Skip to content

පටුනට යන්න

‘ඔබේ රාජ්‍යය සදහටම පිහිටුවන්නෙමි’

‘ඔබේ රාජ්‍යය සදහටම පිහිටුවන්නෙමි’

දෙවිට ළං වෙන්න

‘ඔබේ රාජ්‍යය සදහටම පිහිටුවන්නෙමි’

2 සාමුවෙල් 7:1-16

අතීතයේ පටන් විවිධ පාලකයන් බලයට පත් වී ඇති ආකාරයත් කාලයත් සමඟ ඔවුන්ව බලයෙන් ඉවත් කර ඇති ආකාරයත් ඔබ අසා ඇති. සමහර අයට එය සිදු වී තිබෙන්නේ ඡන්ද අඩු වීම නිසයි. තවත් අයව බලහත්කාරයෙන්ම ඉවත් කර තිබෙනවා. නමුත් දෙවිගේ රාජ්‍යයේ රජ ලෙස කටයුතු කරන යේසුස් ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඔහුව රජකමෙන් පහ කරන්න කිසිවෙකුට හැකි වෙයිද? යෙහෝවා දෙවි අතීතයේ සිටි දාවිත් රජට දුන් පොරොන්දුවකින් එයට පිළිතුර දැනගත හැකියි. අපි දැන් එය සලකා බලමු.

තමන් අලංකාර නිවසක සිටියත් දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක තිබීම ගැන දාවිත් රජ දුක් වුණා. * ඒ නිසා ගිවිසුම් පෙට්ටිය තැබීමට අලංකාර දේවමාලිගාවක් ගොඩනැඟීමට ඔහු තීරණය කළා. (2 සාමුවෙල් 7:2) නමුත් දේවමාලිගාව සාදන්නේ දාවිත් රජ නොව ඔහුගේ පුත්‍රයෙකු බව යෙහෝවා දෙවි දාවිත් රජට දැනුම් දුන්නා.—2 සාමුවෙල් 7:4, 5, 12, 13.

දාවිත් රජ දේවමාලිගාවක් සෑදීමට ගත් තීරණය ගැන දෙවි සතුටු වුණා. ඒ නිසා ඔහුගේ පෙළපතින් පැමිණෙන රජ කෙනෙක් සදාකාලයටම රජකම් කරන බවට දෙවි මෙසේ පොරොන්දු වුණා. “ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.” (2 සාමුවෙල් 7:16) සදාකාලයටම රජකම් කිරීමට නියමිත දාවිත්ගේ පෙළපතින් පැමිණෙන රජ කවුද?—ගීතාවලිය 89:20, 29, 34-36.

දාවිත් රජගේ පෙළපතින් පැමිණි තැනැත්තා වූයේ යේසුස්. ඔහුගේ උපත ගැන එක් දේවදූතයෙක් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.” (ලූක් 1:32, 33) ඒ අනුව දාවිත්ගේ පෙළපතින් පැමිණෙන සදාකාලයටම පාලනය කිරීමට නියමිත රජ යේසුස් බව ඉන් පැහැදිලි වෙනවා. ඇත්තටම යෙහෝවා දෙවි දාවිත්ට දුන් පොරොන්දුවට එකඟව දාවිත්ගේ පෙළපතින් පැමිණි යේසුස්ව රජ බවට පත් කළා. යෙහෝවා දෙවි කවදාවත් ඔහුගේ පොරොන්දු කඩ නොකරන බව එයින් පැහැදිලි වෙනවා.—යෙසායා 55:10, 11.

අප සලකා බැලූ තොරතුරුවලින් වැදගත් කරුණු දෙකක් ඉගෙනගත හැකියි. එක් කරුණක් නම් යේසුස්ව රජකමට පත් කළේ යෙහෝවා දෙවි නිසා ඔහුව රජකමෙන් පහ කිරීමට කිසි කෙනෙකුට හෝ කිසිම දෙයකට නොහැකි බවයි. ඒ නිසා යේසුස්, දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු කරන බවට නිසැක විය හැකියි.—මතෙව් 6:9, 10.

දෙවෙනි කරුණ නම් දෙවිට සේවය කිරීමට ඔහුගේ සේවකයන් තුළ තිබෙන ආශාව ඔහු දකින බවයි. උදාහරණයකට දේවමාලිගාව සෑදීමට දාවිත් රජ තුළ තිබුණ ආශාව දෙවි දුටු අතර ඔහු එය බෙහෙවින් අගය කළා. ඒ හා සමානව දෙවිට සේවය කිරීමට අප තුළ තිබෙන ආශාවත් දෙවි දකින අතර ඔහු එය අගය කරනවා. සමහර අවස්ථාවලදී මහලු විය, අසනීප වැනි නොවැළැක්විය හැකි හේතු නිසා අප බලාපොරොත්තු වන ප්‍රමාණයටම දෙවිට සේවය කිරීමට නොහැකි විය හැකියි. ඒ වුණත් යෙහෝවා දෙවි අපේ සිතේ තිබෙන ආශාවන් දැකීම ගැනත් ඒවා අගය කිරීම ගැනත් අපට සතුටු විය හැකියි.

[පාදසටහන]

^ 5 ඡේ. ගිවිසුම් පෙට්ටිය ඊශ්‍රායෙල්වරුන් අතර තිබීමෙන් සංකේතවත් කළේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතර සිටි බවයි.—නික්මයාම 25:22.