Skip to content

පටුනට යන්න

කැල්විනිස්තවාදය වසර 500ක් පුරා අත් කරගෙන තිබෙන්නේ මොනවාද?

කැල්විනිස්තවාදය වසර 500ක් පුරා අත් කරගෙන තිබෙන්නේ මොනවාද?

කැල්විනිස්තවාදය වසර 500ක් පුරා අත් කරගෙන තිබෙන්නේ මොනවාද?

ජෝන් කැල්වින් උපත ලැබුවේ 1509දී ප්‍රංශයේ නොයොන් නගරයෙයි. පසු කාලයකදී ඔහු රෝමානු කතෝලික සභාවේ ඇතැම් සංකල්ප ප්‍රතික්ෂේප කරමින් අලුත් ඉගැන්වීම් හඳුන්වා දුන්නා. එම ඉගැන්වීම් යුරෝපය, ඇමරිකාව, දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවලට පැතිරුණා. ඇත්තෙන්ම යුරෝපයේ සිදු කරන ලද ආගමික ප්‍රතිසංස්කරණ සඳහා දායක වූ අය අතර ජෝන් කැල්වින් කැපීපෙනුණු චරිතයක් කියා පැවසිය හැකියි.

කැල්වින් උපත ලබා වසර 500ක් ගෙවී තිබුණත් ඔහුගේ ඉගැන්වීම් සහ සංකල්ප ප්‍රෙස්බිටේරියානු, පියුරිටානු ඇතුළු වෙනත් රෙපරමාදු ආගම්වල අදටත් පවතිනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ කරන ලද ගණන් බැලීමකට අනුව රටවල් 107ක විසිරී සිටින රෙපරමාදු භක්තිකයන්ගේ සංඛ්‍යාව මිලියන 75ක් පමණ වෙනවා.

කතෝලික සංකල්ප සමඟ එකඟ නොවී

කැල්වින්ගේ පියා නොයොන් නගරයේ පිහිටි කතෝලික පල්ලියක නීතිවේදියෙක් සහ ලේකම්වරයෙක් ලෙස සේවය කළා. ඒ නිසා පූජකයන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් ගැන ඔහු බොහෝ දේ දැන සිටින්න ඇති. ප්‍රතිඵලයක් ලෙස ඔහුත් ඔහුගේ පවුලේ අයත් කතෝලික සභාව විවේචනය කළාද කියා අප දන්නේ නැහැ. කොහොමවුණත් ටික කාලයක් ඇතුළත කැල්වින්ගේ පියාවත් කැල්වින්ගේ වැඩිමල් සොහොයුරාවත් කතෝලික සභාවෙන් කපාහැරියා. ඒ නිසා කැල්වින්ගේ පියා මිය ගිය විට කතෝලික ක්‍රමයට ඔහුව භූමිදානය කිරීම සඳහා අවසර ලබාගැනීමේදී කැල්වින් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. සමහරවිට ඒ සිද්ධියෙන් පසු කැල්වින්ට කතෝලික සභාව ගැන ලොකු කලකිරීමක් ඇති වෙන්න ඇති.

කැල්වින් ගැන සඳහන් වෙන පොත්පත්වල ඔහුගේ යෞවන කාලය ගැන සඳහන් වී තිබෙන්නේ ඉතාමත් සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණයි. බොහෝවිට ඒවායේ ඔහුව විස්තර කර තිබෙන්නේ තමාගේ පාඩුවේ සිටින වැඩි කතාබහක් නැති කෙනෙක් ලෙසයි. පාසැල් ශිෂ්‍යයෙකු ලෙස ඔහු පැරිස්, ඔර්ලීන්ස් සහ බෝර්ජ්ස් වැනි නගරවල අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහුට සිටියේ මිතුරන් කිහිපදෙනෙක් පමණක් බව පෙනී යනවා. කොහොමවුණත් කැල්වින්ට ඉතා ඉක්මනින් දේවල් තේරුම්ගැනීමට හැකියාව තිබූ අතර හොඳ මතක ශක්තියක්ද තිබුණා. ඔහු දිනපතාම අලුයම පහේ සිට මධ්‍යම රාත්‍රිය දක්වාම පාඩම් කර තිබෙනවා. ඒ නිසා අවුරුදු 23ක් පිරීමටත් කලින් ඔහු නීතිඥයෙක් බවට පත් වුණා. එමෙන්ම බයිබලය හොඳින් තේරුම්ගැනීම සඳහා ඔහු හෙබ්‍රෙව්, ග්‍රීක සහ ලතින් යන භාෂා ගැනත් ඉගෙනගත්තා. ඒ සියලුම දේවලට වඩා කැල්වින් ප්‍රසිද්ධ වුණේ ඉතා කැප වීමෙන් සහ වෙහෙස නොබලා වැඩ කළ කෙනෙකු ලෙසයි.

