Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

කැරලිකාර සටන්කරුවෙක් මෙන්ම සොරෙක් තම ජීවිතය වෙනස් කරගත්තේ ඇයි? ඉතා දක්ෂ ලෙස සටන් ක්‍රමයක් හැදෑරූ කාන්තාවක් එය අත්හැරියේ ඇයි? පියෙක් තම පුතාව යහමඟට ගැනීම සඳහා දැරූ උත්සාහය අවසානයේදී සාර්ථක වුණේ කොහොමද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

“මට අමිහිරි අතීතයක් තිබුණත් මම දැන් ඉන්නේ සතුටින්.”—ගැරී පී. ආම්බ්‍රෝස්යෝ

වයස: 47

රට: පිලිපීනය

අතීතයේදී: කැරලිකාර සටන්කරුවෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ වින්ටාර් කියන කුඩා නගරයෙයි. ඒ නගරය නිල්වන් කඳු යායවලින්, දිය ඇලිවලින් මෙන්ම පිරිසිදු වාතාශ්‍රයෙන් පිරී තිබුණා. ඒ වුණාට එහේ ජීවත් වෙන එක නම් එච්චර ලේසි වුණේ නැහැ. අපේ ජීවනෝපාය විදිහට අපි ඇති කළ සතුන්ව සමහර අය හොරකම් කළා. ඒ වගේම අපේ ගේත් බිඳලා බඩු හොරකම් කළා.

මම යෞවන කාලයේදී යාළුවන් එක්ක එකතු වෙලා මත්පැන් බොන්නත් දුම් පානය කරන්නත් පුරුදු වෙලා හිටියා. ඒවාට මම සල්ලි හොයාගත්තේ හොරකම් කරලයි. මම මගේ ආච්චිගේ රත්තරන් බඩුත් හොරකම් කළා. දවසක් මම රජයට විරුද්ධව සටන් වදින කණ්ඩායමකට සම්බන්ධයි කියලා හිතාගෙන හමුදාවෙන් මාව අත්අඩංගුවට අරගෙන මට හොඳටම ගැහුවා. ඒ නිසාම ඒ කැරලිකාර කණ්ඩායමට මම බැඳුණා. අවුරුදු පහක් තිස්සේ කැරලිකාර සටන්කරුවන් එක්ක මම කඳුවල හැංගි හැංගි තමයි ජීවත් වුණේ. ඒ ජීවිතය හරිම දුෂ්කරයි. හැම තිස්සෙම අපි ජීවත් වුණේ භයෙන්. අන්තිමේදී මම ආණ්ඩුකාරවරයාට යටත් වුණා. ඒ කෙනා මට අනුකම්පා කරලා රැකියාවක් හොයාගන්නත් උදව් කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම රැකියාව කළ තැන ලොයිඩා කියලා කාන්තාවක් හිටියා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. දවසක් ලොයිඩා තවත් සාක්ෂිකාරයෙක් වුණු ජොවෙන්සියෝව මට හඳුන්වලා දුන්නා. එදා ඉඳලා මම ජොවෙන්සියෝ එක්ක බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒත් මම ගත කරමින් හිටිය ජීවිතය වෙනස් කරගන්න එක ලේසි වුණේ නැහැ. සමහර දවස්වලට ජොවෙන්සියෝ බයිබල් පාඩමට එන්න කලින් මම දුම් පානය කළා. ඒ වගේම නීති විරෝධි ක්‍රියාවලත් හවුල් වුණා. අන්තිමේදී පොලිසියෙන් මාව අත්අඩංගුවට අරගෙන මාස 11කට හිරේ දැම්මා. ඒ කාලයේදී මගේ වැරදිවලට සමාව දෙන්න කියලත් ඒ වැරදි හදාගන්න උදව් කරන්න කියලත් මම යෙහෝවා දෙවිට හුඟක් යාච්ඤා කළා.

