Skip to content

පටුනට යන්න

උපකාරය පතා හඬ නඟන අයට පිහිට වන්නේ කවුද?

උපකාරය පතා හඬ නඟන අයට පිහිට වන්නේ කවුද?

උපකාරය පතා හඬ නඟන අයට පිහිට වන්නේ කවුද?

‘දෙවියනි, ඔබේ නියෝග ගැන රජුට උගන්වන්න. මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය.’—ගීතා. 72:1, 12.

1. දාවිත්ගේ සිද්ධියෙන් දෙවි දයාව පෙන්වන ආකාරය ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

දාවිත් රජ ලියූ බවට සිතිය හැකි ඉහත සඳහන් වචන අපට මොන තරම් සහනයක්ද! එම වචන ලිවීමට වසර කිහිපයකට පෙර දාවිත් බැත්ෂෙබා සමඟ අනාචාරයේ යෙදී තිබුණා. ඒ නිසා බොහෝ සිත්තැවුලෙන් සිටි දාවිත් යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළා. ‘ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න. මා කළ පාපය නිතරම මා ඉදිරියේ තිබේ. මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි. ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.’ (ගීතා. 51:1-5) යෙහෝවා දෙවි අපගේ පව්කාර තත්වය තේරුම්ගෙන අපට දයාව පෙන්වන බව ඉන් පැහැදිලියි.

2. හැත්තෑදෙවන ගීතිකාවෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

2 යෙහෝවා දෙවිට අපගේ දුක දැනෙනවා. ඒ නිසා ඔහු තම අභිෂේක ලත් රජ මාර්ගයෙන් අපට සහනය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.’ (ගීතා. 72:12, 13) එම උපකාරය ලැබෙන ආකාරය ගැන 72වන ගීතිකාවේ සඳහන් වී තිබෙනවා. දාවිත් රජ තම පුත් සලමොන්ගේ පාලන කාලයේදී මිනිසුන් අද්දකින සහනය ගැන එම ගීතිකාවේ සඳහන් කළා. එය සලකා බැලීමෙන් යේසුස් පොළොව පාලනය කරන විට මිනිසුන් මොන තරම් සහනයක් ලබනවාද කියා අපට අවබෝධ කරගත හැකියි.

සලමොන්ගේ පාලන කාලය

3. සලමොන් රජ දෙවිගෙන් ඉල්ලුවේ කුමක්ද? දෙවි ඔහුට ආශීර්වාද කළේ කොහොමද?

3 සලමොන් රජ බවට පත්වීමට පෙර දාවිත් ඔහුට විශේෂ උපදෙස් ලබා දුන්නා. සලමොන්ද එම උපදෙස්වලට අනුවම ක්‍රියා කළා. (1 රාජා. 1:32-35; 2:1-3) පසුව යෙහෝවා දෙවි සිහිනයක් මාර්ගයෙන් සලමොන් රජගෙන් මෙසේ ඇසුවා. “ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් එය මගෙන් ඉල්ලන්න.” එවිට සලමොන් රජ “ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත් හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න” කියා දෙවිගෙන් ඉල්ලා සිටියා. සලමොන් රජගේ අවංක ඉල්ලීම ගැන දෙවි සතුටු වී ඔහු ඉල්ලූ දේවල් පමණක් නොව ඊටත් වඩා දේවල් දෙවි ඔහුට ලබා දුන්නා.—1 රාජා. 3:5, 9-13.

4. තවත් පාලකයෙක් සලමොන්ගේ පාලනය ගැන පැවසුවේ කුමක්ද?

4 යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිසා පොළොව මත මෙතෙක් තිබූ සියලුම පාලන ක්‍රමවලට වඩා සලමොන්ගේ පාලන කාලයේදී ජනයා සාමය හා සමෘද්ධිය භුක්ති වින්දා. (1 රාජා. 4:25) සලමොන්ගේ සාර්ථක පාලනය දැක බලා ගැනීමට ෂෙබාහි රැජිණද පැමිණියා. ඇය සලමොන්ට මෙසේ පැවසුවා. ‘ඔබ කළ දේවල් ගැනත් ඔබේ ප්‍රඥාව ගැනත් මගේ රටේදී මට ආරංචි වූ හැම දෙයක්ම ඇත්ත. ඔබේ ප්‍රඥාවත් ඔබේ වස්තු සම්භාරයත් මොන තරම්ද! ඇත්තටම ඒවා ගැන මට දැනගන්න ලැබුණේ අල්පයක් විතරයි!’ (1 රාජා. 10:1, 6, 7) සලමොන්ට වඩා විශිෂ්ට ප්‍රඥාවක් යේසුස්ට තිබුණු බව ඔහු කටයුතු කළ ආකාරයෙන් ඔප්පු වුණා. ඔහු මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.”—මතෙ. 12:42.

