Skip to content

පටුනට යන්න

‘දෙවි ඔබට උපකාර කරන බව නිසැකයි’

‘දෙවි ඔබට උපකාර කරන බව නිසැකයි’

දෙවිට ළං වෙන්න

‘දෙවි ඔබට උපකාර කරන බව නිසැකයි’

1 ලේකම් 28:9

ඔබ දෙවිව හොඳින් හඳුනනවාද? දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට නම් ඔබ දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගත යුතුයි. එසේ කිරීමෙන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකි වෙනවා. පුරාණයේ සිටි දාවිත් රජ ඔහුගේ පුත් සලමොන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම සඳහා දුන් උපදෙස් කිහිපයක් දැන් අපි සලකා බලමු.

අවුරුදු 40ක් පුරා ඉතා සාර්ථක අයුරින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ දාවිත් රජගෙන් පසුව යොවුන් වියේ සිටි සලමොන් රජකම භාරගැනීමට නියමිතව සිටියා. (1 ලේකම් 29:1) ඒ අවස්ථාවේදී දාවිත් රජ සලමොන්ට දුන් උපදෙස් මොනවාද?

දෙවිට සේවය කිරීමෙන් ලැබූ අද්දැකීම් පදනම් කරගෙන දාවිත් රජ සලමොන්ට මෙසේ පැවසුවා. ‘මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගන්න.’ ඒ වන විටත් සලමොන්, දෙවිට නමස්කාර කරමින් සිටි අතර පැරණි ගිවිසුමේ දෙවි ගැන සඳහන් වී තිබූ තොරතුරුත් ඔහු දැන සිටින්න ඇති. එසේනම් දෙවිව හොඳින් දැන හඳුනා ගන්න කියා දාවිත් පැවසුවේ ඇයි? එසේ පැවසුවේ තමා මෙන් සලමොන්ද දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නවා දැකීමට ඔහු ආශා කළ නිසයි.

එමෙන්ම “ඔබේ මුළු හදවතින්ම, ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්න” කියාත් දාවිත් රජ සලමොන්ට පැවසුවා. ඔහු ඒ දේ පැවසුවේ දෙවිව හොඳින් දැන හඳුනා ගන්න කියා පැවසීමෙන් පසුව බව සැලකිල්ලට ගන්න. ඇත්තෙන්ම කෙනෙක් මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න පෙලඹෙන්නේ දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමෙන් පසුවයි. මිනිසුන් දෙගිඩියාවෙන් තමාට සේවය කරනවාට දෙවි කැමති නැහැ. (ගීතාවලිය 12:2; 119:113) මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න කියා දාවිත් සලමොන්ට පැවසුවේ ඒ නිසයි.

ඊට අමතරව දාවිත් රජ සලමොන්ට මෙසේද පැවසුවා. “යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.” දෙවිට මිනිසුන්ගේ සිතුවිලි තේරුම්ගත හැකි නිසා කෙනෙක් ඔහුට සේවය කරන්නේ කුමන චේතනාවෙන්ද කියා දෙවි හොඳින්ම දන්නවා. ඒ නිසා සලමොන්, දෙවිට සේවය කළ යුත්තේ තම පියාව සතුටු කිරීමේ අරමුණින් නොව දෙවිව සතුටු කිරීමේ අරමුණින් බව පැහැදිලියි. ඇත්තෙන්ම මුළු හදවතින්ම දෙවිට සේවය කරන අය ගැන දෙවි ඉතා සැලකිලිමත් වෙනවා.

දාවිත් රජ මෙන් සලමොන්ද දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගනියිද? එය තීරණය කළ යුත්තේ සලමොන් විසින්මයි. කොහොමවුණත් දාවිත් රජ සලමොන්ට මෙසේද පැවසුවා. “ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි. නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත් ඔහු ඔබවත් සදහටම අත්හරියි.” ඒ අනුව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට සලමොන් මහත් වෑයමක් දැරිය යුතුයි. *

දාවිත් රජ සලමොන්ට දුන් උපදෙස්වලින් පැහැදිලි වන්නේ අප සියලුදෙනාම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නවාට දෙවි කැමති බවයි. නමුත් දෙවි සමඟ එවැනි මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් අපි බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරමින් ‘දෙවිගේ මඟ පෙන්වීම්’ පැතිය යුතුයි. එවිට අපි දෙවිව හොඳින් දැන හඳුනා ගෙන මුළු හදවතින්ම ඔහුට සේවය කිරීමට පෙලඹෙනවා.—මතෙව් 22:37.

[පාදසටහන]

^ 9 ඡේ. මුලදී සලමොන් මුළු හදවතින්ම දෙවිට සේවය කළත් ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියේ නැහැ.—1 රාජාවලිය 11:4.