Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ඔබගේ ඉලක්ක මොනවාද?

යෞවනයෙනි, ඔබගේ ඉලක්ක මොනවාද?

යෞවනයෙනි, ඔබගේ ඉලක්ක මොනවාද?

“මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.”—1 කොරි. 9:26.

1, 2. සාර්ථක ජීවිතයක් ගත කිරීමට නම් ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද?

මීට කලින් කවදාවත් නොගිය ප්‍රදේශයකට යෑමට සිතියමක් හා මාලිමා යන්ත්‍රයක් බොහෝ සේ උපකාරවත් වෙනවා. සිතියමකින් තමන් සිටින ස්ථානය හා යා යුතු ස්ථානය නිවැරදිව සොයාගැනීමට හැකියි. ඒ වගේම මාලිමා යන්ත්‍රයේ උපකාරයෙන් නිවැරදි දිශාව සොයාගෙන එහි දිගටම ගමන් කරන්න පුළුවන්. නමුත් ගමනාන්තය නිශ්චිත නැත්නම් සිතියමෙන් හා මාලිමා යන්ත්‍රයෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ ගමනාන්තය නිශ්චිතව දැන සිටීම ඉතා වැදගත් බවයි.

2 වැඩිහිටියෙක් දක්වා වර්ධනය වන ඔබටත් නිවැරදි මාර්ගය කුමක්ද කියා තෝරාගැනීමට සිතියමක් හා සමාන දෙවිගේ වචනය වන බයිබලය තිබෙනවා. (හිතෝ. 3:5, 6) ඒ වගේම නිවැරදි මාර්ගයේ දිගටම ගමන් කිරීම සඳහා මාලිමා යන්ත්‍රයක් හා සමාන හොඳින් පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් ඔබට තිබෙනවා. (රෝම 2:15) නමුත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට නම් ඔබට නිශ්චිත ඉලක්ක තිබිය යුතුයි.

3. ඉලක්ක තබාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන 1 කොරින්ති 9:26හි පාවුල් සඳහන් කරන්නේ කුමක්ද?

3 ඉලක්ක තබාගෙන ඒවා අත් කරගැනීමට වෑයම් කිරීමේ ප්‍රයෝජන ගැන පාවුල් මෙසේ ලිව්වා. “මා දුවන්නේ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ. එලෙසම මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.” (1 කොරි. 9:26) ඉලක්ක තිබෙනවා නම් නිශ්චිත තීරණ ගැනීමට එය බොහෝ සේ ප්‍රයෝජනවත්. වැඩිකල් නොගොස් නමස්කාරය, රැකියාව හා විවාහය වැනි ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට ඔබට සිදු වෙනවා. සමහර අවස්ථාවලදී යම් කාරණයක් සම්බන්ධයෙන් ඔබ ගන්නේ කුමන තීරණයද කියා ඔබ දෙගිඩියාවෙන් පසු වෙනවා විය හැකියි. නමුත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ඔබ කල් ඇතුව නිවැරදි තීරණ ගෙන තිබෙනවා නම් ඔබගේ ඉලක්කවලට බාධා වන දේවල් වළක්වාගන්න ඔබට පුළුවන්.—2 තිමෝ. 4:4, 5.

4, 5. (අ) ඔබ ඉලක්ක තබාගන්නේ නැත්නම් කුමක් සිදු විය හැකිද? (ආ) ඔබ දෙවිව සතුටු වන ආකාරයේ ඉලක්ක තබාගත යුත්තේ ඇයි?

4 ඔබ ඉලක්ක තබාගෙන කටයුතු කරන්නේ නැත්නම් ඔබගේ මිතුරන් හා ගුරුවරුන් ඔබට හොඳයි කියා ඔවුන් සිතන දේ කිරීමට ඔබව පොලඹවන්න පුළුවන්. ඔබට නිශ්චිත ඉලක්ක තිබුණත් වෙනත් අය ඔවුන්ගේ යෝජනාද ඉදිරිපත් කළ හැකියි. එම යෝජනාවට ඇහුම්කන් දෙන විට ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘යෞවනයෙක් හැටියට මගේ සැදුම්කරුව සිහි කරන්න ඔවුන් ලබා දෙන ඉලක්ක උපකාරවත් වෙයිද? නැත්නම් මාව දෙවිගෙන් ඈත් කරයිද?’දේශනාකාරයා 12:1 කියවන්න.

