Skip to content

පටුනට යන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

“නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.”—මතෙ. 6:33.

1, 2. දෙවිගේ ධර්මිෂ්ඨකම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය පදනම් වී තිබෙන්නේ කුමක් මතද?

‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න.’ (මතෙ. 6:33) යේසුස් කන්ද උඩ දේශනාවේදී ලබා දුන් එම උපදෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳින් දන්නවා. අපගේ ජීවිතයේ සෑම කාරණයකදීම අප දෙවිගේ පාලනයට පක්ෂපාත වන බව පෙන්වීමට උත්සාහ කරනවා. යේසුස් ඒ අවස්ථාවේදී පැවසූ තවත් දෙයක්ද අප මතක තබාගත යුතුයි. එනම් ‘දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න’ යන්නයි. ඉන් අදහස් කරන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට අපි දෙවිගේ ධර්මිෂ්ඨකම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සලකා බලමු.

2 දෙවි ධර්මිෂ්ඨ කෙනෙක් කියා පැවසීමෙන් අදහස් කරන්නේ දෙවි පිහිටුවා ඇති ප්‍රමිතිවලට ඔහුම ඇලී සිටින බවයි. සියලු දේ නිර්මාණය කර ඇති තැනැත්තා ලෙස දෙවිට හරි වැරැද්ද හා හොඳ නරක පිළිබඳ ප්‍රමිති ඇති කිරීමට අයිතියක් තිබෙනවා. (එළි. 4:11) නමුත් දෙවි, සතුටු කිරීමට බැරි තරම් රළු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඔහු අපට ගණන් කර නොහැකි තරම් නීති මාලාවක් ලබා දී නැහැ. දෙවි දී තිබෙන ප්‍රමිති පදනම් වන්නේ ඔහුගේ පෞද්ගලිකත්වය මතයි. ඉන් අදහස් කරන්නේ ප්‍රේමය, ප්‍රඥාව හා බලය යන දෙවිගේ ගතිලක්ෂණ යොදාගෙන ඔහු තම ධර්මිෂ්ඨකම සාධාරණ ආකාරයට පෙන්වන බවයි. එමෙන්ම දෙවිගේ ධර්මිෂ්ඨකමට ඔහුගේ අරමුණත් ඇතුළත් වෙනවා. බයිබලයේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැනද සඳහන් වෙනවා. ඒ නිසා තමන්ට සේවය කිරීමට කැමති අයට දී තිබෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.

3. (අ) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අප යෙහෝවා දෙවිගේ ප්‍රමිති රකින්නේ ඇයි?

3 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවිව සතුටු කිරීම සඳහා ඔහුගේ කැමැත්ත කිරීමයි. ඊට අපගේ ප්‍රමිතිවලට අනුව නොව දෙවි දී තිබෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වීම ඇතුළත් වෙනවා. (රෝම 12:2 කියවන්න.) එවිට අපට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකියි. අප ඔහුගේ නීති පිළිපදින්නේ ඔහු දඬුවම් කරයි යන බිය නිසා නොවෙයි. ඒ වෙනුවට ඔහුට තිබෙන ප්‍රේමය නිසයි. කළ යුතු හොඳම දේ දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීම බවත් අපව නිර්මාණය කර තිබෙන්නේ ඒ ආකාරයට බවත් අප තේරුම්ගෙන සිටිනවා. අපත් දේවරාජ්‍යයේ රජ වන ක්‍රිස්තුස් මෙන් ධර්මිෂ්ඨකමට ප්‍රිය කළ යුතුයි.—හෙබ්‍රෙ. 1:8, 9.

4. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීම කොතරම් වැදගත්ද?

4 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීම කොතරම් වැදගත්ද? ඒදන් උයනේදී ආදම් සහ ඒවට මුහුණ දීමට සිදු වූ දේ ගැන සිතා බලන්න. හරි හා වැරදි දේ ගැන ප්‍රමිති ඇති කිරීමට යෙහෝවා දෙවිට ඇති අයිතිය පිළිගන්නවාද නැද්ද යන්න ඔවුන්ට තීරණය කිරීමට සිදු වුණා. (උත්. 2:17; 3:5) ඔවුන් දෙවිට ඇති අයිතිය පිළි නොගත් නිසා මුළු මිනිස් වර්ගයාටම දුක හා මරණය උරුම වුණා. (රෝම 5:12) නමුත් බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨකමටත් කරුණාවටත් ප්‍රිය කරන තැනැත්තාට ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි.” (හිතෝ. 21:21) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමෙන් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකි වන අතර එය අපගේ ගැලවීමටද මඟ පාදනවා.—රෝම 3:23, 24.

