Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න

යෞවනයෙනි, දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න

යෞවනයෙනි, දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න

“ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න.”—හිතෝ. 4:5.

1, 2. (අ) වැරදි දේ කිරීමට තිබූ නැඹුරුවාව ජය ගැනීමට පාවුල්ට උපකාරවත් වුණේ කුමක්ද? (ආ) ඔබට ප්‍රඥාව හා අවබෝධය ලබාගන්න පුළුවන් කොහොමද?

පාවුල් යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ප්‍රේම කළත් සමහර අවස්ථාවලදී හරි දේ කිරීමට ඔහුට සටන් කරන්න සිදු වුණා. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. ඔහුට ඔහු ගැනම මෙසේ සිතුණා. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!” (රෝම 7:21-24) හරි දේ කිරීමට මහත් වෑයමක් දැරිය යුතුයි කියා ඔබටත් හැඟෙනවාද? පාවුල් මෙන් එවැනි අවස්ථාවලදී ඔබත් කලකිරෙනවාද? එසේනම් අධෛර්යයට පත් වෙන්න එපා. පාවුල් මුහුණ දුන් අභියෝගවලින් ඔහු සාර්ථකව ජය ගත්තා හා සමානව ඔබටත් ඉන් ජය ගත හැකියි.

2 පාවුල්ට සාර්ථක වීමට හැකි වුණේ ඔහු “ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට” කීකරු වූ නිසයි. (2 තිමෝ. 1:13, 14) එහි ප්‍රතිඵලයක් ලෙස නිවැරදි තීරණ ගැනීමට සහ අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව හා අවබෝධය ඔහුට ලැබුණා. ප්‍රඥාව හා අවබෝධය ලබාගැනීමට යෙහෝවා දෙවි ඔබටත් උපකාර කරන බවට නිසැක වන්න. (හිතෝ. 4:5) ඒ සඳහා සාර්ථකම උපදෙස් අඩංගු පොත වන බයිබලය දෙවි ඔබට ලබා දී තිබෙනවා. (2 තිමෝති 3:16, 17 කියවන්න.) යෞවනයෙක් ලෙස ඔබ දෙමාපියන් යටතේ සිටින විට, මුදල් පරිහරණය කරන විට හා තනිවම සිටින විට බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැන් අපි සලකා බලමු.

දෙමාපියන් යටතේ සිටින විට

3, 4. දෙමාපියන්ගේ නීතිවලට යටත් වීම අමාරුයි කියා ඔබට හැඟෙන්න පුළුවන් ඇයි? නමුත් දෙමාපියන් නීති දමන්නේ ඇයි?

3 දෙමාපියන්ගේ නීතිවලට යටත් වීම අමාරුයි කියා ඔබට හැඟෙනවාද? සමහරවිට ඔබට එසේ හැඟෙනවා විය හැකියි. ඊට එක් හේතුවක් වන්නේ ඔබ වැඩි නිදහසක් බලාපොරොත්තු වීම වෙන්න පුළුවන්. එසේ බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්. වයසින් වැඩෙත්ම ඔබට එවැනි අවශ්‍යතාවක් ඇති විය හැකියි. කෙසේවෙතත් ඔබ දෙමාපියන් යටතේ සිටින විට ඔවුන්ට කීකරු වීමට ඔබ බැඳී සිටිනවා.—එෆී. 6:1-3.

4 දෙමාපියන් නීති පනවන්නත් ඔබගෙන් යම් දේවල් බලාපොරොත්තු වන්නත් හේතුව කුමක්ද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එවිට ඒවාට කීකරු වීමට ඔබට පහසුයි. අවුරුදු 18ක් වන මෙරීනා * තම දෙමාපියන් ගැන මෙසේ පැවසුවා. “මගේ වයසේ කෙනෙකුගේ සිතුම් පැතුම් ගැන එයාලට කිසිම තැකීමක් නැහැ. මට හිතෙන දේ කියන්න මට නිදහසක් නැහැ. මං කැමති තීරණයක් ගන්න මට එයාලා ඉඩ දෙන්නේ නැහැ. මාව වැඩිහිටියෙක් විදිහට සලකන්නේ නැහැ.” දෙමාපියන් පමණට වඩා සීමා තහංචි දමා තිබෙනවා කියා ඔබටත් හැඟෙන්න පුළුවන්. නමුත් ඔවුන් යම් නීති දමන්නේ ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වන නිසයි. එමෙන්ම ඔබව රැකබලා ගැනීමේ වගකීම යෙහෝවා දෙවි ඔවුන්ට පවරා තිබෙන බව අමතක කරන්න එපා.—1 තිමෝ. 5:8.