මේ කාල වකවානුවේදීම ජර්මනියේ සිටි මාටින් ලූතර් රෝමානු කතෝලික සභාවේ දූෂිත ක්‍රියාකලාපයන් සහ බයිබලයට පටහැනි ඉගැන්වීම් ප්‍රසිද්ධියේම විවේචනය කරමින් සිටියා. කතෝලික සභාවේ විශාල සංශෝධනයක් කළ යුතු බව පෙන්වීමට කරුණු 95කින් යුත් ලියවිල්ලක් මාටින් ලූතර් 1517දී විටින්බර්ග් නගරයේ තිබූ පල්ලියක දොරේ එල්ලූ බවට විශ්වාසයක් තිබෙනවා. බොහෝ අය මාටින් ලූතර්ගේ අදහස්වලට එකඟ වූ අතර යුරෝපය පුරා රෙපරමාදු විප්ලවය ව්‍යාප්ත වුණා. ප්‍රතිඵලයක් හැටියට රෙපරමාදු භක්තිකයන්ට කතෝලික සභාවෙන් බොහෝ පීඩා පැමිනුණා. වර්ෂ 1533දී පැරිස් නගරයේ සිටි කැල්වින්ගේ මිතුරෙක් වූ නිකොලස් කෝප්, මාටින් ලූතර්ට සහය දක්වමින් දේශනයක් ඉදිරිපත් කළා. ඒ දේශනය නිකොලස්ට ලේඛනගත කර දුන්නේ කැල්වින් විසිනුයි. ඒ නිසා ඔවුන් දෙදෙනාටම තර්ජන පැමිණි අතර ජීවිතය බේරාගැනීමට ඔවුන් ප්‍රංශය අත්හැර පලා ගියා. කැල්වින් නැවත කිසි දිනක ප්‍රංශයට පැමිණියේ නැහැ.

වර්ෂ 1536දී කැල්වින් රෙපරමාදු ආගමේ ප්‍රතිපත්ති ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් පොතක් එළි දැක්වූවා. (Institutes of the Christian Religion) ඔහු එම පොත ලියනු ලැබුවේ ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් රජුටයි. එයින් ඔහු උත්සාහ කළේ ප්‍රංශයේ පීඩා විඳිමින් සිටි රෙපරමාදු භක්තිකයන්ට යම් සහනයක් සැලසීමටයි. ඒ පොතේ ඔහු කතෝලික ඉගැන්වීම් විවේචනය කර තිබූ අතර සියලු දේ පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට බව ඔහු අවධාරණය කර තිබුණා. ආගමික වශයෙන් පමණක් නොව ප්‍රංශ භාෂාවට සහ එහි සාහිත්‍යයටත් එමපොත විශාල වශයෙන් බලපෑවා. කාලයාගේ ඇවෑමෙන් ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පදිංචි වූ අතර 1541 සිට ඔහු වැඩ කටයුතු සියල්ල එම නගරයේ ක්‍රියාත්මක කළා.

ජිනීවා නගරය නඟා සිටුවමින්

හරි දේ කිරීම සඳහා කැල්වින්ට දැඩි වුවමනාවක් තිබුණා. ඒ නිසා “දූෂිත නගරයක් ලෙස ප්‍රසිද්ධව තිබූ ජිනීවා නගරය සදාචාරසම්පන්න ප්‍රතිපත්තිවලින් පාලනය වන නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වුණා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopedia of Religion) ජිනීවා නගරයේ දියුණුවට බලපෑ තවත් හේතුවක් ගැන බර්ලින් නගරයේ පිහිටි ජර්මානු ඓතිහාසික කෞතුකාගාරය භාරව සිටින මහාචාර්ය සබීනෙ විට් මෙසේ පැහැදිලි කළා. “ආගම් මුල් කරගෙන ප්‍රංශයේ ඇති වූ යුද්ධ හේතුවෙන් රෙපරමාදු සරණාගතයන් දහස් ගණනක් ජිනීවා නගරයට පැමිණි නිසා එහි ජනගහනය දෙගුණයකින් ඉහළ ගියා.” එසේ පැමිණි අය කැල්වින් මෙන් ඉතා කාර්යක්ෂමව වැඩ කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ජිනීවා නගරය මුද්‍රණ ශිල්පයේ කේන්ද්‍රස්ථානයක් ලෙසත් ඔරලෝසු නිශ්පාදනයටත් නම් දැරුවා. ප්‍රතිඵලයක් ලෙස ජිනීවා නගරයේ ආර්ථිකය ඉහළ ගියා.

