Skip to content

පටුනට යන්න

සියලුම දුෂ්ටකම්වලට නිමාවක්!

සියලුම දුෂ්ටකම්වලට නිමාවක්!

සියලුම දුෂ්ටකම්වලට නිමාවක්!

මිනිසුන් දුෂ්ටකම් කිරීමට හේතු මොනවාද කියා දෙවි අපට බයිබලය තුළින් හෙළි කර තිබෙනවා. කොහොමවුණත් අපට තීරණ ගැනීමේ නිදහස සහ අපවම පාලනය කරගැනීමේ හැකියාව දෙවි ලබා දී තිබෙන නිසා එවැනි නරක දේවලින් වැළකී සිටීමේ හැකියාව අප සතුයි. (ද්විතීය කතාව 30:15, 16, 19) ඒ නිසා අප තුළ නරක සිතුවිලි හෝ ආශාවන් තිබෙනවා නම් ඉක්මනින්ම ඒවා ඉවත් කරගැනීමට අප පියවර ගත යුතුයි. අපි එසේ කරනවා නම් එය අපගෙත් අපව ඇසුරු කරන අයගෙත් සන්තෝෂයට දායක වෙනවා.—ගීතාවලිය 1:1.

නමුත් “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි නරක දේවලින් වැළකී සිටීමට කොතරම් උත්සාහ කළත් මිනිසුන් දුෂ්ට දේවල් කිරීම ගැන අපි පුදුම විය යුතු නැහැ. අපි ජීවත් වන මේ කාලය “ඉතා අසීරු” කාලයක් වීමට හේතුව ගැන බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා. “මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය. එවැනි අයගෙන් අහක්ව සිටින්න.”—2 තිමෝති 3:1-5.

ඉහත උපුටා දක්වා ඇති බයිබල් කොටසේ ‘අවසාන කාලය’ කියා සඳහන් වූ බව ඔබ දකින්න ඇති. ඇත්තටම ඉන් අදහස් වන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් ‘අවසාන කාලය’ කියා පවසන විට යම් දෙයක් ඉක්මනින්ම අවසන් වීමට නියමිත බව අදහස් වෙනවා. එසේනම් එම බයිබල් කොටසේ සඳහන් වන්නේ කුමක අවසානයක් ගැනද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

දුෂ්ටයන් සදහටම විනාශ වෙනවා

“තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”ගීතාවලිය 37:10, 11.

“යෙහෝවා දෙවි තමාට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන්නේය. නමුත් සියලු දුෂ්ටයන්ව ඔහු සහමුලින්ම විනාශ කර දමන්නේය.”ගීතාවලිය 145:20.

දුක් කම්කටොලු නිමා වෙනවා

“උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු [එනම් දෙවි] ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.”ගීතාවලිය 72:12, 14.

“පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.”රෝම 8:21.

මිනිසුන්ගේ මූලික අවශ්‍යතා පිරිමැසෙනවා

“ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”මීකා 4:4.

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය. මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”යෙසායා 65:21, 22.

යුක්තිය රජයනවා

“දිවා රෑ දෙකේම ඔහු [එනම් දෙවි] තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද? ඔහු ඔවුන් වෙනුවෙන් ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව ස්ථිරයි.”ලූක් 18:7, 8.

“යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි. තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය. ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.”ගීතාවලිය 37:28.

ධර්මිෂ්ඨකම දසත පැතිරෙනවා

“ඔවුහු ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නෝය.”යෙසායා 26:9.

“ඔහු [එනම් දෙවි] දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.”2 පේතෘස් 3:13.

මිනිසුන් දැන් පවා නරක ගතිගුණ වෙනස් කරගනියි

එම පොරොන්දු ගැන අප සියලුදෙනාම සතුටු වන බවට කිසිම සැකයක් නැහැ. නමුත් දුෂ්ටකම් නැති කාලයක් ඇත්තටම උදා වෙයිද? ඔව්! එසේ පවසන්නේ දුෂ්ට ලෙස හැසිරෙමින් නරක ජීවිත ගත කළ අය බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමෙන් මේ වන විටත් යහපත් ගතිගුණ වර්ධනය කරගෙන තිබෙන නිසයි. උදාහරණයකට ලොව පුරා විසිරී සිටින මිලියන හතක් ඉක්මවා ගොස් ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන සලකා බලන්න. ඔවුන් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීම නිසා අවංක, සාමකාමී සහ කාරුණික අය බවට පත් වී සිටිනවා. ඒ නිසා ඔවුන් අතර ජාති භේද, උස් පහත් භේද හෝ දේශපාලන අරගල නැහැ. ඇත්තෙන්ම ඔවුන් එකමුතු සෙනඟක් ලෙස කටයුතු කරමින් සිටිනවා. * අනාගතයේදී දෙවි දුෂ්ටකම ඉවත් කර දමා තම පොරොන්දු සියල්ල ඉටු කරන බවට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!

කොහොමවුණත් නරක ගතිගුණ තිබූ අයට යහපත් මිනිසුන් වීමට හැකි වී තිබෙන්නේ කෙසේද? එසේ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ දෙවි පිළිබඳව දැනුම ලබාගැනීමෙනුයි. එය තේරුම්ගැනීමට අපි බයිබලයේ සඳහන් මෙම අනාවැකිය සලකා බලමු.

