Skip to content

පටුනට යන්න

පුරුෂයෙනි, ඔබ ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වෙනවාද?

පුරුෂයෙනි, ඔබ ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වෙනවාද?

පුරුෂයෙනි, ඔබ ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වෙනවාද?

“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්.”—1 කොරි. 11:3.

1. යෙහෝවා දෙවි පිළිවෙළකට ක්‍රියා කරන බව පැහැදිලි වන්නේ කුමකින්ද?

“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය” කියා එළිදරව් 4:11හි සඳහන් වෙනවා. යෙහෝවා දෙවි සියලු දේ නිර්මාණය කළ නිසා විශ්වයේ ඇති සියලු දේ පාලනය කිරීමේ බලය ඇත්තේ ඔහුටයි. ඒ වගේම “දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්” බව ඔහු ස්වර්ගීක පවුල සංවිධානය කර තිබෙන ආකාරයෙන් පැහැදිලි වෙනවා.—1 කොරි. 14:33; යෙසා. 6:1-3; හෙබ්‍රෙ. 12:22, 23.

2, 3. (අ) යෙහෝවා දෙවිගේ කුලුඳුල් නිර්මාණය වන්නේ කවුද? (ආ) යෙහෝවා දෙවි හා යේසුස් ගැන පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

2 සියලු දේ නිර්මාණය කිරීමට පෙර යෙහෝවා දෙවි අසංඛ්‍යාත වසර ගණනාවක් පුරා සිටියා. පසුව දෙවි මුළින්ම දේවදූතයෙකුව නිර්මාණය කළ අතර ඔහු දෙවි වෙනුවෙන් කතා කළ නිසා ඔහුව “වචනය නමැති තැනැත්තා” ලෙස හැඳින්නුවා. දෙවි සියලු දේවල් නිර්මාණය කළේ ඔහුව යොදාගෙනයි. පසුව ඔහු පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස පොළොවට පැමිණි අතර යේසුස් ක්‍රිස්තුස් ලෙස ඔහුව හැඳින්නුවා.යොහන් 1:1-3, 14 කියවන්න.

3 යෙහෝවා දෙවි සහ ඔහුගේ කුලුඳුල් පුත්‍රයා ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරි. 11:3) ඉන් පැහැදිලි වන්නේ යේසුස්, යෙහෝවා දෙවිගේ මූලිකත්වයට යටත් බවයි. සාමයෙන් හා පිළිවෙළකින් යුතුව දේවල් සිදු වීමට නම් මූලිකත්වය දැරීම සහ ඊට යටත් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා “අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්” තැනැත්තාද දෙවිගේ මූලිකත්වයට යටත් විය යුතු වුණා.—කොලො. 1:16.

4, 5. යෙහෝවා දෙවිගේ මූලිකත්වයට යටත් වීම ගැන යේසුස්ට හැඟුණේ කොහොමද?

4 යෙහෝවා දෙවිගේ මූලිකත්වයට යටත් වීම හා පොළොවට පැමිණීමට සිදු වීම ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “[යේසුස්] දෙවිට යම් සමානකමක් දැරුවත් තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය. ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය. එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය.”—ෆිලි. 2:5-8.

5 යේසුස් සෑම අවස්ථාවකදීම ඉතා සතුටින් දෙවිගේ කැමැත්ත කළා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. ‘මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා මගේ විනිශ්චය සාධාරණයි. මන්ද මම උත්සාහ කරන්නේ මගේම කැමැත්ත කරන්න නොව මා එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටයි.’ (යොහ. 5:30) ඔහු මෙවැනි දෙයක්ද සඳහන් කළා. “මගේ එකම ආශාව [පියාණන්ට] ප්‍රසන්න දේවල් කිරීමයි.” (යොහ. 8:29) ඒ වගේම යේසුස් පොළොව මත ගත කළ ජීවිතයේ අවසාන දවස්වල ඔහු තම පියාට මෙසේ යාච්ඤා කළා. “ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා.” (යොහ. 17:4) දෙවිගේ මූලිකත්වයට යටත් වීම යේසුස්ට කිසිවිටක අපහසු වුණේ නැහැ.

පියාට යටත් වීමෙන් පුත්‍රයා ප්‍රයෝජන ලබයි

6. යේසුස් විදහාපෙන්වූ අගනා ගුණාංග මොනවාද?

