Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?

ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?

යෞවනියක් වන ඇලීෂියා * පැවසුවේ: “සමහර වෙලාවට ලිංගික කාරණා ගැන මට ලොකු කුතුහලයක් ඇති වෙනවා. හැබැයි මම ඒ ගැන මගේ දෙමාපියන්ගෙන් ඇහුවොත් ඒ අය හිතයි මම වැරදි දෙයක් කරන්න හදනවා කියලා.”

ඇලීෂියාගේ මව පැවසුවේ: “මගේ දුවට ලිංගික කාරණා ගැන කියලා දෙන්න මම උත්සාහ කළා. ඒත් දුව නිදහසේ ඉන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.”

දෙමාපියන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට දරුවන් බොහෝ සෙයින් පසුබට වෙනවා. කැනඩාවේ වෙසෙන යෞවනයෙකු වන මයිකල් ඒ ගැන පැවසුවේ මෙයයි. “දෙමාපියන් එක්ක ලිංගික කාරණා ගැන කතා කරන එක දරුවන්ට කොච්චර අමාරුද කියලා දෙමාපියන් තේරුම්ගන්නවා නම් මම කැමතියි. ඇත්තටම දෙමාපියන් එක්ක ඒ ගැන කතා කරනවාට වඩා යාළුවෙක් එක්ක ඒ ගැන කතා කරන එක ලේසියි.”

දරුවන් පමණක් නොව බොහෝ දෙමාපියන්ද ලිංගික කාරණා ගැන තම දරුවන් සමඟ කතා කිරීමට කැමති නැහැ. ඒ ගැන සෞඛ්‍ය උපදේශිකාවක් වන ඩෙබ්රා හැෆ්න රචනා කළ පොතේ මෙවැනි දෙයක් සඳහන් වුණා. “හුඟක් දෙමාපියන් මට කියලා තියෙන්නේ ඒ අය ලිංගික කාරණා සහ යොවුන් වියේ සිදු වන ශාරීරික වෙනස්කම් ගැන තොරතුරු ඇතුළත් පොත් දරුවාගේ කාමරයෙන් තියනවා කියලයි. නමුත් කොයිම අවස්ථාවකදිවත් ඔවුන් දරුවන් එක්ක ලිංගික කාරණා ගැන කතා කරලා නැහැ. ඒකෙන් දරුවන්ට දෙන්නේ මේ වගේ පණිවිඩයක්. ‘ඔයා ලිංගික කාරණා ගැන හරි අවබෝධයක් ලබාගන්නවා නම් අපි කැමතියි. ඒත් ඒ ගැන ඔයත් එක්ක කතා කරන්න අපි කැමති නැහැ.’”—Beyond the Big Talk.

දෙමාපියන් තම දරුවන්ව ලිංගික කාරණා ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. එසේ පැවසීමට හේතු තුනක් සලකා බලමු.

  1. ලිංගික කාරණා ගැන සමාජය දරන අදහස දැන් වෙනස් වී තිබෙනවා. විසිවන වියේ පසුවන ජේම්ස් ඒ ගැන මෙසේ පැවසුවා. “ලිංගික ඇසුර ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර තියෙන ඇසුරට විතරක් අද සීමා වෙලා නැහැ. මුඛ සංවාසය, ගුද සංවාසය වගේම අන්තර්ජාලයෙන් හා ජංගම දුරකථනවලින් ලිංගික ආශාවන් පිනවාගැනීම වගේ දේවල් අද ඕන තරම් සිද්ධ වෙනවා.”

  2. දරුවන්ට ලිංගික කාරණා ගැන වැරදි තොරතුරු ලැබෙන්න පුළුවන්. ඒ ගැන ශීලා නමැති මව මෙසේ පැවසුවා. “දරුවන් පාසැල් යන්න පටන්ගත්තම ඔවුන්ට ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. හැබැයි ඒ තොරතුරු නිවැරදි ඒවා කියා සිතන්න බැහැ.”

  3. දරුවන්ට ලිංගික කාරණා ගැන යම් දේවල් දැනගැනීමේ අවශ්‍යතාවක් තිබුණත් ඔවුන් ඒ ගැන ඔබෙන් අසන්නේ නැහැ. බ්‍රසීලයේ වෙසෙන 15 හැවිරිදි ආනා ඒ ගැන මෙසේ පැවසුවා. “ලිංගික කාරණා ගැන මගේ දෙමාපියන් එක්ක කොහොම කතා කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ.”

