Skip to content

පටුනට යන්න

දෙවි මිනිසුන්ට උපකාර කරයිද?

දෙවි මිනිසුන්ට උපකාර කරයිද?

දෙවි මිනිසුන්ට උපකාර කරයිද?

“යෙහෝවා දෙවියනි, ඔබ මාගෙන් ඈත්ව සිටින්නේ මන්ද? මාගේ දුකේදී මාගේ පිහිටට ඔබ නොඑන්නේ මන්ද?” *ගීතාවලිය 10:1.

මිනිසුන් ලෙස අපි කොතරම් දුක් වේදනාවලට මුහුණ දෙනවාද කියා මොහොතකට සිතා බලන්න. අපි යම් අපරාධයකට ගොදුරු වුණොත්, බරපතළ අනතුරකට ලක් වුණොත් එසේත් නැත්නම් අප ආදරය කරන කෙනෙක් මිය ගියොත් අපි කොතරම් දුක් වෙනවාද! එවැනි අවස්ථාවලදී “දෙවි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම වෙන්නේ ඇයි” කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් එසේ සිතීම සාධාරණයි කියා ඔබ සිතනවාද?

එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. පියා රැකියාවට පිටත්ව ගිය පසු නිවසේ සිටින දරුවාට ලොකු තනිකමක් දැනෙනවා. ඒ නිසා පියා නැවත නිවසට පැමිණෙන තුරු ඔහු මඟ බලා සිටිනවා. ඒ වුණත් දවස පුරාම “තාත්තා කෝ” යන ප්‍රශ්නය දරුවාගේ සිතේ ඇති වෙනවා.

ඒ පුංචි දරුවාගේ සිතේ ඇති වූ ප්‍රශ්නය ගැන ඔබ සිතන්නේ කුමක්ද? පියා පවුලේ අයගේ යහපත වෙනුවෙන් වෙහෙස මහන්සි වී රැකියාවක් කරමින් සිටියත් දරුවාට හැඟෙන්නේ පියා තමන්ව අත්හැර ගොස් ඇති බවයි. ප්‍රශ්න ගැටලු ඇති වන විට “දෙවි කොහේද” කියා මිනිසුන් තුළ ඇති වන සිතුවිල්ලත් ඒ හා සමානයි.

දෙවි අපට උපකාර කරන්නේ නැහැ කියා මිනිසුන් බොහෝවිට සිතන්නේ ඔවුන් දෙවිගෙන් බලාපොරොත්තු වන දේවල් සාධාරණ නැති නිසයි. උදාහරණයකට සමහර අය බලාපොරොත්තු වන්නේ දෙවි ඉතා ඉක්මනින් නපුරු ක්‍රියා කරන අයව විනාශ කර දමයි කියායි. එමෙන්ම තවත් අය තමන් ඉල්ලන ඉල්ලන දේ දෙවි ලබා දෙයි කියාත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රැකියාවක් ලබාගැනීමට, විවාහ සහකරුවෙක් සොයාගැනීමට හෝ ලොතරැයියකින් දිනුමක් ලබාගැනීමට දෙවි උපකාර කරයි කියා ඔවුන් සිතනවා. නමුත් එවැනි දේවල් ඉටු නොවන විට ඔවුන් සිතන්නේ දෙවි කෙනෙක් නැහැ කියායි.

කොහොමවුණත් මුළු මිනිස් වර්ගයාගේම අනාගතය යහපත් එකක් කිරීම සඳහා දෙවි මේ මොහොත වන විටත් ක්‍රියා කරමින් සිටින බව ඔවුන් දන්නේ නැහැ. ඊට හේතුව දෙවි එය කරන්නේ මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් ආකාරයකට නිසයි.

එසේනම් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය යහපත් එකක් කිරීම සඳහා දෙවි කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට පෙර, මනුෂ්‍යයන්ට මෙතරම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණේ ඇයි කියා අපි සලකා බලමු.

