Skip to content

පටුනට යන්න

අපගේ ජයග්‍රාහී නායකයා

අපගේ ජයග්‍රාහී නායකයා

අපගේ ජයග්‍රාහී නායකයා

“ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු, සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.”—එළි. 6:2.

1, 2. (අ) වර්ෂ 1914දී යේසුස් රජ වීමෙන් පසු ඔහුව බයිබලයේ විස්තර කර තිබෙන්නේ කොහොමද? (ආ) යේසුස් රජ වීමෙන් පසු කළේ කුමක්ද?

යෙහෝවා දෙවි 1914දී දේවරාජ්‍යයයේ රජ ලෙස යේසුස්ව පත් කළා. යේසුස් දැන් කරමින් සිටින දේ ගැන ඔබගේ මනසට නැගෙන්නේ කුමක්ද? ඔහු සිංහාසනය මත ඉඳගෙන සභාවල සිදු වන දේවල් ගැන විටින් විට සොයා බලන ආකාරයද? එසේනම් ඒ සිතුවිල්ල වෙනස් කරගැනීම අවශ්‍යයි. ගීතාවලිය පොතේ හා එළිදරව් පොතේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ, ‘ජය අත් කරගැනීමටත් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබීමටත්’ අශ්වයෙකු පිට යන ජයග්‍රාහී රජ කෙනෙක් ලෙසයි.—එළි. 6:2; ගීතා. 2:6-9; 45:1-4.

2 යේසුස් රජ වීමත් සමඟම ඔහු ‘මකරා සහ උගේ දූතයන්ට’ විරුද්ධව සටන් කර ජය ගත්තා. දේවදූත හමුදාවේ නායකයා ලෙස ක්‍රියා කරන ඔහු සාතන් හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් නෙරපා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පොළොවට පමණක් සීමා කළා. (එළි. 12:7-9) පසුව ඔහු “ගිවිසුමට සම්බන්ධ දූතයා” ලෙස තම පියා සමඟ පැමිණ දෙවිගේ ගෘහය පරීක්ෂා කළා. (මලා. 3:1) එහිදී යේසුස් ‘මහා බැබිලෝනියට’ අයත් දූෂිතම කොටස වන ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ ආගම් විනිශ්චය කළා. මන්ද ඔවුන් දේශපාලනය සමඟ සම්බන්ධ වීමෙන් දෙවිට විරුද්ධව කටයුතු කළ අතර ලේ වැගිරවීමටද වරදකරුවන් වී සිටියා.—එළි. 18:2, 3, 24.

දාසයාව පවිත්‍ර කිරීම

3, 4. (අ) යෙහෝවා දෙවිගේ “දූතයා” ලෙස යේසුස් කළේ කුමක්ද? (ආ) දෙවිගේ ගෘහය පරීක්ෂා කළ විට හෙළි වුණේ කුමක්ද? ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස යේසුස් කළ පත්කිරීම කුමක්ද?

3 යෙහෝවා දෙවි සහ ඔහුගේ දූතයා කරන ලද පරීක්ෂණයෙන් පසු ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට සම්බන්ධ නොවී සිටින සැබෑ ක්‍රිස්තියානි කණ්ඩායමක් සිටින බව හෙළි වුණා. කෙසේවෙතත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සැදුම්ලත් “ලෙවීගේ පුත්‍රයන්” ලෙස හඳුන්වන ඒ කණ්ඩායම පවිත්‍ර කිරීමට සිදු වුණා. මලාකි ඒ සම්බන්ධයෙන් මෙවැනි අනාවැකියක් පවසා තිබුණා. “රිදී උණු කර පවිත්‍ර තත්වයකට පත් වන තුරු ඒ දෙස බලා සිටින රන්කරුවෙකු මෙන් [යෙහෝවා දෙවි] ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරන්නේය. රන් හා රිදීවල තිබෙන බොර ඉවත් කරන්නාක් මෙන් ඔහු ඔවුන් තුළ ඇති අපවිත්‍ර දේ ඉවත් කරනු ඇත. ඉන්පසු ඔවුහු යෙහෝවා දෙවිට ධර්මිෂ්ඨ සිතකින් පූජා ඔප්පු කරන්නෝය.” (මලා. 3:3) එම කණ්ඩායම පවිත්‍ර කිරීමට යෙහෝවා දෙවි ‘ගිවිසුමට සම්බන්ධ දූතයාව’ යොදාගත්තා.

