Skip to content

පටුනට යන්න

දිරිගන්වනසුලු රැස්වීමක් සඳහා දායක වන්න

දිරිගන්වනසුලු රැස්වීමක් සඳහා දායක වන්න

දිරිගන්වනසුලු රැස්වීමක් සඳහා දායක වන්න

‘එකට රැස් වන විට ඔබ කුමන දෙයක් කළත් ඒ සියලු දේ එකිනෙකාව දිරිගැන්වීමේ අරමුණින් කළ යුතුයි.’—1 කොරි. 14:26.

1. පළමුවෙනි කොරින්ති 14වෙනි පරිච්ඡේදයට අනුව රැස්වීම්වල වැදගත් අරමුණක් වන්නේ කුමක්ද?

‘අද රැස්වීමෙන් නම් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා.’ ඔබට එසේ හැඟී තිබෙන බවට කිසිම සැකයක් නැහැ. රැස්වීම්වලින් සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබීම ගැන අප පුදුම විය යුතු නැහැ. පළමු ශතවර්ෂයේදී මෙන් අද දිනත් ක්‍රිස්තියානි රැස්වීම්වල ප්‍රධාන අරමුණක් වන්නේ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට ‘සභාවේ අයව දිරිගැන්වීමයි.’ එය මොන තරම් වැදගත්ද කියා පාවුල් කොරින්ති සභාවට ලියූ පළමු ලිපියේ සඳහන් කළා. එහි 14වෙනි පරිච්ඡේදයේ ඔහු නිතර නිතර සඳහන් කළ දෙයක් වන්නේ රැස්වීමේ සෑම කොටසකම අරමුණ එය විය යුතු බවයි.1 කොරින්ති 14:3, 12, 26 කියවන්න. *

2. (අ) රැස්වීම්වලින් අපට දිරිගැන්වීමක් ලැබෙන ප්‍රධාන හේතුව කුමක්ද? (ආ) අප සලකා බලන ප්‍රශ්නය කුමක්ද?

2 රැස්වීම්වලින් අපට දිරිගැන්වීමක් ලැබෙන ප්‍රධාන හේතුව ඊට දෙවිගේ බලයේ උපකාරය ලැබීමයි. ඒ නිසා සෑම රැස්වීමක් ආරම්භයේදී දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤාවක් කරනවා. නමුත් රැස්වීම්වලින් සෑමදෙනාම දිරිගැන්වීමක් ලැබීමට නම් අපත් උපරිමයෙන් ඊට දායක විය යුතුයි. ඒ සඳහා අපට පෞද්ගලිකව කළ හැකි සමහර දේවල් මොනවාද?

3. අපගේ රැස්වීම් මොන තරම් වැදගත්ද?

3 රැස්වීම්වල කොටස් මෙහෙයවන සහෝදරයන් මතක තබාගත යුතු කරුණු කිහිපයක් අපි මුලින්ම සලකා බලමු. එමෙන්ම රැස්වීම්වලින් සෑමදෙනාම දිරිගැන්වීමක් ලැබීමට නම් අප එක් එක් කෙනාට කළ හැකි දේ ගැනද මෙම ලිපියෙන් සලකා බලනවා. රැස්වීම්වලට පැමිණීම හා ඊට සහභාගි වීම යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ කොටසක් නිසා මෙම විෂය ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත්.—ගීතා. 26:12; 111:1; යෙසා. 66:22, 23.

බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරයක්

4, 5. මුරටැඹ පාඩමේ අරමුණ කුමක්ද?

4 සතිපතා පැවැත්වෙන මුරටැඹ සාකච්ඡාවෙන් ප්‍රයෝජන ලැබීමට අප සියලුදෙනා තුළම ආශාවක් තිබෙනවා. එම රැස්වීමේ ප්‍රධාන අරමුණ කුමක්ද කියා අවබෝධ කරගැනීමට මුරටැඹ සඟරාවේ මෙන්ම පාඩම් ලිපිවල මෑතකදී කරන ලද යම් වෙනස්කම් කිහිපයක් අපි සලකා බලමු.

