Skip to content

පටුනට යන්න

ඔබ යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරනවාද?

ඔබ යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරනවාද?

ඔබ යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරනවාද?

‘වඩාත් හොඳින් එලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන්න.’—1 තෙස. 4:1.

1, 2. (අ) යේසුස්ගේ කාලයේ සිටි ජනයාට දකින්න ලැබුණේ කුමන සුවිශේෂී දේවල්ද? (ආ) අප ජීවත් වන්නේ විශේෂ කාලයක බව කිව හැක්කේ ඇයි?

යේසුස් පොළොව මත ජීවත් වූ කාලයේ ඔබට සිටීමට හැකි වුණා නම් එය මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද! ඔබට බොහෝ වේදනා ගෙන දුන් රෝගයක් යේසුස් ලවා සුව කරගැනීමට හැකි වේවි. එමෙන්ම ඔහුගෙන් ඉගෙනගැනීමටත් ඔහු කළ ආශ්චර්යයන් දැකගැනීමටත් ඔබට හැකි වේවි. (මාක් 4:1, 2; ලූක් 5:3-9; 9:11) ඒ විතරක් නොවෙයි යේසුස් තම “ජීවිතය පූජා” කළ ආකාරයත් ඔබට දැකගැනීමට හැකි වේවි. (හෙබ්‍රෙ. 9:26; යොහ. 14:19) ඔබට ඒ සියල්ල දැකගැනීමට ලැබුණා නම් එය මොන තරම් වරප්‍රසාදයක්ද කියා සිතා බලන්න!—ලූක් 19:37.

2 අප ජීවත් වන්නේද ඉතා සුවිශේෂී කාලයකයි. බයිබලයේ “අවසාන කාලය” හා “අන්තිම දවස්” කියා හඳුන්වන්නේ අප ජීවත් වන මේ කාලයයි. (දානි. 12:1-4, 9; 2 තිමෝ. 3:1) සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළනු ලැබුවේත් ඔහුව බැඳ ‘අගාධයට හෙළීමට’ නියමිත වන්නේත් මේ කාලයේදීයි. (එළි. 12:7-9, 12; 20:1-3) එමෙන්ම නැවත කිසි දිනක සිදු නොවන ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ලොව පුරා ප්‍රකාශ කිරීමේ කාර්යයට හවුල් වීමේ උතුම් වරප්‍රසාදයද අපට මේ කාලයේදී ලැබී තිබෙනවා.—මතෙ. 24:14.

3. යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ කුමක්ද? ඊට ඇතුළත් වන්නේ කුමක්ද?

3 ස්වර්ගයට යෑමට මොහොතකට පෙර යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) ඊට පොළොව පුරා සිදු කරන ඉගැන්වීමේ කාර්යයක්ද ඇතුළත් වෙනවා. එහි අරමුණ වන්නේ පවතින මේ සමාජය අවසන් වීමට පෙර යේසුස්ගේ අනුගාමිකයන් වීමට ජනයාට උපකාර කිරීමයි. (මතෙ. 28:19, 20) යේසුස් ලබා දුන් එම ආඥාව ඉටු කිරීම සඳහා අප කුමක් කළ යුතුද?

4. (අ) දෙවන පේතෘස් 3:11, 12හි කාවද්දන අවශ්‍යතාව කුමක්ද? (ආ) අප සෝදිසියෙන් සිටිය යුත්තේ කුමක් ගැනද?

4 පේතෘස් පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න.” (2 පේතෘ. 3:11, 12) එහිදී පේතෘස් කාවැද්දුවේ අවසාන කාලයේ සෝදිසියෙන් සිටිමින් දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ කිරීමේ ඇති වැදගත්කමයි. ඊට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයද ඇතුළත් වෙනවා. ලොව වටා සිටින අපගේ සහෝදර සහෝදරියන් යේසුස් දුන් එම පැවරුම උද්‍යෝගයෙන් ඉටු කරන ආකාරය දැකීම මොන තරම් ප්‍රීතියක්ද! දෙවිට කරන සේවයේදී අපගේ උද්‍යෝගය අඩු කිරීමට වැරදි ආශාවන්ට හෝ සාතන්ගේ ලෝකයෙන් එල්ල වන පීඩනවලට ඉඩ නොදීමට අප වගබලා ගත යුතුයි. එය කළ හැකි ආකාර ගැන අපි දැන් සලකා බලමු.

