Skip to content

පටුනට යන්න

‘ඔබට සිටින එකම නායකයා ක්‍රිස්තුස්’

‘ඔබට සිටින එකම නායකයා ක්‍රිස්තුස්’

‘ඔබට සිටින එකම නායකයා ක්‍රිස්තුස්’

“ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.”—මතෙ. 23: 10.

1. තමන්ගේ නායකයා ලෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගන්නේ කාවද? ඒ ඇයි?

ක්‍රිස්තියානියයි කියා ගන්නා ආගම්වල නායකයන් සිටිනවා. පාප්වරයා එවැනි නායකයෙක්. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නම් මේ පොළොවේ කිසිම නායකයෙක් නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයාව තමන්ගේ නායකයා ලෙස පත් කර තිබෙන බව ඔවුන් පිළිගැනීමයි. ඒ ගැන දෙවි මෙසේ පැවසුවා. “මම ඔහුව සියලු ජාතීන්ගේ නායකයා හා අධිපතියා ලෙස පත් කර සාක්ෂිකරුවෙකු ලෙස ඔවුන් අතරට යවන්නෙමි.” (යෙසා. 55:4) ඒ නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට හා ‘වෙනත් බැටළුවන්ට’ යෙහෝවා දෙවි ලබා දී ඇති නායකයා හැර වෙන කිසි කෙනෙකුව අවශ්‍ය වන්නේ නැහැ. (යොහ. 10:16) යේසුස් පැවසූ මේ වදන්වලට ඔවුන් එකඟ වෙනවා. “ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.”—මතෙ. 23:10.

ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා

2, 3. දෙවිගේ පුත්‍රයා ඊශ්‍රායෙල්වරුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළේ කොහොමද?

2 ක්‍රිස්තියානි සභාව පිහිටු වීමට ශතවර්ෂ ගණනාවකට පෙර සිටම යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියට නායකත්වය ලබා දීම සඳහා දේවදූතයෙකුව යොදාගත්තා. ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගත් පසු දෙවි ඔවුන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු යවන්නෙමි. ඔහුගේ හඬට කීකරු වීමට වගබලා ගන්න. ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. ඔබ කැරලිගැසුවොත් ඔහු ඔබට සමාව දෙන්නේ නැත. මන්ද ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්ය.” (නික්. 23:20, 21) එහි සඳහන් ආකාරයට එම දේවදූතයා ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් පෙනී සිටින’ නිසා ඔහු දෙවිගේ කුලුඳුල් පුත්‍රයා බව සිතිය හැකියි.

3 පොළොවට පැමිණීමට පෙර දෙවිගේ කුලුඳුල් පුත්‍රයාව මිකායෙල් යන නමින් හැඳින්නුවා විය හැකියි. දානියෙල් පොතේ මිකායෙල්ව “[දානියෙල්ගේ] සෙනඟව රැකබලා ගන්නා අධිපතියා” ලෙස හඳුන්වා තිබෙනවා. (දානි. 10:21) දානියෙල්ගේ කාලයට පෙර සිටම මිකායෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ යහපත වෙනුවෙන් මැදිහත් වූ බව සිතිය හැකියි. උදාහරණයකට මෝසෙස්ගේ මළ සිරුර ගැන මිකායෙල් සහ සාතන් අතර මතභේදයක් ඇති වූ බව යූද් සඳහන් කරනවා. සමහරවිට සාතන් ඊශ්‍රායෙල්වරුන්ව රූප නමස්කාරයට පෙලඹවීම සඳහා එම මළ සිරුර යොදාගැනීමට උත්සාහ කළා විය හැකියි. නමුත් ඒ අවස්ථාවේදී මිකායෙල් සාතන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් යූද් මෙසේ පවසනවා. “මෝසෙස්ගේ මළ සිරුර ගැන අග්‍රදේවදූත මිකායෙල් සහ යක්ෂයා අතර මතභේදයක් ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත. ඒ වෙනුවට, ‘ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි’ කියා ඔහු පැවසුවේය.” (යූද් 9) ඊට ටික කාලයකට පසු එනම්, යෙරිකෝව වැටලීමට පෙර යොෂුවාට දෙවිගේ උපකාර තිබෙන බවට සනාථ කළේත් “යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති” වන මිකායෙල් බවට කිසිම සැකයක් නැහැ. (යොෂුවා 5:13-15 කියවන්න.) ඒ වගේම දේවදූතයෙක් දානියෙල්ට වැදගත් පණිවිඩයක් ප්‍රකාශ කිරීමට පැමිණෙන විට භූතයන්ගේ අධිපතියෙක් ඔහුව වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ උපකාරයට පැමිණියේත් අග්‍රදේවදූතයා වන මිකායෙල්.—දානි. 10:5-7, 12-14.