5 වර්ෂ 2008 ජනවාරි 15 මුරටැඹ පාඩම් කලාපයේ මුල් පිටුවේ යම් වෙනස්කමක් සිදු කළා. ඒ වෙනස ඔබ දුටුවාද? ඔබ ළඟ තිබෙන මුරටැඹ සඟරාවේ මුල් පිටුවට පෙරළන්න. එහි තිබෙන මුරටැඹ රූපයට යටින් විවෘත කරන ලද බයිබලයක පින්තූරයක් තිබෙනවා ඔබට පෙනේවි. මුරටැඹ පාඩමේ අරමුණ ඉන් පැහැදිලි කරනවා. එනම් මෙම සඟරාවේ උපකාරයෙන් බයිබලය අධ්‍යයනය කිරීමයි. සතිපතා පැවැත්වෙන මුරටැඹ පාඩමෙන් දෙවිගේ වචනය අපට ‘පහදා දෙනවා.’ නෙහෙමියාගේ කාලයේදීත් එවැනිම දෙයක් සිදු වුණා.—නෙහෙ. 8:8; යෙසා. 54:13.

6. (අ) මුරටැඹ පාඩම් ලිපිවල කර තිබෙන වෙනස්කම් මොනවාද? (ආ) “කියවන්න” කියා සඳහන් කර තිබෙන බයිබල් පද ගැන මතක තබාගත යුත්තේ කුමක්ද?

6 අප මූලිකවම අධ්‍යයනය කරන්නේ බයිබලය නිසා මුරටැඹ පාඩම් ලිපිවල යම් වෙනස්කම් කිහිපයක් කර තිබෙනවා. මුරටැඹ ලිපියේ සමහර බයිබල් පද “කියවන්න” කියා සඳහන් කර තිබෙනවා. එම බයිබල් පද කියවන අවස්ථාවේදී අප සියලුදෙනාද අපගේ බයිබලය පෙරළා ඊට හවුල් වීම වැදගත්. (ක්‍රියා 17:11) ඊට හේතුව දෙවි අපට ලබා දෙන මඟ පෙන්වීම් අපගේම බයිබලයෙන් කියවන විට එය අප තුළ විශාල බලපෑමක් ඇති කිරීමයි. (හෙබ්‍රෙ. 4:12) ඒ නිසා මුරටැඹ පාඩම මෙහෙයවන සහෝදරයා “කියවන්න” කියා සඳහන් කර ඇති බයිබල් පද පෙරළාගැනීමට සබයේ සිටින සියලුදෙනාටම ප්‍රමාණවත් කාලයක් දිය යුතුයි.

දෙවි කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීමට වැඩි කාලයක්

7. මුරටැඹ පාඩම අතරතුර අපට ලැබෙන අවස්ථාව කුමක්ද?

7 මුරටැඹ පාඩම් ලිපිවල කර තිබෙන තවත් වෙනස්කමක් වන්නේ එහි ඡේද ප්‍රමාණය අඩු කර තිබීමයි. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ලැබී තිබෙනවා. ඒ වගේම සභාවේ සිටින බොහෝදෙනෙකුට දෙවි කෙරෙහි ඇති විශ්වාසය ප්‍රකාශ කිරීමට දැන් වැඩි අවස්ථා ලැබෙනවා. ඔවුන්ට මුද්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට හෝ බයිබල් පදයක අදහස ඉදිරිපත් කිරීමට හැකියි. එසේත් නැත්නම් බයිබල් ප්‍රතිපත්තියක් අදාළ කරගැනීමෙන් ලැබී තිබෙන ප්‍රයෝජන ගැන කෙටි අද්දැකීමක් හෝ විෂයට අදාළ වෙනත් අදහසක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට පුළුවන්. එමෙන්ම ලිපියේ තිබෙන පින්තූර ගැන අදහස් දැක්වීමටත් ඔවුන්ට හැකියි.ගීතාවලිය 22:22; 35:18; 40:9 කියවන්න.

8, 9. මුරටැඹ පාඩම මෙහෙයවන සහෝදරයාට තිබෙන වගකීම කුමක්ද?

