Skip to content

පටුනට යන්න

විනාශය ගැන තිබූ බිය නැති කරගත් යුවළක්

විනාශය ගැන තිබූ බිය නැති කරගත් යුවළක්

විනාශය ගැන තිබූ බිය නැති කරගත් යුවළක්

ගැරී සහ කැරන් 1970ගණන්වල සිතුවේ ලෝක විනාශය ළඟදීම සිදු වෙයි කියායි. ඒ නිසා ඔවුන් පිටිසර පළාතකට ගොස් පදිංචි වුණා. ඔවුන් එසේ කළේ මිනිසුන් මත රඳා සිටිනවා වෙනුවට තනිවම තම අවශ්‍යතා සපුරාගත හැකි ආකාරය ගැන ඉගෙනගැනීමටයි.

ඒ නිසා යම් දේවල් කරන ආකාරය ගැන ඉගෙනගැනීමට ඔවුන් පොත්පත් මිල දී ගත්තා. එමෙන්ම ඔවුන් ඒ සම්බන්ධ විවිධ පාඨමාලා හැදෑරූ අතර යම් අයගෙන් උපදෙස්ද ලබාගත්තා. ඔවුන් නොයෙක් බීජ වර්ග සහ අවශ්‍ය කරන ආයුධත් නිවසේ ගබඩා කළා. ඊට අමතරව ඔවුන් පළතුරු ගස් 50ක් මිදුලේ පැළ කළ අතර වගා කටයුතු කරන ආකාරය සහ ආහාර කල් තබාගත හැකි ආකාරය ගැනත් ඉගෙනගත්තා. ආහාර හිඟ වුණොත් කෑමට ගත හැකි පැළ සහ අල වර්ග මොනවාද කියා කැරන් ඉගෙනගෙන සිටියා. එමෙන්ම බඩඉරිඟුවලින් ඉන්ධන සාදාගන්නත් ලෝහ උදුනක් සාදාගන්නා ආකාරය සහ ජීවත් වීමට අවශ්‍ය සියලුදෙයින් සපිරි සරල නිවසක් සාදාගන්නත් ගැරී දැන සිටියා.

කැරන් මෙසේ පැවසුවා. “ඒ දවස්වල ලෝකයේ හුඟක් දරුණු දේවල් සිද්ධ වුණ නිසා මිනිස් සංහතිය විනාශ වෙලා යයි කියලා මට හිතුණා.” එමෙන්ම ගැරීද මෙසේ පැවසුවා. “මම අනික් තරුණයන් එක්ක එකතු වෙලා ජාතිවාදී ප්‍රශ්න, වියට්නාමයේ පැවති යුද්ධය සහ භීෂණයට එරෙහිව නැඟී සිටියා. ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක වුණේ නැති නිසා මම කලකිරුණා. මට හිතුණේ මිනිසුන්ම එකිනෙකාව විනාශ කරගනියි කියලයි.”

අතීතය මතකයට නඟමින් ගැරී මෙසේ පැවසුවා. “දවසක් රෑ වෙලාවක මම විවේකයෙන් හිටිය නිසා බයිබලය කියවන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම මතෙව් පොතේ ඉඳලා එළිදරව් පොත දක්වා කියෙව්වා. ඊළඟ දවස් හතරෙත් මම ඒකම කළා. පහුවෙනිදා උදෙන්ම මම කැරන්ට මෙහෙම කිව්වා. ‘අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල. ළඟදීම දෙවි දුෂ්ටයන්ව විනාශ කරනවා. ඒ නිසා විනාශයෙන් බේරෙන අයව අපි කොහොමහරි හොයාගන්න ඕනෙ.’” ඉන්පසුව ගැරී සහ කැරන් හැම ආගමකටම ගිහින් විනාශයෙන් බේරෙන්න උත්සාහ කරන අයව සොයන්න පටන්ගත්තා.

වැඩි කාලයක් යන්න කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඔවුන්ගේ නිවසට ආවා. ගැරී සහ කැරන් ඔහු සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ ගැන කැරන් මෙසේ පැවසුවා. “බයිබලයේ තියෙන දේවල් අපිට තේරුම්කරලා දෙනකොට මට ලොකු සතුටක් ඇති වුණා. මම ඉස්සර ඉඳලා ලෝක විනාශය ගැන හිතුවා. ඒත් ඒ ගැන සත්‍ය තොරතුරු මට දැනගන්න ලැබුණේ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සෙයි. අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන් කියලා මට තේරුණා. වැදගත්ම දේ තමයි විශ්වය නිර්මාණය කළ දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ලැබීම.”

ගැරීද ඒ ගැන මෙසේ පැවසුවා. “බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ මගේ ජීවිතයට ලොකු අරමුණක් එකතු වුණා. ඒ නිසා මම බයිබලය අධ්‍යයනය කළේ ලොකු ආශාවකින්. බයිබලයේ තිබෙන අනාවැකි අපේ කාලයේ ඉටු වෙන විදිහ ගැන මම හොයලා බැලුවා. ඒකෙන් මට තේරුණා දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස වැඩි ඈතක නෙවෙයි කියලා. දෙවි අනාගතයේදී සියලුදෙනාටම දෙන සදාකාල ජීවනය ලබාගන්න මිනිසුන් සූදානම් වෙන්න ඕනේ කියලා මට දැන් තේරෙනවා.”

ගැරී සහ කැරන් බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගෙන මේ වන විට වසර 25කට වඩා වැඩි කාලයක් ගෙවී තිබෙනවා. දැන් ඔවුන් දෙදෙනා කරමින් සිටින්නේ කුමක්ද? කැරන් ඒ ගැන මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් ඔහුට වඩ වඩා ළං වෙන්න මම උත්සාහ කරනවා. ඒ වගේම ඒ දේ කරන්න මම අනික් අයටත් උදව් කරනවා. මායි ගැරීයි පවුලක් විදිහට යෙහෝවා දෙවිගේ නමස්කාරයට මුල් තැන දීලා සහයෝගයෙන් වැඩ කරනවා. අපි හොඳ සැලැස්මකට අනුව වැඩ කරන්නත් සරල ජීවිතයක් ගත කරන්නත් කැමතියි. මොකද එහෙම කළොත් අනික් අයට උපකාර කරන්න පුළුවන් වෙනවා.”

ගැරීද මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ඉතා ඉක්මනින්ම මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලුවලට නිමාවක් ගෙනෙන්න ඕනේ කියලා මම දිනපතා යාච්ඤා කරනවා. ඒ වගේම දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න මිනිසුන් ළඟට ගියාම බයිබලයේ තියෙන සහනය ගෙන දෙන පොරොන්දු පෙන්නලා අඩුම තරමේ එක්කෙනෙකු තුළ හරි බලාපොරොත්තුවක් ඇති කරන්න මට පුළුවන් වෙන්න ඕනේ කියලත් මම යාච්ඤා කරනවා. ගෙවී ගිය වසර 25 තුළ යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට පිළිතුරු දීලා තියෙනවා. යෙහෝවා දෙවි ළඟදීම පොළොවේ තත්වය හොඳ අතට ගෙනෙනවා කියලා මටයි කැරන්ටයි හොඳටම විශ්වාසයි. ඒ නිසා අපි අනාගතය ගැන භය වෙන්නේ නැහැ.”—මතෙව් 6:9, 10; 2 පේතෘස් 3:11, 12.

[9වන පිටුවේ පින්තූරය]

ගැරී සහ කැරන් බයිබලයේ සඳහන් පොරොන්දු ගැන අන් අයට කියා දීමෙන් විශාල සතුටක් ලබනවා