ඔබගේ වගකීම් සතුටින් කරන්න

5, 6. (අ) යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ප්‍රශංසා කළේ ඇයි? ඔහු ඔවුන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) දෙවි ලබා දී ඇති වගකීම් අප සැහැල්ලුවට නොගත යුත්තේ ඇයි?

5 යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් පීඩා යටතේ දෙවිට විශ්වාසවන්තව සිටීම ගැන පාවුල් ඔවුන්ට ප්‍රශංසා කළ අතර ඔවුන්ව මෙසේ දිරිගැන්නුවා. “ඔබ සත්‍යය පිළිබඳ දැනුමෙන් ආලෝකවත් වූ පසු මහත් පොරබැදීමක් කරමින් බොහෝ දුක් හිරිහැර විඳීමට සිදු වූ අතීත දවස් සිහි කරන්න.” පාවුල්ගේ එම ප්‍රේමණීය වචන හෙබ්‍රව් ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක් වන්න ඇති. ඒ වගේම ඔවුන් විශ්වාසවන්තව කළ සේවය යෙහෝවා දෙවිද අමතක කළේ නැහැ. (හෙබ්‍රෙ. 6:10; 10:32-34) කෙසේවෙතත් ඔවුන් දෙවිගේ ආඥා නොසලකාහැරියොත් අවසානයේදී ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයකට ඔවුන් පත් විය හැකි බවට පාවුල් අනතුරු ඇඟෙව්වා.—හෙබ්‍රෙ. 12:25.

6 එය අපටත් සිදු විය හැකිද? ඔව්. අප දෙවිගේ ආඥා පිළි නොපැද ඊට නිදහසට කරුණු ඉදිරිපත් කළොත් අවසානයේදී අපට එවැනි දෙයක් සිදු විය හැකියි. ඒ නිසා ක්‍රිස්තියානීන් ලෙස දෙවි අපට ලබා දී ඇති වගකීම් සැහැල්ලුවට නොගැනීමට හෝ උද්‍යෝගයෙන් දෙවිට කරන සේවය අඩු නොකිරීමට අප අදිටන් කරගත යුතුයි. (හෙබ්‍රෙ. 10:39) මන්ද එසේ කිරීමෙන් අපටත් අන් අයටත් ජීවිත ගලවාගත හැකියි.—1 තිමෝ. 4:16.

7, 8. (අ) දෙවිට කරන සේවය උද්‍යෝගයෙන් කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ආ) අපට මුලින් තිබූ උද්‍යෝගය අඩු වී ඇත්නම් යෙහෝවා දෙවි හා යේසුස් ගැන අප මතක තබාගත යුත්තේ කුමක්ද?

7 දෙවි ලබා දී ඇති වගකීම් ඉටු නොකර සිටීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? අප දෙවිට කැප වූ අවස්ථාවේ දුන් පොරොන්දුව ගැන නිතර නිතර කල්පනා කිරීම ඒ සඳහා උපකාරවත් වෙනවා. අප එහිදී පොරොන්දු වුණේ දෙවිගේ කැමැත්තට ජීවිතයේ මුල් තැන දෙනවා කියායි. අපගේ ආශාව වන්නේ එම පොරොන්දුව ඉටු කිරීමයි. (මතෙව් 16:24 කියවන්න.) ඒ නිසා විටින් විට අපගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘දෙවිට වූ කැප වීමට එකඟව ජීවත් වීමට මම ගත් අධිෂ්ඨානය එදා වගේම අදටත් ශක්තිමත්ව තියෙනවාද? නැත්නම් ඒ සඳහා මා තුළ තිබූ උද්‍යෝගය දැන් අඩු වෙලාද?’

