Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් ගැන ලියූ බයිබල් ලේඛකයන්

යේසුස් ගැන ලියූ බයිබල් ලේඛකයන්

යේසුස් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල් කියවන්න ඔයා කැමතිද?— * බයිබලයේ තිබෙන පොත්වලින් එක පොතක්වත් යේසුස් ලිව්වේ නැහැ. සමහර අය ඒ ගැන පුදුම වෙනවා. කොහොමවුණත් බයිබල් ලේඛකයන් අටදෙනෙක් යේසුස් ගැන තොරතුරු බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. මේ අය ජීවත් වුණේ යේසුස් ජීවත් වුණ කාලයේදීමයි. ඒ අයගේ නම් ඔයා දන්නවාද?— ඒ අය තමයි මතෙව්, මාක්, ලූක්, යොහන්, පේතෘස්, යාකොබ්, යූද්, සහ පාවුල් කියන අය. ඒ අය ගැන ඔයා මොනවාද දන්නේ?—

අපි දැන් යේසුස් ගැන තොරතුරු බයිබලයට ඇතුළත් කළ යේසුස්ගේ ගෝලයන් තුන්දෙනෙක් ගැන සලකා බලමු. ඒ තුන්දෙනා කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි පේතෘස්, යොහන් සහ මතෙව්. පේතෘස් ඒ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ට ලිපි දෙකක් ලිව්වා. ඒ ලිපිවල යේසුස් ඉගැන්වූ දේවල් සහ කළ දේවල් ඔහු සඳහන් කර තිබෙනවා. ඔයාගේ බයිබලය 2 පේතෘස් 1වන පරිච්ඡේදයට පෙරළලා ඒකේ 16 සිට 18 දක්වා ඡේද 2 පේතෘ. 1:16-18 කියවන්න. ඒ පදවල යෙහෝවා දෙවි ස්වර්ගයේ ඉඳන් යේසුස්ට කතා කළ අවස්ථාවක් ගැන පේතෘස් සඳහන් කර තිබෙනවා.—මතෙව් 17:5.

යේසුස්ගේ ගෝලයෙක් වුණ යොහන් බයිබලයේ පොත් පහක් ලිව්වා. යේසුස් ගෝලයන් එක්ක අවසාන වතාවට කෑම ගත්ත අවස්ථාවේදී යොහන් යේසුස්ගේ ළඟින්ම හිටියා. ඒ වගේම යේසුස් වධකණුවක් මත මිය යනකොටත් යොහන් හිටියා. (යොහන් 13:23-26; 19:26) යේසුස්ගේ ජීවිත කතාව සඳහන් වන පොත් හතරෙන් එක පොතක් ලිව්වේ යොහන්. ඒ වගේම බයිබලයේ යොහන්ගේ නමින් තිබෙන කුඩා පොත් තුනත් යේසුස් විසින් කළ එළිදරව්ව ඇතුළත් එළිදරව් පොතත් ලිව්වේ යොහන්මයි. (එළිදරව් 1:1) යේසුස් ගැන ලිව්ව අනික් ගෝලයා මතෙව්. ඔහු බදු එකතු කරන කෙනෙක්.

යේසුස් ගැන සඳහන් කරන අනික් බයිබල් ලේඛකයන් දෙන්නා යේසුස්ව හොඳින්ම දැනගෙන සිටියා. ඇත්තටම ඒ දෙන්නා යේසුස්ගේ මල්ලිලා දෙන්නෙක්. (මතෙව් 13:55) මුලින් ඒ දෙන්නා යේසුස්ගේ අනුගාමිකයන් වුණේ නැහැ. ඒ කාලයේදී දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් මිනිසුන්ට කියලා දුන්න නිසා ඒ දෙන්නා හිතුවේ යේසුස්ට සිහිවිකල් වෙලා කියලයි. (මාක් 3:21) ඒ දෙන්නා කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි යාකොබ් සහ යූද්. යූද්ට යූදස් කියලත් කියනවා. ඒ දෙන්නම එයාලගේ නමින් බයිබල් පොත් දෙකක් ලිව්වා.—යූද් 1.

