Skip to content

පටුනට යන්න

කායින්ගේ බිරිඳ කවුරුන් විය හැකිද?

කායින්ගේ බිරිඳ කවුරුන් විය හැකිද?

පාඨකයන් අසයි

කායින්ගේ බිරිඳ කවුරුන් විය හැකිද?

▪ “ආදම් සහ ඒවට සිටියේ කායින් සහ ආබෙල් කියන පුතුන් දෙදෙනා පමණක් නම් කායින් බිරිඳක් සොයාගත්තේ කොහෙන්ද” යන ප්‍රශ්නය බයිබල් විවේචකයන් විසින් මතු කර තිබෙනවා. කොහොමවුණත් එම ප්‍රශ්නයට සෑහීමට පත් විය හැකි තොරතුරු අපි බයිබලයෙන් සලකා බලමු.

උත්පත්ති තුන්වන සහ හතරවන පරිච්ඡේද තුළ ඊට අදාළ වැදගත් කරුණු පහක් සඳහන් වෙනවා. (1) ඒව ‘සියලුදෙනාගේම මවයි.’ (2) කායින්ගේ උපතේ සිට දෙවි ඔහුගේ පූජාව ප්‍රතික්ෂේප කළ අවස්ථාව දක්වා සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා. (3) කායින් ස්ථිර තැනක් නොමැතිව ඉබාගාතේ යමින් සිටියදී ඔහුට “කාව හරි මුණගැහුණොත්” ඒ කෙනා තමාව මරණයට පත් කරයිද කියා කායින් බියෙන් සිටියා. (4) කායින්ගේ සහෝදරයෙක් විසින් හෝ ඥාතියෙක් විසින් ඔහුව මරණයට පත් නොකළ යුතුයි කියා දෙවි නියම කළා. (5) කායින් ‘පලායන්නන්ගේ දේශයේ’ තම බිරිඳ සමඟ වාසය කළා.—උත්පත්ති 3:20; 4:3, 12, 14-17.

කායින්ගේ බිරිඳ ආදම් සහ ඒවගෙන් පැවතෙන කෙනෙක් බව ඉහත සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. නමුත් ඇය උපත ලැබුවේ කුමන කාලයේද කියා අප දන්නේ නැහැ. ආදම් ජීවත්ව සිටි අවුරුදු 930ක කාලය තුළ “ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 5:4) නමුත් කායින්ගේ බිරිඳ ආදම්ගේ දුවෙක් කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කායින්ගේ බිරිඳ ගැන බයිබලයේ සඳහන් වන්නේ දෙවි කායින්ව ඔහු ජීවත් වූ ප්‍රදේශයෙන් පන්නා දැමූ සිද්ධියෙන් පසුවයි. ඒ වන විට යම් කාලයක් ගත වී තිබූ නිසා කායින්ගේ බිරිඳ ආදම් සහ ඒවගේ මිනිබිරියක් වීමටද ඉඩ තිබෙනවා.

දහනවවන සියවසේ සිටි බයිබල් විචාරකයෙක් වූ ඇඩම් ක්ලාක් පැවසූ දේ සලකා බලන්න. ‘කායින්ව මරා නොදමන පිණිස දෙවි නියමයක් පැනවූයේ ආදම්ගෙන් පැවත එන බොහෝදෙනෙක් ඒ වන විටත් සිටි නිසයි. ගම්මාන කිහිපයක් බිහි වීමට තරම් ප්‍රමාණවත් පිරිසක් ඒ වන විටත් සිටින්න ඇති.’

කායින් ඔහුගේම සහෝදරියක් හෝ ආදම් සහ ඒවගේ මිනිබිරියක් සමඟ විවාහ වීම අද පවතින සමාජය තුළ නිවැරදි දෙයක් ලෙස සැලකෙන්නේ නැහැ. එයට එක් හේතුවක් වන්නේ එවැනි විවාහයන් නිසා ජාන විකෘතිතා ඇති දරුවන් බිහි වීමට ඉඩ තිබීමයි. “අද සමාජයේ එකම පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වීම පිළිගත නොහැකි දෙයක් ලෙස සැලකුණත් එදා ආදම් සහ ඒවගේ දූදරුවන් එලෙස විවාහ වුණා” කියා එෆ්. ලාගාඩ් ස්මිත් එක් පොතක සඳහන් කර තිබෙනවා. කොහොමවුණත් එකම පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වීම තහනම් දෙයක් කියා දෙවි පැවසුවේ ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ලබා දුන් විටයි.—ලෙවී කතාව 18:9, 17, 24; එම පොත, The Narrated Bible in Chronological Order.

ආදම් සහ ඒව ජීවත් වූ දා සිට මේ දක්වා සහස්‍ර කිහිපයක් ගෙවී ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා මුලින් පරිපූර්ණ තත්වයක සිටි නිසා එකම පවුලේ අය විවාහ වීමෙන් ජාන විකෘතිතා ඇති දරුවන් බිහි වීමේ අවධානම ඔවුන්ට තිබුණේ නැහැ. කොහොමවුණත් ඥාතීන් විවාහ වීම නිසා ජාන විකෘතිතා ඇති දරුවන් බිහි වන බවට බොහෝ අය විශ්වාස කළත් ඒ සඳහා තිබෙන අවධානම අඩු බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා කියා එක් සඟරාවක සඳහන් වුණා. එකම පවුලේ අයව විවාහ කරගැනීම නිසා ජාන විකෘතිතා ඇති දරුවන් බිහි වීමේ අවධානමක් ගැන ආදම්ගේ කාලයේ සිටනෝවාගේ කාලයට පෙර සිටි මිනිසුන්ට සිතන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ අනුව කායින් විවාහ වුණේ ඔහුගේ ඥාතියෙකු සමඟ කියා සිතිය හැකියි.—එම සඟරාව Journal of Genetic Counseling.