Skip to content

පටුනට යන්න

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට පියවර හතක්

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට පියවර හතක්

බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට පියවර හතක්

“එදත් අදත් ලොව වැඩියෙන්ම අළෙවි වන පොත බයිබලයයි.”—TIME MAGAZINE.

“සමහර වෙලාවට මම බයිබලය කියවනවා. හැබැයි ඒක හරිම කම්මැළි වැඩක්.”—එංගලන්තයේ ජනප්‍රිය සංගීතඥයෙකු වන කීත්.

අද හුඟක් අය ළඟ බයිබලයක් තිබුණත් එය කියවීමේ වටිනාකම ඔවුන් තේරුම්ගෙන නැහැ. නමුත් සමහරු බයිබලය කියවීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. උදාහරණයකට නැන්සි නම් කාන්තාව පැවසූ දේ සලකා බලන්න. “මම හැමදාම උදේට බයිබලය කියවන්න පටන්ගත්තා. ඒ නිසා දවස ඇතුළත මොන ප්‍රශ්නයක් ආවත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා. මම අවුරුදු 35ක් තිස්සේ මානසික පීඩනයෙන් ගොඩ එන්න එක එක දේවල් කළා. ඒත් බයිබලය කියවන්න පටන්ගත්තට පස්සේ තමයි මට ඒකෙන් ගොඩ එන්න පුළුවන් වුණේ.”

ඔබ කිසිදාක බයිබලය කියවා නැත්නම් බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලබා තිබෙන එවැනි අද්දැකීම් ඇසීමෙන් පසු එය කියවීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද? ඔබ මේ වන විටත් බයිබලය කියවන කෙනෙක් නම් තවත් ප්‍රයෝජන ලැබිය හැකි අයුරින් එය කියවීමට ඔබ කැමතිද? ඒ සඳහා උපකාරවත් වන පියවර හතක් දැන් අපි සලකා බලමු.

පියවර 1: අරමුණක් ඇතුව කියවන්න

▪ සමහරු බයිබලය කියවන්නේ එහි සඳහන් සිත් ගන්නා තොරතුරු දැනගැනීමට තිබෙන ආශාව නිසා විය හැකියි. එසේත් නැත්නම් බයිබලය කියවීමට තමන්ට වගකීමක් තිබෙනවා කියා සිතෙන නිසා හෝ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමහරු බයිබලය කියවන්න පුළුවන්. කොහොමවුණත් ඔබට බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ දෙවි පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් සහ බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද කියා දැනගැනීමේ අරමුණින් එය කියෙව්වොත් පමණයි.

අරමුණක් ඇතුව බයිබලය කියවීම කොතරම් වැදගත්ද කියා පැහැදිලි කර දීමට එහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙනවා. “කෙනෙක් දෙවිගේ වදන් අසන්නෙකු මිස එය පිළිපදින්නෙකු නොවේ නම් ඔහුව සමාන කළ හැක්කේ කාටද? ඔහුව කැඩපතකින් තමාගේ මුහුණ දෙස බලන මිනිසෙකුට සමාන කළ හැක. මන්ද ඒ මිනිසා තමන් දෙස බැලුවත් ඔහු එතැනින් අහක්ව ගිය පසු තමන්ගේ පෙනුම මොන වගේද කියා ඉක්මනින්ම අමතක කර දමයි. නමුත් කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි. ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි.”—යාකොබ් 1:23-25.

ඉහත සඳහන් කළ මිනිසා කැඩපතකින් ඔහුගේ මුහුණ දෙස බැලුවත් අවශ්‍ය වෙනස්කම් කරගත්තේ නැහැ. සමහරවිට ඔහු ඊට හොඳ අවධානයක් නොදෙන්න ඇති. එසේත් නැත්නම් ඔහුගේ පෙනුමේ යම් වෙනස්කමක් කරගන්න අවශ්‍යයි කියා ඔහුට සිතෙන්න නැතුව ඇති. ඒ මිනිසා කැඩපතින් මුහුණ බැලූ ආකාරයටම අපිත් බයිබලය උඩින් පල්ලෙන් කියවනවා නම් හෝ එහි ඇති මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්නේ නැත්නම් අපටත් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. නමුත් අපි බයිබලය හොඳින් සෝදිසි කර බලා එහි සඳහන් දෙවිගේ මඟ පෙන්වීම් ‘පිළිපදිනවා’ නම් අපට සැබෑ සන්තෝෂය අද්දැකිය හැකියි.