5. දෙමාපියන්ට කීකරු වීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

5 මෙම නිදර්ශනය ගැන සලකා බලන්න. ඔබ බැංකුවෙන් ණයක් ගත් විට ඒ සඳහා අදාළ වාරිකය කලට වෙලාවට ගෙවීමට ඔබ බැඳී සිටිනවා. ඔබ එසේ කරනවා නම් බැංකුවට ඔබ කෙරෙහි ඇති විශ්වාසය වැඩි වෙනවා. අවශ්‍ය විටෙක තවත් ණයක් ලබා දීමට පවා ඔවුන් අදිමදි කරන්නේ නැහැ. ඒ හා සමානව ඔබත් ඔබේ දෙමාපියන්ට කීකරු වීමට බැඳී සිටිනවා. (හිතෝපදේශ 1:8 කියවන්න.) ඔබ එසේ දෙමාපියන්ට කීකරු වන තරමට ඔබට ලැබෙන නිදහසත් වැඩි වෙනවා. (ලූක් 16:10) නමුත් ඔබ දිගින් දිගටම දෙමාපියන් දමන නීතිවලට අකීකරු වෙනවා නම් ඔවුන් ඔබේ නිදහස සීමා කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම නැති කිරීමට පියවර ගත හැකියි.

6. කීකරු වීම දරුවන්ට පහසු කරවීමට දෙමාපියන්ට පුළුවන් කොහොමද?

6 තම නීතිවලට කීකරු වන්න දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් ආදර්ශවත් වීමයි. දෙමාපියන් යෙහෝවා දෙවිගේ නීතිවලට කැමැත්තෙන්ම කීකරු වන විට එම නීති කොතරම් සාධාරණද කියා ඔවුන් පෙන්වනවා. එවිට දෙමාපියන්ගේ නීතිවලට කීකරු වීමෙන් තමන්ට මොන තරම් යහපතක් සිදු වෙනවාද කියා දරුවන් තේරුම්ගන්නවා. (1 යොහ. 5:3) සමහර අවස්ථාවලදී යම් කාරණා සම්බන්ධයෙන් තමන්ට හැඟෙන ආකාරය පැවසීමට යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට අවස්ථාව ලබා දුන්නා. (උත්. 18:22-32; 1 රාජා. 22:19-22) එලෙස තමන්ට හැඟෙන ආකාරය ගැන පවසන්න දරුවන්ටත් අවස්ථාවක් ලබා දීමට ඔබට පුළුවන්ද?

7, 8. (අ) යෞවනයන් මුහුණ දෙන අභියෝගය කුමක්ද? (ආ) දෙමාපියන් දෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගැනීමට ඔබ කුමක් මතක තබාගත යුතුද?

7 දෙමාපියන් නිතරම තමන්ගේ වැරදි සොයන බව දරුවන්ට හැඟෙන්න පුළුවන්. ජේසන්ටත් එලෙස හැඟුණා. “මගේ අම්මා පොලිස්කාරයෙක් වගේ හැමතිස්සේම මගේ අතින් වරදක් වෙනකල් බලං ඉන්නවා” කියා ඔහු පැවසුවා.