4 එම කණ්ඩායම ස්වාමියාගේ මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා තමන්ට හැකි උපරිමය කරන බවද හෙළි වුණා. ඔවුන් 1879 සිට මෙම සඟරාව මගින් දේවරාජ්‍යයට සම්බන්ධ බයිබලය මත පදනම් තොරතුරු ඉදිරිපත් කරමින් සිටීම ඊට හොඳ උදාහරණයක්. පීඩාකාරී කාලවලදී පවා ඔවුන් එසේ කර තිබුණා. ‘පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී’ තම මෙහෙකරුවන්ව පරීක්ෂා කිරීමට පැමිණෙන විට ඔවුන්ට ‘නියම වේලාවට ආහාර ලබා දෙන’ දාසයෙක් සිටින බවට යේසුස් අනාවැකියක් පවසා තිබුණා. එම දාසයාව ‘තමන් සන්තක සියල්ල කෙරෙහි පත් කරන බවත්’ යේසුස් එහිදී පැවසුවා. (මතෙ. 24:3, 45-47) ඒ අනුව යේසුස් ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පොළොවේ තිබෙන තමා සන්තක සියල්ල බලාගැනීමට පත් කළා. අභිෂේක ලත් අයගෙන් සමන්විත “තම මෙහෙකරුවන්ට” හා ‘වෙනත් බැටළුවන්ට’ අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට ඔහු පාලක මණ්ඩලයක් යොදාගන්නවා.—යොහ. 10:16.

පොළොවේ අස්වැන්න

5. යේසුස් සම්බන්ධයෙන් යොහන් දර්ශනයකින් දුටුවේ කුමක්ද?

5 ‘ස්වාමින්ගේ දවසේදී’ එනම්, යේසුස් රජ වීමෙන් පසු ඔහු කරන තවත් දෙයක් ගැන යොහන් දර්ශනයකින් දැක්කා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා. “බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.” (එළි. 1:10; 14:14) ‘පොළොවේ අස්වැන්න හොඳින් පැසී තිබෙන’ නිසා වලාකුළු මත සිටින තැනැත්තාට ඔහුගේ දෑකැත්ත පොළොව දෙසට යොමු කරන්න කියා දේවදූතයෙක් පවසනවා යොහන්ට ඇසුණා.—එළි. 14:15, 16.

6. වපුරන්නාගේ උපමාවට අනුව යේසුස් පැවසුවේ කුමක් සිදු වන බවද?

6 “පොළොවේ අස්වැන්න” ගැන සඳහන් කරද්දී අපට මතක් වන්නේ යේසුස් පැවසූ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවයි. එහිදී යේසුස් තමාව වපුරන්නෙකුට සමාන කළා. වපුරන්නා හොඳ අස්වැන්නක් ලබාගැනීමේ අරමුණෙන් තිරිඟු වැපිරුවා. එම තිරිඟුවලින් නියෝජනය කරන්නේ යේසුස් සමඟ පාලනයට හවුල් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වන ‘රාජ්‍යයේ පුත්‍රයන්වයි.’ රාත්‍රියේදී සතුරෙක් එනම්, “යක්ෂයා” ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වැපිරුවා. කිරිඳිවලින් නියෝජනය කරන්නේ ‘දුෂ්ටයාගේ පුත්‍රයන්වයි.’ පවතින සමාජයේ අවසානය වන තුරු තිරිඟු හා කිරිඳි වැඩෙන්න හරින්න කියා වපුරන්නා සේවකයන්ට පැවසුවා. නියමිත කාලයේදී ඔහු දේවදූතයන්ව එවා තිරිඟුවලින් කිරිඳි වෙන් කරනවා.—මතෙ. 13:24-30, 36-41.