දුක් වේදනාවල ආරම්භය

වසර ගණනාවක් පුරා පාළුවට ගොස් ඇති ගරාවැටී තිබෙන නිවසක් ගැන සිතන්න. එම නිවස අද වන විට එවැනි තත්වයකට පත් වී තිබුණත් වසර ගණනාවකට කලින් එය ඉතා අලංකාර නිවසක්ව තිබුණා. නමුත් මේ නිවසට දැන් සිදු වී තිබෙන හානිය දෙස බලන විට එය නැවතත් යථා තත්වයට ගෙන ඒම එක දවසකින් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

මුළු මනුෂ්‍ය වර්ගයාවම එම ගරාවැටුණ නිවසට සමාන කළ හැකියි. නමුත් මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී එවැනි තත්වයක් තිබුණේ නැහැ. මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව නිරෝගී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළා. එමෙන්ම තම දරුවන් සමඟ මේ පොළොව මත සදහටම ජීවත් වීමේ අවස්ථාවත් ඔවුන්ට තිබුණා. (උත්පත්ති 1:28) ඒත් ඒ සියල්ල මීට අවුරුදු 6,000කට පමණ ඉහතදී එම යුවළ අහිමි කරගත්තා. එසේ වුණේ ඔවුන් සාතන් නමැති යක්ෂයාගේ කීම පිළිගෙන දෙවිට අකීකරු වූ නිසයි. එදා සිට මේ දක්වා මුළු මිනිස් සංහතියම දිනෙන් දින ගරාවැටෙමින් පවතිනවා.

ආදම් සහ ඒව කළ වරද නිසා මුළු මිනිස් වර්ගයාටම වන්දි ගෙවන්න සිදු වුණා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.” (රෝම 5:12) එමෙන්ම ඔවුන් කළ වරද නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට මිනිසුන්ට තිබූ අවස්ථාවටත් බාධා එල්ල වුණා. මිනිසුන් මානසිකවත්, ශාරීරිකවත් අද්දකින සියලුම දුෂ්කරතාවලට හේතුව ආදම් සහ ඒව කළ වරදයි. බයිබලයේ මිනිස් වර්ගයාගේ තත්වය මෙසේ විස්තර කර තිබෙනවා. “මනුෂ්‍යයා ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය. එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත.”—යෝබ් 14:1.

නමුත් ආදම් සහ ඒව කළ වරද නිසා ඔවුන්ගෙන් බිහි වීමට සිටි මිනිස් වර්ගයාවම දෙවි අත්හැර දැමුවාද? නැහැ. ඒ වෙනුවට ඔහු මිනිස් වර්ගයාව යථා තත්වයට ගෙන ඒමට පියවර ගත්තා. ඔහු ගෙන තිබෙන එම පියවර කුමක්ද කියා තේරුම්ගැනීමට ගරාවැටුණු නිවසක් අලුත්වැඩියා කිරීමේදී අනුගමනය කරන පියවර තුනක් පිළිබඳව අපි දැන් සලකා බලමු. එවිට අපේ අනාගතය යහපත් තත්වයකට ගෙන ඒමට දෙවි මේ මොහොතෙත් ක්‍රියා කරමින් සිටින ආකාරය අපට තේරුම්ගත හැකි වෙයි.

1 නිවස අලුත්වැඩියා කිරීමට අයිතිකරු තීරණය කරයි.

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණත් මුළු මිනිස් වර්ගයාවම දෙවි අත්හැර දැමුවේ නැහැ. ඔහු මිනිස් වර්ගයා සම්බන්ධයෙන් තමාට තිබූ මුල් අරමුණ ඉටු කිරීමට පියවර ගත්තා. ඔහු එසේ කළේ ආදම් සහ ඒවව නොමඟ යැවූ යක්ෂයාව විනාශ කරදැමීමට යම් තැනැත්තෙකුව පත් කිරීමෙනුයි. දෙවි ඒ සම්බන්ධයෙන් යක්ෂයාට පැවසූ දේ බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.”—උත්පත්ති 3:15.

යක්ෂයාව විනාශ කර දැමීමට දෙවි අරමුණු කර ඇති බව ඔහු යක්ෂයාට පැවසූ දෙයින්ම පැහැදිලි වෙනවා. (රෝම 16:20; එළිදරව් 12:9) ඊට අමතරව යක්ෂයාව විනාශ කර දමන “තැනැත්තා” මුළු මිනිස් වර්ගයාවම පව්කාර තත්වයෙන් ගලවාගන්නා බවත් දෙවි පැවසුවා. * (1 යොහන් 3:8) ඒ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ ගරාවැටුණු නිවසක් හා සමාන තත්වයක සිටින මිනිස් වර්ගයාව ඉන් මුදවාගැනීමට දෙවි තීරණය කර ඇති බවයි. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

2 සැලැස්මක් සකස් කරයි.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් මාර්ගයෙන් නීති මාලාවක් ලබා දුන්නා. එමෙන්ම නමස්කාර කටයුතු සඳහා දේවමාලිගාවක් ඉදි කිරීමටත් යෙහෝවා දෙවි මඟ පෙන්නුවා. මනුෂ්‍ය වර්ගයාව ගලවාගැනීමට දෙවි කරන්න යන්නේ කුමක්ද කියා ඒ සියල්ලෙන් දැකගත හැකි වුණා.—කොලොස්සි 2:17.

උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන් පව් සමාව සඳහා ඔප්පු කළ සත්ව පූජා ගැන සිතන්න. (ලෙවී කතාව 17:11) එම සත්ව පූජාවලින් මනුෂ්‍ය වර්ගයාව ගලවාගැනීම සඳහා අනාගතයේදී සිදු වීමට තිබූ උතුම් පූජාව වන යේසුස්ගේ ජීවිත පූජාව සංකේතවත් කළා. * එමෙන්ම ශුද්ධ කූඩාරම සහ දේවමාලිගාවේ සැලැස්මෙන්ද යේසුස්ගේ ජීවිතය පූජා කිරීමේ සිට නැවත ස්වර්ගයට යෑම දක්වා සිදු වීමට තිබූ දේවල් පෙන්නුම් කළා.— 7වන පිටුවේ ඇති කොටුව බලන්න.

3 සැලැස්මට අනුව වැඩ කිරීමට කෙනෙකුව පත් කරයි.

මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්, යේසුස්ව හැඳින්වූයේ “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” කියායි. (යොහන් 1:29) ඇත්තෙන්ම යේසුස් තමාගේ ජීවිතය පූජා කිරීමට කැමැත්තෙන්ම පොළොවට ආවා. ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි.”—යොහන් 6:38.

යේසුස් තම ජීවිතය පූජා කිරීම තුළින් බොහෝදෙනෙකුව මුදවාගැනීම යෙහෝවා දෙවිගේ කැමැත්තට ඇතුළත් වුණා. ඊට අමතරව යෙහෝවා දෙවිගේ කැමැත්තට ඇතුළත් වූ තවත් දෙයක් තිබුණා. එය නම් යේසුස් ඔහුගේ අනුගාමිකයන් සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරගැනීමයි. (මතෙව් 20:28; ලූක් 22:29, 30) එම රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා තිබෙන අතර එමගින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කිරීමටද නියමිතයි. අනාගතයේදී එම රාජ්‍යය පොළොවේ තත්වය සම්පූර්ණයෙන්ම යහපත් අතට පත් කරන නිසා එම රාජ්‍යය පිළිබඳ පණිවිඩය ‘ශුභාරංචියක්’ කියා පැවසිය හැකියි.—මතෙව් 24:14; දානියෙල් 2:44. *

ගොඩනැඟීමේ කාර්යය ඉදිරියටත්

ස්වර්ගයට යෑමට පෙර යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙවැනි ආඥාවක් දුන්නා. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.’—මතෙව් 28:19, 20.

යේසුස් ඔහුගේ මරණයෙන් පසු ස්වර්ගයට ගියත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ගොඩනැංවීම සඳහා සිදු වන දේවල් අවසන් වී නැහැ. එය “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” සිදු වෙනවා. අපි දැන් ජීවත් වෙන්නේ ඒ අවසාන කාල පරිච්ඡේදය තුළයි. අප එසේ පවසන්නේ “අවසාන කාල පරිච්ඡේදය” සම්බන්ධයෙන් යේසුස් පැවසූ දේවල් දැන් සිදු වන නිසයි. *මතෙව් 24:3-14; ලූක් 21:7-11; 2 තිමෝති 3:1-5.

යේසුස් දුන් ආඥාවට එකඟව අද දින රටවල් 236ක සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. ඇත්තෙන්ම ඔබ කියවන මෙම මුරටැඹ සඟරාව ප්‍රකාශයට පත් කරන්නේත් දෙවිගේ රාජ්‍යය ගැන තවත් තොරතුරු ඔබට දැනුම් දීමටයි. සෑම මුරටැඹ සඟරාවකම දෙවන පිටුවේ මෙසේ සඳහන් වෙනවා. ‘අහිංසක ජනතාවට පීඩා කරන අයව ස්වර්ගයෙහි පිහිටුවා තිබෙන දේවරාජ්‍යය මගින් ළඟදීම ඉවත් කර මේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට නියමිතයි. එම සැනසිලිදායක ශුභාරංචිය මේ සඟරාවෙන් ඉදිරිපත් කරනවා. මින් දිරිගන්වන්නේ දැන් රජෙක් ලෙස සිටින යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමටයි.’