5 ඔබ දෙවිව සතුටු කරන ආකාරයේ ඉලක්ක තබාගත යුත්තේ ඇයි? එක් හේතුවක් වන්නේ අප භුක්ති විඳින සෑම දෙයක්ම ලබා දී ඇත්තේ යෙහෝවා දෙවි වීමයි. (යාකො. 1:17) ඇත්තෙන්ම අප සියලුදෙනාම යෙහෝවා දෙවිට ණයගැතියි. (එළි. 4:11) යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කර ඇති දේවල් ඔබ අගය කරන බව පෙන්විය හැකි හොඳම ආකාරය වන්නේ ඉලක්ක තබාගන්නා විට දෙවිව සතුටු වන ආකාරයේ ඉලක්ක තබාගැනීමයි. ඔබට අත් කරගත හැකි ඉලක්ක මොනවාද කියා දැන් අපි සලකා බලමු.

ඔබට තබාගත හැකි ඉලක්ක

6. ඔබ තබාගත යුතු වැදගත් ඉලක්කය කුමක්ද? ඒ ඇයි?

6 කලින් ලිපියේ සඳහන් කළ ආකාරයට ඔබට තබාගත හැකි වැදගත් ඉලක්කයක් වන්නේ බයිබලයෙන් ඔබ ඉගෙනගන්නා දේවල් ඔබටම තහවුරු කරගැනීමයි. (රෝම 12:2; 2 කොරි. 13:5) පරිණාමය හෝ දෙවි සම්බන්ධ බොරු ඉගැන්වීම් ඔබේ මිතුරන් පිළිගන්නේ වෙනත් අය ඒවා පිළිගන්න නිසා විය හැකියි. නමුත් ඔබ යමක් පිළිගත යුත්තේ අන් අය එය පිළිගන්නා නිසා නොවෙයි. දෙවි බලාපොරොත්තු වන්නේ ඔබ කැමැත්තෙන්ම ඔහුට සේවය කරනවා දකින්නයි. (මතෙව් 22:36, 37 කියවන්න.) එමෙන්ම ඔබ ස්ථිර සාක්ෂි ඇතුව ඔහුව සැබෑ පුද්ගලයෙක් ලෙස විශ්වාස කරනවා දකින්නයි.—හෙබ්‍රෙ. 11:1.

7, 8. (අ) දෙවි කෙරෙහි වූ ඔබගේ විශ්වාසය ශක්තිමත් කරගත හැකි කෙටි කාලීන ඉලක්ක මොනවාද? (ආ) එම ඉලක්ක අත් කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

7 දෙවි කෙරෙහි ඔබට ඇති විශ්වාසය ශක්තිමත් කරගැනීම සඳහා කෙටි කාලීන ඉලක්ක තබාගැනීම වැදගත්. එවැනි එක් ඉලක්කයක් වන්නේ දිනපතා දෙවිට යාච්ඤා කිරීමයි. ඔබේ යාච්ඤා අර්ථවත් වීමට නම් ඊට ඇතුළත් කළ යුත්තේ එදිනෙදා සිදු වූ කුමන දේවල්ද කියා ලියාගැනීම හෝ මතක තබාගැනීම ප්‍රයෝජනවත්. ඔබ යාච්ඤා කරන විට මුහුණ දීමට සිදු වූ අභියෝග ගැන පමණක් නොව ඔබ සතුටු වූ අවස්ථා ගැනද සඳහන් කළ හැකියි. (ෆිලි. 4:6) තවත් ඉලක්කයක් වන්නේ දිනපතා බයිබලය කියවීමයි. ඔබ දවසකට බයිබලයෙන් පිටු හතරක් පමණ කියවනවා නම් වසරක් ඇතුළත මුළු බයිබලයම කියවා අවසන් කළ හැකි බව ඔබ දැන සිටියාද? * ඔබ ‘දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා’ නම් ප්‍රීතියක් ලබන බව බයිබලයේ පවසනවා.—ගීතා. 1:1, 2.