තමන් ධර්මිෂ්ඨයි කියා සිතීම

5. අප මඟහැරිය යුතු උගුල කුමක්ද?

5 අප දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන විට මඟහැරිය යුතු උගුලක් පිළිබඳව පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළා. යුදෙව්වන් ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසුවා. “දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබෙන බව මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ. ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන දැනුමක් නැත. එහෙයින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතියට එකඟව ක්‍රියා කරන්නේ නැත.” (රෝම 10:2, 3) දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. ඊට හේතුව ඔවුන් තමන් ධර්මිෂ්ඨයි කියා ඔප්පු කර පෙන්වීමට උත්සාහ කිරීමයි.

6. තමන් ධර්මිෂ්ඨයි කියා සිතීමේ උගුලට වැටිය හැකි එක් ආකාරයක් කුමක්ද? අප ඉන් වැළකී සිටිය යුත්තේ ඇයි?

6 තමන් දෙවිට කරන සේවය අන් අය කරන සේවය සමඟ සැසඳීම ඉහත සඳහන් උගුලට වැටිය හැකි එක් ආකාරයක්. ඒ නිසා අපගේ හැකියාවන් මත පමණට වඩා විශ්වාස කිරීමට අප පෙලඹිය හැකියි. එවිට අපට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අමතක විය හැකියි. (ගලා. 6:3, 4) අප දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වන්නේ ඔහුට ප්‍රේම කරන නිසයි. නමුත් අප ධර්මිෂ්ඨයි කියා ඔප්පු කිරීමට වෑයම් කිරීමෙන් සිදු වන්නේ අප තුළ දෙවි කෙරෙහි ප්‍රේමයක් නැති බව පෙන්වීමයි.ලූක් 16:15 කියවන්න.

7. තමන් ධර්මිෂ්ඨයි කියා සිතන අය ගැන යේසුස් පැවසූ උපමාව කුමක්ද?

7 “තමන් ඉතා ධර්මිෂ්ඨයි කියා සිතමින් අන් සියලුදෙනාව පහත් කර සැලකූ” අය සම්බන්ධයෙන් යේසුස් මෙවැනි උපමාවක් පැවසුවා. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කිරීමට දේවමාලිගාවට ගියා. එක් කෙනෙක් පරිසිවරයෙක්. අනික් පුද්ගලයා බදු එකතු කරන්නෙක්. පරිසිවරයා නැඟිට නිහඬව මෙසේ යාච්ඤා කරන්න පටන්ගත්තා. ‘දෙවියනි, මම ඔබට ස්තුති කරන්න කැමතියි. අන් අය වගේ මම පව්කාරයෙක් නොවෙයි. විශේෂයෙන්ම මෙතැනට ඇවිත් සිටින මේ බදු එකතු කරන්නාට වඩා මම කොයි තරම් වෙනස්ද! මම කවදාවත් අන් අයගේ දේවල් අයුතු ලෙස ගන්නේ නැහැ. මම අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. අනාචාරයේ යෙදී නැහැ. ඒ වගේම මම සතියට දෙවතාවක් නිරාහාරව සිටිනවා. උපයන හැම දෙයකින්ම මම දහයෙන් කොටසක් අනිවාර්යයෙන්ම දෙනවා.’ නමුත් ඔහුට තරමක් දුරින් සිටගෙන සිටි බදු එකතු කරන්නා අහස දෙස බලන්නවත් අකමැතිව තම පපුවට ගසාගනිමින් පැවසුවේ, ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට අනුකම්පා කරන්න’ කියායි. මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—ලූක් 18:9-14.