ප්‍රංශයට අමතරව පළමුවන මේරි රැජිනගේ පීඩාවලට හසු වූ එංගලන්තයේ සිටි රෙපරමාදුවන්ද ජිනීවා නගරයට පැමිණියා. සරණාගතයන් බොහෝදෙනෙක් කැල්වින්ගේ සංකල්ප අනුගමනය කිරීමට පටන්ගත් නිසා එක් පොතක කැල්විනිස්තවාදය හඳුන්වා තිබුණේ “පීඩා විඳි මිනිසුන්ගේ ආගම” ලෙසයි. (Christ in der Gegenwart) වර්ෂ 1560දී ජිනීවා නගරට පැමිණි රෙපරමාදු සරණාගතයන් පරිච්ඡේද සහ ඡේදවලට වෙන් කරන ලද මුල්ම ඉංග්‍රීසි බයිබලය එළි දැක්වූවා. එය හැඳින්වූයේ “ජිනීවා බයිබලය” ලෙසයි. එම බයිබලය එතරම් විශාල එකක් නොවූ නිසා පෞද්ගලික අධ්‍යයනය සඳහා එය බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. වර්ෂ 1620දී පියුරිටානු භක්තිකයන් උතුරු ඇමරිකාවට ගිය විට රැගෙන යන්න ඇත්තේ එම බයිබල් පරිවර්තනය විය හැකියි.

කොහොමවුණත් සෑම සරණාගතයෙකුටම ජිනීවා නගරය ආරක්ෂිත නගරයක් වුණේ නැහැ. උදාහරණයකට කැල්වින්ගේ මිතුරෙකුව සිටි මයිකල් සර්වෙටස්ට සිදු වූ දේ සලකා බලන්න. වර්ෂ 1511දී ස්පාඤ්ඤයේ උපත ලැබූ ඔහු ග්‍රීක, ලතින් සහ හෙබ්‍රෙව් යන භාෂා ගැනත් වෛද්‍ය ක්ෂේත්‍රය ගැනත් හදාරා තිබුණා. සර්වෙටස්ට කැල්වින්ව හමු වන්න ඇත්තේ ඔවුන් දෙදෙනාම පැරිස් නුවරේ අධ්‍යාපනය හැදෑරූ කාලයේ විය හැකියි. ඔහු බයිබලය අධ්‍යයනය කළ නිසා ත්‍රිත්වය බයිබලයට පටහැනි ඉගැන්වීමක් බව දැන සිටියා. ඔහු ඒ ගැන කැල්වින්ට ඒත්තුගන්වන්න උත්සාහ කළත් අවසානයේදී කැල්වින් ඔහුව සතුරෙක් ලෙස සැලකීමට පටන්ගත්තා. ප්‍රංශයේ සිටි කතෝලිකයන්ගේ දැඩි පීඩා හමුවේ සර්වෙටස් රැකවරණය පතා ජිනීවා නුවරට පැමිණියත් ඔහුට සිදු වුණේ බලාපොරොත්තු නොවූ දෙයක්. බොරු ඉගැන්වීම් පතළ කරන කෙනෙකු යන චෝදනාව පිට ඔහුව අත්අඩංගුවට ගෙන 1553දී කණුවක ගැටගසා කුරිරු ලෙස පුළුස්සා මරණු ලැබුවා. ඉතිහාසඥයෙක් වූ ෆෙඩ්‍රීක් ඕනිංග ඒ ගැන මෙසේ පැවසුවා. “සර්වෙටස්ගේ ඝාතනය කැල්වින් ඇති කරගෙන තිබූ හොඳ නාමයට විශාල අපකීර්තියක් වුණා.”