8 මුරටැඹ පාඩමේදී අදහස් දැක්වීමට ලබා දී ඇති කාලයෙන් ප්‍රයෝජන ගත හැක්කේ අප කෙටි අදහස් ඉදිරිපත් කරනවා නම් හා මෙහෙයවන සහෝදරයා නිතර නිතර කතා කිරීමෙන් වැළකී සිටිනවා නම් පමණයි. සභාවේ සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබීමට නම් තමා කතා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද සහ සභාවේ සිටින අය අදහස් ප්‍රකාශ කළ යුත්තේ කුමන අවස්ථාවේදීද කියා පාඩම මෙහෙයවන සහෝදරයා තීරණය කරන්නේ කොහොමද?

9 එය අවබෝධ කරගැනීම සඳහා මෙම උදාහරණය සලකා බලන්න. හොඳින් මෙහෙයවන මුරටැඹ පාඩමක් විවිධ පාටවලින් යුත් අලංකාර මල් කළඹකට සමාන කළ හැකියි. එහි ඇති විවිධ වර්ගයේ මල් හා සමානව මුරටැඹ පාඩමේදීත් සහෝදර සහෝදරියන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. මල් කළඹක විවිධ ප්‍රමාණයෙන් හා පාටවලින් යුත් මල් තිබෙනවා හා සමානව මුරටැඹ පාඩමේදී අදහස් ඉදිරිපත් කිරීමට ගන්නා කාලය මෙන්ම ඉදිරිපත් කරන ආකාරයද එකිනෙකට වෙනස්. මුරටැඹ පාඩම මෙහෙයවන සහෝදරයාට තිබෙන වගකීම කුමක්ද? ඔහු ඉඳ හිට ඉදිරිපත් කරන අදහස් හරියට මල් පොකුරක තැනින් තැන රඳවා ඇති පත්‍ර වගෙයි. නමුත් පත්‍ර වැඩි වුණොත් මල් පොකුරේ තිබෙන අලංකාරය නැති වෙනවා. ඒ නිසා මුරටැඹ පාඩම මෙහෙයවන්නා නිතර නිතර අදහස් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වෙනුවට ඔහු අන් අයට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. සභාවේ අය විවිධ අදහස් ඉදිරිපත් කරන විට හා මෙහෙයවන සහෝදරයා අවශ්‍ය විටදී පමණක් කතා කරන විට පැමිණ සිටින සියලුදෙනාටම ඉන් මහත් ප්‍රයෝජන ලැබෙනවා.

‘දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කරමු’

10. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් රැස්වීම් සැලකුවේ කොහොමද?

10 පාවුල් 1 කොරින්ති 14:26-33හි සඳහන් කළ දෙයින් පළමු ශතවර්ෂයේ රැස්වීම් පැවැත්වූ ආකාරය ගැන අපට යම් අවබෝධයක් ලබාගත හැකියි. එම බයිබල් පද කිහිපය ගැන අදහස් දක්වමින් එක් විශාරදයෙක් මෙසේ පැවසුවා. ‘තමන් රැස්වීම්වලට පැමිණීම පමණක් නොව යම් ආකාරයකින් ඊට හවුල් විය යුතු බවටද පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් තුළ හැඟීමක් තිබුණා. ඔවුන් එය සැලකුවේ වරප්‍රසාදයක් හා වගකීමක් ලෙසයි. ඔවුන් පැමිණියේ රැස්වීමෙන් යමක් ලබාගැනීමට පමණක්ම නොව යම් ආකාරයකින් ඊට දායක වීමටයි.’ පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් රැස්වීම් සැලකුවේ තමන්ට දෙවි ගැන තිබෙන විශ්වාසය ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි.—රෝම 10:10.

11. (අ) රැස්වීම්වලින් දිරිගැන්වීමක් ලැබීමට කළ යුත්තේ කුමක්ද? (ආ) රැස්වීම්වලදී අදහස් දැක්වීම දියුණු කරගැනීම සඳහා අදාළ කරගත හැකි යෝජනා මොනවාද? (පාද සටහන බලන්න.)