උතුම් සලමොන්ගේ පාලනය

5. හැත්තෑදෙවන ගීතිකාවේ සඳහන් වී ඇත්තේ කුමක්ද? ඉන් අපට අවබෝධ කරගත හැක්කේ කුමක්ද?

5 උතුම් සලමොන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලන කාලයේදී ලැබෙන ආශීර්වාද ගැන අවබෝධ කරගැනීමට අපි 72වන ගීතිකාවේ ඇති තොරතුරු සලකා බලමු. (ගීතාවලිය 72:1-4 කියවන්න.) “සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස් පොළොව පාලනය කරන විට යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය එම ගීතිකාවේ සඳහන් වෙනවා. (යෙසා. 9:6, 7) එදාට දෙවිගේ මඟ පෙන්වීම් යටතේ උතුම් සලමොන් ‘පීඩාවට ලක් වූ ජනයාට යුක්තිය ඉටු කර දුගී දුප්පත් අයව බේරාගන්නවා.’ ඔහුගේ පාලන කාලයේදී සාමය හා ධර්මිෂ්ඨකම දසත පැතිරී තිබෙනවා. යේසුස් පොළොව මත සිටියදී සිදු කළ දේවලින් ඔහු දහස් අවුරුදු පාලන කාලයේදී සිදු කිරීමට යන දේවල් ගැන අවබෝධයක් ලබාගැනීමට අපට හැකියි.—එළි. 20:4.

6. තම පාලනය යටතේ සිදු කරන දේවල් යේසුස් කලින්ම පෙන්නුවේ කොහොමද?

6 හැත්තෑදෙවන ගීතිකාවේ සඳහන් වී ඇති දේ යේසුස් අනාගතයේදී ඉටු කිරීමට නියමිතයි. ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ඔහු පොළොවේ සිටි කාලයේදී සිදු කළ සමහර දේවල් ගැන අපි සලකා බලමු. ඔහු දුක් විඳින ජනයා කෙරෙහි අනුකම්පාව දැක්වුවා. (මතෙ. 9:35, 36; 15:29-31) උදාහරණයකට, ලාදුරු රෝගයෙන් පීඩා විඳි එක් පුද්ගලයෙක් යේසුස් ළඟට පැමිණ මෙසේ ආයාචනා කළා. “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න.” එවිට යේසුස්, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසුවා. ඒ අවස්ථාවේදීම ඔහු සුව වුණා. (මාක් 1:40-42) තවත් අවස්ථාවක තම එකම පුත්‍රයාගේ දේහය භූමදාන කිරීමට රැගෙන යන වැන්දඹුවක්ව යේසුස්ට මුණගැසුණා. ඇය කෙරෙහි ‘මහත් අනුකම්පාවකින්’ පෙලඹුණු ඔහු මිය ගිය ඇගේ පුත්‍රයාට, “නැඟිටින්න” කියා පැවසුවා. එවෙලේම ඔහු නැඟිට කතා කිරීමට පටන්ගත්තා.—ලූක් 7:11-15.

7, 8. සුව කිරීමට යේසුස්ට බලය තිබෙන බව පැවසීමට තිබෙන උදාහරණ මොනවාද?