‘ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද තර වස්සාද එකට ලගින්නෝය. කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නේය. කිරි බොන දරුවා නයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. කිරි වැරූ දරුවා විෂ සර්පයෙකුගේ ගුල තුළට අත දමන්නේය. මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.’—යෙසායා 11:6-9.

ඉහත අනාවැකියේ සඳහන් වන්නේ මිනිසා හා සතුන් අතර පැවතීමට නියමිත සාමකාමී වාතාවරණය ගැන පමණද? නැහැ. එසේ පැවසීමට හේතුව එම අනාවැකියේ අවසන් කොටසේ ‘යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය’ කියා සඳහන් වීමයි. සතුන්ට දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට හැකියාවක් නැහැ. එය කළ හැක්කේ මිනිසුන්ට පමණයි. ඒ අනුව ඉහත අනාවැකියේ පෙන්නුම් කරන්නේ කලින් තිරිසන් ගති විදහාපෑ මිනිසුන් දෙවි පිළිබඳව දැනුම ලබාගැනීමෙන් පසු යහපත් අය බවට පත් වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් ස්ටීවන්ගේ අද්දැකීම සලකා බලන්න. * යුක්තිය ඉටු කිරීමේ අභිප්‍රායෙන් ඔහු ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුණා. එහිදී පොලිස් කඳවුරක් විනාශ කිරීමට ඔහුට නියෝගයක් ලැබුණා. නමුත් ඔහු ඒ සඳහා සූදානම් වෙමින් සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නිසා ඔහුට අවුරුදු එකහාමාරක් පුරා සිරබාරයේ සිටීමට සිදු වුණා. නමුත් ඔහුගේ ත්‍රස්තවාදී සැලසුම් ඔහු නතර කළේ නැහැ. කොහොමවුණත් ඒ කාලය අතරතුරදී ඔහුගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගෙන තිබුණා. ඒ නිසා ස්ටීවන්ද සිරෙන් නිදහස් වූ පසුව තම බිරිඳ සමඟ එකතු වී බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමත් සමඟම ස්ටීවන්ගේ සිතුවිලිත් ජීවිත රටාවත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ ගැන ඔහුම මෙසේ පවසනවා. “මම ත්‍රස්තවාදියෙක් වෙලා හිටිය කාලයේ එක මිනිසෙකුවත් මරන්න අවස්ථාව නොලැබීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. දැන් මම බයිබලය යොදාගෙන දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් සැබෑ සාමය සහ යුක්තිය ගෙනෙන බවට වූ ශුභාරංචිය ගැන මිනිසුන්ට කියලා දෙනවා.” පසු කාලයකදී ස්ටීවන් විනාශ කිරීමට සැලසුම් කරමින් සිටි පොලිස් කඳවුරටත් ගොස් ඒ ශුභාරංචිය ගැන දැනුම් දුන්නා.

මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට තරම් බලයක් බයිබලයට තිබෙන නිසා අනාගතය සම්බන්ධයෙන් එහි සඳහන් දෙවිගේ පොරොන්දුද අනිවාර්යයෙන්ම ඉටු වෙන බවට කිසිම සැකයක් නැහැ. අද පොළොවේ මෙතරම් දුෂ්ට දේවල් සිදු වන්නේ යක්ෂයා මේ පොළොව පාලනය කරන නිසයි. (1 යොහන් 5:19) බයිබලයේ සඳහන් වන ආකාරයට යෙහෝවා දෙවි ඉතාමත් ළඟදීම සියලුම දුෂ්ටකම්වලට වග කිව යුත්තා වන යක්ෂයාව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. එපමණක්ද නොව, පසුතැවිලි නොවී දිගින් දිගටම දුෂ්ටකම් කරන අයවත් දෙවි විනාශ කර දමනවා. එවැනි කාලයක ජීවත් වීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

ඒ කාලයේ ජීවත් වීමට නම් ඔබ කළ යුතු දෙයක්ද තිබෙනවා. ඒ සඳහා ‘යෙහෝවා දෙවි පිළිබඳව දැනුම’ ලබාගත යුතුයි. එසේ කිරීමෙන් දැන් පවා මිනිසුන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරගැනීමට පෙලඹී තිබෙනවා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නවා නම් අනාගතයේ පැමිණීමට නියමිත “ධර්මිෂ්ඨකම රජයන” කාලයේ ජීවත් වීමට ඔබටත් හැකියි. (2 පේතෘස් 3:13) ඒ නිසා ඉතුරු වී තිබෙන මේ කෙටි කාලය අපතේ නොයවා සදාකාල ජීවනය ලබාගැනීමට ඉවහල් වන යෙහෝවා දෙවි සහ යේසුස් ගැන දැනුම ලබාගන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.—යොහන් 17:3.

[පාදසටහන්වල]

^ 21 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන සඟරාව බලන්න.

^ 25 ඡේ. නම වෙනස් කර ඇත.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අනාගතයේදී පැමිණීමට නියමිත “ධර්මිෂ්ඨකම රජයන” කාලයේ ජීවත් වීමට ඔබටත් හැකියි.—2 පේතෘස් 3:13