11 අප රැස්වීම්වලදී අදහස් දක්වන විට දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය ප්‍රකාශ කරනවා. ඉන් ‘සභාවේ අය දිරිගැන්වීමක්’ ලබනවා. අප බොහෝ කාලයක සිට රැස්වීම්වලට සහභාගි වන අය වුණත් සහෝදර සහෝදරියන් රැස්වීම්වලදී ඉදිරිපත් කරන අදහස්වලින් අපට විශාල දිරිගැන්වීමක් ලැබෙනවා. දෙවිට විශ්වාසවන්තව සේවය කරන මහලු ක්‍රිස්තියානියෙක් අදහස් දක්වද්දී අප දිරිගැන්වීමක් ලබනවා. ඒ වගේම යම් කරුණක් සභාවට අදාළ කරමින් වැඩිමහල්ලෙක් අදහස් දක්වද්දී අප ඉන් ලබන දිරිගැන්වීම මොන තරම්ද! යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය ප්‍රකාශ කිරීම සඳහා කුඩා දරුවෙක් වචන ගැටගසමින් පිළිතුරු දෙන විට අපගේ මුවට සිනහවක් නැඟෙන්නේ නිතැතින්මයි. ඒ ආකාරයට සියලුදෙනාම අදහස් ප්‍රකාශ කරන විට සෑමදෙනාටම රැස්වීමෙන් දිරිගැන්වීමක් ලැබිය හැකියි. *

12. (අ) මෝසෙස් හා යෙරෙමියාගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) රැස්වීමේදී අදහස් දැක්වීම සඳහා යාච්ඤාව උපකාරවත් වන්නේ කොහොමද?

12 පිරිසක් ඉදිරියේ කතා කිරීමට චකිතයක් ඇති අයට රැස්වීම්වලදී අදහස් දැක්වීම අභියෝගයක් විය හැකියි. ඔබත් එවැනි කෙනෙක් නම් එය ඔබට පමණක් සීමා වූ ගැටලුවක් කියා නොසිතන්න. දෙවිට විශ්වාසවන්තව සේවය කළ මෝසෙස් සහ යෙරෙමියාටද එම ගැටලුව තිබුණා. (නික්. 4:10; යෙරෙ. 1:6) ඉන් ගොඩ ඒමට යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කළා හා සමානව ඔබටත් උපකාර කරන බවට නිසැක වන්න. එවිට ඔබටත් දෙවිට කරන ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කළ හැකියි. (හෙබ්‍රෙව් 13:15 කියවන්න.) රැස්වීම්වලදී අදහස් දැක්වීමට තිබෙන බියෙන් ගොඩ ඒමට දෙවිගේ උපකාරය ඔබට ලබාගන්න පුළුවන් කොහොමද? හොඳින් සුදානම් වෙන්න. අදහස් දැක්වීමට ශක්තිය ලබා දෙන්න කියා රැස්වීමට යෑමට කලින් යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. (ෆිලි. 4:6) ඔබ ‘යාච්ඤා කරන්නේ දෙවිගේ කැමැත්තට එකඟව’ නිසා දෙවි ඔබගේ යාච්ඤාවට සවන් දෙන බව ස්ථිරයි.—1 යොහ. 5:14; හිතෝ. 15:29.

රැස්වීම් අපව “ගොඩනංවයි, දිරිගන්වයි, සනසවයි”

13. (අ) රැස්වීම්වලින් ඉටු වන එක් වැදගත් කාර්යයක් කුමක්ද? (ආ) වැඩිමහල්ලන් විශේෂයෙන්ම සලකා බැලිය යුතු ප්‍රශ්නය කුමක්ද?

13 රැස්වීම්වලින් ඉටු වන එක් වැදගත් කාර්යයක් වන්නේ එකිනෙකාව ‘ගොඩනැංවීම, දිරිගැන්වීම හා සැනසවීම’ බව පාවුල් පැවසුවා. (1 කොරින්ති 14:3) රැස්වීමට පැමිණ සිටින සියලුදෙනාට දිරිගැන්වීමක් හා සැනසීමක් ලැබෙන ආකාරයෙන් තම පැවරුම ඉටු කිරීමට වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? ඊට පිළිතුරු දැනගැනීමට නැවත නැඟිටීමෙන් පසු යේසුස් පැවැත්වූ රැස්වීමක් ගැන සලකා බලමු.

