Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න ඔහු කිසි දිනෙක ඔබව තනි කරන්නේ නැහැ

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න ඔහු කිසි දිනෙක ඔබව තනි කරන්නේ නැහැ

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න ඔහු කිසි දිනෙක ඔබව තනි කරන්නේ නැහැ

එඩ්මන්ට් ෂ්මිට්

වර්ෂ 1943 ඔක්තෝබර් මාසයේ නිව් යෝර්ක් නගරයේ අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න කලින් ඉහත සඳහන් වදන් මට මතක් වුණා. මගේ ජීවිතයේ මුල් අවුරුදු 25න් අවුරුදු හතරක් විතර ගෙවුණේ හිර ගෙදරයි. ඒකට හේතුව යේසුස්ගේ මුල් අනුගාමිකයන් වගේ මමත් ‘මිනිසුන්ට වඩා දෙවිට කීකරු වුණ නිසයි.’ (ක්‍රියා 5:29) ඒ ගැන කියන්න කලින් යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වුණේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මම ඉපදුණේ 1922 අප්‍රියෙල් 23වෙනිදා ක්ලිව්ලන්ඩ් නගරයේයි. අපි ජීවත් වුණ නිවසේ පහළ තට්ටුවේ තමයි අපේ තාත්තගේ බේකරිය තිබුණේ. මම ඉපදිලා මාස හතරකට විතර පස්සේ අපේ තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගියා. ඒ සමුළුව තිබුණේ සීඩා පොයින්ට්වලයි. අපේ නගරයේ ඉඳලා එහෙට කිලෝමීටර් 160ක විතර දුරක් තියෙනවා.

ඒ සමුළුවේදී දෙවි පත් කර තිබෙන “රජු සහ රජුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියලා හැමෝටම උනන්දු කළා. ඒ නිසා ඊළඟ ඉරිදාම අපේ තාත්තා ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. වර්ෂ 1988 ජූලි 4වෙනිදා තාත්තා මිය යන කල්ම අවුරුදු 66ක් තිස්සේ ඒ සේවයේ හවුල් වුණා. මගේ අම්මා මිය ගියේ 1981දීයි. අම්මත් මිය යන තුරුම දෙවිට විශ්වාසවන්තව සේවය කළා.

දෙමාපියන් සමඟ නමස්කාරයේ හවුල් වූ අයුරු

මගේ අම්මයි තාත්තයි ක්ලිව්ලන්ඩ් නගරයේ පෝලන්ත භාෂාවෙන් සාක්ෂිකරුවන් පැවැත්වූ රැස්වීම්වලට සහභාගි වුණා. ඒ කාලේ බාල දරුවන්ව හිටිය අපි වැඩිහිටි අයත් එක්ක එකතු වෙලා සෙනසුරාදා දවස්වල හවසට ශුභාරංචිය දේශනා කරන්න ගෙයින් ගෙට ගියා. ඉරිදා දවස්වල අපි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වුණා. එහෙදී වැඩිහිටි අය ප්‍රධාන ශාලාවේ රැස්වීමට ඇහුම්කන් දෙන අතරේ අද්දැකීම් ලත් සහෝදරයෙක් පුංචි අපිව එකතු කරගෙන ද හාප් ඔෆ් ගෝඩ් කියන පොතෙන් බයිබලයේ තියෙන දේවල් කියලා දුන්නා. * වැඩි කාලයක් යන්න කලින් මමත් බයිබලයේ තියෙන දේවල් අනික් අයට කියලා දෙන්න පටන්ගත්තා.

වර්ෂ 1931 ජූලි මාසයේ අපේ පවුලේ අය කොලම්බස් නගරයේ සාක්ෂිකරුවන් පැවැත්වූ සමුළුවකට සහභාගි වුණා. ඒ වෙනකොට අපේ පවුලට තවත් සාමාජිකයෙක් එකතුවෙලා හිටියා. ඒ තමයි මගේ මල්ලි ෆ්‍රෑන්ක්. ඒ සමුළුවේදී තමයි ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්’ යන නමින් දෙවිගේ සේවකයන්ව හඳුන්වන්න පටන්ගත්තේ. (යෙසායා 43:10-12) සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කළ ජේ. එෆ්. රදෆඩ් ඒ සමුළුවේදී ඉදිරිපත් කරන්න නියමිතව තිබූ කතාවට සහභාගි වෙන්න කියලා සාක්ෂිකරුවන් ප්‍රසිද්ධියේ මිනිසුන්ට ආරාධනා කළා. මාත් ඒකට හවුල් වුණා. එදා ඉඳලා අද දක්වා අවුරුදු 79කට වඩා වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක එකතු වෙලා දෙවිට සේවය කරන එක මගේ ජීවිතයේ ප්‍රධානම කාර්යය වෙලා තියෙනවා.