8 ඔබට තබාගත හැකි තවත් කෙටි කාලීන ඉලක්කයක් වන්නේ සෑම රැස්වීමකදීම පිළිතුරු දීමෙන් ඊට හවුල් වීමයි. ඒ සඳහා මූලික පියවරක් ලෙස මුද්‍රිත පිළිතුර කියවීම හෝ බයිබල් පදයක් කියවීමට හැකියි. පසුව ඔබේම වචනයෙන් පිළිතුරු දීමට ඉලක්ක කරගන්න. ඔබ පිළිතුරු දෙන සෑම අවස්ථාවකම දෙවිට පූජාවක් ඔප්පු කරන බව අමතක කරන්න එපා. (හෙබ්‍රෙ. 13:15) කෙටි කාලීන ඉලක්ක සමහරක් අත් කරගැනීමෙන් ඔබට ඔබ ගැනම විශ්වාසයක් ඇති වන අතර යෙහෝවා දෙවි කෙරෙහි ඇති අගයත් වැඩි වෙනවා. එය දිගු කාලීන ඉලක්ක තබාගැනීමට ඔබට උපකාරයක් වෙනවා.

9. ඔබ තවමත් ප්‍රචාරකයෙක් නොවේ නම් ඔබට තබාගත හැකි දිගු කාලීන ඉලක්ක මොනවාද?

9 ඔබට තබාගත හැකි දිගු කාලීන ඉලක්ක මොනවාද? ඔබ තවමත් ප්‍රචාරකයෙක් ලෙස ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ සඳහා ඉලක්ක තබාගත හැකියි. එම ඉලක්කය අත් කරගත් පසු නිතිපතා මෙන්ම දක්ෂ ලෙස එම සේවයේ හවුල් වෙන්න ඔබට පුළුවන්. එමෙන්ම එක මාසයක්වත් අතපසු නොකර එහි හවුල් වීමටත් ඉලක්ක තබාගත හැකියි. දේවසේවයේදී බයිබලය දක්ෂ ලෙස යොදාගන්නා ආකාරය ඉගෙනගන්නත් ඔබට පුළුවන්. එසේ කරද්දී ඔබට විශාල සතුටක් ලැබෙනවා. පසුව ඔබට දේවසේවයේ හවුල් වන කාලය වැඩි කරන්නත් බයිබල් පාඩමක් පටන්ගන්නත් වෑයම් කළ හැකියි. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස සේවය කරන ඔබට යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වීමට ඉලක්කයක් තබාගැනීම තරම් වටිනා තවත් දෙයක් තිබෙනවාද!

10, 11. බව්තීස්ම වී සිටින යෞවනයන්ට තබාගත හැකි දිගු කාලීන ඉලක්ක මොනවාද?

10 ඔබ බව්තීස්ම ලත් ප්‍රචාරකයෙක් නම් ඔබටද තබාගත හැකි දිගු කාලීන ඉලක්ක තිබෙනවා. ඉඳහිට ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රදේශයක සේවය කිරීමට තවත් සභාවලට උපකාර කිරීමට ඔබට හැකියි. ඔබට හොඳ ශක්තියක් හා යහපත් සෞඛ්‍යයක් තිබෙන නිසා උපකාරික හෝ ස්ථාවර පුරෝගාමි සේවය කිරීමට ඉලක්කයක් තබාගන්න පුළුවන්. තරුණ කාලයේදීම සැදුම්කරුව සිහි කිරීමෙන් මොන තරම් ප්‍රීතියක් ලබනවාද කියා පුරෝගාමීන් දහස් ගණනක් දෙනා ඔබට පවසාවි. එවැනි ඉලක්ක අත් කරගැනීමෙන් ඔබගේ සභාවද බොහෝ ප්‍රයෝජන ලබනවා.

11 ඔබට තබාගත හැකි තවත් දිගු කාලීන ඉලක්ක තිබෙනවා. උදාහරණයකට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයකට හෝ රටකට ගොස් සේවය කිරීමට සැලසුම් කළ හැකියි. එසේත් නැත්නම් වෙනත් රටක රාජ්‍ය ශාලා හෝ ශාඛා කාර්යාල ඉදි කිරිම් ව්‍යාපෘතිවල සේවය කිරීමට ඔබට හැකියි. ඒ වගේම බෙතෙල් සේවය හෝ මිෂනාරි සේවය තෝරාගැනීමටද ඔබට අවස්ථාව තිබෙනවා. ඉහත සඳහන් කළ සියලු ඉලක්ක අත් කරගැනීමට නම් ඔබ බව්තීස්ම වී සිටිය යුතුයි. නමුත් ඔබ තවමත් බව්තීස්ම වී නැත්නම් එම වටිනා ඉලක්කය අත් කරගැනීම සඳහා ඔබ කළ යුතු දේවල් ගැන දැන් අපි සලකා බලමු.