කොහොමවුණත් ත්‍රස්ථවාදී ප්‍රහාර, ස්වභාවික විපත් සහ වෙනත් දුක් කරදර තවමත් සිදු වෙමින් පවතිනවා. ඒ වුණත් දෙවි අප ගැන ඉතා සැලකිල්ලෙන් සිටින බව බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබට දැනගත හැකි වෙයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ කියායි. (ක්‍රියා 17:27) එමනිසා ආදම් සහ ඒව අපට අහිමි කළ සෑම යහපත් දෙයක්ම නැවත ලබා දීමට වූ තම පොරොන්දුව දෙවි අනිවාර්යයෙන්ම ඉටු කරනවා.—යෙසායා 55:11.

[පාදසටහන්වල]

^ 2 ඡේ. බයිබලයේ යෙහෝවා දෙවි ලෙස හඳුන්වන්නේ සියලු බලැති දෙවිවයි.

^ 16 ඡේ. උත්පත්ති 3:15හි සඳහන් අනාවැකිය ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත යෙහෝවාට ළං වන්න නමැති පොතේ 19වන පරිච්ඡේදය බලන්න.

^ 19 ඡේ. වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 5වන පරිච්ඡේදය බලන්න.

^ 22 ඡේ. දෙවිගේ රාජ්‍යය පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වන පරිච්ඡේදය බලන්න.

^ 25 ඡේ. වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 9වන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ වගුව⁄පින්තූර]

 (මුද්‍රිත පිටපත බලන්න)

“සැබෑ දෙයෙහි ආකෘතියක්” ශුද්ධ කූඩාරමෙන් සංකේතවත් වූ දේවල්

පූජාසනය

යේසුස්ගේ ජීවිත පූජාව පිළිගැනීමට යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටින බව.—හෙබ්‍රෙව් 13:10-12.

උත්තම පූජකයා

යේසුස්.—හෙබ්‍රෙව් 9:11.

1 සමගි කිරීමේ දවසේදී උත්තම පූජකයා සෙනඟගේ පාපවලට දෙවිගෙන් සමාව ලබාගැනීමට පූජාවක් ඔප්පු කළා.—ලෙවී කතාව 16:15, 29-31.

1 සියලුදෙනාගේම පව් වෙනුවෙන් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා.—හෙබ්‍රෙව් 10:5-10; 1 යොහන් 2:1, 2.

ශුද්ධස්ථානය

යේසුස් පොළොවේ සිටි විට අද්දුටු ශුද්ධ තත්වය.—මතෙව් 3:16, 17; රෝම 8:14-17; හෙබ්‍රෙව් 5:4-6.

ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කළ තිරය

යේසුස් පොළොවේ ගත කළ ජීවිතය.—1 කොරින්ති 15:44, 50; හෙබ්‍රෙව් 6:19, 20; 10:19, 20.

2 ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කළ තිරය මැදින් උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ඇතුල් වුණා.

2 ශුද්ධස්ථානයෙන් අතිශුද්ධස්ථානයට යනවා හා සමානව මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ‘අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටීමට’ ස්වර්ගයට ඇතුල් වුණා.—හෙබ්‍රෙව් 9:24-28.

අතිශුද්ධස්ථානය

ස්වර්ගය.—හෙබ්‍රෙව් 9:24.

3 අතිශුද්ධස්ථානයේදී උත්තම පූජකයා පූජාව සඳහා ඔප්පු කළ සතාගේ ලේ ස්වල්පයක් ගිවිසුම් පෙට්ටියේ ඉදිරියේ ඉසිනු ලැබුවා.—ලෙවී කතාව 16:12-14.

3 යේසුස් තමාගේ ජීවිතය පූජා කිරීමෙන් පසු දෙවි ඉදිරියේ පෙනී සිටි නිසා සියලුදෙනාටම තම පව්වලට සමාව ලබාගැනීමට හැකි වුණා.—හෙබ්‍රෙව් 9:12, 24; 1 පේතෘස් 3:21, 22.