තමා යේසුස්ව හඳුනන්නේ නැහැ කියායි. ඔහු එය පැවසූ විටම දෙවන වතාවටත් කුකුළෙක් හඬලන ශබ්දය ඔහුට ඇසුණා.—යොහන් 18:26, 27; මාක් 14:71, 72.

ඒ අවස්ථාවේ සඳලුතලයට පැමිණ සිටි යේසුස් හැරී පේතෘස් දෙස බැලූ විට පේතෘස්ද ඔහු දෙස බැලුවා. තමන් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසීමෙන් ඔහුට කොතරම් ද්‍රෝහි වුණාද කියා පේතෘස්ගේ සිත ඔහුට වධ දෙන්න ඇති. ඒ මොහොතේ ඇති වූ වේදනාව දරාගත නොහැකි වූ පේතෘස් පිටතට ගොස් බොහෝ සෙයින් හඬා වැලපුණා කියා බයිබලයේ සඳහන් වෙනවා.—මාක් 14:72; ලූක් 22:61, 62.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අතින් බරපතළ වරදක් සිදු වූ විට ඒ සඳහා සමාව ලැබෙන එකක් නැහැ කියා ඔහුට සිතෙන්න පුළුවන්. පේතෘස්ට පවා එසේ සිතෙන්න ඇති. නමුත් ඇත්තටම සිදු වුණේ එයද?

පේතෘස්ට සමාව ලැබුණාද?

යේසුස්ට සිදු වූ දේවල් දැනගැනීමෙන් පසුවදා පේතෘස් කොතරම් දුක් වෙන්න ඇද්ද කියා සිතා බලන්න. යේසුස්ව අපරාධකරුවෙකු හැටියට සලකා ඔහුට වධ දී ඔහුව මරණයට පත් කළ බව දැනගත් විට පේතෘස් තමාටම දොස් නඟාගන්න ඇති. එමෙන්ම යේසුස්ට ද්‍රෝහි වී ඔහුව වේදනාවට පත් කළා යන හැඟීම පේතෘස්ගේ වේදනාව තවත් වැඩි කරන්න ඇති. කොහොමවුණත් පේතෘස් ඒ අවස්ථාවේදී තනිව සිටීමට උත්සාහ කළේ නැහැ. ඔහු ඉක්මනින් ගොස් අනික් ගෝලයන් සමඟ එකතු වුණා. (ලූක් 24:33) පෙර දින රාත්‍රියේදී ඔවුන් අතින් සිදු වූ අඩුපාඩුකම් ගැන කතා කරමින් ඔවුන් ඒ ගැන දුක් වෙන්න ඇති. ඒ වගේම එකිනෙකාව සනසන්නද ඇති.

කෙනෙකු අතින් වරදක් සිදු වූ විට වඩා වැදගත් වන්නේ ඒ ගැන සිතමින් සිටීම නොව ඒ වරද හදාගෙන ඉන් ගොඩ ඒමට උත්සාහ දැරීමයි. (හිතෝපදේශ 24:16) පේතෘස් එසේ කළා. ඔහු තමන් අතින් සිදු වූ වරද ගැන ශෝකයෙන් සිටියත් අනික් ගෝලයන් සමඟ එකතු වීමට පියවර ගත්තා. කෙනෙක් අතින් වරදක් සිදු වූ විට ඒ ගැන කලකිරී තනිවම සිටීමට උත්සාහ කිරීම අනතුරුදායකයි. (හිතෝපදේශ 18:1) ඒ නිසා එවැනි අවස්ථාවකදී කළ යුතු ඥානවන්තම දෙය වන්නේ සෙසු සහෝදරයන් හා එක් වී නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල නියැලීමයි.—හෙබ්‍රෙව් 10:24, 25.

පේතෘස් අනික් ගෝලයන් සමඟ සිටි නිසා යේසුස්ගේ දේහය සොහොන් ගෙයි නැති බව දැනගන්න ඔහුට හැකි වුණා. එය ආරංචි වූ විගස පේතෘස් සහ යොහන් සොහොන් ගෙය වෙතට දිව ගියා. යොහන් පේතෘස්වත් පසු කරගෙන දුවන්න ඇත්තේ ඔහු තරුණ වියේ සිටි නිසා විය හැකියි. කොහොමවුණත් සොහොන් ගෙයි ගල ඉවත් කර තිබෙනවා දුටු විට යොහන් එතැනම නතර වුණා. නමුත් පේතෘස් නතර නොවී සොහොන් ගෙය ඇතුළටම ගියා. එවිට ඔහුට දැකගන්න ලැබුණේ හිස් වූ සොහොන් ගෙයයි.—යොහන් 20:3-9.