“පමණට වඩා ධර්මිෂ්ඨ වීම”

8, 9. “පමණට වඩා ධර්මිෂ්ඨ” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේ සිතීමෙන් අප පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

8 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන විට අප මඟහැරිය යුතු තවත් උගුලක් දේශනාකාරයා 7:16හි මෙසේ සඳහන් කරනවා. “පමණට වඩා ධර්මිෂ්ඨ වීමට හෝ පමණට වඩා ප්‍රඥාවන්ත වීමට හෝ වෑයම් නොකරන්න. ඔබ එසේ කර ඔබටම හානි කරගන්නේ මන්ද?” අප එසේ නොසිතිය යුතු හේතුව ගැන එම පරිච්ඡේදයේ 20වන පදයේ මෙසේ සඳහන් වෙනවා. “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.” “පමණට වඩා ධර්මිෂ්ඨ” කෙනෙක් ධර්මිෂ්ඨ ප්‍රමිති මොනවාද කියා තමන්ම තීරණය කර ඒ මිම්මෙන් අන් අයව මනිනවා. එසේ කිරීමෙන් ඔහු තම ප්‍රමිති දෙවිගේ ප්‍රමිතිවලට වඩා උසස් බව අඟවනවා. එලෙස ක්‍රියා කරන කෙනෙක්ව දෙවි සලකන්නේ අධර්මිෂ්ඨ පුද්ගලයෙක් ලෙසයි.

9 අප ‘පමණට වඩා ධර්මිෂ්ඨයි’ කියා සිතනවා නම් යෙහෝවා දෙවි කාරණා හසුරුවා ඇත්තේ සාධාරණ ආකාරයටද යන්න ගැන ප්‍රශ්න කිරීමට පවා පෙලඹිය හැකියි. අප එසේ කළොත් ඉන් පෙන්වන්නේ දෙවිගේ ප්‍රමිතිවලට වඩා අපගේ ප්‍රමිති උසස් බවයි. එය හරි වැරැද්ද ගැන අපට ඇති ප්‍රමිතිවලට අනුව දෙවිව විනිශ්චය කරනවා හා සමානයි. නමුත් ධර්මිෂ්ඨ ප්‍රමිති ඇති කිරීමට අයිතිය තිබෙන්නේ අපට නොව යෙහෝවා දෙවිටයි.—රෝම 14:10.

10. යෝබ් මෙන් අපත් දෙවිව විනිශ්චය කිරීමට පෙලඹිය හැකි හේතු මොනවාද?

10 අපි කිසි කෙනෙක් වුවමනාවෙන්ම දෙවිව විනිශ්චය කරන්නේ නැති වුණත් අප පාපය උරුම කරගෙන සිටින නිසා ඒ උගුලට හසු විය හැකියි. අප යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට හෝ අසාධාරණයකට ලක් වන විට දෙවිව විනිශ්චය කිරීමට පහසුවෙන්ම පෙලඹෙන්න පුළුවන්. දෙවිට විශ්වාසවන්තව සේවය කළ යෝබ් පවා ඒ උගුලට හසු වුණා. බයිබලයේ ඔහු ගැන පවසන්නේ මෙසේයි. “දෙවිට ගරුබිය දැක්වූ නිර්දෝෂ මනුෂ්‍යයෙක් වාසය කළේය. ඔහු වැරදි දෙයින් ඈත් වී සිටි අවංක මිනිසෙකි.” (යෝබ් 1:1) නමුත් ඔහු විපත්වලට මුහුණ දුන් විට ‘දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම් කළා.’ (යෝබ් 32:1, 2) තම ආකල්ප නිවැරදි කරගැනීමට යෝබ්ට සිදු වුණා. අපත් එවැනි තත්වයකට පත් විය හැකියි. එසේ වුණොත් අපගේ ආකල්ප වෙනස් කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

සියලු කාරණා නොදන්නා බව පිළිගැනීම

11, 12. (අ) යමක් අසාධාරණ බව අපට හැඟුණොත් අප මතක් කරගත යුත්තේ කුමක්ද? (ආ) මිදිවත්තේ වැඩකරුවන් ගැන යේසුස් පැවසූ උපමාවට අනුව අසාධාරණ යමක් සිදු වී ඇති බව කෙනෙකුට හැඟෙන්න පුළුවන් ඇයි?