14. (අ) යේසුස් ගෝලයන් සමඟ රැස්වීම පැවැත්වීමට කලින් සිදු වුණේ කුමක්ද? (ආ) “යේසුස් ඔවුන් ළඟට ඇවිත්” කතා කළ විට ඔවුන්ට සහනයක් දැනෙන්න ඇත්තේ ඇයි?

14 යේසුස්ගේ මරණයට කලින්, අනාවැකිවල පවසා තිබූ ලෙස ඔහුගේ ගෝලයන් ‘ඔහුව අත්හැර’ ‘තම තමාගේ නිවෙස්වලට’ ගොස් තිබුණා. (මාක් 14:50; යොහ. 16:32) නමුත් යේසුස් නැවත නැඟිටීමෙන් පසු අධෛර්යයට පත්ව සිටි ඔහුගේ නියෝජිතයන්ට විශේෂ රැස්වීමකට ඔහු ආරාධනා කළා. * එම ආරාධනාව පිළිගත් ‘ගෝලයෝ එකොළොස්දෙනා යේසුස් තමන්ට සූදානම් කළ ස්ථානය වන ගලීලයේ පිහිටි කන්දට ගියා.’ ඔවුන් එහි පැමිණි විට “යේසුස් ඔවුන් ළඟට ඇවිත්” ඔවුන් සමඟ කතා කළා. (මතෙ. 28:10, 16, 18) යේසුස්ම තමන් ළඟට ඇවිත් කතා කළ විට ගෝලයන්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද! ඔහු ඔවුන් සමඟ කතා කළේ මොනවාද?

15. (අ) යේසුස් ගෝලයන් සමඟ කතා කළේ හා කතා නොකළේ කුමන දේවල් ගැනද? (ආ) එය ගෝලයන්ට බලපෑවේ කොහොමද?

15 යේසුස් රැස්වීම ආරම්භ කළේ මෙසේ පවසමිනුයි. “සියලුම බලය මට දී තිබෙනවා.” පසුව ඔහු ගෝලයන්ට මෙම පැවරුම ලබා දුන්නා. ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.’ අවසානයේදී ඔහු ඔවුන්ට මෙසේ සහතික වුණා. ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා.’ (මතෙ. 28:18-20) නමුත් ඒ අවස්ථාවේදී යේසුස් තම ගෝලයන්ට තරවටු කළේ නැහැ. ඔවුන් කළ දේ ගැන ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළේවත් එය බරපතළ වරදක් යන හැඟීම ඔවුන්ට ඇති කළේවත් නැහැ. ඒ වෙනුවට යේසුස් තමාත් තම පියාත් ඔවුන්ට ප්‍රේම කරන බව පවසමින් බැරෑරුම් වගකීමක් ඔවුන්ට දුන්නා. යේසුස්ගේ ගෝලයන්ට ඒ රැස්වීම බලපෑවේ කොහොමද? ඉන් ඔවුන් ගොඩනැංවුණු අතර දිරිගැන්වීමක් හා සැනසීමක්ද ලැබුවා. ඔවුන් නැවතත් ‘ඉගැන්වීමේ හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි’ දිගටම හවුල් වීමෙන් එය පැහැදිලි වෙනවා.—ක්‍රියා 5:42.

16. යේසුස්ව අනුකරණය කරමින් වැඩිමහල්ලන් රැස්වීම්වල කොටස් මෙහෙයවන්නේ කොහොමද?