7 යේසුස්ට ආශ්චර්යවත් දේවල් කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවි ලබා දුන් බලය නිසයි. ‘අවුරුදු දොළහක් පුරා ලේ ගැලීමක් නිසා රෝගී වූ ස්ත්‍රියක්ව’ සුව කිරීම සම්බන්ධ සිද්ධියෙන් එය පැහැදිලි වෙනවා. ඇය තමා සතු සෑම දෙයක්ම වියදම් කර බොහෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණත් ඇගේ රෝගය සුව වුණේ නැහැ. ඒ වෙනුවට එය තවත් දරුණු අතට හැරුණා. යේසුස් සමූහයා අතර සිටි අවස්ථාවක ඇය ඔහු ළඟට ගොස් ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවා. එය මෝසෙස්ගේ නීතිය කඩ කිරීමක්. (ලෙවී. 15:19, 25) ඒ අවස්ථාවේදී තමන්ගෙන් ශක්තිය පිට වූ බව තේරුම්ගත් යේසුස් වස්ත්‍රය ඇල්ලුවේ කවුද කියා ඇසුවා. එවිට ඇය “භයින් වෙවුලමින් ඔහු ළඟට ඇවිත් දණින් වැටී, කිසිවක් නොසඟවා ඇත්ත” පැවසුවා. යෙහෝවා දෙවි ඇයව සුව කර ඇති බව තේරුම්ගත් යේසුස් “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා” කියා ඉතා කාරුණිකව පැවසුවා.—මාක් 5:25-27, 30, 33, 34.

8 යේසුස් කන්ද උඩ දේශනාව ඉදිරිපත් කිරීමට පෙර මෙන්ම වෙනත් අවස්ථාවලදීද බොහෝදෙනෙකුව සුව කරනවා දුටු සෙනඟ ඒ ගැන පුදුම වුණා පමණක් නොව එය ඔවුන්ට විශාල බලපෑමක්ද ඇති කළා. (ලූක් 6:17-19) යොහන් බව්තීස්තටද යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියා විශාල බලපෑමක් වූ බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. යේසුස් ගැලවුම්කරුද කියා ස්ථිරවම දැනගැනීමට යොහන් පණිවිඩකරුවන් දෙදෙනෙකුව යැව්වා. යේසුස් ‘බොහෝදෙනෙකුගේ අසනීප සහ බරපතළ රෝග සුව කරනවාත් භූතයන් දුරු කරනවාත් අන්ධ මිනිසුන් බොහෝදෙනෙකුට කරුණාව දක්වමින් ඔවුන්ට පෙනීම ලබා දෙනවාත්’ ඔවුන් දුටුවා. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “යොහන් ළඟට ගොස් ඔබ ඇසූ දුටු දේ ඔහුට කියන්න. අන්ධයන් පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට ශුභාරංචිය ගැන කියා දෙන බවත් කියන්න.” (ලූක් 7:19-22) එය ඇසූ යොහන් ඉන් මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද!

9. යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියාවලින් අපට අවබෝධ කරගන්න පුළුවන් මොනවාද?

9 යේසුස් පොළොව මත සිටින විට සුව කළ අය හා නැවත නැඟිටෙවූ අය මිය ගියා. නමුත් ඔහු රජ ලෙස පොළොව පාලනය කරන කාලයේදී ජනයාට ලබා දෙන සදාකාලික ආශීර්වාද ගැන ඔහු කළ ආශ්චර්යවත් දේවලින් අපට අවබෝධයක් ලබාගත හැකියි.

මුළු පොළොවම පාරාදීසයක් වන කාලය

10, 11. (අ) දේවරාජ්‍යයයෙන් ලැබෙන ආශීර්වාද කොතරම් කාලයක් පවතිනවාද? යේසුස්ගේ පාලනය කුමනාකාර එකක් වෙයිද? (ආ) යේසුස් සමඟ පාරාදීසයේ සිටින්නේ කවුද? ඔහු සදාකාලයට ජීවත් වීමට නම් කුමක් කළ යුතුද?

10 පාරාදීස පොළොවේ ජීවිතය මොන තරම් මවිතකර එකක් වෙයිද කියා සිතා බලන්න. (ගීතාවලිය 72:5-9 කියවන්න.) සැබෑ දෙවිට නමස්කාර කරන අයට ඉර සඳ පවතින තුරු එනම්, සදාකාලයටම පාරාදීස පොළොවේ ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. දේවරාජ්‍යයයේ රජ වන යේසුස් ජනයාට ලබා දෙන සහනය “කැපූ තණ පිටියක් මතට ඇද හැළෙන වර්ෂාව මෙනි. පොළොව තෙත් කරන වැසි මෙනි” කියා 72වන ගීතිකාවේ විස්තර කරනවා.