6 යේසුස් පොළොව මත සිටි කාලය තුළදී අගනා ගුණාංග බොහෝමයක් විදහාපෙන්වූ අතර ඔහු තම පියාට පෙන්වූ ප්‍රේමය ඒ අතර විශේෂ වුණා. ඒ ගැන යේසුස් පැවසුවේ “මම පියාණන්ට ප්‍රේම” කරමි කියායි. (යොහ. 14:31) ඒ වගේම ඔහු මිනිසුන්ටද බොහෝ සෙයින් ප්‍රේම කළා. (මතෙව් 22:35-40 කියවන්න.) රළු හෝ අනුන්ව පාලනය කරන ආකාරයෙන් කටයුතු කරනවා වෙනුවට යේසුස් කාරුණිකව හා අනුන් ගැන සිතමින් කටයුතු කළා. ඒ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.” (මතෙ. 11:28-30) බැටළුවන් මෙන් අහිංසක සෑම වයස් මට්ටමක සිටි, විශේෂයෙන් අන් අය විසින් පහත් කොට සැලකූ ජනයා යේසුස්ගේ ආකර්ෂණීය ගතිගුණ හා ඔහු ප්‍රකාශ කළ ශුභාරංචිය නිසා මහත් සහනයක් අද්දැක්කා.

7, 8. ලේ ගැලීමක් නිසා රොගී වූ ස්ත්‍රියකට නීතියෙන් තිබූ තහනම කුමක්ද? යේසුස් එවැනි ස්ත්‍රියකට සැලකුවේ කොහොමද?

7 යේසුස් ස්ත්‍රීන්ට සැලකූ ආකාරය ගැන කල්පනා කර බලන්න. ඉතිහාසයේ සිට බොහෝ මිනිසුන් ස්ත්‍රීන්ට සැලකුවේ ඉතා පහත් ආකාරයටයි. පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ආගමික නායකයන්ද කටයුතු කළේ එලෙසයි. නමුත් යේසුස් ස්ත්‍රීන්ට ගෞරවයෙන් සැලකුවා. අවුරුදු 12ක් පුරා ලේ ගැලීමක් නිසා පීඩා විඳි ස්ත්‍රියක් සමඟ ඔහු ක්‍රියා කළ ආකාරයෙන් එය පැහැදිලි වෙනවා. එම ස්ත්‍රිය තම අසනීපයෙන් සුවයක් ලැබීමට ඇය සතු සෑම දෙයක්ම වියදම් කළත් ඉන් සිදු වුණේ ඇයට ‘බොහෝ සෙයින් දුක් විඳීමට’ සිදු වීම පමණයි. ඒ වගේම ඇගේ අසනීප තත්වයද ‘තවත් දරුණු අතට හැරුණා.’ මෝසෙස්ට දුන් නීතිය යටතේ එවැනි ස්ත්‍රියක්ව සැලකුවේ අපවිත්‍ර කෙනෙක් ලෙසයි. එවැනි කෙනෙකුව ස්පර්ශ කරන තැනැත්තාද අපවිත්‍ර වෙනවා.—ලෙවී. 15:19, 25.

8 යේසුස් රෝගීන්ව සුව කරන බව මේ ස්ත්‍රියට ආරංචි වූ විට ඇය මෙසේ සිතමින් යේසුස් අසල සිටි සමූහයට එකතු වුණා. “ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවත් ඇති. ඒකෙන් මාව සුව වෙයි.” ඇය එසේ කළ අතර ඇගේ අසනීපයද එවෙලේම සුව වුණා. එවැනි කෙනෙක් තමාගේ වස්ත්‍රය ඇල්ලීම සුදුසු දෙයක් නොවන බව යේසුස් දැන සිටියත් ඔහු ඇයට බැණවැදුණේ නැහැ. ඇය අසනීපයෙන් සිටි කාලයේ වින්ද වේදනාව කොතරම්ද කියාත් ඇයට උපකාර අත්‍යවශ්‍ය බවත් යේසුස් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු ඇයට කරුණාවන්තව සලකමින් මෙසේ පැවසුවා. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න.”—මාක් 5:25-34.