11 දෙවි ක්‍රියා කරන ආකාරය ගැන සලකා බැලීමේදී අප මතක තබාගත යුතු දෙයක් වන්නේ යම් සිදුවීමකට සම්බන්ධ සියලු කාරණා අප සෑම විටම නොදන්නා බවයි. යෝබ් සම්බන්ධ සිදුවීමෙන්ද එය පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවි හා දේවදූතයන් අතර ස්වර්ගයේ තිබූ රැස්වීමේදී සාතන් කළ චෝදනාව ගැන යෝබ් දැන සිටියේ නැහැ. (යෝබ් 1:7-12; 2:1-6) තමා මුහුණ දුන් විපත් ඇති කළේ සාතන් බවත් යෝබ් දැන සිටියේ නැහැ. ඇත්තටම සාතන් කියන්නේ කවුද කියා යෝබ් දැන සිටි බවද අපට ස්ථිරව පැවසිය නොහැකියි. ඒ නිසා ඔහුගේ විපත්වලට හේතුව දෙවි කියා ඔහු වැරදි නිගමනයකට එළඹුණා. ඉන් පැහැදිලි වන්නේ යම් සිදුවීමකට සම්බන්ධ සියලු කාරණා නොදන්නා විට පහසුවෙන්ම වැරදි නිගමනවලට එළඹිය හැකි බවයි.

12 මිදිවත්තේ වැඩකරුවන් ගැන යේසුස් සඳහන් කළ උපමාව ගැන දැන් අපි සලකා බලමු. (මතෙව් 20:8-16 කියවන්න.) පැයක් පමණක් වැඩ කළ අය හා මුළු දවසම වැඩ කළ අයට එක සමාන කුලියක් ගෙවූ ස්වාමියෙක් ගැන යේසුස් එහිදී සඳහන් කළා. ඒ ගැන ඔබට සිතෙන්නේ මොනවාද? ඔහු කළ දේ සාධාරණද? ඔබට එක විටම මතක් වන්නේ මුළු දවසම අව්වේ මහන්සි වී වැඩ කළ අය ගැන විය හැකියි. ඔබට ඔවුන් ගැන දුකක් ඇති විය හැකියි. ඔවුන්ට වැඩි මුදලක් දිය යුතුව තිබුණා කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ අනුව ස්වාමියා අසාධාරණ කෙනෙක් බව ඔබ නිගමනය කළ හැකියි. ඒ වගේම සේවකයන් පැමිණිලි කරන විට ඔහු දුන් පිළිතුරෙන් ඔහු තම අධිකාරිය අයුතු ලෙස භාවිත කළ බවද ඔබට හැඟිය හැකියි. නමුත් අප එවැනි නිගමනයකට එළඹෙන්නේ සියලු තොරතුරු දැනගෙනද?

13. යේසුස් පැවසූ උපමාව සලකා බැලිය හැකි වෙනස් ආකාරයක් කුමක්ද?

13 යේසුස් සඳහන් කළ ඒ උපමාව ගැන අප වෙනත් පැත්තකින් සිතා බලමු. තමන් යටතේ වැඩ කළ සේවකයන්ට ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීමේ වගකීම තිබූ බව ස්වාමියා අවබෝධ කරගෙන සිටි බවට කිසිම සැකයක් නැහැ. ඒ කාලයේදීත් කුලී වැඩ කළ අයට වැටුප් ලැබුණේ දවස්පතායි. ඔවුන්ගේ පවුලේ අය එදිනෙදා අවශ්‍යතා සපුරාගත්තේ එදිනෙදා ලැබෙන ඒ වැටුපෙනුයි. එම තොරතුරු මනසේ තබාගෙන පැයක් පමණක් වැඩ කළ අය ගැන සිතා බලන්න. ඔවුන්ට පැයකට අදාළ කුලිය පමණක් ලැබුණා නම් ඔවුන්ගේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරාගන්න හැකියාවක් ලැබෙයිද? ඔවුන්ට දවසම වැඩ කිරීමට නොහැකි වුණේ ඔවුන්ගේ වරදක් නිසා නොව ඔවුන්ට කුලී වැඩක් සොයාගැනීමට නොහැකි වූ නිසයි. (මතෙ. 20:1-7) ඔබගේ පවුලේ අය යැපෙන්නේ ඔබ එදිනෙදා උපයන මුදලින් කියා සිතන්න. නමුත් ඔබට රැකියාවක් සොයාගැනීමට මුළු දවසක්ම බලා සිටීමට සිදු වෙනවා. දවස අවසන් වේගෙන එන විට ඔබට කුලී වැඩක් ලැබෙනවා. ඔබ ඒ ගැන මොන තරම් සතුටු වෙනවාද! ඒ වගේම මුළු පවුලට අවශ්‍ය දේ සපයන්න හැකි මුදලක් ලැබීම ගැන ඔබ ඊට වඩා සතුටු වන්නේ නැද්ද!