8 එලෙස අප ගැන අවංකව සෝදිසි කිරීමෙන් පසු අපගේ උද්‍යෝගය යම් ප්‍රමාණයකට අඩු වී ඇති බව අපට වැටහෙනවා නම් ශෙපනියාගේ මේ දිරිගන්වනසුලු වචන මතකයට නඟාගැනීම ප්‍රයෝජනවත්. “ඔබේ දෑත් සවිමත් කරගන්න. ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය. ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.” (ශෙප. 3:16, 17) ඒ වචන මුලින්ම අදාළ වුණේ බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී නැවත යෙරුසලමට පැමිණි ඊශ්‍රායෙල්වරුන්ටයි. වර්තමානයේ සිටින දෙවිගේ සෙනඟටත් එමගින් දිරිගැන්වීමක් ලැබිය හැකියි. අප කරන්නේ යෙහෝවා දෙවි අපට පවරා ඇති කාර්යයක් නිසා ඔහුද යේසුස්ද එම වගකීම හොඳින් ඉටු කිරීමට අපට අවශ්‍ය උපකාරයත් ශක්තියත් ලබා දෙනවා. (මතෙ. 28:20; ෆිලි. 4:13) අප එලෙස උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමට වෑයම් කරන විට අප ඔහුට තවත් ළං වන අතර ඔහුද අපට ආශීර්වාද කරන බව නිසැකයි.

‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’

9, 10. සන්ධ්‍යා භෝජනය පිළිබඳ උපමාවෙන් යේසුස් කාවැද්දුවේ කුමක්ද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 පරිසිවරයෙකුගේ නිවසේ සිටියදී යේසුස් සන්ධ්‍යා භෝජනයක් ගැන උපමාවක් සඳහන් කළා. ඔහු එම උපමාවෙන් පැහැදිලි කළේ දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමට ලැබෙන වරප්‍රසාදය ගැනයි. සමහර අය එම භෝජනයට සහභාගි නොවී සිටීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කළා. (ලූක් 14:16-21 කියවන්න.) එක් අයෙක් තමන් මිල දී ගත් කෙත බලන්න යන්න අවශ්‍යයි කියා පැවසුවා. අනික් තැනැත්තා ගොන්බානක් මිල දී ගෙන තිබූ නිසා උන් වැඩට හොඳද කියා බලන්න යන්න අවශ්‍ය බව කියා සිටියා. තුන්වෙනියා පැවසුවේ මෙසේයි. ‘මම මේ දැන් විවාහ වුණා. ඒ නිසා මට එන්න බැහැ.’ ඔවුන් තිදෙනා ඉදිරිපත් කළ හේතු සාධාරණ ඒවා නොවෙයි. මන්ද කෙතක් හෝ ගොන්බානක් මිල දී ගැනීමට පෙර කෙනෙක් ඒ පිළිබඳ හොඳින් සොයා බලනවා. ඒ නිසා මිල දී ගත් පසු ඒ ගැන සොයා බැලීමට හදිසි අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම වැදගත් ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීමට තරම් විශේෂ හේතුවක් ළඟදී විවාහ වූ කෙනෙකුට නැහැ. ඒ නිසා ආරාධනා කළ තැනැත්තා ඔවුන් ගැන කෝප වීම සාධාරණදෙයක් නොවෙයිද!

10 එම උපමාවෙන් දෙවිගේ සියලුම සේවකයන්ට යමක් ඉගෙනගත හැකියි. එනම් අප දෙවිට කරන සේවය දෙවන තැනට දැමීමට තරම් අපගේ පෞද්ගලික කාරණා වැදගත් නොවිය යුතු බවයි. එසේ වුණොත් දෙවිට සේවය කිරීමට අප තුළ තිබෙන උද්‍යෝගය ක්‍රමානුකූලව අඩු විය හැකියි. (ලූක් 8:14 කියවන්න.) අපට එවැනි දෙයක් සිදු නොවීමට නම් අප යේසුස්ගේ මෙම උපදෙසට අනුව ජීවත් විය යුතුයි. “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න.” (මතෙ. 6:33) දෙවිගේ සේවකයන් අතර සිටින බාල මහලු සියලුදෙනාම එම වැදගත් උපදෙස පිළිපැදීම මොන තරම් දිරිගන්වනසුලු දෙයක්ද! ඇත්තෙන්ම බොහෝදෙනෙක් දේවසේවය සඳහා වැඩි කාලයක් ලබාගැනීමට විවිධ වෙනස්කම් කර තිබෙනවා. ‘රාජ්‍යයට මුල් තැන දීමෙන්’ සැබෑ සතුට හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි බව ඔවුන්ගේ අද්දැකීමයි.