9. යේසුස්ගේ අනුගාමිකයන් දරුවන්ව තමන් ළඟට පැමිණීම වළක්වද්දී ඔහු කළේ කුමක්ද?

9 යේසුස් කුඩා දරුවන්ට පවා ආදරයෙන් සැලකුවා. එක් අවස්ථාවක ජනයා ඔවුන්ගේ දරුවන් යේසුස් ළඟට රැගෙන එන විට ඔහුගේ අනුගාමිකයන් ඔවුන්ට සැර කර ඒ අයව වැළැක්වුවා. දරුවන්ට අවධානය දීමට යේසුස්ට වුවමනාවක් නැතුව ඇති කියා ඔහුගේ අනුගාමිකයන් සිතන්න ඇති. නමුත් යේසුස් එසේ සිතුවේ නැහැ. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘එය දුටු යේසුස්, ගෝලයන් කළ ඒ දේට සතුටු වූයේ නැත. ඒ නිසා ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි.” ඉන්පසු ඔහු දරුවන්ව තමන් ළඟට ගෙන ඔවුන්ව තුරුලු කරගෙන ඔවුන් පිට අත් තබා ආශීර්වාද කළේය.’ යේසුස් දරුවන්ට තමා ළඟට පැමිණීමට ඉඩ දුන්නා පමණක් නොව ඔවුන්ට ආදරයෙන් සැලකුවා.—මාක් 10:13-16.

10. යේසුස්ට වටිනා ගුණාංග විදහාපෙන්වීමට හැකි වුණේ ඇයි?

10 පොළොව මත සිටි කාලයේදී යේසුස්ට ඉතා වටිනා ගුණාංග විදහාපෙන්වීමට හැකි වුණේ ඇයි? ඔහු අසංඛ්‍යාත වසර ගණනාවක් පුරා ස්වර්ගයේ සිටි කාලයේදී තම පියා ඔහුගේ නිර්මාණ කෙරෙහි මූලිකත්වය මෙහෙයවූ ආකාරය නිරීක්ෂණය කර එය අනුකරණය කළා. (හිතෝපදේශ 8:22, 23, 30 කියවන්න.) ඔහුට එසේ කිරීමට හැකි වුණේ ඔහු දෙවිගේ අධිකාරියට යටත් වුණ නිසයි. තම පියාට යටත් වීමෙන් යේසුස් මහත් සතුටක් ලැබුවා සේම එවැනි කීකරු පුත්‍රයෙක් ලැබීම ගැන යෙහෝවා දෙවිද බොහෝ සෙයින් සතුටු වුණා. දේවරාජ්‍යයේ රජ වන ඔහුට යටත් වීමට ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද!

ක්‍රිස්තුස් සතු ගුණාංග අනුකරණය කරන්න

11. (අ) අප අනුකරණය කිරීමට වෑයම් කළ යුත්තේ කාවද? (ආ) විශේෂයෙන්ම පුරුෂයන් යේසුස්ව අනුකරණය කිරීමට වෑයම් කළ යුත්තේ ඇයි?

11 ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනාම විශේෂයෙන් පුරුෂයන්, ක්‍රිස්තුස්ගේ ගුණාංග විදහාපෙන්වීමට නිතරම වෑයම් කළ යුතුයි. මන්ද බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්.” ක්‍රිස්තුස්, තම හිස වන සැබෑ දෙවිව අනුකරණය කළ ආකාරයට පුරුෂයන්ද ඔවුන්ගේ හිස වන ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට වෑයම් කළ යුතුයි. ක්‍රිස්තියානියෙක් බවට පත් වූ පසු පාවුල්ද ඒ ආකාරයට ක්‍රියා කළා. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන ආකාරයටම ඔබත් මාව අනුකරණය කරන්න.” (1 කොරි. 11:1) පේතෘස්ද මෙවැනි දෙයක් පැවසුවා. “ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.” (1 පේතෘ. 2:21) පුරුෂයන්ට වැඩිමහල්ලන් හා සහයක සේවකයන් ලෙස සේවය කිරීමේ වගකීම ලැබෙන නිසා විශේෂයෙන්ම ඔවුන් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට වෑයම් කළ යුතුයි. යේසුස්, යෙහෝවා දෙවිව අනුකරණය කිරීමෙන් ප්‍රීතියක් ලැබුවා හා සමානව පුරුෂයන්ද ක්‍රිස්තුස් විදහාපෙන්වූ ගුණාංග අනුකරණය කිරීමෙන් ප්‍රීතියක් අද්දැකිය යුතුයි.