8 දෙමාපියන් නිවැරදි කිරීම් හෝ මඟ පෙන්වීම් ලබා දෙන විට ඔබව විවේචනය කරනවා කියා ඔබට හැඟෙන්න පුළුවන්. හික්මවීමක් ලැබෙන විට එය වේදනාකාරී දෙයක් බව බයිබලයේද පවසා තිබෙනවා. (හෙබ්‍රෙ. 12:11) ඔබට ලැබෙන හික්මවීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් කුමක් කළ හැකිද? ඔබේ දෙමාපියන් ඔබට උපදෙස් ලබා දෙන ප්‍රධාන හේතුව ඔවුන් ඔබට ප්‍රේම කරන නිසා බව මතක තබාගන්න. (හිතෝ. 3:12) ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබ නරක පුරුදු නොව හොඳ පුරුදු ඇති කරගන්නවා දකින්නයි. ඔබට වැරදි දේ කිරීමට ඉඩ දීම, ඔබට වෛර කරනවා හා සමානයි කියා ඔවුන් දන්නවා. (හිතෝපදේශ 13:24 කියවන්න.) ඒ වගේම අද්දැකීම් අඩු නිසා ඔබ අතින් වැරදි සිදු වෙනවා කියාත් ඔවුන් දන්නවා. ඒ නිසා ඔබව නිවැරදි කිරීම සඳහා දෙමාපියන් ලබා දෙන උපදෙස් මොන තරම් ප්‍රඥාවන්තද කියා සිතා බලන්න වෑයම් කරන්න. “ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන රන් රිදීවලටත් වඩා අගනේය” කියා බයිබලයේ පවසනවා.—හිතෝ. 3:13, 14.

9. සිදු වූ අසාධාරණය ගැන කල්පනා කරනවා වෙනුවට ඔබට කුමක් කළ හැකිද?

9 දෙමාපියන් අතින්ද වැරදි සිදු වෙනවා. (යාකො. 3:2) සමහර අවස්ථාවලදී දෙමාපියන් ඔබට උපදෙස් දෙන විට ඔවුන් ඔබේ සිත රිදෙන ආකාරයෙන් කතා කරන්න පුළුවන්. (හිතෝ. 12:18) එලෙස කතා කිරීමට හේතු විය හැක්කේ කුමක්ද? සමහරවිට ඒ අවස්ථාවේ ඔවුන් යම් පීඩනයක් යටතේ සිටින්න ඇති. නැත්නම් ඔබ අතින් සිදු වූ වරදට වග කිව යුත්තේ තමන් කියා ඔවුන්ට හැඟෙනවා විය හැකියි. එමනිසා දෙමාපියන් එලෙස කතා කිරීම අසාධාරණයි කියා සිතනවා වෙනුවට ඔබට උපකාර කිරීමට ඔවුන්ට තිබෙන ආශාව අගය කරන්න. ඔබට ලැබෙන මඟ පෙන්වීම් පිළිගැනීමට ඔබ පුහුණු වන විට වැඩිහිටියෙක් වූ පසුවත් මඟ පෙන්වීම් පිළිගැනීම ඔබට පහසු දෙයක් වෙයි.

10. දෙමාපියන්ගේ නීති හා මඟ පෙන්වීම්වලට කීකරු වන බව දරුවන්ට පෙන්වන්න පුළුවන් කොහොමද?

10 දෙමාපියන්ගේ නීතිවලට කීකරු වීමෙන් ප්‍රයෝජන ලබන්න ඔබ කැමතිද? එසේනම් ඔබගේ අදහස් හුවමාරු කිරීම දියුණු කරගන්න. ඒ සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද? පළමු පියවර නම් හොඳින් සවන් දීමයි. ඒ ගැන බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා.“ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකො. 1:19) සිදු වූ දේට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඉක්මන් වෙනවා වෙනුවට ඔබගේ හැඟීම් පාලනය කරගෙන දෙමාපියන් පවසන දේට සවන් දෙන්න. ඔවුන් පවසන දේට මිස පවසන ආකාරයට අවධානය යොමු නොකරන්න. දෙමාපියන් දුන් මඟ පෙන්වීම්වලට ඔබ එකඟයි කියා ඔවුන්ට පවසන්න. ඔබ කතා කළ හෝ ක්‍රියා කළ ආකාරයට හේතු දක්වන්න ඔබට අවශ්‍ය නම් කුමක් කළ හැකිද? මුලින්ම දෙමාපියන්ට සවන් දී ඔවුන්ගේ මඟ පෙන්වීම් පිළිගන්න. එවිට ඔබ පවසන දේට සවන් දීමට ඔවුන්ද කැමැත්තක් දක්වයි. (හිතෝ. 10:19) එලෙස බුද්ධිමත්ව කටයුතු කරන විට ඔබ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන බව පැවසිය හැකියි.