කැල්වින් පොත් 100කට වඩා රචනා කර තිබෙන බවත් ලිපි 1,000ක් පමණ ලියා තිබෙන බවත් සඳහන් වෙනවා. එමෙන්ම ජිනීවා නගරයේ ඔහු දේශන 4,000ක් පමණ ඉදිරිපත් කර තිබෙන බවත් කියැවෙනවා. ඒ සෑම දෙයකින්ම ඔහු උත්සාහ කළේ ක්‍රිස්තියානියෙකු ජීවත් විය යුතු ආකාරය ගැන ඔහු දැරූ ආකල්පය ජිනීවා නගරයේ සිටි මිනිසුන්ට ඒත්තුගන්වන්නයි. කැල්වින් එවැනි උත්සාහයක් දැරුවේ ජිනීවා නගරය දෙවිගේ නගරය ලෙස ඔහු සැලකූ නිසයි. *

කැල්වින් වෙහෙස මහන්සිය නොබලා ජිනීවා නගරයේ ඉටු කළ කාර්යයේ හොඳ ප්‍රතිඵල තිබෙනවාද? එක් ගණන් බැලීමකට අනුව වර්ෂ 2000දී එම නගරයේ කැල්වින්ගේ සංකල්ප පිළිගත් රෙපරමාදුවන් සිටියේ සියයට 16ක් පමණයි. ඇත්තෙන්ම රෙපරමාදුවන්ට වඩා වැඩියෙන් ජිනීවා නගරයේ රෝමානු කතෝලිකයන් සිටියා.

ආගමික බෙදීම් උත්සන්න වී

යුරෝපයේ රෙපරමාදු විප්ලවය උත්සන්න වීමත් සමඟ ඇතැම් නගර සහ ප්‍රාන්ත රෝමානු කතෝලික ආගමටත් තවත් ඒවා ලූතරන්වාදයට සහ කැල්විනිස්තවාදයටත් සහය දක්වන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ ආගමික බෙදීම් උත්සන්න වුණා. බොහෝ අවස්ථාවලදී රෝමානු කතෝලික ආගමේ විශ්වාසයන් විවේචනය කරන විට රෙපරමාදු නායකයන් එකඟත්වයෙන් කටයුතු කළත් ඔවුන් “එකිනෙකා අතරත් ආගමික වශයෙන් මතභේද තිබුණා” කියා මහාචාර්ය විට් පැවසුවා. සියලුම රෙපරමාදුවන් බයිබලයට ගරු කරමින් එහි සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් විය යුතු බව පිළිගත්තත් ඔවුන්ගේ ඉගැන්වීම් අතර එකඟත්වයක් තිබුණේ නැහැ. උදාහරණයකට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සහ යේසුස්ගේ නැවත පැමිණීම ගැන රෙපරමාදු ආගම් එකිනෙකට වෙනස් මත දැරුවා. කාලයත් සමඟම කැල්විනිස්තවාදය අනුගමනය කළ රෙපරමාදුවන් බයිබලයට පටහැනි වෙනස්ම ඉගැන්වීමක් විශ්වාස කළා. ඒ දෛවය නමැති ඉගැන්වීමයි.

කොහොමවුණත් කැල්විනිස්තවාදය අනුගමනය කළ රෙපරමාදුවන් අතරත් දෛවය ගැන මතභේද තිබුණා. උදාහරණයකට එක් පිරිසක් විශ්වාස කළේ යේසුස් මාර්ගයෙන් ගැලවීම ලබන අයව දෙවි කලින්ම තෝරාගෙන තිබෙනවා කියායි. නමුත් තවත් අය විශ්වාස කළේ ගැලවීම ලබාගැනීම එක් එක් පුද්ගලයා කටයුතු කරන ආකාරය මත තීරණය වන දෙයක් කියායි. කැල්වින් මිය ගොස් වසර ගණනාවක් ගත වන තුරුත් ඒ මතභේද නිරාකරණය වුණේ නැහැ.

කැල්විනිස්තවාදයේ අඳුරු පැත්තක්

විසිවන ශතවර්ෂයේදී කැල්වින්ගේ සංකල්ප අනුගමනය කළ ඕලන්ද සභාව දකුණු අප්‍රිකාවේ සිදු වූ වාර්ගික අරගලවලට හේතුව දෛවය කියා පවසා තිබුණා. දකුණු අප්‍රිකාවේ මුල්ම කලු ජාතික ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලා සුදු ජාතිකයන් අන් අයට වඩා උසස් කියා තිබූ මතය ගැන මෙවැනි දෙයක් පැවසුවා. “සුදු ජාතික අප්‍රිකානුවන් දෙවි තෝරාගත් පිරිසක් කියාත් කලු ජාතිකයන් ඊට වඩා පහත් කියාත් පැවසීමෙන් ඕලන්ද සභාව වර්ණ භේදයට ආගමික පදනමක් සැපයුවා. එසේ කිරීමෙන් ඕලන්ද සභාව වර්ණ භේදවලට අනුබල දුන්නා.”