පොරොන්දු කරන ලද නායකයා පැමිණෙයි

4. පැමිණීමට නියමිත මෙසියස් සම්බන්ධයෙන් ලබා දුන් අනාවැකිය කුමක්ද?

4 ඉහත සඳහන් කළ සිද්ධියට පෙර “නායකයා වන මෙසියස්ගේ” පැමිණීම ගැන දානියෙල්ට අනාවැකියක් පැවසීමට යෙහෝවා දෙවි ගාබ්‍රියෙල් දේවදූතයාව යොදාගත්තා. (දානි. 9:21-25) * එම අනාවැකියට අනුව ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වුණා. ඉන්පසු දෙවි තම බලයෙන් ඔහුව අභිෂේක කළ අතර ඔහු ක්‍රිස්තුස් හෙවත් මෙසියස් බවට පත් වුණා. (මතෙ. 3:13-17; යොහ. 1:29-34; ගලා. 4:4) වෙන කිසි නායකයෙකුට සම කළ නොහැකි නායකයෙක් ලෙස ක්‍රිස්තුස් ක්‍රියා කරන බව පැහැදිලියි.

5. පොළොව මත සිටි කාලයේදී ක්‍රිස්තුස් නායකයෙක් ලෙස ක්‍රියා කළේ කොහොමද?

5 යේසුස් තම දේවසේවය ආරම්භ කළ අවස්ථාවේ සිටම තමන් “නායකයා වන මෙසියස්” බව ඔප්පු කළා. තම සේවය ආරම්භ කර දින කිහිපයකට පසු ඔහු තම ගෝලයන්ව තොරාගත් අතර පළමු ආශ්චර්යයද සිදු කළා. (යොහ. 1:35–2:11) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින් ඔහු ගිය සෑම තැනකම ඔහුගේ ගෝලයන්ද ඔහු සමඟ ගියා. (ලූක් 8:1) ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යේසුස් ඔවුන්වද පුහුණු කළා. එමෙන්ම ඔහු ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයෙහි හවුල් වීමෙන් හොඳ ආදර්ශයක්ද තැබුවා. (ලූක් 9:1-6) අද දින ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන්ද යේසුස්ගේ එම ආදර්ශය අනුකරණය කිරීමට මහත් වෑයමක් දරනවා.

6. ක්‍රිස්තුස් එඬේරෙක් ලෙස ක්‍රියා කළේ කොහොමද?

6 නායකයෙක් ලෙස යේසුස්ගේ කාර්යභාර්යට ප්‍රේමණීය එඬේරෙකු ලෙස ක්‍රියා කිරීමද ඇතුළත්. සාමාන්‍යයෙන් එඬේරුන් ඔවුන්ගේ රැළට මඟ පෙන්වනවා. එක් පොතක එඬේරුන් ගැන මෙසේ සඳහන් වුණා. ‘එඬේරුන් රැළට ඉදිරියෙන් ගමන් කරන්නේ ඔවුන්ට මාර්ගය පෙන්වීමට පමණක් නොවෙයි. ඔවුන්ට එම මාර්ගයේ යා හැකිද කියාත් එය ආරක්ෂාකාරීද කියාත් ඔවුන් සැලකිලිමත් වෙනවා. එඬේරා තම සැරයැටියෙන් ඔවුන්ව පාලනය කරන අතර තණ බිම් කරා යෑමට ඔවුන්ට මඟ පෙන්වනවා. ඒ වගේම සතුරන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරනවා.’ සැබෑ එඬේරා හා නායකයා තමන් බව යේසුස්ම මෙසේ පැවසුවා. “උතුම් එඬේරා මමයි. මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා. මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා. මම ඔවුන්ව හොඳින් හඳුනනවා. ඔවුන්ද මා අනුව එනවා.” (යොහ. 10:11, 27) යේසුස් පැවසූ ලෙසම ඔහු තම බැටළුවන් වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළා. නමුත් යෙහෝවා දෙවි “ගැලවුම්කරු “ වන යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා.—ක්‍රියා 5:31; හෙබ්‍රෙ. 13:20; එම පොත The Land and the Book.

පළමු ශතවර්ෂයේ සභාව අධීක්ෂණය කිරීම

7. යේසුස් ක්‍රිස්තියානි සභාව අධීක්ෂණය කරන්නේ කොහොමද?