බව්තීස්ම වීමට ඉලක්කයක් තබාගන්න

12. සමහරු බව්තීස්ම විය හැක්කේ කුමන හේතු නිසාද? එම හේතු සාධාරණ නොවන්නේ ඇයි?

12 කෙනෙක් බව්තීස්ම වන්නේ ඇයි? බව්තීස්ම වීමෙන් වැරදි දෙයින් වැළකී සිටීමට හැකි බව සමහරු සිතිය හැකියි. තම මිතුරන් බව්තීස්ම වී ඇති නිසා තමන්ද බව්තීස්ම විය යුතු බව තවත් අයට සිතෙන්න පුළුවන්. දෙමාපියන්ව සතුටු කිරීම සඳහාත් සමහර යෞවනයන් බව්තීස්ම විය හැකියි. නමුත් බව්තීස්ම වූ පමණින් එය ඔබ රහසින් කිරීමට කැමති යම් ක්‍රියාවලින් ඔබව වළක්වන්නේ නැහැ. ඔබ බව්තීස්ම විය යුත්තේ අන් අයගේ බල කිරීම නිසා නොවෙයි. ඒ වෙනුවට ඔබ බව්තීස්ම වීමට නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීමට අයත් වන්නේ කුමක්ද කියා හොඳින් අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ඉන්පසු ලැබෙන වගකීම් භාරගත හැකි තත්වයකද ඔබ සිටිය යුතුයි.—දේශ. 5:4, 5.

13. ඔබ බව්තීස්ම විය යුත්තේ ඇයි?

13 ඔබ බව්තීස්ම විය යුතු එක් හේතුවක් වන්නේ මාගේ ‘ගෝලයන් වෙන්න මිනිසුන්ට උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න’ කියා යේසුස් අණ කළ නිසයි. යේසුස්ද බව්තීස්ම වීමෙන් අපට ආදර්ශයක් තැබුවා. (මතෙව් 28:19, 20; මාක් 1:9 කියවන්න.) ඒ වගේම ඉදිරියේදී පැමිණෙන විනාශයෙන් ගැලවීම සඳහා බව්තීස්මය ඉතා වැදගත් පියවරක්. නෝවා සහ ඔහුගේ පවුලේ අයව ජලගැල්මෙන් බේරාගැනීම සඳහා ඔහු නැවක් සෑදූ බව පැවසීමෙන් පසු පේතෘස් මෙවැනි දෙයක් සඳහන් කළා. ‘එම සිද්ධිය බව්තීස්මයට සංකේතයකි. ඔබ දැන් ගැලවෙන්නේ ඊට සමාන බව්තීස්මයක් මගිනි. ඔබ එසේ බව්තීස්ම වන්නේ නැවත නැඟිටෙවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය නිසාය.’ (1 පේතෘ. 3:20, 21) නමුත් ඔබ බව්තීස්ම විය යුත්තේ විනාශයෙන් ගැලවීමට පමණක් නොවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසා හා ඔබේ මුළු හදවතින්, මුළු ජීවිතෙන්, මුළු ශක්තියෙන් හා මනසින් ඔහුට සේවය කිරීමට කැමති නිසයි.—මාක් 12:29, 30.

14. සමහර අය බව්තීස්ම වීමට අදිමදි කරන්නේ ඇයි? නමුත් ඔබට සහතික විය හැක්කේ කුමක් ගැනද?

14 සමහර අය බව්තීස්ම වීමට අදිමදි කරනවා විය හැක්කේ ඔවුන්ව යම් කාලයකදී සභා ඇසුරෙන් ඉවත් කරයි යන බිය නිසා විය හැකියි. ඔබටත් එවැනි බියක් දැනෙනවාද? එවැනි බියක් තිබීමේ වරදක් නැහැ. ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීම ඔබ බරපතළ වගකීමක් ලෙස සලකන බවයි. බව්තීස්ම වීමට අදිමදි කිරීමට තිබෙන තවත් හේතුවක් විය හැක්කේ දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම කොතරම් වටිනවාද කියා ඔබට තවමත් ස්ථිර නොවීමයි. එසේනම් බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් නොවන අය අද්දකින නරක ප්‍රතිඵල ගැන කල්පනා කරන්න. අනික් අතට ඔබ දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලුම් කළත් ඊට එකඟව ජීවත් වීමට හැකිද යන්න ගැන ඔබට සැකයක් තිබෙනවා විය හැකියි. ඔබ යටහත්පහත් කෙනෙක් බව ඉන් අදහස් කරන නිසා එසේ සිතීමේ වරදක් නැහැ. මන්ද සිත රැවටිලිකාර බව බයිබලයේ පවසනවා. (යෙරෙ. 17:9) නමුත් ඔබ කරන ‘සෑම ක්‍රියාවක්ම දෙවිගේ ආඥාවන්ට එකඟද කියා සෝදිසි කර බැලීමෙන්’ ඔබගේ සැකය ඉවත් වන බව සහතිකයි. (ගීතාවලිය 119:9 කියවන්න.) බව්තීස්ම වීම ප්‍රමාද කිරීමට ඔබට තිබෙන ගැටලුව කුමක් වුණත් එය විසඳාගැනීමට පියවර ගත යුතුයි. *