පීඩා මැද සාර්ථක සේවයක්

වර්ෂ 1933 වෙනකොට මහා ආර්ථික පරිහාණිය මුළු ලොවටම බලපාලා තිබුණා. එක්සත් ජනපදයේ මිලියන 15කට වඩා වැඩි පිරිසකට රැකියා තිබුණේ නැහැ. හැම නගරයක්ම වගේ පාළුවට ගියා. මහලු අයටවත් දුප්පත් අයටවත් රජයෙන් කිසිම හව්හරණක් ලැබුණේ නැහැ. ඒ වුණත් සාක්ෂිකරුවන් එකිනෙකාට උපකාර කරගත්තා. මගේ අම්මයි තාත්තයි ඉරිදා රැස්වීම්වලට යනකොට අපේ බේකරියේ හැදුව කෑම අරන් ගිහින් ඒ අයත් එක්ක බෙදාගත්තා. ඒ වගේම මාසේ අන්තිමට වියහියදම් පියවලා සල්ලි කීයක් හරි ඉතුරු වුණාම තාත්තා ඒවා සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට යැව්වා. ඒ සල්ලි බයිබලය හා සම්බන්ධ පොත්පත් මුද්‍රණය කරන්න යොදාගනියි කියලා තාත්තා හොඳින්ම දැනගෙන හිටියා.

ඒ කාලයේ ශුභාරංචිය පතුරුවන්න ගුවන් විදුලි සේවයත් හුඟක් ප්‍රයෝජනවත් වුණා. අපේ සමුළුවල ඉදිරිපත් කළ කතා ගුවන් විදුලි මධ්‍යස්ථාන 400කට වඩා වැඩි ගණනකින් විකාශනය වුණා. එක්දහස් නවසිය තිස් ගණන් වන විට සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ තැටි වාදන යන්ත්‍ර වගේම පටිගත කළ තැටිත් නිෂ්පාදනය කළා. ඒ නිසා අපි ඒ තැටි වාදන යන්ත්‍ර ගෙයින් ගෙට ගෙනියලා පටිගත කළ බයිබල් දේශන මිනිසුන්ට අහන්න සැලැස්වූවා. ඒ වගේම අපි කොච්චර සැරයක් එහෙම කළාද කියලත් කීදෙනෙක් ඒකට සවන් දුන්නද කියලත් සටහන් කරගත්තා.

ඇඩොල්ෆ් හිට්ලර් 1933දී ජර්මනියේ බලයට පත් වුණාට පස්සේ එහේ හිටිය සාක්ෂිකරුවන්ට පීඩා රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවීමයි. (යොහන් 15:19; 17:14) ඒ අය හිට්ලර්ගේ වැඩවලට සහයෝගය දුන්නේ නැති නිසාත් ඔහුට ජය ප්‍රාර්ථනා කළේ නැති නිසාත් ඔවුන්ව සිරකඳවුරුවලටත් ගාල් කඳවුරුවලටත් ගෙන ගියා. හුඟදෙනෙකුව ඝාතනය කළා. සමහර අයගෙන් අමානුෂික විදිහට වැඩ ගත්ත නිසා ඔවුන් මිය ගියා. තවත් අයට කොයිතරම් වධ හිංසා කළාද කියනවා නම් නිදහස ලබා කෙටි කාලයකින් ඒ අයත් මිය ගියා. සාක්ෂිකරුවන්ට පීඩා ඇති වුණේ ජර්මනියේ විතරක් නෙවෙයි. එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල හිටිය සාක්ෂිකරුවන්ටත් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

වර්ෂ 1940 ජූලි 28වෙනිදා ඩිට්‍රොයිට් නගරයේ පැවැත්වුණු සමුළුවකදී මම බව්තීස්ම වුණා. ඊට මාසෙකට විතර කලින් ජාතික කොඩියට ආචාර නොකිරීම වරදක් කියලා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් පනවලා තිබුණා. ඒ නිසා කොඩියට ආචාර කරන්නේ නැති දරුවන්ව පාසැල්වලින් අස් කළා. ඒත් සාක්ෂිකරුවන් ඒක ගැටලුවක් කරගත්තේ නැහැ. මොකද තමන්ගේ දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දෙන්න සමහර සාක්ෂිකරුවන් අලුතින් පාසැල් ආරම්භ කළා.

වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේදී දෙවන ලෝක මහා යුද්ධය යුරෝපයේ ඇරඹුණා. ඒත් එක්කම යුධ උණුසුම එක්සත් ජනපදයෙත් පැතිරෙන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් ගැන වැරදි විදිහට වටහාගෙන හිටිය අය එක්සත් ජනපදයේ තරුණ සාක්ෂිකරුවන්ට හිංසා කරන්න පටන්ගත්තා. වාර්තා වන විදිහට 1940ත් 1944ත් අතර කාලය තුළ සාක්ෂිකරුවන් අවස්ථා 2,500කට වඩා වැඩියෙන් විවිධ හිරිහැරවලට ලක් වෙලා තියෙනවා. ජපානය 1941 දෙසැම්බර් හත්වෙනිදා පර්ල් වරායට බෝම්බ දැම්මට පස්සේ තත්වය තවත් උග්‍ර වුණා. ඒ සිද්ධියට සති කිහිපයකට කලින් මම පුරෝගාමියෙක් විදිහට දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. ඒ වෙනකොට මම සල්ලි ටිකක් ඉතුරු කරගෙන හිටිය නිසා ගෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අඩි 22ක් විතර දිග වාහනයක් අරගත්තා. ඊටපස්සේ මම තවත් කිහිපදෙනෙක් එක්ක ඒ වාහනයෙන් ලුසියානාවලට ගිහින් එහේ පදිංචි වෙලා පුරෝගාමි සේවයේ හවුල් වුණා.

දකුණුකරයේ අද්දුටු පීඩා

අපි ලුසියානාවලට ගියාම අපේ වාහනය පලතුරු වත්තක නතර කරන්න අපිට අවසර ලැබුණා. ටික දවසක් ගියාට පස්සේ එක සෙනසුරාදාවක අපි පාරවල්වල ඉඳන් ප්‍රසිද්ධියේ ශුභාරංචිය ගැන මිනිසුන්ට දැනුම් දුන්නා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් පොලිස් නිළධාරින් අපිව අත්අඩංගුවට අරගෙන නගර ශාලාවට අරන් ගියා. ඒ වෙලාවේ මිනිසුන් 200ක් විතර ශාලාව ළඟ රැස් වෙලා හිටියා. අපිට කිසිම ආරක්ෂාවක් දෙන්නේ නැතුව පොලිස් නිලධාරින් අපිව ඒ සෙනඟ අතරටම යැව්වා. ඒත් ඒ අය අපිට කිසිම කරදරයක් කරන්නේ නැතුව යන්න ඉඩ දුන්නා. ඊළඟ දවසේම ළඟපාත තිබුණු බැට්න් රූෂ් කියන නගරයට ගිහින් අපිට සිද්ධ වුණ දේ ගැන එහේ හිටිය සාක්ෂිකරුවන්ට කිව්වා.

අපි ආයෙත් අපේ නවාතැනට ගියාම කවුරු හරි කෙනෙක් අපේ වාහනයේ දොරේ පොඩි සටහනක් තියලා ගිහින් තිබුණා. ඒකේ මෙහෙම ලියලා තිබුණා. “තෙල් ළිංවල වැඩ කරන අය නැවතිලා ඉන්න තැනට ඇවිත් මාව මුණගැහෙන්න. මීට ඊ. එම්. වෝන්.” ඊටපස්සේ අපි වෝන්ව හමු වෙන්න ගියා. ඒ වෙලාවේ වෝනුයි එයාගේ බිරිඳයි අපිට කෑම වේලක් දුන්නා. වෝන් කිව්වා සෙනසුරාදා අපිව වට කරගත්ත සෙනඟ අතරේ එයයි එයාගේ යාළුවොයි හිටියා කියලා. එදා මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් අපිට උදව් කරන්න වෝන් සූදානමින් හිටියා කියලත් කිව්වා. අපිට උදව් කරන්න කැමැත්තෙන් හිටිය එක ගැන අපි වෝන්ට ස්තුති කළා.

පහුවෙනිදා ආයෙත් පොලිසියෙන් ඇවිත් අපිව අත්අඩංගුවට අරන් අපි ළඟ තිබුණු පොත්පත් හැම එකක්ම අරගත්තා. ඒ වගේම අපේ වාහනයේ යතුරත් ගත්තා. ඊටපස්සේ දවස් 17ක් පුරාම අපිව හුදකලා සිරකුටියකට දැම්මා. ඒ කාලේදී මට හරියට කෑමක්වත් ලැබුණේ නැහැ. වෝන් අපිව බේරගන්න ලොකු උත්සාහයක් දැරුවත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒ කාලය අතරතුර කලහකාරි පිරිසක් අපේ හැම දෙයක්ම හොරකම් කරලා වාහනයටත් ගිනි තිබ්බා. ඒ වෙනකොට යෙහෝවා දෙවි අනාගතයේදී සිද්ධ වෙන්න යන දේකට හොඳින් මුහුණ දෙන්න මාව පුහුණු කරමින් හිටියා කියලා මම තේරුම් අරන් තිබුණේ නැහැ.