මුදල් පරිහරණය කරන විට

11, 12. (අ) මුදල් සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද? ඒ ඇයි? (ආ) මුදල් නිසි ලෙස පරිහරණය කිරීමට ඔබට දෙමාපියන්ගෙන් උපකාර ලබාගන්න පුළුවන් කොහොමද?

11 “මුදල ආරක්ෂාවක්” බව බයිබලයේ පවසනවා. නමුත් ප්‍රඥාව මුදල්වලට වඩා වටිනා බව එහි සඳහන් කර තිබෙනවා. (දේශ. 7:12) මුදල් අවශ්‍ය දෙයක් කියා බයිබලයේ පැවසුවත් ඊට ප්‍රේම කරන්න කියා එහි පවසන්නේ නැහැ. ඒ ඇයි? එය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. මුවහත් පිහියක් දක්ෂ කෝකියෙකුට බොහෝ සේ ප්‍රයෝජනවත්. නමුත් නොසැලකිලිමත් කෙනෙකු අතට එය පත් වුණොත් බරපතළ හානියක් සිදු විය හැකියි. ඒ හා සමානව මුදල් පාලනයකින් යුතුව පරිහරණය කරන විට ඉන් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. නමුත් “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය” මිත්‍රකම්, පවුල් සබඳතා සහ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට පවා හානි කරගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට “බොහෝ වේදනා අද්දැකීමට” සිදු වෙනවා.1 තිමෝති 6:9, 10 කියවන්න.

12 නිසි ආකාරයෙන් මුදල් පරිහරණය කිරීමට ඔබට පුළුවන් කොහොමද? ඒ සඳහා දෙමාපියන්ගෙන් යම් මඟ පෙන්වීමක් ඉල්ලන්න ඔබට පුළුවන්. සලමොන් රජ මෙවැනි දෙයක් පැවසුවා. “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි. හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි.” (හිතෝ. 1:5) යෞවනියක් වන ඇනා ඇගේ දෙමාපියන්ගෙන් නිසි ලෙස මුදල් පරිහරණය කිරීම ගැන මඟ පෙන්වීම් ලබාගත්තා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මට ලැබෙන මුදල් නිසි ලෙස පාලනය කරන ආකාරය තාත්තා මට ඉගැන්නුවා. ඒ වගේම මාසේ පුරාම කරන වියදම් ලියාගන්න තාත්තා මට කියලා දුන්නා.” ඇගේ මවත් ඇයට යම් මඟ පෙන්වීම් ලබා දුන්නා. “භාණ්ඩයක් මිල දී ගන්න කලින් ඒකේ මිල වෙන සාප්පුවල මිල ගණන් එක්ක සසඳන්න එයා මට කියලා දුන්නා.” ඉන් ඇය ලැබූ ප්‍රයෝජන ගැන ඇනා මෙසේ විස්තර කරනවා. “මම දැන් මට ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරනවා. ඒ නිසා අනවශ්‍ය ණය බරින් නිදහස් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

13. මුදල් වියදම් කරන විට ඔබවම පාලනය කරගන්න පුළුවන් කොහොමද?

13 ඔබ ආශා කරන හැම දෙයක්ම මිල දී ගැනීමට උත්සාහ කරනවා නම් හා ඔබේ මිතුරන් අතරේ කැපීපෙනෙන්න ඔබ යම් දේවල් මිල දී ගන්නවා නම් ඔබ ඉක්මනින්ම ණයකරුවෙක් බවට පත් විය හැකියි. එවැනි තත්වයකට පත් නොවීමට ඔබට කුමක් කළ හැකිද? වියදම් කිරීමේදී ඔබවම පාලනය කරගන්න ඉගෙනගන්න. තම විසිගණන්වල පසුවන එලීනා ඒ සඳහා කරන දේ මෙසේ පවසනවා. “මිතුරන් එක්ක සාප්පු යන්න කලින්ම මම කොච්චර වියදම් කරනවාද කියලා තීරණය කරනවා. ඒ වගේම මම සාප්පු යන්නේ අරපිරිමැස්මෙන් මුදල් පරිහරණය කරන හා යමක් දැක්ක ගමන් මිල දී ගන්න කියා උනන්දු නොකරන යාළුවන් එක්කයි.”