11. දෙවිට උද්‍යෝගයෙන් හා මුළු හදවතින් සේවය කිරීමේ ඇති වැදගත්කම පෙන්වන උදාහරණයක් දෙන්න.

11 දෙවිට කරන සේවය උද්‍යෝගයෙන් කිරීමේ ඇති වැදගත්කම තේරුම්ගැනීම සඳහා ඊශ්‍රායෙලයේ රජ වූ යෙහෝයාෂ්ට සිදු වූ දෙය සලකා බලමු. සිරියානුවන් ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගනියි කියා සිතූ යෙහෝයාෂ් හඬමින් එලිෂා ළඟට පැමිණියා. එවිට එලිෂා, රජට පැවසුවේ සිරියාව දෙසට ඊගසක් විදින්න කියායි. එසේ කළ පසු යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව තමන්ට ජය අත් වන බව රජ දැනගත්තා. එමෙන්ම ඊළඟට එලිෂා ඔහුට කරන්න කියා පැවසූ දේ කිරීමට ඔහු තුළ උද්‍යෝගයක් ඇති විය යුතු වුණා. ඉන්පසු එලිෂා රජට පැවසුවේ තමා ළඟ තිබූ ඊගස් රැගෙන පොළොවේ ගසන්න කියායි. ඔහු එය තුන් වරක් පොළොවේ ගැසුවා. ඉන් පැහැදිලි වුණේ ඔහු තුළ උද්‍යෝගයක් නොතිබුණු බවයි. යෙහෝයාෂ් රජ එලෙස ක්‍රියා කිරීම නිසා එලිෂා කෝප වුණා. මන්ද ඔහු පස්වතාවක් හෝ හයවතාවක් එසේ කළා නම් ඉන් අදහස් කළේ “සිරියානුවන්ව සම්පූර්ණයෙන් නැති කර දමන්න” ඔහුට හැකි වන බවයි. නමුත් ඔහු ඒ අවස්ථාවේ උද්‍යෝගයකින් ක්‍රියා නොකළ නිසා ඔහුට ලැබුණු ප්‍රතිඵල අඩු වුණා. (2 රාජා. 13:14-19) අපට ඉන් ඉගෙනගත හැක්කේ කුමක්ද? අප උද්‍යෝගයෙන් හා මුළු හදවතින් යෙහෝවා දෙවිට සේවය කරනවා නම් ඔහු අපට බොහෝ සෙයින් ආශීර්වාද කරන බවයි.

12. (අ) විවිධ ගැටලු ඇති වන විට දිගටම උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ආ) දේවසේවය තුළ කාර්යබහුල වීමෙන් ඔබ ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

12 අපට ඇති වන විවිධ ගැටලු නිසා උද්‍යෝගයෙන් දෙවිට කරන සේවයට බාධා ඇති විය හැකියි. උදාහරණයක් ලෙස බොහෝ සහෝදර සහෝදරියන්ට බරපතළ ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. තවත් අයට දරුණු අසනීප නිසා දෙවිගේ සේවය තුළ කළ හැකි දේවල් සීමා වී තිබෙනවා. ඒ වුණත් යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරමින් දිගටම අපගේ උද්‍යෝගය පවත්වාගැනීමට අප සියලුදෙනාටම හැකියි. ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි දේවල් හා ඊට අදාළ ශුද්ධ ලියවිලි පද “ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද” යන කොටුවේ සඳහන් වී තිබෙනවා. ඔබට හැකි උපරිමයෙන් එහි ඇති තොරතුරු අදාළ කරගත හැකි ආකාරය ගැන සිතා බලන්න. ඔබ එසේ කළොත් ඔබට බොහෝ ප්‍රයෝජන ලැබෙන බව ස්ථිරයි. දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන විට ඔහු කෙරෙහි ඇති විශ්වාසය වැඩි වන අතර සාමයෙන් හා සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටද අපට හැකියි. (1 කොරි. 15:58) එමෙන්ම ‘ඔහුගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය අපගේ මනසෙහි ප්‍රමුඛව තබාගන්නත්’ හැකි වෙනවා.—2 පේතෘ. 3:12.