7 නැවත නැඟිටවනු ලැබූ යේසුස් ස්වර්ගයට යෑමට ටික වේලාවකට පෙර තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.” (මතෙ. 28:18) යේසුස්ගේ ගෝලයන්ව ශක්තිමත් කිරීමට යෙහෝවා දෙවි ඔහුට බලය ලබා දුන්නා. (යොහ. 15:26) යේසුස් එම බලය ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී තම ගෝලයන්ට ලබා දුන්නා. (ක්‍රියා 2:33) ක්‍රිස්තියානි සභාව පිහිටවනු ලැබුවේ ඒ අවස්ථාවේදියි. පොළොව මත තිබෙන ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයාව පත් කළා. (එෆීස 1:22; කොලොස්සි 1:13, 18 කියවන්න.) ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් සභාවට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ සඳහා යේසුස් තමන්ට ‘යටත් කරන ලද’ දේවදූතයන්වද යොදාගන්නවා.—1 පේතෘ. 3:22.

8. යේසුස් තම අනුගාමිකයන්ට මඟ පෙන්වීම සඳහා පළමු ශතවර්ෂයේ යොදාගත්තේ කාවද? අද දින යොදාගන්නේ කාවද?

8 දෙවිගේ බලයේ උපකාරයෙන් යේසුස් සභාවට “පුරුෂයන්ව තෑගි වශයෙන්” ලබා දුන්නා. මේ අය සභාවේ “එඬේරුන් හා ගුරුවරුන්” ලෙස සේවය කරනවා. (එෆී. 4:8, 11) පාවුල් ඔවුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා. ‘දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමටයි. ඒ නිසා ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න.’ (ක්‍රියා 20:28) ක්‍රිස්තියානි සභාව ආරම්භ කළ අවස්ථාවේදී එහි පෙරමුණ ගෙන කටයුතු කළ සියලුදෙනා අභිෂේක ලත් අයයි. ඒ නිසා එවකට යෙරුසලම සභාවේ සිටි යේසුස්ගේ නියෝජිතයන් හා වැඩිමහල්ලන් පාලක මණ්ඩලය ලෙස ක්‍රියා කළා. එම පාලක මණ්ඩලය මාර්ගයෙන් එදා යේසුස් පොළොවේ සිටි සියලුම අභිෂේක ලත් ‘සහෝදරයන්ට’ මඟ පෙන්වීම් ලබා දුන්නා. (හෙබ්‍රෙ. 2:11; ක්‍රියා 16:4, 5) අද දින යේසුස් “තමන් සතු සියලු දේවල්” කෙරෙහි පත් කර ඇත්තේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හා ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයයි. (මතෙ. 24:45-47) ඒ නිසා අභිෂේක ලත් අය මෙන්ම වෙනත් බැටළුවන්ද පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම් පිළිගැනීමෙන් තමන් යේසුස්ගේ නායකත්වයට යටත් වන බව පෙන්වනවා.

ශුභාරංචිය ප්‍රකාශ කිරීම අධීක්ෂණය කිරීම

9, 10. ශුභාරංචිය පතළ කිරීම සඳහා යේසුස් කළේ කුමක්ද?

9 ආරම්භයේ සිටම යේසුස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය අධීක්ෂණය කළා. ලොව පුරාම ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙළ ඔහු පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔහු ගෝලයන්ට මෙසේ පැවසුවා. “වෙනත් ජාතීන් සිටින පළාත්වලට යන මාවත් දිගේ යන්න එපා. සමාරියේ කිසි නුවරකටවත් ඇතුල් වෙන්න එපා. ඒ වෙනුවට ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවාම යන්න. එසේ යන අතරතුරේදී ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න.” (මතෙ. 10:5-7) යේසුස් පැවසූ ලෙස ඔහුගේ ගෝලයන් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයට උද්‍යෝගයෙන් දේශනා කළා. විශේෂයෙන් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිට ඔවුන් වැඩි උද්‍යෝගයකින් එහි හවුල් වුණා.—ක්‍රියා 2:4, 5, 10, 11; 5:42; 6:7.