11 එම ගීතිකාවේ සඳහන් දේ ඉටු වන ආකාරය ගැන කල්පනා කරන විට පාරාදීස පොළොවේ සදාකාල ජීවත් වීමට වූ ඔබගේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වන්නේ නැද්ද? වධකණුවක ඇණ ගැසූ අපරාධකරුට ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා යේසුස් පැවසූ විට ඔහුට ඒ ගැන ඉමහත් සතුටක් දැනෙන්න ඇති. (ලූක් 23:43) දහස් අවුරුදු පාලනයේදී යේසුස් එම පුද්ගලයාව නැවත නැඟිටුවනවා. ඔහු යේසුස්ගේ පාලනය පිළිගෙන ඊට යටත් වෙනවා නම් පරිපූර්ණ සෞඛ්‍යයක් ඇතුව සන්තෝෂයෙන් සදාකාලයටම පාරාදීස පොළොවේ ජීවත් වීමට ඔහුට හැකියි.

12. නැවත නැඟිටුවනු ලබන අධර්මිෂ්ඨ අයට ලැබෙන අවස්ථාව කුමක්ද?

12 උතුම් සලමොන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලන කාලයේදී “ධර්මිෂ්ඨයා සාර්ථක” වෙනවා. (ගීතා. 72:7) යේසුස් පොළොව මත සිටි කාලයේදී මෙන් ඔහුගේ පාලන කාලයේදීද ඔහු සියලුදෙනාටම ප්‍රේමයෙන් හා මෘදු මොළොක් ආකාරයෙන් සලකනවා. ඒ කාලයේදී ඔහු ‘අධර්මිෂ්ඨ අයව’ පවා නැවත නැඟිටුවනු ලබන අතර දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ඉගෙනගෙන ඊට එකඟව ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. (ක්‍රියා 24:15) නමුත් දෙවිට අකීකරු වන අයට අත් වන්නේ විනාශයයි. එවිට පාරාදීස පොළොවේ සාමයට කිසිම බාධාවක් ඇති වන්නේ නැහැ.

13. දේවරාජ්‍යයයේ පාලනය කොතෙක් දුරට ව්‍යාප්ත වෙනවාද? එහි සාමයට කිසිම බාධාවක් නොවන්නේ ඇයි?

13 උතුම් සලමොන්ගේ පාලනය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වන බව මේ වචනවලින් පැහැදිලියි. “මුහුදෙන් මුහුදටද මහ ගංගාවේ [යුප්‍රටීස්] සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය. කාන්තාරවල වැසියෝ ඔහු ඉදිරියේ වැඳ වැටෙන්නෝය. ඔහුගේ සතුරෝද දූවිලි කන්නෝය.” (ගීතා. 72:8, 9; සෙක. 9:9, 10) යේසුස්ගේ පාලනය හා ඉන් ලැබෙන ආශීර්වාද අගය කරන අය කැමැත්තෙන්ම ඔහුට කීකරු වෙනවා. අනෙක් අතට කෙනෙක් “අවුරුදු සියයක් ජීවත්” වුණත් ඔහු පසුතැවිලි වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මිය යනවා. (යෙසා. 65:20) හැත්තෑදෙවන ගීතිකාවේ ඔහුගේ සතුරෝ “දූවිලි කන්නෝය” කියා සඳහන් වීමෙන් අදහස් වන්නේ එයයි.

අපට අනුකම්පා කරන යේසුස්

14, 15. යේසුස්ට අපගේ දුක දැනෙන බවත් ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නා’ බවත් අප දන්නේ කොහොමද?

14 පව්කාරකම උරුම වී තිබෙන සියලුදෙනාම සිටින්නේ ඉතාමත් අසරණ තත්වයකයි. නමුත් අපට බලාපොරොත්තුවක් තිබෙනවා. (ගීතාවලිය 72:12-14 කියවන්න.) උතුම් සලමොන් වන යේසුස්ට අපගේ පව්කාර ස්වභාවය ගැන අවබෝධයක් තිබෙන නිසා ඔහු අපට අනුකම්පා කරනවා. එමෙන්ම යේසුස්ටද බොහෝ පීඩා විඳින්න සිදු වුණා. ඔහු මොන තරම් පීඩා වින්දාද කියනවා නම් “ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී පොළොවට” වැටුණා. (ලූක් 22:44) ඔහු වධකණුවේ සිටින විට යෙහෝවා දෙවිට මෙසේ ආයාචනා කළා. “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?” (මතෙ. 27:45, 46) යේසුස්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් මොන තරම් වෑයම් කළත් ඒ නිසා යේසුස්ට කොතරම් පීඩා විඳින්න සිදු වුණත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා.