ඔබවම සෝදිසි කර බලන්න

13. අප දෙවිට උපරිමයෙන් සේවය කරනවාද කියා දැනගන්න පුළුවන් කොහොමද?

13 දෙවිට මුළු හදවතින්ම සේවය කරනවා කියන්නේ දේවසේවයේ බොහෝ වේලාවක් ගත කිරීම නොවෙයි. මන්ද අප සියලුදෙනාටම කළ හැකි දේවල් එකිනෙකට වෙනස්. කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය නිසා ඔහුට මසකට සේවයේ හවුල් විය හැක්කේ පැයක් හෝ දෙකක් විය හැකියි. එය ඔහුගේ උපරිමය නම් යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සේ සතුටු වෙනවා. (මාක් 12:41-44 බලන්න.) අප දෙවිට මුළු හදවතින්ම සේවය කරනවාද කියා දැනගැනීමට නම් අපගේ හැකියාවන් හා අප සිටින තත්වය ගැන අවංකව සෝදිසි කර බැලිය යුතුයි. ඒ වගේම අප ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් නිසා ඔහු සිතන ආකාරයට සිතන්නත් පුරුදු විය යුතුයි. (රෝම 15:5 කියවන්න; 1 කොරි. 2:16) යේසුස් ඔහුගේ ජීවිතයේ මුල් තැන දුන්නේ කුමකටද? ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43; යොහ. 18:37) යේසුස් කොතරම් උද්‍යෝගයෙන් දේවසේවයේ යෙදුණාද කියා කල්පනා කර බලන්න. එය මනසේ තබාගෙන ඔබටත් වැඩියෙන් දේවසේවයේ යෙදිය හැකිද කියා සෝදිසි කර බැලිය හැකියි.—1 කොරි. 11:1.

14. අප කරන සේවය වැඩි කරගැනීම සඳහා කළ හැකි දේවල් මොනවාද?

14 අප සිටින තත්වය හොඳින් සෝදිසි කර බැලුවොත් අපට සේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා කාලය සොයාගත හැකි බව ඔබට වැටහේවි. (මතෙ. 9:37, 38) උදාහරණයක් ලෙස දහස් ගණන් යෞවනයන් ඔවුන්ගේ පාසැල් කාලයෙන් පසු සේවය සඳහා වැඩි කාලයක් යෙදවීමට තීරණය කර තිබෙනවා. සමහරුන් පුරෝගාමීන් ලෙස සේවය කිරීමෙන් ප්‍රීතියක් අද්දකිනවා. ඔබටත් එවැනි ප්‍රීතියක් ලැබිය හැකියි. සමහර සහෝදර සහෝදරියන් තමන්ගේ තත්වය සෝදිසි කර බලා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ අවශ්‍යතාව ඇති වෙනත් ප්‍රදේශයක හෝ රටක සේවය කිරීමට තීරණය කර තිබෙනවා. තවත් අය වෙනත් භාෂාවක් ඉගෙනගෙන තිබෙනවා. අප දෙවිට කරන සේවය වැඩි කරන විට යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඒ වුණත් ඉන් අපට බොහෝ ආශීර්වාද ලැබෙන අතර බොහෝදෙනෙකුට ‘සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා දීමටත්’ අවස්ථාව ලැබෙනවා.—1 තිමෝ. 2:3, 4; 2 කොරි. 9:6.

අනුකරණය කළ හැකි ආදර්ශ

15, 16. උද්‍යෝගයෙන් යේසුස්ව අනුකරණය කිරීම සම්බන්ධයෙන් අපට ඇති සමහර ආදර්ශ මොනවාද?

15 තම අනුගාමිකයන් වෙන්න කියා යේසුස් ඔහුගේ නියෝජිතයන්ට ආරාධනා කළ අවස්ථාවේ ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? මතෙව් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු සියල්ල අත්හැර යේසුස් අනුව ගියේය.” (ලූක් 5:27, 28) එමෙන්ම පේතෘස් හා අන්දෘ ගැනද බයිබලයේ මෙසේ පවසනවා. “ඔවුහු ඒ මොහොතේම දැල් පසෙක තබා ඔහු අනුව ගියෝය.” තම පියා සමඟ දැල් මසමින් සිටි යාකොබ් සහ යොහන් යේසුස්ගේ ආරාධනාවට ප්‍රතිචාරය දැක්වූයේ මෙසේයි. “ඔවුහුද එසැණින්ම ඔරුවෙන් බැස තම පියාගෙන් සමුගෙන ඔහු අනුව ගියෝය.”—මතෙ. 4:18-22.