10 පසුව යේසුස් දෙවිගේ බලයේ උපකාරයෙන් සමරිතානුවන්ට හා යුදෙව් නොවන අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පියවර ගත්තා. (ක්‍රියා 8:5, 6, 14-17; 10:19-22, 44, 45) එලෙස ජාතීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අරමුණ ඇතුව යේසුස්, සාවුල්ට ක්‍රිස්තියානියෙක් බවට පත් වීමට උපකාර කළා. ඒ සඳහා ඔහු අනනියස්ට මෙසේ පැවසුවා. ‘දැන් ඔබ ‘කෙළින් වීථියට’ ගොස් යූදස්ගේ නිවසෙන් ටාසස් නම් නුවරෙන් පැමිණි සාවුල් නම් මිනිසෙකු ගැන විමසන්න. මම මේ මිනිසාව විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඔහු මගේ නාමය ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත් ප්‍රකාශ කරයි.’ (ක්‍රියා 9:3-6, 10, 11, 15) යේසුස් ඔහුව තම නියෝජිතයෙක් ලෙස තෝරාගත් අතර පසුව ඔහුව පාවුල් යන නමින් හැඳින්නුවා.—1 තිමෝ. 2:7.

11. දෙවිගේ බලයේ උපකාරයෙන් යේසුස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ව්‍යාප්ත කළේ කොහොමද?

11 තවදුරටත් ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා අවස්ථාව පැමිණි විට පාවුල්ට සුළු ආසියාවට හා යුරෝපයට යෑමට යේසුස් දෙවිගේ බලය මාර්ගයෙන් මඟ පෙන්වනු ලැබුවා. ලූක් ඒ ගැන මෙසේ වාර්තා කරනවා. “[සිරියාවේ අන්තියෝකියෙහි පිහිටි සභාවේ සිටි අනාගතවක්තෘවරුන් හා ගුරුවරුන්] යෙහෝවා දෙවිට ප්‍රසිද්ධියේ සේවය කරමින් නිරාහාරව සිටීමටද කාලය ගත්තෝය. එවැනි අවස්ථාවකදී දෙවිගේ බලයෙන් ඔවුන්ට මෙවැනි මඟ පෙන්වීමක් ලැබිණ. ‘සියලුදෙනා අතරින් බානබස්ව සහ සාවුල්ව මම කැඳෙව්වේ විශේෂ කාර්යයක් භාර දීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන්ව වෙන් කර තබන්න.’ ඉන්පසු ඔවුහු නිරාහාරව සිට යාච්ඤා කර ඔවුන් පිට අත් තබා, ඔවුන්ව පිටත් කර යැව්වෝය.” (ක්‍රියා 13:2, 3) යේසුස් සාවුල්ව ‘විශේෂ අරමුණක්’ සඳහා එනම්, තමාගේ නාමය ජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහා තෝරාගත්තා. ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස යේසුස් කළ ඒ ක්‍රියාව නිසා ශුභාරංචිය වැඩි උද්‍යෝගයකින් ප්‍රකාශ කිරීමට සියලුදෙනා තුළ ආශාවක් ඇති වුණා. ශුභාරංචිය ප්‍රකාශ කිරීම අධීක්ෂණය කිරීම සඳහා යේසුස් දෙවිගේ බලය යොදාගත් බව පාවුල්ගේ දෙවන මිෂනාරි ගමනේදී හොඳින්ම පැහැදිලි වුණා. බයිබලයේ සඳහන් වන්නේ “යේසුස් දෙවිගේ බලය මාර්ගයෙන්” පාවුල් හා ඔහුගේ හවුල්කරුවන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යා යුත්තේ කොතැනටද කවදාද යන්න ගැන අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන් බවයි. ඒ මඟ පෙන්වීම්වලට අනුව පාවුල් යුරෝපයට ගියා.ක්‍රියා 16:6-10 කියවන්න.

සභාවේ නායකයා යේසුස්

12, 13. සභාවල සිදු වන දේවල් ගැන යේසුස් හොඳ අවධානයකින් සිටින බව එළිදරව් පොතේ සඳහන් දෙයින් පැහැදිලි වන්නේ කොහොමද?

12 පළමු ශතවර්ෂයේ තිබූ අභිෂේක ලත් අයගෙන් සමන්විත සභාවන් ගැන යේසුස් හොඳ අවධානයෙන් සිටියා. එළිදරව් දෙවන හා තුන්වන පරිච්ඡේද කියවන විට එය අපට පැහැදිලි වෙනවා. සුළු ආසියාවේ තිබෙන සභා හතක් ගැන ඔහු එහි සඳහන් කළා. (එළි. 1:11) යේසුස් සභා හතක් ගැන සඳහන් කළත් එදා තිබූ සියලුම සභා ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණ බවට කිසිම සැකයක් නැහැ.එළිදරව් 2:23 කියවන්න.