පියවර 2: නිවැරදි මෙන්ම පැහැදිලි පරිවර්තනයක් තෝරාගන්න

▪ සිංහල භාෂාවෙන් බයිබල් පරිවර්තන කිහිපයක්ම තිබෙනවා. ඒ සෑම පරිවර්තනයකින්ම ඔබට ප්‍රයෝජන ලැබිය හැකියි. කොහොමවුණත් ඇතැම් පරිවර්තන සඳහා ඉතා පැරණි හෝ තේරුම්ගැනීමට අපහසු භාෂා ශෛලියක් භාවිත කර තිබෙන්න පුළුවන්. (ක්‍රියා 4:13) එමෙන්ම සමහර පරිවර්තනවල වැරදි ඉගැන්වීම් ඇතුළත් කර තිබෙන නිසා බයිබලයේ සඳහන් සත්‍යය අවබෝධ කරගැනීමට මිනිසුන් අපොහොසත් වී තිබෙනවා. උදාහරණයකට ඇතැම් පරිවර්තනවල දෙවිගේ නාමය වෙනුවට “දෙවියන්වහන්සේ” හෝ “ස්වාමීන්වහන්සේ” යන්න යොදා තිබෙනවා. ඒ නිසා ඔබ බයිබලයක් තෝරාගන්නා විට පැහැදිලි මෙන්ම නිවැරදි පරිවර්තනයක් තෝරාගන්න.

ලොව පුරා සිටින මිලියන ගණන් මිනිසුන් නව ලොව පරිවර්තනය පැහැදිලි මෙන්ම නිවැරදි බයිබල් පරිවර්තනයක් ලෙස පිළිගෙන තිබෙනවා. * ඒ සම්බන්ධයෙන් බල්ගේරියාවේ වෙසෙන මහලු පුද්ගලයෙකුගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීමකට සහභාගි වුණා. එදින ඔහුට බයිබලයේ නව ලොව පරිවර්තනයේ පිටපතක් ලැබුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මම අවුරුදු ගාණක් තිස්සේ බයිබලය කියවලා තියෙනවා. ඒත් මේ තරම් හිතට කාවදින, පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් බයිබලයක් මම කියවලා නැහැ.”

පියවර 3: යාච්ඤාවෙන් උපකාර පතන්න

▪ “ඔබේ නීතියේ ඇතුළත් වටිනා කාරණා දෙස බැලීමට හැකි වන පිණිස මාගේ දෙනෙත් විවර කරන්න” කියා ගීතිකාකරුවෙක් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. (ගීතාවලිය 119:18) ඒ හා සමානව බයිබලයේ සඳහන් තොරතුරු තේරුම්ගැනීමට උපකාර කරන්න කියා ඔබත් දෙවිට යාච්ඤා කළොත් ඔබට ඉන් මහඟු ප්‍රතිඵල ලැබිය හැකියි. අපට බයිබලය නොතිබුණා නම් දෙවි ගැන සත්‍ය තොරතුරු දැනගැනීමට අපට හැකි වන්නේ නැහැ. ඒ නිසා බයිබලය අපට ලබා දීම ගැන දෙවිට ස්තුති කිරීමට අමතක කරන්න එපා.—ගීතාවලිය 119:62.

දෙවිගෙන් උපකාර පතා කරන යාච්ඤාවලට දෙවි සවන් දෙනවාද? ඒ සම්බන්ධයෙන් උරුගුවේවල වෙසෙන යෞවනියන් දෙදෙනෙකුගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඔවුන් දෙදෙනා බයිබලයේ දානියෙල් 2:44හි සඳහන් දේ කියවා ඉන් අදහස් වන්නේ කුමක්ද කියා කල්පනා කරමින් සිටියා. එය තේරුම්ගැනීමට උපකාර කරන්න කියා ඔවුන් දෙවිට යාච්ඤා කළා. ඒ මොහොතේදීම ගෙයින් ගෙට දේශනා සේවයේ යමින් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණ දානියෙල් 2:44 කියවා එහි අදහස ඔවුන්ට පැහැදිලි කළා. ඒ බයිබල් පදයට අනුව දෙවිගේ රාජ්‍යය ළඟදීම පොළොවේ පවතින සියලුම ආණ්ඩු නැති කර දමනවා කියා ඔවුන් පැවසුවා. * එසේ දෙවි තමන්ගේ යාච්ඤාවට පිළිතුරු දුන් බව එම යෞවනියන් දෙදෙනා අද්දැක්කා.