ලිංගික කාරණා ගැන ඔබේ දරුවන්ව දැනුවත් කිරීම දෙමාපියන් හැටියට යෙහෝවා දෙවි ඉදිරියේ ඔබට තිබෙන වගකීමක්. (එෆීස 6:4) නමුත් එය ඔබටත් දරුවන්ටත් එතරම් පහසු කාර්යයක් නොවෙයි. කොහොමවුණත් 14 හැවිරිදි ඩැන්යෙල් පැවසූ මෙම අදහසට බොහෝ යෞවනයන් එකඟ වෙනවා. “රූපවාහිනී වැඩසටහන්වලින් සහ ගුරුවරුන්ගෙන් ලිංගික කාරණා ගැන දැනගන්නවාට වඩා දෙමාපියන්ගෙන්ම ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න අපි කැමතියි.” එසේනම් දරුවන්ට ලිංගික කාරණා ගැන පහදා දීමේ වගකීම දෙමාපියන් වන ඔබට නිසි ලෙස ඉටු කළ හැක්කේ කෙසේද? *

වයසට සරිලන ලෙස උගන්වන්න

අද සිටින දරුවන්ට ඉතා ළාබාල වියේදීම ලිංගික කාරණා ගැන වැරදි තොරතුරු ලැබීමට විශාල ඉඩකඩක් තිබෙනවා. ඊට අමතරව අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” නිසා නපුරු මිනිසුන් ‘තව තවත් නරක අතට හැරෙන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1, 13) වැඩිහිටියන් අතින් අහිංසක දරුවන් ලිංගික අතවරවලට ලක් වීම අද බහුලව සිදු වන්නේ ඒ නිසයි. එය මොන තරම් කනගාටුදායක දෙයක්ද!

එමනිසා කුඩා වයසේදීම ඔබේ දරුවන්ට ලිංගික කාරණා ගැන නිසි අවබෝධයක් ලබා දිය යුතුයි. ජර්මනියේ සිටින මවක් ඒ ගැන මෙසේ පැවසුවා. “ලිංගික කාරණා ගැන කියලා දෙන්න දරුවන් යොවුන් වියට එන කල් හිටියොත් කවදාවත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වයසේදී ලැජ්ජාශීලී හැඟීම් ඇති වෙන නිසා ඔවුන් දෙමාපියන් එක්ක ඒ ගැන කතා කරන්න පෙලඹෙන්නේ නැහැ.” ඒ නිසා කළ හැකි හොඳම දෙය වන්නේ කුඩා කාලයේ සිටම දරුවාගේ වයසට සරිලන ලෙස ඔවුන්ට ඒ දේවල් ගැන කියා දීමයි.

පෙර පාසැල් දරුවන්ට:

ලිංගික අවයවවල නිවැරදි නම් ඔවුන්ට කියා දෙන්න. එමෙන්ම කාටවත් ඒවා ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න එපා කියාත් උගන්වන්න. ඒ ගැන මෙක්සිකෝවේ වෙසෙන මවක් මෙසේ පැවසුවා. “මගේ පුතාට මම ඒ දේවල් කියලා දෙන්න පටන්ගත්තේ එයාට වයස අවුරුදු තුනේදියි. ගුරුවරුන්ගෙන්, දරුවන්ව බලාගන්නා අයගෙන් හෝ වැඩිහිටි දරුවන්ගෙන් පුතාට මොකක් හරි කරදරයක් වෙයි කියලා හිතලයි මම එහෙම කළේ. මට ඕන වුණේ පුංචි කාලේ ඉඳලාම පුතාට එයාගේ ආරක්ෂාව සලසගන්න පුහුණුවක් දෙන්නයි.”

මෙය අත්හදා බලන්න: යම් කිසි කෙනෙක් ඔබේ දරුවාගේ ලිංගික අවයව ස්පර්ශ කිරීමට තැත් කළොත් “එපා! මං ගිහින් කියනවා” කියා පැවසීමට දරුවාව පුහුණු කරන්න. ඒ පුද්ගලයා දරුවාට තෑගි දීමට හෝ තර්ජනය කිරීමට උත්සාහ කළත් නොබියව එය හෙළි කළ යුතුයි කියා පවසන්න. *

ප්‍රාථමික පාසැල් දරුවන්ට:

මොවුන්ට ලිංගික කාරණා ගැන ක්‍රමානුකූලව පහදා දෙන්න. එක් පියෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “ලිංගික කාරණා ගැන දරුවන් දන්නේ මොනවාද කියලත් තවත් තොරතුරු දැනගන්න උනන්දුවක් තියෙනවාද කියලත් හොයලා බලන්න. දරුවන්ට ඒ දේවල් බලෙන් කියලා දෙන්න එපා. ඔබ නිතරම දරුවන් එක්ක කාලය ගත කරනවා නම් ඒ දේවල් ගැන සාකච්ඡා කරන්න අවස්ථාවන් උදා වෙයි.”