12, 13. වැඩිමහල්ලන් සභාවේ සිටින අයව රැකබලා ගත යුත්තේ කොහොමද?

12 ක්‍රිස්තුස් මෙන් ක්‍රියා කිරීමට ඉගෙනගැනීමේ වගකීම විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට තිබෙනවා. පේතෘස් ඔවුන්ට මෙවැනි උපදෙසක් දුන්නේ ඒ නිසයි. “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්ද, දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.” (1 පේතෘ. 5:1-3) වැඩිමහල්ලන් අනුන්ගේ මත නොඉවසන, අණසක පතුරුවන, හිතුවක්කාර හෝ රළු අය නොවිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් සභාවේ සිටින අයව ප්‍රේමණීයව, නිහතමානීව හා කාරුණිකව රැකබලා ගත යුතුයි.

13 වැඩිමහල්ලන් මතක තබාගත යුතු තවත් වැදගත් දෙයක් වන්නේ තමන් අතින්ද වැරදි සිදු වන බවයි. (රෝම 3:23) ඒ නිසා යේසුස් පෙන්වූ ප්‍රේමයත් දෙවි සහ ඔහු මිනිසුන් සමඟ ක්‍රියා කළ ආකාරයත් හොඳින් අවබෝධ කරගෙන එය අනුකරණය කිරීමට වෑයම් කිරීම අවශ්‍යයි. පේතෘස්ද මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න. මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.”—1 පේතෘ. 5:5.

14. වැඩිමහල්ලන් අන් අයට ගෞරව කළ යුත්තේ කොහොමද?

14 වැඩිමහල්ලන් දෙවිගේ සෙනඟව රැකබලා ගන්නා විට කදිම ගුණාංග විදහාපෙන්විය යුතුයි. ඒ ගැන රෝම 12:10හි මෙසේ සඳහන් වෙනවා. “ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” සහයක සේවකයන්ද එම උපදෙස පිළිපැදිය යුතුයි. සියලුම ක්‍රිස්තියානීන් මෙන් වැඩිමහල්ලන් හා සහයක සේවකයන්ද ‘කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකර නිහතමානීව අන් අය ඔවුන්ට වඩා උතුම් කියා සිතන්න අවශ්‍යයි.’ (ෆිලි. 2:3) එසේ කරන විට දෙවිගේ රැළ රැකබලා ගන්නා අය පාවුල්ගේ මෙම උපදෙස පිළිගන්න බව පැවසිය හැකියි. “සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් ඇති අප එතරම් පුළුල් අවබෝධයක් නැති අයට තම දුර්වලකම්වලින් ගොඩ ඒමට උපකාර කළ යුතුයි. එහිදී අපගේම සතුට ගැන සිතීම සුදුසු නැත. අප සියලුදෙනාගේ උත්සාහය විය යුත්තේ අපගේ අසල්වැසියාව සතුටු කිරීමයි. ඒ සඳහා ඔහුගේ යහපත ගැන සිතමින් ඔහුව ගොඩනැංවීමට කටයුතු කරමු. ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.”—රෝම 15:1-3.

‘භාර්යාවට ගෞරව කරන්න’

15. ස්වාමිපුරුෂයන් තම භාර්යාවට සැලකිය යුත්තේ කොහොමද?

15 පේතෘස් ස්වාමිපුරුෂයන්ට මෙවැනි උපදෙසක් ලබා දුන්නා. ‘ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න. ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසා ඔවුන්ට ගෞරව කරන්න.’ (1 පේතෘ. 3:7) ඔබ කෙනෙකුට ගෞරව කරනවා නම් ඔහුව උසස් කොට සලකන අතර ඔහුගේ අදහස් සහ අවශ්‍යතා ගැනද සැලකිලිමත් වෙනවා. ඒ වගේම සාධාරණ හේතුවක් නැතුව එවැනි කෙනෙකුගේ අදහස් ප්‍රතික්ෂේප කරන්නේද නැහැ. ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට සැලකිය යුත්තේද එලෙසයි.