යේසුස් ගැන ලිව්ව අනික් බයිබල් ලේඛකයන් දෙන්නා තමයි මාක් සහ ලූක්. මාක්ගේ අම්මාගේ නම මරියා. මරියාට යෙරුසලමේ විශාල ගෙයක් තිබුණා. ඒ නිසා පේතෘස් සහ තවත් ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් ඒ ගෙදර රැස් වුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 12:11, 12) යේසුස්ව ගෙත්සෙමන උයනේදී අත්අඩංගුවට ගත් රාත්‍රියේදී මාක් එතන හිටියා. යේසුස්ව අල්ලාගත්තාට පස්සේ සොල්දාදුවෝ මාක්වත් ඇඳුමෙන් අල්ලාගත්තා. ඒ වෙලාවේ මාක් ඇඳුමත් දාලා එතනින් පැනලා දිව්වා.—මාක් 14:51, 52.

ලූක් හොඳ අධ්‍යාපනයක් ලැබුව කෙනෙක්. ඒ වගේම ඔහු වෛද්‍යවරයෙක්. ලූක්, යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඇත්තේ යේසුස් මැරුණට පස්සේ වෙන්න ඇති. කොහොමවුණත් ලූක් යේසුස්ගේ ජීවිතය ගැන හොඳින් හොයලා බලලා යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් එක් පොතක් ලිව්වා. කාලයකට පස්සේ පාවුල් එක්ක එකතු වෙලා ලූක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් ශුභාරංචිය දේශනා කළා. ඒ වගේම බයිබලයට අයත් ක්‍රියා පොත ලිව්වෙත් ලූක්මයි.—ලූක් 1:1-3; ක්‍රියා 1:1.

යේසුස් ගැන ලිව්ව අටවෙනි ලේඛකයා වෙන්නේ පාවුල්. ඔහු ගමාලියෙල් කියන ප්‍රසිද්ධ ගුරුවරයාගෙන් යුදෙව් නීතිය ගැන ඉගෙනගත්තා. පාවුල් පරිසිවරයෙක් වෙලා හිටිය කාලේ ඔහුව හැඳින්වූයේ සාවුල් කියලයි. ඒ කාලේදී සාවුල් ක්‍රිස්තියානීන්ට හුඟක් වෛර කළ නිසා ඒ අයව මරන්නත් හවුල් වුණා. (ක්‍රියා 7:58–8:3; 22:1-5; 26:4, 5) කොහොමවුණත් ඔහු යේසුස් ගැන සත්‍යය ඉගෙනගත්තේ කොහොමද කියලා ඔයා දන්නවාද?—

දවසක් සාවුල් යේසුස්ගේ අනුගාමිකයන්ව අත්අඩංගුවට ගන්න දමස්කයට යමින් සිටියා. ඒ වෙලාවේ එකපාරටම අහසෙන් ලොකු ආලෝකයක් ආව නිසා සාවුල්ගේ ඇස් දෙක අන්ධ වුණා. ඒත් එක්කම “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියන කටහඬකුත් සාවුල්ට ඇහුණා. සාවුල්ට එහෙම කතා කළේ යේසුස්. ඒ වෙලාවේ යේසුස් එයාට කිව්වා දමස්කයට යන්න කියලා. දමස්කයේ අනනියස් කියලා යේසුස්ගේ අනුගාමිකයෙකුත් හිටියා. යේසුස් ඔහුට කතා කරලා කිව්වා ගිහින් සාවුල්ව මුණගැහෙන්න කියලා. අන්තිමේදී සාවුල් යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. (ක්‍රියා 9:1-18) බයිබලයේ රෝම පොතේ ඉඳලා හෙබ්‍රෙව් පොත දක්වා තියෙන පොත් 14ම ලිව්වේ පාවුල්.

යේසුස් ගැන තොරතුරු ඇතුළත් බයිබලයේ තියෙන පොත් ඔයා කියවන්න පටන් අරන් තියෙනවාද? එහෙමත් නැත්නම් කවුරුහරි කෙනෙක් ඔයාට ඇහෙන්න ඒ පොත් කියවනවාද?— පොඩි කාලයේදීම යේසුස් ගැන බයිබලයේ සඳහන් තොරතුරු කියවන්න ලැබෙන එක වටිනා දෙයක්.

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.