16 යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන වැඩිමහල්ලන්, යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට මොන තරම් ප්‍රේම කරනවාද කියා සබයේ සිටින අයට සහතික කිරීම සඳහා රැස්වීම් අවස්ථාවක් කරගන්නවා. (රෝම 8:38, 39) වැඩිමහල්ලන් රැස්වීම්වල ඉදිරිපත් කරන කතාවලදී සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩුකම්වලට අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන් කරන යහපත් දේවල් අගය කරනවා. ඔවුන්ගේ ආකල්ප ගැන වැඩිමහල්ලන් ප්‍රශ්න කරන්නේ නැහැ. වැඩිමහල්ලන් රැස්වීම්වල කතා කරන ආකාරයෙන් සෙසු සහෝදර සහෝදරියන් දෙවිට ප්‍රේම කරන බවටත් හරි දේ කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබෙන බවටත් තමන් තුළ විශ්වාසයක් තිබෙන බව පෙන්වනවා. (1 තෙස. 4:1, 9-12) සමහර අවස්ථාවලදී සභාවේ සියලුදෙනාටම පොදුවේ යම් උපදෙසක් දීමට වැඩිමහල්ලන්ට සිදු විය හැකියි. නමුත් කිහිපදෙනෙකුව පමණක් නිවැරදි කිරීමට සිදු වන අවස්ථාවලදී ඔවුන්ට පමණක් උපදෙස් දීමට වැඩිමහල්ලන් කටයුතු කරනවා. (ගලා. 6:1; 2 තිමෝ. 2:24-26) ප්‍රශංසා කිරීමට සුදුසු සෑම අවස්ථාවේදීම වැඩිමහල්ලන් සභාවේ සියලුදෙනාටම එසේ කරනවා. (යෙසා. 32:2) සෑම වැඩිමහල්ලෙක්ම ඔවුන්ට ලැබෙන කොටස් මෙහෙයවන්නේ රැස්වීමට පැමිණ සිටින සියලුදෙනාටම දිරිගැන්වීමක් හා ප්‍රබෝධයක් ලැබෙන ආකාරයටයි.—මතෙ. 11:28; ක්‍රියා 15:32.

සහනය ලැබෙන ස්ථානය

17. (අ) රැස්වීමට පැමිණෙන සියලුදෙනාටම එය සහනයක් ලැබෙන ස්ථානයක් කිරීමට අප වෑයම් කළ යුත්තේ ඇයි? (ආ) රැස්වීම්වලින් සියලුදෙනාටම දිරිගැන්වීමක් ලැබීමට අප එක් එක්කෙනාට කළ හැක්කේ කුමක්ද? (“රැස්වීම්වලින් දිරිගැන්වීමක් ලබාගැනීමට යෝජනා දහයක්” යන කොටුව බලන්න.)

17 සාතන්ගේ බලය යටතේ පවතින ලෝකය එන්න එන්නම දුෂ්ට වන නිසා රැස්වීමට පැමිණෙන සියලුදෙනාටම එය සහනයක් ලැබෙන ස්ථානයක් කිරීමට අප වෑයම් කළ යුතුයි. (1 තෙස. 5:11) බොහෝ පීඩාවලට මුහුණ දුන් එක් යුවළකට රැස්වීම්වලට සහභාගි වීමෙන් මහත් සහනයක් දැනුණා. ඒ ගැන එම සහෝදරිය මෙසේ පැවසුවා. “රාජ්‍ය ශාලාවේ ඉද්දී අපිට දැනුණේ හරියට අපි යෙහෝවා දෙවිගේ සෙවනේ ඉන්නවා වගෙයි. සහෝදර සහෝදරියන් සමඟ පැය කිහිපයක් ගත කරන කොට අපේ බර යෙහෝවා දෙවිට දිලා තියෙනවා කියලා අපිට තේරුණා. ඒක අපිට ලොකු සහනයක් වුණා.” (ගීතා. 55:22) රැස්වීමට සහභාගි වන සියලුදෙනාටම එවන් දිරිගැන්වීමක් හා සැනසීමක් ලැබෙනවා. ඒ සඳහා අප සියලුදෙනාම අපට හැකි සියල්ල කරමු.