මම හිරේ ඉන්නකොට සාක්ෂිකරුවෙක් මට බයිබලයක් ගෙනත් දුන්නා. මම ඒක කියවනකොට මට තේරුණා යෙහෝවා දෙවි දයාන්විත, ප්‍රේමණීය වගේම සමාව දීමට කැමති දෙවි කෙනෙක් කියලා. ඒ වගේම මට දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාව දීලා තියෙන්නෙත් ඔහු මට දයාන්විතව සලකන නිසයි කියලා මට තේරුණා. ඒ නිසා නරක පුරුදු අත්හරින්න මට උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. බයිබලයේ හිතෝපදේශ 27:11හි සඳහන් මේ වදන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.” ඒ බයිබල් පදය කියවනකොට මට හැඟෙන්නේ දෙවිම මට කතා කරනවා කියලයි.

හිරෙන් නිදහස් වුණාට පස්සේ මම ආපහු සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් සහභාගි වුණා. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්ත නිසා නරක පුරුදුවලින් මිදෙන්න මට පුළුවන් වුණා. ඊටපස්සේ මම මගේ ජීවිතය දෙවිට කැප කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්ත නිසා මට මගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න පුළුවන් වුණා. (කොලොස්සි 3:9, 10) ඇත්තෙන්ම මට අමිහිරි අතීතයක් තිබුණත් මම දැන් ඉන්නේ සතුටින්. සාක්ෂිකරුවන්ව ඇසුරු කරන්න ලැබීමත් යෙහෝවා දෙවි ගැන අනික් අයට කියලා දෙන්න ලැබුණු අවස්ථාවත් මම සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි.

“බ්‍රසීලය නියෝජනය කරමින් තරඟ වදින්න මට ලොකු ආශාවක් තිබුණා”—ජූලියානා අපරෙසිඩ සන්ටානා එස්කුඩේරෝ

වයස: 31

රට: බ්‍රසීලය

අතීතයේදී: දක්ෂ සටන් ශිල්පිනියක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ ලොන්ඩ්‍රිනාවලයි. මට වයස අවුරුදු දහයේදී මගේ අයියා මට කිව්වා එයා වගේ ‘ටයි ක්වොන් ඩෝ’ සටන් ක්‍රමය ඉගෙනගන්න කියලා. තාත්තා මුලින් ඒකට අකමැති වුණත් පස්සේ ඒකට ඉඩ දුන්නා.

මම හුඟක් මහන්සි වෙලා ඒ සටන් ක්‍රමය ඉගෙනගත්ත නිසා පරානා ප්‍රාන්තයේ ශූරතා කීපයක්ම දිනාගත්තා. ඊටපස්සේ මම ජාතික ශූරතා කීපයකුත් දිනාගත්ත නිසා 1993දී මාව බ්‍රසීලයේ ‘ටයි ක්වොන් ඩෝ’ ශූරිය ලෙස නම් කළා. මගේ එකම අරමුණ වුණේ ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වුණ තරඟවලට සහභාගි වීමයි. ඒත් ඒවාට වියදම් කරන්න අපිට වත්කමක් තිබුණේ නැහැ.

ඒ සටන් ක්‍රමය ඔලිම්පික් තරඟවලට ඇතුළත් වුණාම මට ලොකු සතුටක් දැනුණා. ඇත්තටම ඔලිම්පික් තරඟාවලියේදී බ්‍රසීලය නියෝජනය කරමින් තරඟ වදින්න මට ලොකු ආශාවක් තිබුණා. ඒ සිහිනේ සැබෑ කරගන්න මම තවත් වැඩියෙන් පුහුණුවීම්වල යෙදුණා. ඒ වගේම මට අනුග්‍රහක දායකත්වය ලැබුණු නිසා ප්‍රංශයේ, වියට්නාමයේ, දකුණු කොරියාවේ සහ ජපානයේ පැවැත්වුණු තරඟවලට වගේම දකුණු ඇමරිකානු ක්‍රීඩා උලෙළට සහභාගි වෙන්නත් මට අවස්ථාව ලැබුණා. මගේ ඊළඟ ඉලක්කය වුණේ පෑන් ඇමරිකානු ක්‍රීඩා උලෙළට සහභාගි වීමයි. මම හොඳින් ක්‍රීඩා කළ නිසා ඒ ඉලක්කයත් අත් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා 2003දී ඩොමිනිකන් ජනරජයේ පැවැත්වුණු පෑන් ඇමරිකානු ක්‍රීඩා උලෙළේදී බ්‍රසීලය නියෝජනය කරමින් ‘ටයි ක්වොන් ඩෝ’ තරඟවලට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: වර්ෂ 2001දී මටයි මම යාළු වෙලා හිටිය පිරිමි ළමයටයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ නිසා අපි ඒ අයත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒත් මුලදී නම් මට ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මම නිතරම පුහුණුවීම්වල යෙදිලා මහන්සියෙන් හිටිය නිසා සමහර අවස්ථාවලදී පාඩම අතරතුර මට නින්ද ගියා. ඒත් මම ඉගෙනගත්ත සමහර දේවල් මගේ හිතට තදින් කාවැදුණා.