14. මිදිවත්තේ වැඩකරුවන් ගැන යේසුස් පැවසූ උපමාවෙන් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද?

14 දැන් අප එම උපමාවේ සඳහන් ස්වාමියා කළ දේ ගැන සලකා බලමු. සේවකයන් සියලුදෙනාටම ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීම සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබිය යුතු බව ස්වාමියා තේරුම්ගත්තා. ඔහු කිසි කෙනෙකුට අඩු වැටුපක් ලබා දුන්නේ නැහැ. මිනිසුන් බොහෝදෙනෙක් රැකියාවන් බලාපොරොත්තුවෙන් සිටි නිසා අඩු වැටුපකට සේවකයන්ව ගැනීමට ස්වාමියාට හැකියාව තිබුණා. නමුත් ඔහු එසේ නොකර සේවකයන් සියලුදෙනාටම ඔවුන්ගේ පවුලේ අවශ්‍යතාවන් සපුරාගත හැකි ලෙස වැටුප් ලබා දුන්නා. එම තොරතුරු සැලකිල්ලට ගන්නා විට ස්වාමියා ගැන අපට තිබෙන ආකල්පය වෙනස් විය හැකියි. ඔහු කළේ ඉතා ප්‍රේමණීය දෙයක්. ඔහු තම අධිකාරියෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. අප ඉන් ඉගෙනගන්නා පාඩම කුමක්ද? තොරතුරු කිහිපයක් පමණක් මත පදනම්ව ගන්නා තීරණ වැරදි විය හැකියි. එම උපමාවෙන් අවධාරණය කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨකම මොන තරම් උසස්ද කියායි. එය මිනිසුන් විසින් ඇති කර තිබෙන නීති රීති මත පදනම් වී තිබෙන දෙයක් නොවෙයි.

වැරදි ආකල්ප හා හැකියාවන් සීමිත වීම

15. අපගේ ආකල්ප වැරදි වීමට හෝ හැකියාවන් සීමිත වීමට හේතුන් මොනවාද?

15 අපගේ වැරදි ආකල්ප නිසා හෝ අපගේ හැකියාවන් සීමිත නිසා යම් සිදු වීමක් අසාධාරණ බව අපට සිතෙන්න පුළුවන්. උරුම වී තිබෙන පව්කාරකම, උස් පහත් භේද, සංස්කෘතික පසුබිම වැනි දේවල් නිසා අපට කෙනෙක් ගැන වැරදි ආකල්පයක් ඇති විය හැකියි. ඒ වගේම අපගේ හැකියාවන් සීමිත නිසා කෙනෙකුගේ සිතේ තිබෙන දේ නිවැරදිව අවබෝධ කරගැනීමට අපට නොහැකියි. නමුත් යෙහෝවා දෙවිට සහ යේසුස්ට නම් එවැනි සීමාවන් නැහැ.—හිතෝ. 24:12; මතෙ. 9:4; ලූක් 5:22.

16, 17. දාවිත් සහ බැත්-ෂෙබා කළ වරදට නීතියට අනුව දෙවි ඔවුන්ට දඬුවම් නොකළේ ඇයි?

16 දාවිත් බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදීමෙන් සිදු කළ පාපය හා සම්බන්ධ සිද්ධිය දැන් අපි සලකා බලමු. (2 සාමු. 11:2-5) මෝසෙස්ට දුන් නීතියට අනුව ඔවුන්ට මරණ දඬුවම නියම විය යුතුයි. (ලෙවී. 20:10; ද්වි. 22:22) නමුත් යෙහෝවා දෙවි ඔවුන්ට යම් දඬුවමක් දුන්නත් මරණ දඬුවම දුන්නේ නැහැ. ඔහු ක්‍රියා කළේ අසාධාරණ ලෙසද? ඔහු දාවිත්ට අනිසි අනුග්‍රහයක් දැක්වුවාද? දෙවි ඔහුගේම ප්‍රමිති උල්ලංගනය කළාද? සමහරුන්ට එසේ සිතෙන්න පුළුවන්.

