Skip to content

පටුනට යන්න

මුහුදු වෙරළේ අමතක නොවන දවසක්

මුහුදු වෙරළේ අමතක නොවන දවසක්

ග්‍රේනේඩාවෙන් ලිපියක්

මුහුදු වෙරළේ අමතක නොවන දවසක්

යම් කිසි දවසක විදේශ රටකට ගොස් සේවය කරන්න ඔබට පැවරුමක් ලැබුණොත් ඒ ගැන ඇති වන හැඟීම මොන වගේද කියා එදාට ඔබට වැටහේවි. ‘ඒ රටේ පරිසරය කොයි වගේද, මිනිසුන් මොන වගේ අයද, ඔවුන් ශුභාරංචියට කෙසේ ප්‍රතිචාරය දක්වයිද’ වැනි දහසකුත් කාරණා ගැන ඔබ කල්පනා කරන බවට කිසිම සැකයක් නැහැ.

මටයි මගේ බිරිඳටයි ග්‍රේනේඩා රටට යන්න පැවරුමක් ලැබුණම අපි දෙන්නා ඒ වගේ දේවල් ගැන කල්පනා කළා. ඒ රටේ තියෙන සුන්දර මුහුදු තීරය ගැනත් අපි සිතුවා. එහේ ගිහින් වැඩි දවසක් යන්න කලින් මුහුදු වෙරළේ සුන්දරත්වය දැකගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒත් ඒ සුන්දරත්වය අභිභවමින් අපේ සතුට ඉහළ දැමූ විශේෂ දෙයක් එදින සිදු වුණා. ඒ ගැන මම දැන් කියන්නම්.

අපි නැවතිලා ඉන්න නිවසේ ඉඳන් ග්‍රෑන්ඩ් ආන්ස් මුහුදු වෙරළට වැඩි දුරක් නැහැ. ඒ යන අතරමඟදී සිත් පිනවන ආකර්ෂණීය දසුන් රැසක් අපේ නෙත ගැටුණා. හරිත පැහැයෙන් යුත් කඳුකරය, වැසි වනාන්තර, දිය ඇළි සහ නිමක් කොනක් නැති මහ සාගරය අපේ ගමනේ සුන්දරත්වය තවත් වැඩි කළා. මේ රට සංචාරකයන්ට පාරාදීසයක් වී තිබීම පුදුමයක් නොවෙයි. මෙහි ඇති සුන්දරත්වය නිසා රියැදුරෙකුගේ අවධානය ලෙහෙසියෙන්ම ඒ වෙත ඇදී යා හැකියි. ඒ නිසා රියැදුරන් ඒ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

අවසානයේදී අපි ග්‍රෑන්ඩ් ආන්ස් මුහුද යාබදව පිහිටි සම්මන්ත්‍රණ ශාලාවට ආවා. ටික වෙලාවක් ඇතුළත ඒ ශාලාවේ පැවැත්වීමට නියමිත සමුළුවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 600ක් පමණ රැස් වුණා. ඇත්තෙන්ම එය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක්. ඒ දවස ලෙස්ලිටත් ඩැෆ්නිටත් විශේෂ දවසක් වුණා. ඊට හේතුව ලෙස්ලි එදින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වීමට අපේක්ෂාවෙන් සිටීමයි. වර්ෂ 1958දී බව්තීස්ම වූ ඩැෆ්නි, ලෙස්ලි බව්තීස්ම වන දවස පැමිණෙන තුරු ඉතා ආශාවෙන් බලා සිටියා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පුද්ගලයෙකුව බව්තීස්ම කරන්නේ ඔහුව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වීමෙනුයි. බව්තීස්මයට සුවිශේෂී අර්ථයක් තිබෙනවා. කෙනෙක් බව්තීස්ම වීමට පෙලඹෙන්නේ ඔහු බයිබලයේ තිබෙන දේවල් හොඳින් ඉගෙනගෙන එහි සඳහන් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමෙන් පසුවයි. පුද්ගලයෙක් තම ජීවිතය සම්පූර්ණයෙන්ම දෙවිට කැප කර තිබෙන බව බව්තීස්ම වීමෙන් ප්‍රසිද්ධියේ පෙන්නුම් කරනවා.