15, 16. බව්තීස්මය සඳහා ඔබ සූදානම් බව ඔබටම ස්ථිර කරගන්න පුළුවන් කොහොමද?

15 බව්තීස්මය සඳහා ඔබ සූදානම් බව ඔබටම ස්ථිර කරගන්න පුළුවන් කොහොමද? එක් ආකාරයක් වන්නේ ඔබගෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීමයි. ‘බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් තව කෙනෙකුට පහදලා දෙන්න මට පුළුවන්ද? මගේ දෙමාපියන් දේවසේවයේ හවුල් නොවන අවස්ථාවලදී වුණත් මම දේවසේවයේ හවුල් වෙනවාද? මම හැම රැස්වීමකටම සහභාගි වෙන්න වෑයම් කරනවාද? මිතුරන්ගෙන් එල්ල වූ බලපෑම්වලට හසු නොවී සිටි අවස්ථා මට මතකද? මගේ දෙමාපියන් හා මිතුරන් දෙවිට සේවය කිරීම නතර කළත් මම දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරයිද? මම යාච්ඤා කරද්දී දෙවි ගැන මට හැඟෙන ආකාරය ගැනත් ඔහුගේ මිත්‍රත්වය මට කොතරම් වටිනවාද කියන එක ගැනත් ඔහුට පවසා තිබෙනවාද? මම කොන්දේසි විරහිතව යෙහෝවා දෙවිට කැප වී සිටින බව යාච්ඤාවෙන් ඔහුට පවසා තිබෙනවාද?’

16 බව්තීස්ම වීමෙන් ඔබේ ජීවිතයේ වෙනසක් සිදු වන නිසා එය බරපතළ දෙයක් ලෙස සැලකිය යුතුයි. එහි බරපතළකම තේරුම්ගැනීමට තරම් සුදුසු තත්වයක ඔබ සිටිනවාද? ඔබ අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක්ද? අවබෝධයෙන් කටයුතු කරනවා කීමෙන් අදහස් වන්නේ වේදිකාවේ සිට හොඳ කතාවක් ඉදිරිපත් කිරීම හෝ රැස්වීමේදී හොඳ පිළිතුරු දීම පමණක් නොවෙයි. ඉන් අදහස් කරන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගැනීමට තිබෙන හැකියාවයි. (හෙබ්‍රෙව් 5:14 කියවන්න.) ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් ඔබට විශිෂ්ට වරප්‍රසාදයක් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. එනම්, මුළු හදවතින්ම දෙවිට සේවය කිරීමට කැමති බවත් ඔහුට කැප වී සිටින බවත් බව්තීස්මය මගින් පෙන්වීමයි.

17. බව්තීස්මයෙන් පසු ඇති විය හැකි තත්වයන්ට මුහුණ දීමට ඔබට උපකාරවත් වන්නේ මොනවාද?

17 බව්තීස්ම වීමෙන් පසු දෙවිට සේවය කිරීම සඳහා ඔබ තුළ උද්‍යෝගයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට පීඩාවලටද මුහුණ දීමට සිදු විය හැකියි. (2 තිමෝ. 3:12) ඔබ ඊට තනිවම මුහුණ දිය යුතුයි කියා සිතන්න එපා. ඒ සඳහා දෙමාපියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න. අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ගේ උපකාරයද ඔබට ලබාගත හැකියි. ඒ වගේම ඔබට උපකාර කළ හැකි අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමද ප්‍රයෝජනවත්. යෙහෝවා දෙවි ඔබ ගැන බොහෝ සේ සැලකිලිමත් වන නිසා ඔබට ඇති වන කුමන තත්වයකට වුණත් හොඳින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඔහු ලබා දෙන බව අමතක කරන්න එපා.—1 පේතෘ. 5:6, 7.