[පාදසටහන්වල]

^ 1 ඡේ. පළමු ශතවර්ෂයේදී ක්‍රිස්තියානීන් පැවැත්වූ රැස්වීම්වල සමහර අංග, කාලයත් සමඟම නැති වී යන බවට අනාවැකි පවසා තිබුණා. උදාහරණයකට ‘අනාවැකි කීමේ හා වෙනත් භාෂාවලින් කතා කිරීමේ දීමනා නැති’ වන බව පවසා තිබුණා. (1 කොරි. 13:8; 14:5) නමුත් රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ගැන පාවුල් පැවසූ දෙයින් අදටත් ප්‍රයෝජන ගත හැකියි.

^ 11 ඡේ. රැස්වීම්වලදී අදහස් දැක්වීම දියුණු කරගැනීම සඳහා යෝජනා කිහිපයක් 2003 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 19-22දක්වා පිටුවල සඳහන් වෙනවා.

^ 14 ඡේ. ‘ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියා’ කියා පාවුල් සඳහන් කරන්නේ මේ අවස්ථාව ගැන විය හැකියි.—1 කොරි. 15:6.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• රැස්වීම් මොන තරම් වැදගත්ද?

• අදහස් දැක්වීමෙන් ‘සභාවේ සිටින අයට දිරිගැන්වීමක්’ ලැබෙන්නේ කොහොමද?

• යේසුස් ඔහුගේ අනුගාමිකයන් සමඟ පැවැත්වූ රැස්වීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22, 23වන පිටුවල කොටුව⁄පින්තූරය]

රැස්වීම්වලින් දිරිගැන්වීමක් ලබාගැනීමට යෝජනා දහයක්

හොඳින් සූදානම් වෙන්න. ඔබ රැස්වීමේ කොටස්වලට හොඳින් සූදානම් වන විට රැස්වීමේදී හොඳ අවධානයක් යොමු කර තබාගන්නත් තොරතුරු හොඳින් වටහාගන්නත් ඔබට හැකියි.

නිතිපතා පැමිණෙන්න. වැඩිදෙනෙක් රැස්වීමට පැමිණෙන විට සියලුදෙනාම ඉන් දිරිගැන්වීමක් ලබනවා. ඒ නිසා ඔබගේ පැමිණීම අත්‍යවශ්‍යයි.

කලින්ම පැමිණෙන්න. ඔබ කලින්ම පැමිණ අසුන්ගෙන සිටිනවා නම් ආරම්භක ගීතිකාවට මෙන්ම යාච්ඤාවට හවුල් විය හැකියි. ඒවා දෙවිට කරන නමස්කාරයට අයත්.

අවශ්‍ය පොත් පත් රැගෙන එන්න. ඔබගේ බයිබලය හා අවශ්‍ය පොත් පත් රැගෙන එන්න. අදාළ ප්‍රකාශන ඔබ ළඟ තිබෙන නිසා තොරතුරු අවබෝධ කරගැනීම පහසුයි.

හොඳ අවධානයක් දෙන්න. රැස්වීම අතරතුර කෙටි පණිවිඩ කියවීමෙන් වළකින්න.

සහභාගි වන්න. වැඩිදෙනෙක් රැස්වීම්වල අදහස් දක්වද්දී විශාල දිරිගැන්වීමක් ලැබෙනවා.

කෙටි අදහස් ඉදිරිපත් කරන්න. ඔබ කෙටියෙන් අදහස් දක්වද්දී බොහෝදෙනෙකුට අදහස් දැක්වීමට අවස්ථාව ලැබෙනවා.

පැවරුම් ඉටු කරන්න. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ හා සේවා රැස්වීමේ පැවරුමක් ලැබෙන විට හොඳින් සූදානම් වන්න. පෙරහුරු කරන්න. ඔබේ පැවරුම ඉටු කිරීමට උපරිමයෙන් වෑයම් කරන්න.

අගය කරන්න. රැස්වීමේ පැවරුම් ඉටු කරන හෝ අදහස් දක්වන අයව අගය කරන්න.

ඇසුරු කරන්න. රැස්වීමට පෙර හා පසු එකිනෙකාව ගොඩනංවන ආකාරයෙන් කතා කරන්න. එවිට රැස්වීමට පැමිණීමෙන් සහෝදර සහෝදරියන්ට ප්‍රබෝධයක් ලැබෙනවා.