Skip to content

පටුනට යන්න

සදා නොමැකෙන නාමයක්

සදා නොමැකෙන නාමයක්

සදා නොමැකෙන නාමයක්

බයිබලයට අමතරව යෙහෝවා හෝ යාහ්වේ යන දෙවිගේ නාමය වෙනත් ඓතිහාසික ස්ථානවලත් දැකගන්න තිබෙනවා. එසේනම් ඒ සම්බන්ධයෙන් ඇති පැරණිතම සාක්ෂිය කුමක්ද? ඇතැම් විශාරදයන් පවසන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය සඳහන් වන පැරණිතම සාක්ෂිය ක්‍රිස්තු පූර්ව 14වන සියවස තරම් ඈතට දිව යන බවයි.

ක්‍රිස්තු පූර්ව 1370 පමණ වන විට ඊජිප්තුවරුන් බොහෝ ප්‍රදේශ යටත් කරගෙන තිබුණා. ඒ වන විට ඊජිප්තුව පාලනය කළේ තුන්වන අමෙන්හොටෙප් පාරාවෝයි. ඔහු සෝලෙබ් නම් ප්‍රදේශයේ දැවැන්ත දේවාලයක් ඉදි කළා. අද එම ප්‍රදේශය හඳුන්වන්නේ සුඩානය ලෙසයි. කෙසේවෙතත් එම ප්‍රදේශයේ කැනීම් කටයුතු කළ පුරාවිද්‍යාඥයන්ට එම දේවාලය සොයාගැනීමට හැකි වුණා. එමෙන්ම එහි තිබූ කණුවල ඊජිප්තුවරුන් යම් රූපාක්ෂර යොදාගෙන තොරතුරු වාර්තා කර තිබෙන ආකාරයත් ඔවුන් දුටුවා. ඉන් එක් කණුවක දෙවිගේ නාමය දැක්වෙන රූපාක්ෂරයක්ද තිබුණා. දෙවිගේ නාමය සඳහන් පැරණිතම සාක්ෂිය ලෙස මෙතෙක් කල් සැලකුණේ මෝවබ් ප්‍රදේශයෙන් සොයාගත් ශිලා ලේඛනයයි. නමුත් ඊජිප්තුවේ තිබූ දේවාලයේ දෙවිගේ නාමය සඳහන් කර තිබෙන්නේ ඊටත් වසර 500කට වඩා ඉහතදීයි. කොහොමවුණත් බයිබලයේ සඳහන් වන දෙවිගේ නාමය ඊජිප්තු දේවාලයක තිබූ කණුවක සටහන් වුණේ කෙසේද?

“යාහූගේ ෂාසූ දේශය”

තුන්වන අමෙන්හොටෙප් පාරාවෝ තමා ගොඩනැඟූ සුවිසල් දේවාලය ආමූන්-රා දෙවියාට කැප කළා. නයිල් ගඟේ බටහිර දෙසින් පිහිටා තිබූ මෙම දේවාලය අඩි 400ක් පමණ දිගයි. එම දේවාලයේ තිබෙන එක් කණුවක අමෙන්හොටෙප් පාරාවෝ යටත් කරගත් ප්‍රදේශ සටහන් කර තිබෙනවා. එම එක් එක් ප්‍රදේශ නියෝජනය කිරීම සඳහා වහලුන්ගේ රූප කොටා තිබුණා. එම වහලුන්ගේ අත් පිටුපසට කර බැඳ තිබූ අතර ඔවුන්ට ඉදිරියෙන් ඇති පලිහේ ඔහුගේ ජාතිය හෝ ඔහු අයත් ප්‍රදේශය සටහන් කර තිබුණා. ඒ අතර ෂාසූවරුන්ට අයත් දේශ කිහිපයක්ද සඳහන් වෙනවා. ඇත්තෙන්ම ෂාසූවරුන් කියා හඳුන්වන්නේ කාවද?

ඊජිප්තු ජාතිකයන් ෂාසූවරුන් කියා හැඳින්වූයේ ඊජිප්තුවේ නැඟෙනහිර දේශ සීමාවෙන් එපිට කාන්තාරවල ජීවත් වූ අරාබිය ජාතිකයන්වයි. ෂාසූවරුන්ට අයත් ප්‍රදේශවලට පලස්තීනයේ දකුණු පළාත, යොර්දානය අවට පළාත සහ සීනයි ප්‍රදේශය අයත් වුණා. සමහර පර්යේෂකයන් පවසන ආකාරයට ෂාසූවරුන්ට අයිති ප්‍රදේශ උතුරට වෙන්න පිහිටි ලෙබනොන් ප්‍රදේශය සහ සිරියාව දක්වාම විහිදී ගියා. ඊජිප්තු දේවාලයේ ඇති දෙවිගේ නාමය සඳහන් වන රූපාක්ෂරයේ අර්ථය ගැන විවිධ මත තිබෙනවා. සමහර අය පවසන්නේ එහි අර්ථය “ෂාසූ දේශයේ යාහ්වේ” කියායි. එමෙන්ම තවත් අය පවසන්නේ එහි අර්ථය “යාහූගේ ෂාසූ දේශය” විය හැකි බවයි. ඊට අමතරව එහි අර්ථය “ෂාසූවරුන්ගේ දේශය-ය්හ්ව්” කියා පවසන පිරිසක්ද සිටිනවා. ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන හදාරන පුරාවිද්‍යාඥයෙක් වන ජීන් ලක්ලාන් පැවසුවේ ඊජිප්තු දේවාලයේ තිබෙන එම රූපාක්ෂරයේ සඳහන් නම “හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් වෙන දෙවිගේ නාමයට සමාන” බවයි.