7. යේසුස් ‘පොළොවේ අස්වැන්න’ නෙළීමේ කාර්යය සිදු කරන්නේ කොහොමද?

7 යොහන් දුටු දර්ශනයට අනුව යේසුස් අස්වැන්න නෙළීමේ කාර්යය පොළොව පුරාම සිදු කරනවා. එය ආරම්භ වුණේ ‘රාජ්‍යයේ පුත්‍රයන්’ වන 1,44,000ගේ ඉතුරු කොටස එකතු කිරීමත් සමඟයි. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව සැබෑ ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය අතර තිබෙන වෙනස මිනිසුන්ට වඩාත් පැහැදිලිව දැකගැනීමට හැකි වුණා. එය ‘පොළොවේ අස්වැන්නට’ අයත් දෙවන කොටස එනම්, වෙනත් බැටළුවන්ව එකතු කිරීමට උපකාරවත් වුණා. වෙනත් බැටළුවන් ‘රාජ්‍යයේ පුත්‍රයන්ට’ අයත් වන්නේ නැහැ. ඔවුන් අයත් වන්නේ මහත් සමූහයටයි. ‘සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන’ ඔවුන් යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කරන “ශුද්ධ තැනැත්තන්” වන 1,44,000ගෙන් සමන්විත දේවරාජ්‍යයට කැමැත්තෙන්ම යටත් වෙනවා.—එළි. 7:9, 10; දානි. 7:13, 14, 18.

සභාවේ නායකයා

8, 9. (අ) සභාව ගැන පමණක් නොව එහි සිටින එක් එක් සාමාජිකයා ගැන යේසුස් සැලකිලිමත් වන බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) විසිහයවන පිටුවේ ඇති පින්තූරයට අනුව අප ප්‍රතික්ෂේප කළ යුතු “සාතන්ගේ ගැඹුරු දේවල්” මොනවාද?

8 පළමු ශතවර්ෂයේ සභාවල තිබූ තත්වය ගැන යේසුස් හොඳ අවධානයෙන් සිටි බව අප කලින් ලිපියේ සාකච්ඡා කළා. වර්තමානයේදී රජ ලෙස “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය” හිමි අපගේ නායකයා වන යේසුස් ලෝක ව්‍යාප්තව ඇති සියලුම සභා හා වැඩිමහල්ලන්ව අධීක්ෂණය කරනවා. (මතෙ. 28:18; කොලො. 1:18) යෙහෝවා දෙවි, යේසුස්ව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ‘සභාවේ ප්‍රයෝජනය උදෙසා සියලු දේවල් කෙරෙහි හිස ලෙස පත්’ කර තිබෙනවා. (එෆී. 1:22) ඒ නිසා ලොව පුරා ඇති 1,00,000කට අධික සභාවල සිදු වන සෑම දෙයක් ගැනම යේසුස් අවධානයෙන් සිටින බව පැවසිය හැකියි.

9 අතීතයේ තිබූ සභාවක් වන තියතීරා සභාවට යේසුස් මෙම පණිවිඩය ලබා දුන්නා. “ගිනිසිළු වැනි ඇස් ඇති තැනැත්තා වන දෙවිගේ පුත්‍රයා පවසන්නේ මෙයයි. ‘ඔබේ ක්‍රියා දනිමි.’” (එළි. 2:18, 19) එම සභාවේ සාමාජිකයන්ගේ අනාචාර ක්‍රියා ගැන සහ තම ආශාව ගැන පමණක් සිතා කටයුතු කිරීම ගැන ඔවුන්ට තරවටු කරමින් යේසුස් මෙසේ පැවසුවා. “යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි සෝදිසි කර බලන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගනු ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව ප්‍රතිඵල දෙන්නෙමි.” (එළි. 2:23) ඉන් පැහැදිලි වන්නේ යේසුස් සභාවන් ගැන පමණක් නොව එහි සිටින එක් එක් සාමාජිකයන් ගැනද අවධානයෙන් සිටින බවයි. ‘සාතන්ගේ ගැඹුරු දේවල් ලෙස හඳුන්වනු ලබන දේවල් ගැන අවබෝධයක් නැති’ එම සභාවට යේසුස් ප්‍රශංසා කළා. (එළි. 2:24) වර්තමානයේ අන්තර්ජාලය හා වීඩියෝ ක්‍රීඩාවලින් “සාතන්ගේ ගැඹුරු දේවල්” සොයා නොබලන බාල මහලු අයට යේසුස් තම අනුමැතිය ලබා දෙනවා. දෙවිට විරුද්ධ සංකල්ප හා දර්ශනවාදී මත සොයා බැලීමද සාතන්ගේ ගැඹුරු දේවලට අයත්. යේසුස්ගේ මඟ පෙන්වීම් තම ජීවිතයට අදාළ කරගැනීමට වෑයම් කරන හා ඒ වෙනුවෙන් බොහෝ දේවල් පරිත්‍යාග කරන අයව දකින විට යේසුස් මොන තරම් සතුටු වෙනවා ඇද්ද!