මෙය අත්හදා බලන්න: දරුවන් සමඟ ලිංගික කාරණා ගැන සාකච්ඡා කරන අවස්ථාවලදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා වෙනුවට කෙටියෙන් සාකච්ඡා කරන්න. (ද්විතීය කතාව 6:6-9) එවිට දරුවන්ට එම සාකච්ඡාවන් නිරස වෙන්නේ නැහැ. එමෙන්ම කාලයත් සමඟම වයසේ ප්‍රමාණයට අනුව ඔවුන් ලිංගික කාරණා ගැන අවශ්‍ය තොරතුරු දැනගනියි.

යොවුන් වියේ සිටින දරුවන්ට:

ඔවුන්ට ලිංගික කාරණා ගැන ප්‍රමාණවත් අවබෝධයක් තිබීම ඉතා වැදගත්. කලින් අදහස් දැක්වූ ආනා මෙසේ පැවසුවා. “අපේ පාසැලේ ඉන්න ළමයි ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසා ඒ දේවලින් ආරක්ෂා වෙන්න නම් ලිංගික කාරණා ගැන මට හරි අවබෝධයක් තියෙන එක හුඟක් වටිනවා කියලා මම හිතනවා.” *

සැලකිලිමත් වෙන්න: දෙමාපියන් තමන්ව සැක කරයි යන බිය නිසා යොවුන් වියේ සිටින දරුවන් ලිංගික කාරණා ගැන දෙමාපියන්ගෙන් ඇසීමට පසුබට විය හැකියි. ස්ටීවන් නමැති පියා ඒ ගැන මෙසේ පැවසුවා. “අපේ පුතා ලිංගික කාරණා ගැන අපිත් එක්ක කතා කරන්න කැමති වුණේම නැහැ. හැබැයි ඇත්තටම එයා ඒකට අකමැති වෙලා තියෙන්නේ අපි එයාව සැක කරනවා කියලා එයාට හිතිලා තිබුණ නිසයි. ඒ නිසා අපි පුතාට කිව්වා එයාව සැක කරන්නේ නැහැ කියලා. වැරදි දෙයක් කරන්න බලපෑමක් ආවොත් ඒකට මුහුණ දෙන්න පුතාට පුළුවන්ද කියලා දැනගන්නයි අපිට ඕන වුණේ කියලත් එයාට කිව්වා.”

මෙය අත්හදා බලන්න: ලිංගික කාරණා ගැන ඔබේ දරුවාගෙන් ඍජුවම ප්‍රශ්න අසනවා වෙනුවට දරුවාගේ මිතුරන් ඒ ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද කියා අසන්න. උදාහරණයකට ඔබට මෙසේ ඇසිය හැකියි. “අද හුඟක් අය ඕනෑම ආකාරයක ලිංගික ඇසුරක් වැරදි නැහැ කියලා හිතනවා. ඔයාගේ යාළුවන් ඒ ගැන මොනවද කියන්නේ?” එවැනි ක්‍රමයකට දරුවාගෙන් ප්‍රශ්න ඇසීමෙන් දරුවා විවෘතව ඔබට ඒ ගැන පැවසීමට පෙලඹෙන අතර දරුවාට ඒ ගැන හැඟෙන ආකාරයත් ඔබට පැවසීමට ඉඩ තිබෙනවා.

අභියෝගය ජය ගැනීම

දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීම දෙමාපියන්ට අභියෝගයක් විය හැකියි. නමුත් එසේ කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත් වෙනවා. ඩයෑන් නමැති මව ඒ ගැන පැවසූ දේ සලකා බලන්න. “ලිංගික කාරණා ගැන දරුවන් එක්ක කතා කරන්න පටන් අරන් ටික කාලයක් යනකොට මුලින් ඒ ගැන දැනුණ අපහසුතාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම පවුලේ බැඳීම තවත් වැඩි කරගන්නත් අවස්ථාව ලැබෙනවා.” කලින් අදහස් දැක්වූ ස්ටීවන්ද එයට එකඟ වෙමින් මෙසේ පැවසුවා. “ඕනෑම කාරණයක් ගැන පවුලක් විදිහට විවෘතව කතා කරනවා නම් ලිංගික කාරණා ගැන දරුවන් එක්ක කතා කරන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඒ කාරණා ගැන කතා කරන එක එච්චර ලේසි නැති වුණත් පවුලක් විදිහට විවෘතව අදහස් හුවමාරු කිරීම හුඟක් වැදගත්.”