17 අනාචාරයේ යෙදෙන කෙනෙකුට දිය යුතු දඬුවම ගැන නීතිය යෙහෝවා දෙවි ලබා දුන්නේ මිනිසුන්ටයි. ඔවුන්ට අන් අයගේ හදවතේ ඇති දේ අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. නමුත් දෙවි ලබා දුන් නීතියට අනුව වැරදි ක්‍රියාවල නියැලෙන අයව විනිශ්චය කිරීමට ඔවුන්ට හැකියාව තිබුණා. කෙසේවෙතත් යෙහෝවා දෙවිට අන් අයගේ හදවතේ තිබෙන දේ අවබෝධ කරගත හැකියි. (උත්. 18:25; 1 ලේක. 29:17) ඒ නිසා පව්කාර මිනිසුන් වෙනුවෙන් ලබා දුන් නීතියට යෙහෝවා දෙවිත් යටත් විය යුතුයි කියා අප කිසිවිටකත් නොසිතියි යුතුයි. දාවිත් සහ බැත්-ෂෙබාගේ හදවත්වල තිබෙන දේ හා ඔවුන්ගේ අවංක පසුතැවිල්ල යෙහෝවා දෙවිට තේරුම්ගැනීමට හැකි වුණා. ඔහු ඔවුන්ව විනිශ්චය කළේ ඒ අනුවයි. ඒ නිසා ඔහුගේ විනිශ්චය ප්‍රේමණීයයි.

දිගටම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

18, 19. අපගේ මිම්මෙන් දෙවිව විනිශ්චය නොකිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?

18 අප බයිබලය කියවන විට යම් අවස්ථාවලදී දෙවි ක්‍රියා කර ඇති ආකාරය අසාධාරණයි කියා සිතෙන්න පුළුවන්. එසේත් නැත්නම් අපට මුහුණ දීමට සිදු වු යම් දෙයක් නිසා එසේ සිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපගේ මිම්මෙන් යෙහෝවා දෙවිව විනිශ්චය කිරීමෙන් අපි වැළකී සිටිමු. අප සැමවිටම සෑම තොරතුරක්ම නොදන්නා බවත් අපගේ ආකල්ප වැරදි විය හැකි බව හෝ අපගේ හැකියාවන්ට සීමා තිබෙන බව අප මතක තබාගනිමු. ‘කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැකි’ බවත් අමතක කරන්න එපා. (යාකො. 1:19, 20) එවිට අප කිසි දිනක ‘යෙහෝවා දෙවිට සිතින් දොස් කියන්නේ නැහැ.’—හිතෝ. 19:3.

19 ධර්මිෂ්ඨ ප්‍රමිති ඇති කිරීමට සම්පූර්ණ අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව යේසුස් මෙන් අපත් පිළිගනිමු. (මාක් 10:17, 18) යෙහෝවා දෙවිගේ ප්‍රමිති ගැන ‘නිවැරදි දැනුමක්’ ලබාගැනීමට දිගටම වෑයම් කරමු. (රෝම 10:2; 2 තිමෝ. 3:7) ඉහත කී කරුණු සැලකිල්ලට ගන්නවා නම් හා දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙනවා නම් අප “ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට” මුල් තැන දෙනවා කියා පැවසිය හැකියි.—මතෙ. 6:33.

ඔබට මතකද?

• දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීම වැදගත් ඇයි?

• අප වැළකී සිටිය යුතු උගුල් දෙක කුමක්ද?

• දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

දේවමාලිගාවේ යාච්ඤා කළ මිනිසුන් දෙදෙනා ගැන යේසුස් පැවසූ උපමාවෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

[10වන පිටුවේ පින්තූරය]

මුළු දවසම වැඩ කළ අයට හා පැයක් වැඩ කළ අයට එක සමානව ගෙවීම සාධාරණද?