උතුරුකරයේ අද්දුටු පීඩා

මම ලුසියානාවලින් පිටත් වෙලා උතුරු ප්‍රදේශයට ගිහින් මාසයකට විතර පස්සේ ඕලියෑන් කියන නගරයේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මම එහෙට ගිහින් තවත් සාක්ෂිකරුවන් පිරිසක් එක්ක සේවය කරගෙන ඉන්න අතර කාලයේදී හමුදාවට බැඳෙන්න කියලා රජයෙන් මට ලිපියක් එව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ. කොහොමවුණත් රජයේ ඉල්ලීම පිට මම ශාරීරිකව සහ මානසිකව හොඳ තත්වයක ඉන්නවාද කියලා දැනගන්න වෛද්‍ය පරීක්ෂණයකට පෙනී ඉන්න සිද්ධ වුණා. ඒ පරීක්ෂණයෙන් පස්සේ හමුදා සේවයට සුදුසු කෙනෙක් විදිහට මාව නම් කළා.

ඒ සිද්ධිය වෙලා අවුරුද්දක් විතර යන කල්ම මට පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න පුළුවන් වුණා. ඒත් මම හමුදාවට බැඳෙන්න එකඟ වුණේ නැති නිසා 1943දී රහස් පොලිසිය මාව අත්අඩංගුවට අරන් නිව් යෝර්ක් නගරයේ ෆෙඩරල් අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න කියලා මට කිව්වා. දවස් දෙකකින් මගේ නඩු විභාගය පවත්වන්න නියමිතව තිබුණා.

මං වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙක් හිටියේ නැහැ. ඒ නිසා මටම තමයි කතා කරන්න සිද්ධ වුණේ. කොහොමවුණත් පොඩි කාලේ අපි රැස්වීම්වලට ගියාම අධිකරණයේ හැසිරෙන්න ඕනේ කොහොමද කියලත් අපේ අයිතිය වෙනුවෙන් කතා කරන්නේ කොහොමද කියලත් අපිට උගන්වලා තිබුණා. අපිට විරුද්ධව කතා කළ සමහර අය කිව්වා සාක්ෂිකරුවන් අනික් අයට වඩා නීතිය ගැන හොඳින් දන්නවා කියලා. මොනම තත්වයකදී වුණත් යෙහෝවා දෙවි අපිව තනි කරන්නේ නැහැ කියලා මට මතක් වුණේ ඒ නඩුව අතරවාරයේදීයි. කොහොමවුණත් නඩු විභාගයෙන් පස්සේ මම වැරදිකරුවෙක් කියලා තීන්දු වුණාම විනිසුරු ඇහුවා මට මොනවද කියන්න තියෙන්නේ කියලා. එතකොට මම කිව්වා “දෙවිගේ සේවකයන්ට අසාධාරණ විදිහට සලකන අයට දෙවි ඉදිරියේ නඩුවකට පෙනී සිටින්න වෙනවා” කියලා.

අන්තිමේදී මට චිලකාතිවල අවුරුදු හතරක සිර දඬුවමක් නියම වුණා. එහෙදී මට වැඩභාර නිලධාරියෙකුගේ සහයකයෙක් විදිහට සේවය කරන්න සිද්ධ වුණා. සති කිහිපයකට පස්සේ වොෂින්ටන්වලින් තොරතුරු විමර්ශකයෙක් ඇවිත් අපිව මුණගැහුණා. ඔහු කිව්වා හේඩන් ක්විංටන් කියන කෙනා ගැන ඔහු තොරතුරු හොයනවා කියලා. හේඩන් ක්විංටන් එක්සත් ජනපදයේ ඉන්න මානව හිමිකම් වෙනුවෙන් කතා කරන ප්‍රසිද්ධ නීතිඥයෙක්. ඔහු සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් කතා කළා.