පෑන් ඇමරිකානු තරඟාවලියට මාව තේරුණ නිසා පෙර පුහුණුවක් හැටියට මාව තරඟාවලියකට යවන්න පුහුණුකරු සැලසුම් කළා. කොහොමවුණත් ඒ තරඟාවලියේ මගේ සටන් වාරය ආවම මම අදාළ ස්ථානයට ගියත් සටන් කරන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා බයිබලයේ සඳහන් වෙලා තිබුණු දේ මට ඒ වෙලාවේ මතක් වුණා. (මතෙව් 19:19) ඇත්තෙන්ම ක්‍රිස්තියානීන් ක්‍රීඩාවකදීවත් අනික් අය එක්ක සටන් කරන එක සුදුසු නැහැ කියලා මට තේරුණා. ඒ නිසා මම හිත හිත ඉන්නේ නැතුව එතනින් පිට වුණා. ඒ වෙලාවේ එතැන හිටිය අය පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා.

එදා ගෙදර ගියාට පස්සේ මෙතනින් එහාට මම මොනවාද කරන්නේ කියලා හුඟක් වෙලා කල්පනා කළා. ඒ වෙලාවෙ මම සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන සඟරාවක් අතට අරන් කියවන්න පටන්ගත්තා. ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට දෙවි ද්වේෂ කරනවා’ කියලා ඒ සඟරාවේ සඳහන් වුණු බයිබල් පදය මගේ හිතට තදින්ම කාවැදුණා. (ගීතාවලිය 11:5) ඒ නිසා ‘ටයි ක්වොන් ඩෝ’ ක්‍රීඩාවට සමු දෙන්න එදා මම තීරණය කළා.

හැබැයි මගේ පුහුණුකරුවන් නම් ඒ ගැන සතුටු වුණේ නැහැ. මේ රටේ ඉන්න දක්ෂම ‘ටයි ක්වොන් ඩෝ’ ක්‍රීඩිකාව මම කියලත් ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙන්න මට අවස්ථාව තියෙනවා කියලත් ඒ අය මට කිව්වා. ඒත් මම මගේ තීරණය වෙනස් කළේ නැහැ.

ඒ වෙනකොට මගේ ස්වාමිපුරුෂයා සාක්ෂිකරුවන් එක්ක දේශනා සේවයේ යන්න පටන් අරන් තිබුණා. ඒ නිසා එයා දේශනා සේවයෙන් ලැබුව අද්දැකීම් ගැන හරිම සතුටින් මාත් එක්ක කිව්වා. කොහොමවුණත් ඒ සේවයේ හවුල් වෙන්න නම් මගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න අවශ්‍ය බව මම තේරුම්ගත්තා. ඒ නිසා මම කලින් හිටිය ආගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. කාලයක් ගියාට පස්සේ සාක්ෂිකාරියක් විදිහට බව්තීස්ම වෙන්න මට අවස්ථාව ලැබුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: අපේ විවාහ ජීවිතයේදී අපි දෙන්නම බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්න ලොකු වෑයමක් දරන නිසා අපි සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා සෙසු සාක්ෂිකරුවන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනකොට එයාට සහයෝගය දෙන්න ලැබෙන එක ගැන මම හුඟක් සතුටු වෙනවා. ඇත්තෙන්ම දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදයට සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකයේ තවත් නැහැ. ඔලිම්පික් රන්පදක්කමක් දිනාගෙන ජනප්‍රිය වෙනවාට වඩා මට ඒක වටිනවා.

“මගේ තාත්තා උත්සාහය අත්හැරියේ නැහැ.”—ඉංගෝ ට්සිමර්මාන්

වයස: 44

රට: ජර්මනිය

අතීතයේදී: රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙක්

මගේ අතීතය: අපි හැදී වැඩුණේ ගෙල්සන්කර්චන් කියන නගරයෙයි. මගේ තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඒ වුණත් මටයි මගේ අයියටයි අක්කලා දෙන්නටයි ඒ විශ්වාසයන් ගැන කියලා දෙනවට අම්මා කැමති වුණේ නැහැ. මගේ තාත්තා වැඩ කළේ රියැදුරෙක් විදිහට. ඒ නිසා තාත්තා දවසට පැය දහයකටත් වඩා වැඩියෙන් වැඩ කළා. හුඟක් වෙලාවට තාත්තා වැඩ පටන්ගත්තේ පාන්දර දෙකට නැත්නම් තුනට. ඒ වුණත් අපිට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න අපේ තාත්තා කවදාවත් අමතක කළේ නැහැ. හැබැයි තාත්තා අපි වෙනුවෙන් දැරුව මහන්සිය මම අගය කළේ නැහැ.

මට වයස අවුරුදු 15දී මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එක නතර කළා. ඊට අවුරුද්දකට විතර පස්සේ මම බොක්සින් ක්‍රීඩා සමාජයකට බැඳුණා. ඒ අවුරුදු දෙක පුරාම මම හැසුරුණු විදිහ නිසා මගේ තාත්තා හුඟක් දුක් වුණා. අවුරුදු 18දී මම ගේ අතහැරලා ගියා.

මම ක්‍රීඩාවලට ලොකු කැමැත්තක් දැක්වුව නිසා බොක්සින් සහ බර ඉසිලීම වගේ ක්‍රීඩාවල සතියකට හය වතාවක් පුහුණුවීම්වල යෙදුණා. සති අන්තවලදී මම යාළුවන් එක්ක රාත්‍රී සමාජ ශාලාවලට ගියා. එක දවසක් සමාජ ශාලාවක් ඇතුළේ ටිකක් දඩබ්බර පෙනුමක් තිබුණු කෙනෙක් මාත් එක්ක රණ්ඩුවට ආවා. ඒත් එයාව මෙල්ල කරන එක මට එච්චර අමාරු වුණේ නැහැ. එදාම ඒ සමාජ ශාලාවේ අයිතිකරු මගෙන් ඇහුවා එතන ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරන්න කැමතිද කියලා. හොඳ පඩියක් දෙන්නම් කියලත් එයා කිව්වා. මාත් ඒකට කැමති වුණා.

මට පැවරිලා තිබුණේ සමාජ ශාලාව ඇතුළට යවන්නේ කාවද නැත්තේ කාවද කියලා තීරණය කරන්නයි. ඒ ශාලාවේ මිනිසුන් 1,000කට විතර ඉඩ තියෙනවා. ඒ නිසා මම හුඟක් කාර්යබහුල වුණා. මේ වගේ තැන්වල රණ්ඩුසරුවල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. සමහර අය තුවක්කු, වීදුරු බෝතල් වගේ දේවල් පෙන්නලා මාව භය කරන්න උත්සාහ කළා. ඒ වගේම සමාජ ශාලාවට ඇතුල් වෙන්න අවසර ලැබුණේ නැති අයත්, ප්‍රශ්න ඇති කරන නිසා මම ශාලාවෙන් එළියට ඇදලා දැම්ම අයත් මගෙන් පළිගන්න මඟ රැකගෙන ඉඳලත් තියෙනවා. ඒ වෙනකොට මට වයස අවුරුදු 20යි. මම හිතාගෙන හිටියේ මං තරම් සූරයෙක් තවත් නැහැ කියලයි. ඒ දවස්වල මම හැසිරුණේ හරිම මුරණ්ඩු, ආඩම්බර, රණ්ඩුවට බර කෙනෙක් විදිහටයි.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම කවදා හරි දවසක යහමඟට එයි කියන බලාපොරොත්තුව තාත්තා නැති කරගත්තේ නැහැ. ඒ නිසා තාත්තා දිගටම මට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා එව්වා. * ඒත් මම ඒවා කියෙව්වේ නැහැ. හැබැයි එක දවසක් මට හිතුණා ඒ සඟරා කියවලා බලන්න ඕනෙ කියලා. මම කියෙව්ව එක සඟරාවක දේශපාලනය සහ බොරු උගන්වන ආගම් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න නියමිතයි කියලා සඳහන් වෙලා තිබුණා. ඒ වෙලාවෙම මම මගේ අක්කට කතා කළා. අක්කයි මගේ මස්සිනයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා ඒ දෙන්නත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මමත් ඒකට එකඟ වුණා.