15 ඒ නිසා ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නා බවත් පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නා බවත්’ අපට ස්ථිර විය හැකියි. යෙහෝවා දෙවි මෙන් යේසුස් ‘දුගී දුප්පත් අයට ඇහුම්කන් දෙන අතර බිඳුණු සිත් ඇත්තන්ට සහනය දෙනවා.’ ඒ වගේම ඔහු ‘ඔවුන්ගේ වේදනාකාරී තුවාල සුව කරනවා.’ (ගීතා. 69:33; 147:3) යේසුස් ‘අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙක් නිසා අපගේ දුර්වලකම් ගැන ඔහුට අනුකම්පාවක් දැනෙනවා.’ (හෙබ්‍රෙ. 4:15) යේසුස් ක්‍රිස්තුස් දැනටමත් ස්වර්ගයේ රජ වී ඇති බවත් දුක් විඳින මිනිසුන්ට සහනය ලබා දීමට ඔහු ආශාවෙන් සිටින බවත් දැන සිටීම අපට මොන තරම් සහනයක්ද!

16. සලමොන්ට ඔහුගේ යටත්වැසියන් කෙරෙහි අනුකම්පාවක් දැක්වීමට හැකි වුණේ ඇයි?

16 ප්‍රඥාවන්ත සලමොන් රජට ඔහුගේ යටත්වැසියන් ගැන අවබෝධයක් තිබූ නිසා ඔවුන්ට “අනුකම්පා” කළා. ඔහුටත් ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. ඔහුගේ එක් සහෝදරයෙක් වූ අම්නොන් තම සහෝදරිය වන තාමර්ව දූෂණය කළා. ඒ නිසා ඔහුගේ අනික් සහෝදරයා වූ අබ්සලොම් අම්නොන්ව මරා දැමුවා. (2 සාමු. 13:1, 14, 28, 29) පසුව අබ්සලොම් දාවිත්ගෙන් රජකම ලබාගැනීමට කූට උපායක් යෙදුවත් එය සාර්ථක වුණේ නැහැ. අබ්සලොම් යෝවාබ් අතින් මරණයට පත් වුණා. (2 සාමු. 15:10, 14; 18:9, 14) පසුව සලමොන්ගේ තවත් සහෝදරයෙක් වූ අදොනියා රජකම ලබාගැනීමට උත්සාහ කළා. එම උත්සාහය සාර්ථක වුණා නම් සලමොන්ට ඔහුගේ ජීවිතය නැති වීමට ඉඩ තිබුණා. (1 රාජා. 1:5) එවැනි සිද්ධීන්වලට මුහුණ දුන් සලමොන්ට දුක හොඳින් දැනෙන බව දේවමාලිගාව කැප කළ අවස්ථාවේ ඔහු කළ මෙම යාච්ඤාවෙන් පැහැදිලියි. ‘එක් එක් කෙනා තම තමාගේ සිතේ ඇති වන වේදනාව නිසා යාච්ඤා කරන විට දෙවියනි, ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ වැරදිවලට ඔවුන්ට සමාව දෙන්න. ඔවුන්ට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.’—2 ලේක. 6:29, 30.

17, 18. දෙවිගේ සමහර සේවකයන්ට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ කුමන තත්වයන්ටද? ඔවුන්ට ඒවා දරාගැනීමට හැකි වී තිබෙන්නේ කොහොමද?

17 සමහරවිට ඔබේ ‘සිතට වේදනාවක්’ දැනෙන්නේ අතීතයේ සිදු වූ අමිහිරි දෙයක් නිසා විය හැකියි. තිස්ගණන්වල පසුවන මේරිගේ * අද්දැකීම සලකා බලන්න. ඇය මෙසේ පවසනවා. “මට සතුටින් ඉන්න බෙහෝ හේතු තියෙනවා. නමුත් අතීතයේ සිදු වුණ දේවල් නිසා මට තාමත් ලැජ්ජාවක් දැනෙනවා. සමහර වෙලාවට මට මාවම එපා වෙනවා. ඒ හැම දෙයක්ම හරියට ඊයේ පෙරේදා වුණා වගෙයි මට දැනෙන්නේ. සමහර අවස්ථාවලදී ඒ දුක දරාගන්න බැරුව මම අඬනවා. මට හිතෙන්නේ මගේ කිසි වටිනාකමක් නැහැයි කියලයි.”