16. භාර්යාවට ගෞරව කිරීම ගැන බයිබලයේ දී ඇති අනතුරු ඇඟවීම කුමක්ද?

16 ස්වාමිපුරුෂයන් තම භාර්යාවට ගෞරව කළ යුතුයි කියා පැවසූ පේතෘස් ඊට හේතුව මෙසේ සඳහන් කළා. “එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.” (1 පේතෘ. 3:7) නමුත් ස්වාමිපුරුෂයා භාර්යාවට ගෞරව කිරීමට අසමත් වෙනවා නම් ඔහුගේ යාච්ඤා යෙහෝවා දෙවි පිළිගන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට සලකන ආකාරය යෙහෝවා දෙවි බැරෑරුම්ව සලකන බවයි. ඒ වගේම ස්වාමිපුරුෂයා තම භාර්යාවට ගෞරව කරනවා නම් ඇය ඔහුගේ මූලිකත්වයට කැමැත්තෙන්ම යටත් වෙනවා.

17. ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට කොතෙක් දුරට ප්‍රේම කළ යුතුද?

17 තම භාර්යාවට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයන්ට බයිබලයේ මෙවැනි උපදෙසක් ලබා දෙනවා. ‘ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි. එය ක්‍රිස්තුස් සභාව වෙනුවෙන් දක්වන සැලකිල්ලට සමාන සැලකිල්ලක් විය යුතුයි. ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි.’ (එෆී. 5:28, 29, 33) ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට කොතෙක් දුරට ප්‍රේම කළ යුතුද? පාවුල් ඊට මෙසේ පිළිතුරු දෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.” (එෆී. 5:25) යේසුස් අන් අය උදෙසා තම ජීවිතය දුන්නා හා සමානව ස්වාමිපුරුෂයාද තම භාර්යාව වෙනුවෙන් ජීවිතය පවා දීමට සූදානම්ව සිටිය යුතුයි. ස්වාමිපුරුෂයෙක් මෘදු ලෙස, කාරුණික ආකාරයෙන්, සැලකිලිමත්ව හා වාසි ප්‍රයෝජන බලාපොරොත්තු නොවී තම භාර්යාව සමඟ කටයුතු කරන විට ඔහුගේ මූලිකත්වයට යටත් වෙන්න ඇයට පහසුයි.

18. විවාහ ජීවිතයේ ඇති වගකීම් ඉටු කිරීම සඳහා ස්වාමිපුරුෂයන්ට ලැබෙන උපකාරය කුමක්ද?

18 දෙවි බලාපොරොත්තු වන ආකාරයෙන් භාර්යාවට ගෞරව කිරීම ස්වාමිපුරුෂයන්ට කළ නොහැකි දෙයක්ද? නැහැ. යෙහෝවා දෙවි කිසිම විටක කෙනෙකුගෙන් කළ නොහැකි දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ වගේම විශ්වයේ ඇති ප්‍රබලතම බලය වන තම බලයේ උපකාරයද දෙවි ඔවුන්ට ලබා දෙනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!” (ලූක් 11:13) ස්වාමිපුරුෂයෙක් දෙවිගෙන් ඔහුගේ බලය ඉල්ලනවා නම් තම භාර්යාව ඇතුළු අන් සියලුදෙනා සමඟ හොඳින් කටයුතු කිරීමට හැකි වන ලෙස දෙවි ඔහුට එය ලබා දෙනවා.ක්‍රියා 5:32 කියවන්න.

19. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

19 ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වී ඔහුව අනුකරණය කිරීමට ඉගෙනගැනීමේ බරපතළ වගකීම පුරුෂයන්ට තිබෙනවා. ස්ත්‍රීන්ට, විශේෂයෙන්ම භාර්යාවන්ට දෙවිගේ සැලැස්ම තුළ ඇති වගකීම කුමක්ද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබට මතකද?

• අප අනුකරණය කළ යුත්තේ යේසුස්ගේ කුමන ගුණාංගද?

• දෙවිගේ රැළ සමඟ වැඩිමහල්ලන් කටයුතු කළ යුත්තේ කොහොමද?

• ස්වාමිපුරුෂයන් තම භාර්යාවට සැලකිය යුත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

අන් අයට ගෞරව කිරීමෙන් යේසුස්ව අනුකරණය කරන්න