10. වැඩිමහල්ලන්ට යේසුස් මඟ පෙන්වන බව පවසන්න පුළුවන් ඇයි? ඔවුන් කුමක් පිළිගත යුතුද?

10 යේසුස් ලෝක ව්‍යාප්තව ඇති සභාවන් අධීක්ෂණය කරන්නේ වැඩිමහල්ලන් මාර්ගයෙනුයි. (එෆී. 4:8, 11, 12) පළමු ශතවර්ෂයේ සිටි සියලුම වැඩිමහල්ලන් අභිෂේක ලත් අයයි. ඔවුන්ව යේසුස්ගේ දකුණතෙහි ඇති තාරකාවලට සමාන කර තිබෙනවා. (එළි. 1:16, 20) නමුත් අද දින සභාවල සිටින බොහෝ වැඩිමහල්ලන් වෙනත් බැටළුවන්ට අයත්. ඔවුන්ව වැඩිමහල්ලන් ලෙස පත් කර ඇත්තේ යාච්ඤා කිරීමෙන් හා දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව නිසා ඔවුනුත් යේසුස්ගේ අධීක්ෂණය යටතේ සිටින බව පැවසිය හැකියි. (ක්‍රියා 20:28) තම අනුගාමිකයන්ව අධීක්ෂණය කිරීමට හා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක්ව පාලක මණ්ඩලය ලෙස යොදාගන්නා බව වැඩිමහල්ලන් පිළිගන්නවා.ක්‍රියා 15:6, 28-30 කියවන්න.

“ස්වාමීන් වන යේසුස්, එන්න”

11. අපේ නායකයා වන යේසුස් ඉක්මනින් පැමිණෙනවා දැකීමට අප ආශා කරන්නේ ඇයි?

11 තමන් ඉක්මනින්ම පැමිණෙන බව යේසුස් කිහිප වතාවක්ම පවසනවා යොහන්ට ඇසුණා. (එළි. 2:16; 3:11; 22:7, 20) යේසුස් පැමිණෙන්නේ දෙවි ගැන අසත්‍යය උගන්වන සියලුම ආගම් වන මහ බැබිලෝනිය හා සාතන්ගේ පාලනය යටතේ තිබෙන අනිකුත් සියලු දේ විනිශ්චය කිරීමට බව කිසිම සැකයක් නැහැ. (2 තෙස. 1:7, 8) සියලු අනාවැකි ඉටු වෙනවා දැකීමට ඉමහත් ආශාවෙන් සිටි යොහන් “ස්වාමීන් වන යේසුස්, එන්න” කියා පැවසුවා. මේ දුෂ්ට සමාජයේ අවසානයේ ජීවත් වන අප සියලුදෙනාත් මහත් ආශාවෙන් බලා සිටින්නේ අපේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරනවා දැකීමට හා සියල්ල පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි බව ඔප්පු කරනවා දැකීමටයි.

12. සතරදිග සුළං මුදාහැරීමට පෙර යේසුස් සම්පූර්ණ කරන්නේ කුමක්ද?