පියවර 4: දිනපතා කියවන්න

▪ වර්ෂ 2001 සැප්තැම්බර් 11වෙනිදා එක්සත් ජනපදය මුහුණ දුන් දරුණු ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් පසුව එම රටේ “බොහෝදෙනෙක් බයිබල් මිලදී ගත්තා” කියා එක් පොත් ප්‍රකාශකයෙක් පැවසුවා. ඉන් පැහැදිලි වෙන්නේ යම් දුෂ්කරතාවලට මුහුණ දෙන විට පමණක් බොහෝ අය බයිබලය කියවීමට පෙලඹෙන බවයි. නමුත් බයිබලය සෑම දිනකම කියවන්න කියා බයිබලයේම අපව මෙසේ දිරිගන්වා තිබෙනවා. “මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න. එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.”—යොෂුවා 1:8.

බයිබලය දිනපතා කියවීම කොතරම් වැදගත්ද කියා තේරුම්ගැනීමට මෙම නිදර්ශනය සලකා බලන්න. හෘදයාබාධයකින් පෙළෙන මිනිසෙක් තමා පෝෂ්‍යදායි ආහාර ගත යුතුයි කියා තීරණය කරනවා. නමුත් ඔහු එම ආහාර ගන්නේ ඔහුට පපුවේ කැක්කුමක් ඇති වන අවස්ථාවලදී පමණයි නම් ඔහුට ඉන් ප්‍රයෝජන ලැබෙයිද? නැහැ. ඔහු දිනපතාම පෝෂ්‍යදායි ආහාර ගත යුතුයි. ඒ හා සමානව අපේ “ජීවිතය සාර්ථක කරගැනීමට” නම් අපිත් දිනපතාම බයිබලය කියවිය යුතුයි.

පියවර 5: විවිධ ක්‍රම අත්හදා බලන්න

▪ බයිබලය මුල සිට අග දක්වා කියවීමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් බයිබලය කියවීමට තවත් ක්‍රම අත්හදා බලන්න ඔබට හැකියි. ඒ සඳහා යෝජනා කිහිපයක් පහත දැක්වෙනවා.

බයිබල් චරිතයක් ගැන කියවන්න. ඔබ කැමති බයිබල් චරිතයක් තෝරාගෙන ඔහු හෝ ඇය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් තොරතුරු කියවන්න. එවැනි චරිත කිහිපයක් සහ ඔවුන් ගැන විස්තර සඳහන් බයිබල් පරිච්ඡේද පහත දැක්වෙනවා.

යෝසෙප්: උත්පත්ති 37-50.

රූත්: රූත් 1-3.

යේසුස්: මතෙව් 1-28; මාක් 1-16; ලූක් 1-24; යොහන් 1-21. *

යම් විෂයක් තෝරාගන්න. ඔබ තෝරාගත් විෂයට අදාළ බයිබල් පරිච්ඡේද කියවන්න. උදාහරණයකට ඔබ තෝරාගත් විෂය යාච්ඤාව නම් ඒ ගැන බයිබලයේ සඳහන් තොරතුරු කියවන්න. එමෙන්ම බයිබලයේ සඳහන් වෙනත් අය කළ යච්ඤා ගැනත් සලකා බලන්න. *

ශබ්ද නඟා කියවන්න. බයිබලය ශබ්ද නඟා කියවීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. (එළිදරව් 1:3) පවුලක් වශයෙන් බයිබලය කියවන විට එක් එක් චරිත හෝ පරිච්ඡේද කියවීමට පවුලේ සාමාජිකයන්ට පැවරිය හැකියි. සමහර අය පටිගත කළ බයිබල් කියවීමට සවන් දීමෙන් ප්‍රයෝජන ලබා තිබෙනවා. ඒ ගැන එක් කාන්තාවක් මෙසේ පැවසුවා. “බයිබලය කියවන්න පටන්ගන්න එක මට ලෙහෙසි වුණේ නැහැ. ඒ නිසා මම පටිගත කළ බයිබල් කියවීමට සවන් දෙන්න පටන්ගත්තා. බයිබලයේ තියෙන්නේ මොන තරම් වටිනා තොරතුරුද කියලා දැන් මට තේරෙනවා.”