18 යෙහෝවා දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුට එලෙස හැඟෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඒ දේවල් විඳදරාගන්න ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාගන්න පුළුවන් කොහොමද? මේරි ඒ ගැන මෙසේ පවසනවා. “මට ඉන්න අවංක මිතුරන් සහ සභාවේ සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රයෙන් මම සහනයක් ලබනවා. ඒ වගේම මම යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන කල්පනා කරනවා. මට දැනෙන වේදනාවෙන් මිදිලා සතුටෙන් ඉන්න පුළුවන් කාලයක් එයි කියලා මට විශ්වාසයි.” (ගීතා. 126:5) දෙවි පත් කර තිබෙන රජ වන යේසුස් අපට සහනය සලසා දෙන ආකාරය ගැන 72වන ගීතිකාවේ මෙසේ සඳහන් වෙනවා. “අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.” (ගීතා. 72:13, 14) යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම අපට මොන තරම් සහනයක්ද!

ඉදිරියේදී ලැබෙන ආශීර්වාද

19, 20. (අ) හැත්තෑදෙවන ගීතිකාවේ සඳහන් ආකාරයට දේවරාජ්‍යය මගින් විසඳන ගැටලු මොනවාද? (ආ) ක්‍රිස්තුස් පාලනය කරන ආකාරය වෙනුවෙන් මුලින්ම අපගේ ගෞරවය හිමි විය යුත්තේ කාටද? දේවරාජ්‍යය මගින් ඉටු කරන දේවල් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

19 උතුම් සලමොන්ගේ පාලනය යටතේ ධර්මිෂ්ඨ මිනිසුන්ට ලැබෙන ආශීර්වාද ගැන සිතා බලන්න. ඒ කාලයේදී “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතා. 72:16) සාමාන්‍යයෙන් කඳු මුදුන්වල ධාන්‍ය වගා කරන්නේ නැහැ. නමුත් එසේ පවසා තිබෙන්නේ ඒ කාලයේදී පොළොවේ සශ්‍රීකත්වය පැහැදිලි කිරීමටයි. සලමොන්ගේ කාලයේ සරුසාරව තිබූ “ලෙබනොන් වනාන්තරය මෙන්” ඒ කාලයේදීද සරුසාර අස්වැන්නක් ලැබෙනවා. මේ ගැන ටිකකට සිතා බලන්න. ඒ කාලයේ කෑම හිඟයක් නැහැ. මන්දපෝෂණය නැහැ. කිසිවෙක් කුසගින්නේ සිටින්නේ නැහැ. සියලුදෙනාම “රසවත් කෑම” භුක්ති විඳිනවා.—යෙසා. 25:6-8; 35:1, 2.

20 ඒ සියලු ආශීර්වාද අපට ලබා දීම වෙනුවෙන් අපගේ ගෞරවය මුලින්ම හිමි විය යුත්තේ කාටද? මුළු විශ්වයේම සදාකාලික රජු වන යෙහෝවා දෙවිටයි. ඒ කාලයේදී අපි සියලුදෙනාටම හැත්තෑදෙවන ගීතිකාවේ මෙම අවසන් පේළි කිහිපය ගායනා කිරීමට හද පිරි සතුටින් හවුල් විය හැකියි. “රජගේ [යේසුස් ක්‍රිස්තුස්ගේ] නාමය සදහටම පවතීවා! සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා! ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය. සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය. පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා වන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා! ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා! ආමෙන්, ආමෙන්.”—ගීතා. 72:17-19.

[පාදසටහන]

^ 17 ඡේ. නම වෙනස් කර ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• හැත්තෑදෙවන ගීතිකාවේ සඳහන් දෙයින් අපට අවබෝධ කරගත හැක්කේ කුමක්ද?

• උතුම් සලමොන් කවුද? ඔහුගේ පාලනය කොතෙක් දුරට ව්‍යාප්ත වෙනවාද?

• හැත්තෑදෙවන ගීතිකාවේ ඇති ආශීර්වාදවලින් ඔබේ සිත්ගත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

සලමොන්ගේ පාලන කාලයේ තිබූ සමෘධිමත් තත්වය අපට මතක් කර දෙන්නේ කුමක්ද?

[32වන පිටුවේ පින්තූරය]

උතුම් සලමොන්ගේ පාලන කාලයේ ජීවත් වීමට අප දරන සෑම වෑයමක්ම වටිනවා