13 ඔහු සඳහන් කරන සභා හතෙන් සමහර සභාවල සිටි අය පීඩා මැද විඳදරාගත් ආකාරය ගැනත් ඔහුගේ වචනයට විශ්වාසවන්තව කීකරු වීම ගැනත් බොරු ගුරුවරුන්ව ප්‍රතික්ෂේප කිරීම ගැනත් ඔවුන්ට ප්‍රශංසා කළා. (එළි. 2:2, 9, 13, 19; 3:8) අනෙක් අතට ඔහු සමහර සභාවල සිටි අයට සෘජු උපදෙස් ලබා දුන්නා. මන්ද ඔවුන්ට මුලින් තිබූ ප්‍රේමය නැති වී ගොස් තිබුණා. ඔවුන් රූප නමස්කාරය, වේශ්‍යාකම, නිකායන්වල ඉගැන්වීම් පිළිපැදීම වැනි බරපතළ දේවල් සභාවේ සිදු වීමට ඉඩහැරියා. (එළි. 2:4, 14, 15, 20; 3:15, 16) යේසුස් ඔවුන්ට සෘජු උපදෙස් ලබා දුන්නත් ඔහු ප්‍රේමණීය එඬේරෙක් බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන සියලුදෙනාටය. එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.” (එළි. 3:19) එම සභාවන්ට ප්‍රශංසා කිරීමෙන් හා උපදෙස් දීමෙන් පසු ඔහු මෙසේ පැවසුවා. “දෙවි තම බලයෙන් සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.” (එළි. 3:22) යේසුස් ස්වර්ගයේ සිටියත් දෙවිගේ බලයේ උපකාරයෙන් පොළොව මත තිබෙන සභාවන් අධීක්ෂණය කරන බව ඉන් පැහැදිලි වෙනවා.

14-16. (අ) නිර්භීත නායකයා ලෙස යේසුස් ක්‍රියා කළේ කොහොමද? (ආ) “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ‘සිටීමෙන්’ ලැබී තිබෙන ප්‍රතිළුල මොනවාද? (ඇ) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

14 අප සලකා බැලූ ලෙස මිකායෙල් (යේසුස්) ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් නිර්භීත නායකයෙක් ලෙස ක්‍රියා කර තිබුණා. ඒ වගේම පළමු ශතවර්ෂයේ සිටි තම ගෝලයන්ට යේසුස් නායකයෙක් හා ප්‍රේමණීය එඬේරෙක් වුණා. ඒ කාලයේදී ඔහු ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ පෙරමුණ ගත් අතර නැවත නැඟිටීමෙන් පසු ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යය අධීක්ෂණය කළා.

15 යේසුස් දෙවිගේ බලය යොදාගෙන පොළොවේ සෑම තැනකම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට පියවර ගත්තා. ඔහු ස්වර්ගයට යෑමට පෙර තම අනුගාමිකයන්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8; 1 පේතෘස් 1:12 කියවන්න.) ඒ අනුව යේසුස්ගේ අධීක්ෂණය යටතේ පළමු ශතවර්ෂයේදී ඔහුගේ ගෝලයන් බොහෝ ප්‍රදේශවල ශුභාරංචිය ව්‍යාප්ත කළා.—කොලො. 1:23.

16 පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය සිදු කරන බව යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:19, 20) වර්ෂ 1914දී යේසුස් රජ වීමත් සමඟම ඔහු වෙන කවරදාටත් වඩා ඔහුගේ ගෝලයන් “සමඟ” සිටිමින් නායකයෙක් ලෙස ඔහුගේ කාර්යයේ ක්‍රියාශීලීව නියැලෙනවා. අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 4 ඡේ. මේ අනාවැකිය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

පුනරීක්ෂණ ප්‍රශ්න

• ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස දෙවිගේ පුත්‍රයා ක්‍රියා කළේ කොහොමද?

• යේසුස් ඔහුගේ සභාව අධීක්ෂණය කරන්නේ කොහොමද?

• යේසුස් ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යය අධීක්ෂණය කළේ කොහොමද?

• සෑම සභාවකම තත්වය යේසුස් හොඳින්ම දන්නා බව පැවසිය හැක්කේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

“මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු යවන්නෙමි”

[23වන පිටුවේ පින්තූරය]

සභාව රැකබලා ගැනීමට යේසුස් එදා මෙන් අදත් “පුරුෂයන්ව තෑගි වශයෙන්” ලබා දෙනවා