ඒ විමර්ශකයා කිව්වා ඩැනී හර්ටාඩෝ සහ එඩ්මන්ට් ෂ්මිට් කියන හිරකරුවන් දෙන්නාගේ විස්තර ඇතුළත් ලිපිගොනු ටික ලැබෙන්න සලස්වන්න කියලා. එතකොට මගේ වැඩභාර නිලධාරියා පුදුමයෙන් වගේ මාව පෙන්නලා කිව්වා “මෙයා තමයි එඩ්මන්ට් ෂ්මිට්” කියලා. තමන් රහසෙන් කරන්න ආව දේ ගැන මම දැනගත්ත නිසා ඒ විමර්ශකයා කලබල වුණා. ඒ සිද්ධියෙන් පස්සේ මාව කුස්සියේ වැඩට මාරු කළා.

පුරෝගාමි සේවය, බෙතෙල් සේවය සහ විවාහය

වර්ෂ 1946 සැප්තැම්බර් 26වෙනිදා මාව හිරෙන් නිදහස් කළ නිසා මම ආයෙත් පුරෝගාමි සේවය පටන්ගත්තා. මේ වතාවේ මම සේවය කළේ කැලිෆෝර්නියාවේ. ඊටපස්සේ 1948 සැප්තැම්බර් මාසයේදී බෘක්ලින්වල සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඇත්තටම කියනවා නම් මම එහේ සේවය කරන්න හුඟක් ආශාවෙනුයි හිටියේ. ඒ නිසා කෝකියෙක් විදිහට මම කරමින් හිටිය රස්සාව නතර කරලා ඒ ආරාධනාව පිළිගත්තා.

වර්ෂ 1955දී යුරෝපයේ රටවල් කිහිපයක සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළු පැවැත්වුණා. ඒ සමුළුවලට යන්න මගේ ගෙදරින් මට සල්ලි දුන්නා. ඒ නිසා ලන්ඩන්, පැරිස්, රෝමය සහ ජර්මනියේ නියුරම්බර්ග් කියන නගරවල පැවැත්වුණු සමුළුවලට යන්න මට පුළුවන් වුණා. ජර්මනියේ පැවැත්වුණු සමුළුව මට විශේෂ සමුළුවක් වුණා. ඒ සමුළුවට 1,07,000කටත් වඩා වැඩි පිරිසක් ඇවිත් හිටියා. සමුළුව පැවැත්වුණේ හිට්ලර් ඔහුගේ හමුදා බලඇණිය සමඟ රැස්වුණ විශාල ක්‍රීඩාංගණයේමයි. හිට්ලර්ගේ මරණ තර්ජන අභියස සිටි සාක්ෂිකරුවනුන් ඒ සමුළුවට සහභාගි වුණා. ඒ අයව ඇසුරු කරන්න ලැබුණු එක ගැන මට හුඟක් සතුටුයි.

ඒ සමුළුවේදී බ්‍රිජිට් ගර්වින් කියන තරුණියව මට මුණගැහුණා. බ්‍රිජිට් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන කෙනෙක්. අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වුණ නිසා අපි අවුරුද්දක් ඇතුළතදී විවාහ වුණා. අපේ පළවෙනි පුතා ටොම් 1957දී ඉපදුණා. ඊටපස්සේ 1958දී දෙවෙනි පුතා ඩානුත් 1960දී අපේ දුව සබීනත් ඉපදුණා. අපි අපේ දරුවන්ව පුංචි කාලේ ඉඳලාම යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න පුහුණු කළා.

තෘප්තිමත් ජීවිතයක්

යෙහෝවා දෙවිට සේවය කළ නිසා මුහුණ දෙන්න සිද්ධ වුණ දේවල් ගැන මම දුක් වෙනවාද කියලා සමහර අය මගෙන් අහලා තියෙනවා. ඇත්තෙන්ම ඒ ගැන දුක් වෙනවා වෙනුවට දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් එක්ක දෙවිට සේවය කරන්න ලැබුණු අවස්ථාව ගැන මම දෙවිට අනේකවාරයක් ස්තුති කරනවා. යෙහෝවා දෙවිට ළං වෙන්නත් කිසි දිනෙක දෙවිව අත් නොහරින්නත් මගේ අද්දැකීම් අනික් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.

යෙහෝවා දෙවිට සේවය කිරීම නිසා බොහෝ අයට දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:12) ඒ වුණත් ඒ හැම විපත්තියකදීම දෙවි අපට උපකාර කරනවා. ඒ ගැන බයිබලයේ දී තිබෙන සහතිකය මෙයයි. “ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය. නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.”—ගීතාවලිය 34:19.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ

[27වන පිටුවේ පින්තූරය]

එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලුසියානාවල දේශනා සේවය සඳහා පිටත්ව යමින්

[29වන පිටුවේ පින්තූරය]

ලෝක මූලස්ථානයේ මුළුතැන්ගෙයි සේවය කරමින්

[29වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ සමඟ