Skip to content

පටුනට යන්න

යේසුස්ගේ අනුගාමිකයෙකු වන්න

යේසුස්ගේ අනුගාමිකයෙකු වන්න

යේසුස්ගෙන් ඉගෙනගනිමු

යේසුස්ගේ අනුගාමිකයෙකු වන්න

යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ අයට “මගේ අනුගාමිකයෙක් වන්න” කියා ඔහු ඇතැම් අවස්ථාවලදී ආරාධනා කළා. (මතෙව් 9:9; 19:21) යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීමට අප කුමක් කළ යුතුද? ඒ පිළිබඳව දැනගැනීම සඳහා අපි ප්‍රශ්න තුනකට පිළිතුරු සලකා බලමු.

ඔබ අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

▪ යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් අන් අයට සැලකිය යුතු ආකාරය ගැන යේසුස් දුන් මේ උපදෙස අදාළ කරගත යුතුයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” නමුත් යම් කෙනෙක් ඔබේ සිත රිදෙව්වොත් ඔබ කළ යුත්තේ කුමක්ද? යේසුස් පැවසුවේ යම් කෙනෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වුණොත් එය “ඉක්මනින් නිරවුල් කරගන්න” කියායි. ඒ අනුව එකිනෙකාට සමාව දීම ඉතා වැදගත්. එයට හේතුව යේසුස් මෙසේ පැහැදිලි කළා. “ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.”—මතෙව් 5:25; 6:15; 7:12.

යේසුස් තවදුරටත් මෙවැනි දෙයක්ද පැවසුවා. “‘අනාචාරයේ නොහැසිරෙන්න’ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” යේසුස්ගේ සියලුම අනුගාමිකයන් එම උපදෙස සිතට ගෙන ඒ අනුව ජීවත් වීමද අත්‍යවශ්‍යයි.—මතෙව් 5:27, 28.

යේසුස් හා සමානව ඔහුගේ අනුගාමිකයන්ද තමන්ගේ සුවපහසුව නොතකා අන් අයට උපකාර කරනවා. දිනක් යේසුස් සහ ඔහුගේ ගෝලයන් දේවසේවයේ ගොස් ඉතා වෙහෙසට පත් වී සිටියා. එදින ඔවුන්ට කෑම කන්නවත් විවේකයක් ලැබුණේ නැහැ. ඒ නිසා යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ විවේක ගැනීම සඳහා පාළු තැනකට ගියා. නමුත් ඒ බව මිනිසුන්ට ආරංචි වූ විට ඔවුන් යේසුස්ටත් කලින් ඒ ස්ථානයට ගොස් සිටියා. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන් සමඟ කේන්තියෙන් කටයුතු කළාද? නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි නිසා ඔහුට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති විය. එහෙයින් ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.” (මාක් 6:30-34) ඒ හා සමානව යම් දුෂ්කරතා අද්දකින්න සිදු වුණත් දෙවිගේ කැමැත්ත ඉටු කිරීමෙන් ඔබටත් යේසුස්ව ආදර්ශයට ගත හැකියි.

ඔබ ශුභාරංචිය ප්‍රකාශ කළ යුත්තේ ඇයි?

▪ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය සියලුදෙනාටම දැනුම් දෙන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු පැවසුවේ “‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න” කියායි. (මතෙව් 10:7) මේ ශුභාරංචියට මහත් වටිනාකමක් තිබෙනවා. ඊට හේතුව අන් අයට සදාකාල ජීවනය ලබාගැනීමට ඉන් මඟ විවර වීමයි. යේසුස් මෙසේ යාච්ඤා කළේ ඒ නිසයි. ‘සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබව දැන හඳුනා ගැනීමයි.’—යොහන් 17:3.

තම අනුගාමිකයන් අනාගතයේදී කිරීමට නියමිත කාර්යයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.” (මතෙව් 24:14) දෙවිගේ රාජ්‍යය ගැන බයිබලයේ සඳහන් දේ ඉගෙනගෙන එය විශ්වාස කළොත් ඒ ගැන අන් අයට කියා දීමට ඔබ තුළත් ආශාවක් ඇති වේවි. එය අද්දුටු යේසුස්ගේ බොහෝ අනුගාමිකයන් එම රාජ්‍යය ගැන මුලින්ම ප්‍රකාශ කළේ තමන්ගේ ඥාතීන්ටයි.—යොහන් 1:40, 41.

ඔබ බව්තීස්ම විය යුත්තේ ඇයි?

▪ යේසුස් යොර්දාන් ගඟේ බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහු දෙවිට යාච්ඤා කරමින් පැවසුවේ “ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි” කියායි. (හෙබ්‍රෙව් 10:7) යේසුස් මෙන් ඔබත් දෙවිගේ කැමැත්ත කිරීමට ආශාවෙන් සිටිනවා නම් බව්තීස්ම වීම ඉතා වැදගත්. යේසුස් මෙසේ ආඥා කළේ ඒ නිසයි. ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න.’—මතෙව් 28:19.

බව්තීස්ම වීමෙන් කෙනෙකුට ලැබෙන වගකීම් සහ වරප්‍රසාද මොනවාද? බව්තීස්ම වූ කෙනෙක් ඔහුගේ මුළු ජීවිතයම දෙවිට කැප කර සේවය කරනවා. යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.” (මතෙව් 22:37) එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප” කළ යුතුයි. (මතෙව් 16:24) ඉන් අදහස් වෙන්නේ බව්තීස්ම වූ කෙනෙක් තවදුරටත් තමාගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා වෙනුවට දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දිය යුතු බවයි. එලෙස තම ජීවිතය දෙවිට කැප කිරීමෙන් දෙවි සමඟ විශේෂ බැඳීමක් ඇති කරගන්නත් දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටින්නත් හැකි වෙනවා.—1 පේතෘස් 3:21.

වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම පොතේ 18වන පරිච්ඡේදය බලන්න.