යේසුස්ව මළවුන්ගෙන් නැඟිටුවා තිබෙන බව දේවදූතයන් තමන්ට පැවසූ බව යේසුස් කෙරෙහි විශ්වාස තැබූ ස්ත්‍රීන් පිරිසක් ගෝලයන්ට පැවසුවා. (ලූක් 23:55–24:11) නමුත් පේතෘස්වත් අනික් ගෝලයන්වත් එය විශ්වාස කළේ නැහැ. ඒත් එදින සන්ධ්‍යාවේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට දර්ශනය වුණා. නමුත් ඊට කලින් ඔහු තවත් කෙනෙකුට දර්ශනය වී තිබුණා. ඒ කවුද? ඒ ගැන යේසුස්ගේ ගෝලයෙක් මෙසේ පැවසුවා. “ස්වාමි වූ යේසුස් ඇත්තටම මරණයෙන් නැවත නැඟිටලා! සීමොනුත් ඔහුව දැක්කා.” (ලූක් 24:34) එමෙන්ම යේසුස් ‘සීෆස් ඉදිරියේද ඉන්පසු දොළොස්දෙනා ඉදිරියේද පෙනී සිටියා’ කියා පසු කාලයේදී පාවුල්ද පැවසුවා. (1 කොරින්ති 15:5) එම බයිබල් පද දෙක තුළ සීමොන් සහ සීෆස් ලෙස හඳුන්වා තිබෙන්නේ පේතෘස්වයි. සමහරවිට එදා දවස ඇතුළත යේසුස්, පේතෘස්ව මුණගැහෙන්න ඇත්තේ ඔහු තනිව සිටි අවස්ථාවක විය හැකියි.

යේසුස් සහ පේතෘස් මුලින්ම හමු වූ විට සිදු දේ ගැන බයිබලයේ කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී තමන් බෙහෙවින් ප්‍රේම කළ යේසුස්ව නැවත දැකගන්න ලැබීම ගැන ඔහු බෙහෙවින් සතුටු වෙන්න ඇති. එමෙන්ම තමන් අතින් සිදු වූ වැරදිවලට සමාවත් ඉල්ලන්න ඇති. ඒ මොහොතේදී යේසුස් ඔහුට සමාව දුන් බවට කිසිම සැකයක් නැහැ. පේතෘස් හා සමානව අද සිටින අප අතින්ද වැරදි සිදු වන විට පේතෘස්ගේ සිද්ධිය මතකයට නඟාගැනීම වටිනවා. එසේ කිරීමෙන් අපි කළ වැරදිවලට දෙවි සමාව දෙන එකක් නැහැ කියා සිතීමෙන් වැළකී සිටිය හැකියි. ඊට හේතුව යෙහෝවා දෙවි ‘මුළු හදින්ම සමාව දීමට’ කැමැත්තෙන් සිටීමයි. ඒ බව යේසුස් කටයුතු කළ ආකාරයෙන්ද පැහැදිලි වෙනවා.—යෙසායා 55:7.

සමාව දුන් බවට තවත් සාක්ෂි

නැවත නැඟිටි යේසුස් තම අනුගාමිකයන්ට ගලීලයට යන්න කියාත් එහිදී ඔහු නැවත ඔවුන්ව මුණගැසෙනවා කියාත් පැවසුවා. කොහොමවුණත් ඔවුන් ගලීලයට ගිය පසුව පේතෘස් නැවත ඔහුගේ පරණ රැකියාව වන ධීවර කර්මාන්තයේ නියැලෙන්න පටන්ගත්තා. ඔහු සමඟ තවත් කිහිපදෙනෙක්ද එකතු වුණා. පේතෘස් බොහෝ කාලයක් පුරා එම ප්‍රදේශයේ ධීවරයෙකු ලෙස කටයුතු කර තිබූ නිසා ගලීල මුහුද ඔහුට ඉතා හුරු පුරුදුයි. කොහොමවුණත් යේසුස් පොළොවේ කරමින් සිටි දේවසේවය අවසන් වුණ නිසා තමා දැන් කරන්නේ කුමක්ද කියා පේතෘස් කල්පනා කරන්න ඇති. නැවතත් ඔහු ධීවරයෙකු ලෙස කටයුතු කරන්න තීරණය කරන්න ඇත්තේ එමනිසාද කියා අප දන්නේ නැහැ. කොහොමවුණත් ඒ රාත්‍රියේදී ඔවුන්ට මසුන් හසු වුණේ නැහැ.—මතෙව් 26:32; යොහන් 21:1-3.