16 පාවුල්ද ඊට හොඳ ආදර්ශයක්. කලින් සාවුල් ලෙස හැඳින්වූ ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට දරුණු ලෙස පීඩා කළා. නමුත් පසුව ඔහුගේ ජීවිතය වෙනස් කරගත් නිසා ඔහුව “විශේෂ අරමුණක් සඳහා” එනම් ක්‍රිස්තුස් ගැන සාක්ෂි දැරීම සඳහා තෝරාගත්තා. ඉන්පසු ඔහු කළ දේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔහු නොපමාව යේසුස් දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය.” (ක්‍රියා 9:3-22) තමාට බොහෝ අපහසුතාවන්ට හා පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණත් පාවුල් ඔහුගේ උද්‍යෝගය කිසි දිනක අඩු කරගත්තේ නැහැ.—2 කොරි. 11:23-29; 12:15.

17. (අ) ඔබ ක්‍රිස්තුස්ව අනුකරණය කළ යුත්තේ කොහොමද? (ආ) අපගේ මුළු හදවතින් හා ශක්තියෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

17 ඉහත සඳහන් කළ අයගේ ආදර්ශය අනුකරණය කරමින් නිදහසට කරුණු නොකියා දෙවිට සේවය කිරීම අපගේ ආශාවයි. (හෙබ්‍රෙ. 6:11, 12) ක්‍රිස්තුස්ව කිට්ටුවෙන් අනුකරණය කරමින් උද්‍යෝගයෙන් සේවය කරද්දී අපට ලැබෙන ආශීර්වාද මොනවාද? දෙවිගේ කැමැත්ත කිරීමෙන් ලැබෙන සැබෑ සන්තෝෂය, දෙවිට වැඩියෙන් සේවය කිරීමට අවස්ථාවන් සහ සභාවේ වගකීම් දැරීමේ සතුට අපට අද්දැකිය හැකියි. (ගීතා. 40:8; 1 තෙසලෝනික 4:1 කියවන්න.) අප කිට්ටුවෙන් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට උනන්දු වෙනවා නම් මනසේ සාමය, තෘප්තිය, සතුට, දෙවිගේ අනුමැතිය සහ සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව වැනි ආශීර්වාද බොහොමයක් අපට ලැබෙනවා.—1 තිමෝ. 4:10.

ඔබට මතකද?

• අපට ලබා දී ඇති වැදගත් කාර්යය කුමක්ද? අප එය සැලකිය යුත්තේ කොහොමද?

• අප වැළකී සිටිය යුත්තේ කුමකින්ද? ඒ ඇයි?

• අප අවංකව සෝදිසි කර බැලිය යුත්තේ කුමක් ගැනද?

• ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

▪ දිනපතා දෙවිගේ වචනය කියවා ඒ ගැන කල්පනා කිරීම.—ගීතා. 1:1-3; 1 තිමෝ. 4:15.

▪ දෙවිගේ බලයේ මඟ පෙන්වීම් හා උපකාර පතා නිතරම යාච්ඤා කිරීම.—සෙක. 4:6; ලූක් 11:9, 13.

▪ උද්‍යෝගයෙන් දේවසේවයේ හවුල් වන අයව ඇසුරු කිරීම.—හිතෝ. 13:20; හෙබ්‍රෙ. 10:24, 25.

▪ අප ජීවත් වන්නේ අවසාන කාලයේ බව මතක තබාගැනීම.—එෆී. 5:15, 16.

▪ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ පුරුද්ද කොතරම් භයානකද කියා නිතරම මතක තබාගැනීම.—ලූක් 9:59-62.

▪ කැප වීමේදී ඔබ දෙවිට කළ පොරොන්දුව ගැන සහ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් හා යේසුස්ව ආදර්ශයට ගැනීමෙන් ලැබෙන ආශීර්වාද ගැන නිතර කල්පනා කිරීම.—ගීතා. 116:12-14; 133:3; හිතෝ. 10:22.