12 සාතන්ගේ ලෝකය විනාශ කිරීමට යේසුස් පැමිණීමට පෙර අභිෂේක ලත් 1,44,000දෙනාගේ අන්තිම සාමාජිකයා අවසාන මුද්‍රාව ලැබිය යුතුයි. ඔවුන් අවසාන මුද්‍රාව ලබන තුරු සාතන්ගේ ලෝකය විනාශ කිරීමට සතරදිග සුළං මුදාහරින්නේ නැති බව බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා.—එළි. 7:1-4.

13. තමා පැමිණ සිටින බව “මහත් පීඩාව” ආරම්භයේදී යේසුස් අන් අයට දැනගැනීමට සලස්වන්නේ කොහොමද?

13 යේසුස් ‘පැමිණ සිටීම’ 1914 සිට සිදු වූ බව බොහෝදෙනෙකුට තේරුම්ගැනීමට හැකි වී නැහැ. (2 පේතෘ. 3:3, 4) කෙසේවෙතත් යේසුස් ඉතා ඉක්මනින් සාතන්ගේ දුෂ්ට ලෝකයට අයත් විවිධ අංග මත යෙහෝවා දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරන විට එය සෑමදෙනාම තේරුම්ගනීවි. උදාහරණයකට ක්‍රිස්තියානියයි කියාගන්නාවූ ආගම්වල පූජක පක්ෂය එනම්, “පව්කාර මනුෂ්‍යයා” විනාශ කරන විට යේසුස් “පැමිණ සිටින බව සියලුදෙනාටම පැහැදිලි” වෙයි. (2 තෙසලෝනික 2:3, 8 කියවන්න.) යෙහෝවා දෙවි විසින් පත් කරන ලද විනිශ්චයකරු ලෙස යේසුස් ක්‍රියා කරමින් සිටින බවට එය කදිම සාක්ෂියක්. (2 තිමෝති 4:1 කියවන්න.) දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වල විනාශය ආරම්භ වන්නේ මහ බැබිලෝනියේ වඩාත් දූෂිත කොටස වන ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් විනාශ කිරීමෙනුයි. ගණිකාව ලෙස හඳුන්වා ඇති මහ බැබිලෝනියේ විනාශය සිදු කරන්නේ දේශපාලනය විසිනුයි. ඔවුන්ගේ සිතට එම අදහස ඇතුල් කරන්නේ යෙහෝවා දෙවියි. (එළි. 17:15-18) එය ‘මහත් පීඩාවේ’ ආරම්භයයි.—මතෙ. 24:21.

14. (අ) මහත් පීඩාවේ පළමු අදියරය පවතින කාලය කෙටි කරන්නේ ඇයි? (ආ) ‘මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ’ දකින විට එය දෙවිගේ සෙනඟට බලපාන්නේ කොහොමද?

14 අභිෂේක ලත් අයගේ ඉතිරි කොටස එනම්, “තෝරාගත් අය නිසා” මහත් පීඩාවේ පළමු අදියරය පවතින කාලය කෙටි කරන බව යේසුස් පැවසුවා. (මතෙ. 24:22) මහ බැබිලෝනිය සම්පූර්ණයෙන්ම විනාශ කරන විට අභිෂේක ලත් අයට හා වෙනත් බැටළුවන්ට ඉන් කිසිදු හානියක් සිදු වීමට යෙහෝවා දෙවි ඉඩහරින්නේ නැහැ. “ඒ දවස්වලදී එම පීඩාව ඇති වූ සැණින්ම” හිරු සඳු හා තාරකාවල සිදු වන වෙනස දැකගත හැකි වන බවත් ‘මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන’ බවත් යේසුස් පැවසුවා. එය දකින ජාතීන් ‘ශෝකයෙන් තම පපුවට ගසාගත්තත්’ ස්වර්ගික බලාපොරොත්තුවක් තිබෙන අභිෂේක ලත් අය හා පොළොව මත සදාකාල ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින වෙනත් බැටළුවන් එසේ ක්‍රියා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ‘ඔවුන්ගේ ගැලවීම ළඟ බව දන්නා නිසා ධෛර්යය උපදවාගෙන නැඟිට හිස් ඔසවාගෙන සිටියි.’—මතෙ. 24:29, 30; ලූක් 21:25-28.