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. ලිංගික කාරණා සම්බන්ධයෙන් දරුවන් සමඟ සාකච්ඡා කිරීමේ වැදගත්කම ගැන මෙම ලිපියේ සඳහන් වෙනවා. මෙම විෂය හා සම්බන්ධ තවත් තොරතුරු ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට නියමිතයි.

^ 16 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතේ 171වන පිටුව බලන්න.

^ 19 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත Questions Young People Ask—Answers That Work නමැති පොතේ දෙවන වෙළුමේ 1 සිට 5, 28, 29 සහ 33 යන පරිච්ඡේද බලන්න.—සිංහලෙන් නැත.

ඔබගෙන්ම මේ ප්‍රශ්න අසාගන්න

පහත සඳහන් වෙන්නේ යොවුන් වියේ පසු වන දරුවන් කිහිපදෙනෙකු පැවසූ අදහස්. ඒවා සැලකිල්ලට ගෙන ඒ සමඟ සඳහන් වන ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න.

“ලිංගික කාරණා ගැන සඳහන් වෙලා තියෙන පොත් පත් කියවලා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න කියලා මගේ දෙමාපියන් මට කියනවා. ඒත් මම නම් කැමති ඒ දේවල් මගේ දෙමාපියන්ම කියලා දෙනවාටයි.”—බ්‍රසීලයේ ඇනා.

පොත් පත් කියවා ලිංගික කාරණා ගැන දැනුම ලබාගන්න කියනවාට වඩා ඔබම දරුවන්ට ඒ දේවල් කියා දීම වැදගත් වන්නේ ඇයි?

“අස්වාභාවික ලිංගික ක්‍රියා ගැන මම හුඟක් අහලා තියෙනවා. සමහරවිට මගේ තාත්තවත් ඒ දේවල් ගැන අහලා නැතුව ඇති. ඒත් මම ඒ දේවල් ගැන තාත්තාගෙන් ඇහුවොත් තාත්තා හුඟක් කලබල වෙයි කියලා මම හිතනවා.”—කැනඩාවේ කෙන්.

ලිංගික කාරණා ගැන ඔබ සමඟ කතා කිරීමට දරුවන් අදිමදි කළ හැක්කේ ඇයි?

“ලිංගික කාරණා ගැන මගේ දෙමාපියන්ගෙන් ඇහුවාම මගේ අම්මයි තාත්තයි මගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයා ඒ ගැන අහන්නේ ඇයි? ඔයා අතින් මොකක් හරි වැරදි දෙයක් වුණාද?’ ඒ වෙලාවේ මට හිතුණේ මගේ දෙමාපියන් මට චෝදනා කරනවා කියලයි.”—ජපානයේ මසාමි.

ඔබේ දරුවන් කිසිම බියකින් තොරව ලිංගික කාරණා ගැන ඔබ සමඟ කතා කිරීමට පෙලඹෙන්නේ ඔබ කෙසේ කටයුතු කළොත්ද?

“මගේ දෙමාපියනුත් මගේ වයසේදී මේ වගේ ප්‍රශ්න ඇහුවා කියලත් ඒ වගේ ප්‍රශ්න අහන එකේ වරදක් නැහැ කියලත් මගේ දෙමාපියන් මට කියනවා නම් ඒක මට ලොකු උදව්වක්.”—ප්‍රංශයේ ලීසෙට්.

ලිංගික කාරණා ගැන ඔබ සමඟ විවෘතව කතා කිරීම සඳහා දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

“මගේ අම්මා මිත්‍රශීලී විදිහට මට ලිංගික කාරණා ගැන කියලා දෙනවා. ඒ නිසා මට අපහසුවක් දැනුණේ නැහැ.”—ප්‍රංශයේ සරල්ඩ්.

ඔබ ලිංගික කාරණා ගැන දරුවන් සමඟ කතා කළ යුත්තේ කෙසේද?