වර්ෂ 1990දී ඕලන්ද සභාව මිනිසුන් අතර බෙදීම් ඇති කරන වර්ණ භේදවලට අනුබල දීම ගැන ප්‍රසිද්ධියේම සමාව අයැද සිටියා. එහි ඇතැම් නායකයන් මෙවැනි ප්‍රකාශයක් කළා. “වර්ණ භේද සාධාරණීකරණය කිරීමට අපෙන් සමහර අය බයිබලය යොදාගත්තා. ප්‍රතිඵලයක් විදිහට වර්ණ භේදවලට දෙවිගේ අනුමැතිය තිබෙනවා කියා මිනිසුන් සිතන්න පටන්ගත්තා.” ගෙවුණු වසර ගණනාව පුරා වර්ණ භේද සම්බන්ධයෙන් පල්ලිය දැරූ මත නිසා බොහෝ අයට දුක් විඳින්න සිදු වී තිබෙනවා. ඊට අමතරව වර්ණ භේදවලට වග කිව යුත්තේ දෙවි කියාත් පල්ලිය විසින් මිනිසුන්ට දැනෙන්න සලස්වා තිබෙනවා.

කැල්විනිස්තවාදයේ මූලාරම්භකයා වූ ජෝන් කැල්වින් 1564දී මිය ගියා. ඔහු මිය යෑමට පෙර ගෞරවය ලැබීමට නොවටිනා තමා වැනි කෙනෙකුට ගෞරවයෙන් සැලකීම ගැන කැල්වින් තමා සමඟ කිට්ටුවෙන් වැඩ කළ අයට ස්තුති කර තිබෙනවා. ඊට අමතරව කේන්තියෙන් කටයුතු කිරීම ඇතුළු තමා අතින් සිදු වූ අනිකුත් අඩු පාඩුකම් ගැන ඔහු සමාව ඉල්ලූ බවත් සඳහන් වෙනවා. ඒ කොහොමවුණත් ජෝන් කැල්වින් ගැන අපට එක දෙයක් පැහැදිලියි. එනම් කාර්යක්ෂම බව, කැපවීම සහ වෙහෙස නොබලා වැඩ කිරීම සම්බන්ධයෙන් රෙපරමාදු භක්තිකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති ජෝන් කැල්වින් තුළ තිබුණු බවයි.

[පාදසටහන]

^ 13 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Mankind’s Search for God නමැති පොතේ 321 සිට 325 දක්වා පිටු බලන්න. සිංහලෙන් නැත.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යුරෝපයේ රෙපරමාදු විප්ලවය උත්සන්න වීමත් සමඟ ඇතැම් නගර සහ ප්‍රාන්ත රෝමානු කතෝලික ආගමටත් තවත් ඒවා ලූතරන්වාදයට සහ කැල්විනිස්තවාදයටත් සහය දක්වන්න පටන්ගත්තා

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ස්පාඤ්ඤය

ප්‍රංශය

පැරිස්

නොයොන්

ඔර්ලීන්ස්

බෝර්ජ්ස්

ස්විට්සර්ලන්තය

ජිනීවා

[19වන පිටුවේ පින්තූරය]

රෙපරමාදු ආගමේ විශ්වාසයන් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරමින් කැල්වින් නිකුත් කළ පොත

[හිමිකම් විස්තර]

© INTERFOTO/​Alamy

[20වන පිටුවේ පින්තූරය]

සර්වෙටස්ගේ ඝාතනය කැල්වින්ට අපකීර්තියක් ගෙන දුන්නා

[හිමිකම් විස්තර]

© Mary Evans Picture Library

[21වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1560දී සකස් කළ “ජිනීවා බයිබලය” පරිච්ඡේද සහ ඡේදවලට වෙන් කරන ලද මුල්ම ඉංග්‍රීසි බයිබලයයි

[හිමිකම් විස්තර]

Courtesy American Bible Society

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

French town: © Mary Evans Picture Library