14. ‘ධනය පසුපස හඹා යෑමේ මුළාවට’ හසු නොවී සිටීම වැදගත් ඇයි?

14 මුදල් ඉපයීම හා නිසි ලෙස පරිහරණය කිරීම අපගේ ජීවිතයේ වැදගත් දෙයක්. කෙසේවෙතත් සැබෑ සතුට ලැබෙන්නේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින” අයට බව යේසුස් පැවසුවා. (මතෙ. 5:3) නමුත් කෙනෙක් ‘ධනය පසුපස හඹා යෑමේ මුළාවට’ හසු වුණොත් නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට තිබෙන උනන්දුව නැති වී යා හැකියි. (මාක් 4:19) එසේනම් දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් මුදල් නිසි ලෙස පරිහරණය කිරීම මොන තරම් වැදගත්ද!

තනිවම සිටින විට

15. ඔබ වරදට පෙලඹීමට වැඩි නැඹුරුවාවක් තිබෙන්නේ කුමන අවස්ථාවේදීද?

15 ඔබ වරදට පෙලඹීමට වැඩි නැඹුරුවාවක් තිබෙන්නේ අන් අය සමඟ සිටින විටද නැත්නම් තනිව සිටින විටද? පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය පලුදු කර නොගැනීමට ඔබ හොඳ අවධානයකින් සිටිනවා. නමුත් තනිවම සිටින විට වැරදි දෙයක් කිරීමට තිබෙන නැඹුරුවාව වැඩියි.

16. ඔබ තනිව සිටින විටදී පවා දෙවිට කීකරු විය යුත්තේ ඇයි?

16 ඔබ තනිව සිටින විටදී පවා දෙවිට කීකරු විය යුත්තේ ඇයි? මේ කාරණය මතක තබාගන්න. ඔබගේ ක්‍රියාවලින් යෙහෝවා දෙවිගේ හදවත සතුටු කරන්න හෝ දුකට පත් කරන්න ඔබට පුළුවන්. (උත්. 6:5, 6; හිතෝ. 27:11) ඊට හේතුව ඔහු “ඔබ ගැන සැලකිලිමත්” වීමයි. (1 පේතෘ. 5:7) දෙවිට අවශ්‍ය වන්නේ ඔබ ඔහුට සවන් දී යහපත් ජීවිතයක් ගත කරනවා දකින්නයි. (යෙසා. 48:17, 18) පුරාණයේ සිටි දෙවිගේ සෙනඟ ඔහුගේ උපදෙස් නොසලකාහැරිය විට දෙවිට දුකක් දැනුණා. (ගීතා. 78:40, 41) අනික් අතට “බොහෝ ප්‍රේම ලත්” පුද්ගලයෙක් ලෙස හැඳින්වූ දානියෙල් ගැන දෙවි සතුටු වුණා. (දානි. 10:11) ඒ ඇයි? දානියෙල් අන් අය සමඟ සිටින විටත් තනිව සිටින විටත් දෙවිට විශ්වාසවන්තව සිටියා.දානියෙල් 6:10 කියවන්න.

17. විනෝදය සඳහා කරන දේවල් තෝරාගන්නා විට අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

17 ඔබ තනිව සිටින විට දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් ඔබ ඔබේ ‘වටහාගැනීමේ හැකියාව භාවිත කිරීමෙන් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු විය යුතුයි.’ (හෙබ්‍රෙ. 5:14) උදාහරණයකට සංගීතය, නරඹන චිත්‍රපට හා අන්තර්ජාලයේ වෙබ් අඩවි තෝරාගැනීමට සිදු වන විට ඔබගෙන්ම මෙවැනි ප්‍රශ්න අසා ගන්න. “මම නරඹන හා අසන දෙයින් අන් අය කෙරෙහි අනුකම්පාවක් මා තුළ ඇති වෙනවද? නැත්නම් මම ‘අනුන්ගේ විපතේදී ප්‍රීති වන’ කෙනෙක් බවට පත්වෙනවද?” (හිතෝ. 17:5) “‘දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න’ මට එය උපකාරවත් වෙයිද?” (ආමො. 5:15) ඔබ තනිව සිටින විට කරන දේවලින් ඔබ ඇත්තටම අගය කරන්නේ මොනවාද කියා හෙළි වෙනවා.—ලූක් 6:45.