එදින බව්තීස්ම අපේක්ෂකයන් වෙනුවෙන් දීමට නියමිතව තිබූ කතාව ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය මට ලැබී තිබුණා. බව්තීස්මය ගැන බයිබලයේ සඳහන් තොරතුරු ඒ කතාවෙන් මම මතක් කළා. කතාව අවසානයේදී බව්තීස්ම වීමට අපේක්ෂාවෙන් සිටි ලෙස්ලිටත් අනික් යුවළටත් නැඟිට සිටින්න කියා මම ආරාධනා කළා. ඒ වෙලාවේ සුදු කමිසයකුත් ටයි පටියකුත් පැළඳ සිටි ලෙස්ලි සිනහමුසු මුහුණින් නැඟිට සිටියා. පසුව මම ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවේ පදනම මත ඔබේ පව් ගැන පසුතැවිලි වී, යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුට කැප වී සිටිනවාද?” ඒ ප්‍රශ්නයට ඔවුන් තිදෙනාම ගැඹුරු භක්තියකින් “එසේය” කියා පිළිතුරු දුන්නා.

ලෙස්ලිගේ අද්දැකීම ඇහුවම මට එයා ගැන පුදුම හිතුණා. අවුරුදු ගාණක් තිස්සේ ලෙස්ලි බයිබලය පාඩම් කරන්න කිසිම උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. ඒත් ලෙස්ලිත් එයාගේ බිරිඳත් වෙන දූපතකට පදිංචියට ගියාට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන්ගත්තා. දවසක් ලෙස්ලි, ඩැෆ්නිට මෙහෙම කිව්වා. “මම මගේ ආගම අදහන්නම්. ඔයා ඔයාගේ ආගම අදහන්න.”

එහෙම කියලා ලෙස්ලි හැම සතියකම ඩැෆ්නිව සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයට ඇරලවලා ලෙස්ලි ඇන්ග්ලිකන් පල්ලියට ගියා. පූජාව ඉවර වුණාට පස්සේ ලෙස්ලි, ඩැෆ්නිව එක්කන් යන්න ආපහු ආවා. එතකොට එතැන හිටිය සාක්ෂිකරුවන් ලෙස්ලිව ආදරයෙන් පිළිඅරගෙන හරිම මිත්‍රශීලි විදිහට කතා කළා. ලෙස්ලිට ඒ ගැන පුදුම හිතුණා. ලෙස්ලි ගිය පල්ලියේ කිසිම කෙනෙක් ඔහු එක්ක කතා කළේ නැහැ. ඒ නිසා ලෙස්ලි, ඩැෆ්නිට මෙහෙම කිව්වා. “කිසිම කෙනෙක් මාත් එක්ක කතා කළේ නැහැ. අඩුම තරමේ පූජකයාවත් කතා කළේ නැහැ. මම නම් ආයේ කවදාවත් ඒ පල්ලියට යන්නේ නැහැ.”

ඒ සිද්ධියෙන් පස්සේ තමයි ලෙස්ලි බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ. ඒ නිසා යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න එයාට අවස්ථාව ලැබුණා. එදා ලෙස්ලි සහ අනික් යුවළ බව්තීස්ම වෙන්න මුහුදු වෙරළට යනකොට අපි හැමෝම ඒගොල්ලන් එක්කම ගියා. සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන්ගේ සමුළුවල බව්තීස්ම කරන්න වෙනම තටාක හදලා තියෙනවා. ඒත් මෙහෙට නම් ඒවා අවශ්‍ය නැහැ.

කිලෝමීටර් තුනක් විතර දිග ග්‍රෑන්ඩ් ආන්ස් මුහුද නිල්ම නිල් පාටයි. සුදු වැල්ලෙන් මුළු වෙරළම වැහිලා. බව්තීස්මය බලන්න සාක්ෂිකරුවන් මුහුදු වෙරළට ආවම එතන හිටිය සංචාරකයන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන හිටියා. අත් කොට කමිසයකුත් කොට කලිසමකුත් ඇඳගෙන ලෙස්ලි බව්තීස්ම වෙන්න මුහුදට ගියාම ඩැෆ්නි කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! වසර 50ක් තිස්සේ ඒ දවස උදා වන කල් ඩැෆ්නි හුඟක් ආශාවෙන් බලන් හිටියා. ඒ වෙලාවේ එතැන හිටිය සංචාරකයනුත් සතුටින් අත්පුඩි ගැහුවා.

නිල්වන් අහස්කුස, මුහුදු රළ සහ වෙරළ යන මේ හැම දෙයක්ම නිහඬව ඒවායේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරනවා. කොහොමවුණත් එදා දෙවිට කැප වී බව්තීස්ම වුණු අය නිසා දෙවිව තවත් ප්‍රශංසාවට ලක් වුණා. ඒ අවස්ථාවේ අපිට දැනුණ ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ දවස නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.