බයිබලයේ ගලාති 6:7හි සඳහන් දේ නිසා මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වුණා. ඒකෙ කියන විදිහට ගන්න තීරණ මගේ ජීවිතයට බලපාන බව මම මේ වෙනකොටත් අද්දැකලා තියෙනවා. ඒ වගේම යෙසායා 1:18හි සඳහන් වෙලා තියෙන දෙවි පැවසූ මේ වදන් මට ලොකු දිරිගැන්වීමක් වුණා. ‘ජනයෙනි, එන්න. නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි. ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.’ අතීතයේදී මගේ අතින් කොයි තරම් වැරදි සිදු වුණත් මට ආයෙත් යෙහෝවා දෙවිට ළං වෙන්න අවස්ථාව තියෙනවා කියලා ඒ බයිබල් පදයෙන් මට හොඳටම පැහැදිලි වුණා.

මාස හයක් ඇතුළත මම ලොකු වෑයමක් දරලා මගේ ජීවිතයේ හුඟක් වෙනස්කම් කළා. මම කලින් ආශ්‍රය කරපු නරක මිතුරන්ගෙන් ඈත් වෙන්න ඕනෙ කියලා මට හොඳින්ම තේරුණා. ඒ නිසා මම ඒ අයට ගිහින් කිව්වා මම දැන් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා කියලා. ඒ වගේම මම ඉගෙනගත්ත දේවල් ගැනත් ඒ අයට කිව්වා. එතකොට මගේ යාළුවෝ මට පූජකයා කියලා විහිළු කරන්න පටන්ගත්තා.

මම හිටිය තැනට කිට්ටුවෙන් සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ශාලාවක් තිබුණා. හැබැයි පොඩි කාලේ ඉඳලා මාව දන්න අයව මුණගැහෙන්න තිබුණු අකමැත්ත නිසා මම ඒ ශාලාවට ගියේ නැහැ. ඒ නිසා කිලෝමීටර් 30ක දුරක් ගෙවාගෙන සාක්ෂිකරුවන්ගේ වෙනත් රැස්වීම් ශාලාවකට ගියා. ඒ වගේම මම රාත්‍රී සමාජ ශාලාවේ වැඩ කරනකොට ගහලා එළියට දැම්ම අයවත් මගෙන් මත්ද්‍රව්‍ය ගත්ත අයවත් දේශනා සේවයේ යනකොට මට හමු වෙයිද කියලා ලොකු භයකුත් තිබුණා. ඒත් මම පසුබට වෙන්නේ නැතුව මගේ උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වුණා.

මම සාමාන්‍යයෙන් පොත පත කියවන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි යෙහෝවා දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න නම් බයිබලයේ සඳහන් තොරතුරු ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෙ කියලා මට තේරුණා. ඇත්තෙන්ම ඒ දේ කරන්න මට ලොකු වෑයමක් දරන්න සිද්ධ වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම අද ජීවතුන් අතර ඉන්නේ බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්ත නිසයි. කොහොමවුණත් මගේ නරක පුරුදු ආයෙත් ඇති නොවීමට මම වගබලා ගන්නවා. දැන් මම විවාහකයි. මගේ බිරිඳ යෙහෝවා දෙවිට ප්‍රසන්න විදිහට ජීවත් වන කෙනෙක්. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම සාක්ෂිකරුවන් අතරේ මට සැබෑ මිතුරන් සොයාගන්න ලැබීම ගැනත් මම හුඟක් සතුටු වෙනවා. මීට අවුරුදු පහකට කලින් මගේ තාත්තා මිය ගියා. හැබැයි ඊට කලින් මම ආපහු යහමඟට ආව එක ගැන සතුටු වෙන්න මගේ තාත්තාට අවස්ථාව ලැබුණා.

[පාදසටහන]

^ 34 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.