15. යේසුස් තම ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට පෙර සිදු කරන තවත් දෙයක් කුමක්ද?

15 යේසුස් තම ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට පෙර සිදු කරන තවත් දෙයක් ගැන ඔහු මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි. එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.” (මතෙ. 25:31-33) ඉන් පැහැදිලි වන්නේ යේසුස් “සියලු ජාතීන්” විනිශ්චය කර කොටස් දෙකකට වෙන් කිරීමට පැමිණෙන බවයි. ඉන් එක් කොටසක් වන්නේ තම සහෝදරයන්ට (එනම්, අභිෂේක ලත් ඉතිරි කොටසට) පූර්ණ සහයෝගය දැක්වූ ‘බැටළු’ ගුණැති අය වන අතර අනික් කොටස වන්නේ ‘ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවූ’ එළුවන්ගෙන් නියෝජනය වන අයයි. (2 තෙස. 1:7, 8) බැටළු ගුණැති ‘ධර්මිෂ්ඨයන්ට’ “සදාකාල ජීවනය හිමි” වන අතර එළුවන්ගෙන් නියෝජනය වන අයට අත් වන්නේ “සදාකාල මරණයයි.”—මතෙ. 25:34, 40, 41, 45, 46.

යේසුස් තම ජයග්‍රහණය සම්පූර්ණ කරයි

16. යේසුස් තම ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ කොහොමද?

16 තමන් සමඟ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කිරීමට එක් වන අභිෂේක ලත් අයගේ සංඛ්‍යාව මුද්‍රා කිරීමෙන් පසු හා ගැලවීම සඳහා බැටළු ගුණැති අයව තමන්ගේ දකුණු පැත්තට එකතු කිරීමෙන් පසු යේසුස් “සම්පූර්ණ ජයග්‍රහණයක්” අත් කරගැනීමට පියවර ගනියි. (එළි. 5:9, 10; 6:2) බලවත් දේවදූත සේනාවකගේ නායකයා වන යේසුස්, දේවදූතයන් හා නැවත නැඟිටුවනු ලැබූ තම සහෝදරයන් සමඟ එකතු වී සාතන්ගේ පාලනය යටතේ පවතින දේශපාලනය, හමුදා හා වානිජ ක්‍රම සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. (එළි. 2:26, 27; 19:11-21) ඉන්පසු යේසුස්ගේ ජයග්‍රහණය සම්පූර්ණ වන අතර පසුව සාතන් සහ ඔහුගේ භූතයන්ව අවුරුදු දහසකට අගාධයට හෙළනවා.—එළි. 20:1-3.

17. දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් වෙනත් බැටළුවන්ට මඟ පෙන්වන්නේ කුමක් ලබාගැනීමටද? අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

17 මහත් පීඩාවෙන් ගැලවී පැමිණෙන වෙනත් බැටළුවන්ට අයත් “මහත් සමූහය” ගැන යොහන් මෙවැනි අනාවැකියක් පැවසුවා. “සිංහාසනය අසල සිටින බැටළු පැටවා එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.” (එළි. 7:9, 17) යේසුස් දහස් අවුරුදු පාලන කාලය පුරාම වෙනත් බැටළුවන්ට මඟ පෙන්වයි. ඔහුගේ හඬට කීකරු වන අයට සදාකාල ජීවනය ලබාගැනීමට ඔහු උපකාර කරනවා. (යොහ. 10:16, 26- 28 කියවන්න.) ඒ නිසා දැනටත් සදහටත් අපේ එකම නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ව අපි අනුගමනය කරමු.

ඔබට මතකද?

• යේසුස් රජකමට පත් වූ පසු කළේ කුමක්ද?

• අද දින සභාවලට මඟ පෙන්වීම් ලබා දීමට යේසුස් යොදාගන්නේ කාවද?

• යේසුස් පැමිණ සිදු කරන දේවල් මොනවාද?

• යේසුස් අපට දිගටම මඟ පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ වන විට යේසුස් පැමිණ සිටින බවට තහවුරු වෙයි