18. ඔබ රහසින් යම් වැරදි ක්‍රියාවක නිරත වෙනවා නම් ඔබට කුමක් කළ හැකිද? ඒ ඇයි?

18 ඔබ රහසින් යම් වැරදි ක්‍රියාවක නිරත වෙනවා නම් ඔබට කුමක් කළ හැකිද? “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ” යන උපදෙස මතක තබාගන්න. (හිතෝ. 28:13) දිගටම වැරදි ක්‍රියාවක නියැලීමෙන් ‘දෙවිට දුක් දීම’ මොන තරම් මෝඩ දෙයක්ද! (එෆී. 4:30) ඔබ කරන වැරදි ක්‍රියාව ගැන දෙවිට හා ඔබේ දෙමාපියන්ට පැවසීමට ඔබ බැඳී සිටිනවා. ඒ තුළින් ඔබ ඔබටම යහපතක් සිදු කරගන්නවා. ඒ වගේම ‘සභාවෙහි සිටින වැඩිමහල්ලන්ගෙන්ද’ ඔබට බොහෝ උපකාර ලබාගත හැකියි. එවැනි අවස්ථාවක වැඩිමහල්ලන් උපකාර කරන ආකාරය යාකොබ් මෙසේ විස්තර කළා. “යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන. විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ.” (යාකො. 5:14, 15) වරද හෙළි කිරීමෙන් ඔබ යම් අපහසුතාවකට පත් වීමට හෝ ඔබට යම් හික්මවීමක් ලැබෙන්න පුළුවන්. නමුත් ධෛර්යය උපදවාගෙන උපකාරය ඉල්ලනවා නම් අනාගතයේදී සිදු විය හැකි බරපතළ වරදකින් ආරක්ෂා වීමටත් යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටත් හැකි වෙනවා.—ගීතා. 32:1-5.

යෙහෝවා දෙවිගේ හදවත සතුටු කරන්න

19, 20. යෙහෝවා දෙවි කැමති ඔබ මොන වගේ ජීවිතයක් ගත කරනවා දැකීමටද? ඒ සඳහා ඔබ කුමක් කළ යුතුද?

19 යෙහෝවා දෙවි “ප්‍රීතිමත් දෙවි” කෙනෙක් නිසා ඔබත් ප්‍රීතියෙන් ජීවිතය ගත කරනවා දකින්න ඔහු කැමතියි. (1 තිමෝ. 1:11) ඔහු ඔබ ගැන ඉතා සැලකිල්ලෙන් සිටින නිසා හරි දේ කිරීමට ඔබ මොන තරම් වෑයම් කරනවාද කියා අන් කිසිවෙකුට නොපෙනුනත් ඔහුට පෙනෙනවා. ඔහු ඔබ ගැන සැලකිලිමත් වන්නේ ඔබගේ වැරදි සෙවීමට නොව ඔබ හරි දේ කිරීමට ගන්නා වෑයමට උපකාර කිරීමටයි. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි” කියා බයිබලයේ පවසනවා.—2 ලේක. 16:9.

20 ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරුව යටත් වන්න. එවිට ඔබට ගැටලු විසඳාගැනීමටත් අසීරු කාරණාවලදී නිවැරදි තීරණ ගැනීමටත් අවශ්‍ය ප්‍රඥාව හා අවබෝධය ලබාගත හැකියි. එසේ කිරීමෙන් ඔබ ඔබේ දෙමාපියන්ව හා යෙහෝවා දෙවිව සතුටු කිරීමට පමණක් නොව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමටද ඔබට හැකියි.

[පාදසටහන]

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• දෙමාපියන්ගේ නීති හා නිවැරදි කිරීම්වලින් ප්‍රයෝජන ලබාගැනීමට නම් යෞවනයන්ට කුමක් කළ හැකිද?

• මුදල් සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?

• ඔබ තනිව සිටින විට දෙවිට විශ්වාසවන්තව සිටින්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[6වන පිටුවේ පින්තූරය]

ඔබ තනිව සිටින විටදීත් දෙවිට විශ්වාසවන්තව සිටිනවාද?