ඊජිප්තු දේවාලයේ ඇති දෙවිගේ නාමය සඳහන් රූපාක්ෂරයෙන් යම් ප්‍රදේශයක් හෝ නගරයක් නියෝජනය වෙනවා කියා බොහෝ විශාරදයන් සිතනවා. ඒ රූපාක්ෂරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශාරද ස්මූල් ආහිටූෆ් පැවසුවේ එයින් “ඊශ්‍රායෙල්වරුන්ගේ යාහූ [යෙහෝවා] දෙවිට නමස්කාර කළ අය සැරිසැරූ ප්‍රදේශ අදහස් වෙනවා” කියායි. * අතීතයේදී යම් ප්‍රදේශ හඳුන්වනු ලැබුවේ ඒ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් නමස්කාර කළ දෙවිගේ නාමයෙනුයි. උදාහරණයක් ලෙස අෂූර් යන නාමය දැක්විය හැකියි. එම නාමයෙන් දේශයක් සහ ඇසිරියානුවන් නමස්කාර කළ ප්‍රධාන දෙවිව නියෝජනය වෙනවා.

එම රූපාක්ෂරය ගැන අදහස් දැක්වූ බයිබල් විශාරදයෙක් මෙන්ම පුරාවිද්‍යාඥයෙකු වන රෝලාන් ඩි වෝ මෙසේ පැවසුවා. “ක්‍රිස්තු පූර්ව 2000ත් 1000ත් අතර කාලයේදී ඊශ්‍රායෙල් ජාතියේ මුතුන්මිත්තන් ජීවත් වූ ප්‍රදේශයක් දෙවිගේ නමින් හෝ ඊට සමාන නමකින් හඳුන්වනු ලැබුවා. එමෙන්ම ඒ හා සමාන නම් තිබූ පුද්ගලයන්ද සිටියා.”

අදටත් ගෞරවයෙන් සැලකෙන නාමයක්

යෙහෝවා දෙවිගේ නම සඳහන් වන රූපාක්ෂරයක් තිබෙන්නේ ඊජිප්තුවේ සෝලෙබ් ප්‍රදේශයේ තිබෙන දේවාලයේ පමණක් නොවෙයි. දෙවන රාමෙසෙස් ඉදි කළ දකුණු අමාරහ් ප්‍රදේශයේ සහ ආක්සා ප්‍රදේශයේ තිබෙන දේවාලවලත් ඒ හා සමාන රූපාක්ෂර තිබෙනවා. අමාරාහ් ප්‍රදේශයේ තිබෙන දේවාලයේ ඇති “ෂාසූ දේශයේ යාහ්වේ” යන රූපාක්ෂරය, ෂාසූවරුන්ට අයත් වෙනත් ප්‍රදේශ ගැන ඇති රූපාක්ෂරවලට සමානකමක් දක්වනවා. ඒවා නම් සේයිර් සහ ලාබන් යන ප්‍රදේශ ගැන සඳහන් රූපාක්ෂරයි. ඒ ප්‍රදේශ බයිබලයේ යොමු දක්වා තිබෙන්නේ දකුණු පලස්තීනය, ඒදොම් සහ සීනයි ප්‍රදේශවලටයි. (උත්පත්ති 36:8; ද්විතීය කතාව 1:1) ඈත අතීතයේ පටන් යෙහෝවා දෙවිට නමස්කාර කළ අය ඒ ප්‍රදේශවල ජීවත් වී තිබෙනවා.—උත්පත්ති 36:17, 18; ගණන් කතාව 13:26.

යෙහෝවා දෙවිගේ නාමය වෙනත් දෙවිවරුන්ගේ නාමයන් මෙන් අතීත සටහන්වලට පමණක් සීමා වී නැහැ. රටවල් 230කට අධික ගණනක සිටින මිලියන හතකට අධික යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදටත් ඒ ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරනවා. එමෙන්ම ඔවුන් යෙහෝවා යන නාමය අන් අයට දැනුම් දීමටත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් මිනිසුන්ට උදව් කරනවා.—ගීතාවලිය 83:17; යාකොබ් 4:8.

[පාදසටහන]

^ 7 ඡේ. ෂාසූවරුන් ඇත්තටම යාහ්වේ දෙවිට නමස්කාර කළාද යන්න එම රූපාක්ෂරයෙන් අදහස් වෙනවාද කියා සමහර විශාරදයන් සැක කරනවා. ඔවුන් සිතන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිගේ නාමය එම දේශයට අහම්බෙන් ලැබෙන්න ඇති බවයි.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ සඳහන් යෙහෝවා යන දෙවිගේ නාමය ඊජිප්තුවේ ඇති දේවාලයක සඳහන් වෙන්නේ ඇයි?

[21වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඊජිප්තුව

සෝලෙබ්වල ඇති දේවාලය

සුඩානය

නයිල් ගඟ

[21වන පිටුවේ පින්තූර]

ඊජිප්තු දේවාලයේ ඇති කණුවේ දැක්වෙන රූපාක්ෂරය

[22වන පිටුවේ පින්තූරය]

සෝලෙබ්වල පිහිටා ඇති ආමූන්-රා දේවායේ නටබුන්

[හිමිකම් විස්තර]

Ed Scott/​Pixtal/​age fotostock

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: Asian and Middle Eastern Division/​The New York Public Library/​Astor, Lenox and Tilden Foundations