උදෑසනින්ම මුහුදු වෙරළේ සිටි මිනිසෙක් ඔවුන්ට කතා කර මාළු දැල අනික් පැත්තට දමන්න කියා පැවසුවා. ඔවුන් එසේ කළා. එවිට මසුන් 153ක් දැලට හසු වූ බව බයිබලයේ සඳහන්වෙනවා. ඔවුන්ට එසේ කරන්න කියා පැවසුවේ යේසුස් බව පේතෘස් දැනගත්තා. ඉන්පසු ඔහු ඉක්මනින්ම මුහුදට පැන පිහිනගෙන ගොඩබිමට පැමිණියා. ඔවුන් ගොඩබිමට පැමිණෙන විට යේසුස් ඔවුන්ට ආහාර සඳහා මසුන් පිළියෙල කර තිබුණා.

ඉන්පසු යේසුස් පේතෘස්ගෙන් මෙසේ ඇසුවා. “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?” පෙනෙන විදිහට “මේ දේවල්” කියා යේසුස් පෙන්වූයේ ඔවුන් ඇල්ලූ මසුන් විය හැකියි. යේසුස් පේතෘස්ගෙන් තුන් වතාවක්ම තමාට ප්‍රේම කරනවාද කියා ඇසුවා. එමගින් පේතෘස් සැබවින්ම තමාට ප්‍රේම කරන බව අනිකුත් ගෝලයන් ඉදිරියේදී තුන්වතාවක්ම පැවසීමට යේසුස් ඔහුට අවස්ථාව දුන්නා. එමෙන්ම එම ප්‍රේමය පෙන්විය හැකි ආකාරය ගැනත් යේසුස් ඔහුට පහදා දුන්නා. ඒ සඳහා ඔහු කළ යුතුව තිබුණේ දෙවිට කරන නමස්කාරයට මුල් තැන දී යේසුස්ගේ අනුගාමිකයන්ව රැකබලා ගැනීමයි.—යොහන් 21:4-17.

පේතෘස්ව තමන්ටත් යෙහෝවා දෙවිටත් ඉතා වටිනා බව යේසුස් පැවසුවා. එමෙන්ම යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්ම වන ක්‍රිස්තියානි සභාවේ වගකීම් රැසක්ද ඔහුට භාර දුන්නා. ඇත්තෙන්ම සමාව දීම සම්බන්ධයෙන් යේසුස් මොන තරම් කදිම ආදර්ශයක්ද! යේසුස් එලෙස කටයුතු කිරීම පේතෘස්ට ලොකු සහනයක් වූ බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම එය පේතෘස්ගේ හදට තදින් දැනෙන්න ඇති.

පේතෘස් තමන්ගේ වගකීම වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව ඉටු කළා. යේසුස් ඔහුට අණ කළ ලෙසම ඔහු යේසුස්ගේ අනුගාමිකයන්ව ශක්තිමත් කළා. එමෙන්ම පේතෘස් සෙසු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කළේද ඉතාමත් කාරුණිකව සහ බොහෝ ඉවසිලිවන්තවයි. මෙලෙස “ගලක්” යන තම නමේ අර්ථයට එකඟව පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරමින් දිරිගන්වමින් ඔහුගේ වගකීම ඉටු කළා. ඔහු ලියූ ලිපි දෙකක් බයිබලයට ඇතුළත් වී තිබෙනවා. එම පොත්වලින් පැහැදිලි වෙන්නේ ඔහු සමාව දීම සම්බන්ධයෙන් යේසුස්ගෙන් ඉගෙනගත් කදිම පාඩම අමතක නොකළ බවයි.—1 පේතෘස් 3:8, 9; 4:8.

සමාව දීම සම්බන්ධයෙන් අපිටත් ඉන් වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. නමුත් සෑම දිනකම අපි අතින් සිදු වන වැරදිවලට අපි දෙවිගෙන් සමාව ඉල්ලනවාද? දෙවි සමාව දුන් විට අපේ වැරදි සියල්ලම මැකෙනවා කියා අපි පිළිගන්නවාද? ඒ වගේම අන් අයට සමාව දීමට අපිත් සූදානම්ද? එසේ කිරීමෙන් පේතෘස් තුළ තිබුණා හා සමාන විශ්වාසයක් වර්ධනය කරගෙන සමාව දීම සම්බන්ධයෙන් යේසුස් තැබූ වටිනා ආදර්ශය අනුකරණය කිරීමට අපටත් හැකියි.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පේතෘස්ට මෙන් අප සියලුදෙනාටත් දිනපතාම සිදු වන වැරදිවලට සමාව අවශ්‍යයි

[23වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටීමෙන් පසු යේසුස් පේතෘස්ව මුණගැසුණා

[24වන පිටුවේ පින්තූරය]

“සීමොනුත් ඔහුව දැක්කා”