පියවර 6: කියවන දේ ගැන ගැඹුරින් කල්පනා කරන්න

▪ අද පවතින කාර්යබහුල සමාජය තුළ යම් දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බැලීම එතරම් පහසු දෙයක් නොවෙයි. කොහොමවුණත් බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් එය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. අපි ගන්නා ආහාර ජීරණය වී එයින් ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබීමට නම් අපි ඒ ආහාර හොඳින් හැපිය යුතු සේම බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් අපි කියවන දේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. ඒ සඳහා අපිට මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කළ හැකියි. ‘මා කියවූ බයිබල් කොටසින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? ඒ තොරතුරු මට අදාළ වෙන්නේ කොහොමද? අනික් අයට උපකාර කිරීම සඳහා මට ඒ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද?’

අපි බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් ඒ තොරතුරු අපේ සිතට තදින් කාවදින අතර බයිබලය කියවීමට ඇති ආශාවත් වැඩි වෙනවා. දිනපතා බයිබලය කියවා ඒ තොරතුරු ගැන කල්පනා කිරීමෙන් ප්‍රීතිය අද්දුටු ගීතිකාකරුවෙක් මෙසේ පැවසුවා. “ඔබේ [එනම් දෙවිගේ] නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.” (ගීතාවලිය 119:97) එසේ කිරීමෙන් තමන් ඉගෙනගත් දේවල් ගැන ඔහු තුළ විශාල අගයක් ඇති වුණා.

පියවර 7: උපකාර පතන්න

▪ බයිබලයේ සඳහන් සෑම තොරතුරක්ම අපි තනිවම වටහාගත යුතුයි කියා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් ඇතැම් තොරතුරු “තේරුම්ගැනීමට අමාරු” බව බයිබලයේම සඳහන් වෙනවා. (2 පේතෘස් 3:16) එක අවස්ථාවකදී බයිබලය කියවමින් සිටි ඉතියෝපියානු නිලධාරියෙකුට ඔහු කියවමින් සිටි කොටස තේරුම්ගන්න හැකි වුණේ නැහැ. ඒ අවස්ථාවේදී දෙවි ඔහුට එය තේරුම් කර දීම සඳහා තම සේවකයෙකුව ඔහු වෙතට යවනු ලැබුවා. ඒ ගැන එම නිලධාරියා මහත් සේ ප්‍රීති වූ බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 8:26-39.

බයිබලයේ සඳහන් දේවල් ඔබට තේරුම් කර දිය හැකි කෙනෙකුගේ උපකාර පැතීමෙන් ඔබටත් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. ඒ නිසා බයිබල් පාඩමක් ඇරඹීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ව හමු වීමට හෝ මෙම සඟරාවේ හතරවන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලිවීමට ඔබට හැකියි.

[පාදසටහන්වල]

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ නව ලොව පරිවර්තනය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 83කින්ද පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ භාෂා 17කින්ද ලබාගත හැකියි. www.watchtower.org.

^ 15 ඡේ. දෙවිගේ රාජ්‍යය ගැනත් එමගින් කිරීමට නියමිත දේවල් ගැනත් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වන පරිච්ඡේදය බලන්න.

^ 24 ඡේ. ඔබ මුල් වතාවට බයිබලය කියවන කෙනෙක් නම් යේසුස්ගේ දේවසේවය ගැන කෙටි වාර්තාවක් සපයන මාක් පොතෙන් ඔබට ආරම්භ කළ හැකියි.

^ 25 ඡේ. විවිධ විෂයන් ගැන බයිබලයේ සඳහන් තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බොහෝ අයට ප්‍රයෝජනවත් වී තිබෙනවා. උදාහරණයකට එම පොතේ 17වන පරිච්ඡේදයේ යාච්ඤාව සම්බන්ධයෙන් බයිබලයේ ඇති තොරතුරු බොහොමයක් සඳහන් වෙනවා.