ඔබට ඉලක්ක අත් කරගන්න පුළුවන් කොහොමද?

18, 19. ඔබ මුල් තැන දෙන්නේ කුමන දේවලට කියා සොයා බැලීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 ඔබ කොපමණ උත්සාහ කළත් ඔබට අවශ්‍ය දේ කිරීමට තරම් කාලයක් නැහැයි කියා සිතෙනවාද? එසේනම් ඔබ මුල් තැන දී තිබෙන්නේ කුමන දේවලටද කියා සෝදිසි කර බලන්න. එය මෙවැනි නිදසුනකින් පැහැදිලි කරගත හැකියි. බාල්දියකට තරමක් විශාල ගල් කැට කිහිපයක් දමන්න. ඉන්පසු එය වැලිවලින් පුරවන්න. දැන් එම බාල්දියෙන් ගල් හා වැලි ඉවත් කර ඒවා වෙන වෙනම තබන්න. පසුව ඉවත් කළ වැලි මුලින්ම නැවත බාල්දියට දමන්න. දැන් ඉවත් කළ ගල් සියල්ල බාල්දියට දැමිය හැකිද කියා බලන්න. මුලින්ම බාල්දියට වැලි පිරවීම නිසා ගල් සියල්ල දැමීමට ඉඩක් නැති බව ඔබට දැකගත හැකියි.

19 කාලය සම්බන්ධයෙන් ඔබට මුහුණ දීමට සිදු වන්නේද එවැනි තත්වයකටයි. ඔබ විනෝදය වැනි දේවලට මුල් තැන දෙනවා නම් නමස්කාරය හා සම්බන්ධ කාරණා වැනි දේවල් කිරීමට කවදාවත් කාලය ලැබෙන්නේ නැහැ. නමුත් ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න,’ යන බයිබලයේ සඳහන් උපදෙස අදාළ කරගන්නවා නම් ඔබට නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මෙන්ම විනෝදය සඳහාද කාලය සොයාගත හැකියි.—ෆිලි. 1:10.

20. ඉලක්ක අත් කරගැනීමට වෑයම් කරන විට කනස්සල්ල හා යම් සැකයන් ඇති වෙනවා නම් කුමක් කළ හැකිද?

20 බව්තීස්ම වීම ඇතුළුව ඔබේ ඉලක්ක අත් කරගැනීමට වෑයම් කරන විට සමහර අවස්ථාවලදී ඔබට කනස්සල්ල හා යම් සැකයන් ඇති විය හැකියි. එවැනි අවස්ථාවලදී ‘ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරයි.’ (ගීතා. 55:22) මිනිස් ඉතිහාසයේ සිදු වන වැදගත්ම කාර්යයට එනම්, ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයට හවුල් වීමේ අවස්ථාව දැන් ඔබට තිබෙනවා. (ක්‍රියා 1:8) ඔබ එහි හවුල් වෙනවාද නැත්නම් නිරීක්ෂකයෙක් වෙනවාද? නමස්කාරය හා සම්බන්ධ දේවලට ඔබගේ හැකියාවන් යෙදවීමට පසුබට වෙන්න එපා. ‘යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව යොවුන් වියේදීම සිහි කිරීමට’ ඔබ ගත් තීරණය ගැන ඔබ කවදාවත් පසුතැවෙන්නේ නැති බව ස්ථිරයි!—දේශ. 12:1.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 15-18 දක්වා පිටු බලන්න.

^ 14 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2007 නොවැම්බර් පිබිදෙව්! කලාපයේ 26-28 දක්වා පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ඔබ ඉලක්ක තබාගත යුත්තේ ඇයි?

• ඔබ අත් කරගත යුතු සමහර ඉලක්ක මොනවාද?

• බව්තීස්ම වීමේ ඉලක්කය අත් කරගැනීමට කුමක් කළ යුතුද?

• මුල් තැන දිය යුත්තේ කුමන දේවලටද කියා සෝදිසි කර බැලීම ඉලක්ක අත් කරගැනීමට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

ඔබ දිනපතාම බයිබලය කියවීමට ඉලක්ක කරගෙන තිබෙනවාද?

[15වන පිටුවේ පින්තූරය]

බව්තීස්ම වීමේ ඉලක්කය අත් කරගැනීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

[16වන පිටුවේ පින්තූරය]

මේ නිදසුනෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද?