Skip to content

පටුනට යන්න

අපගේ පාලකයාණන් යෙහෝවා දෙවියි

අපගේ පාලකයාණන් යෙහෝවා දෙවියි

අපගේ පාලකයාණන් යෙහෝවා දෙවියි

‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයයි.’—ගීතා. 73:28.

1. පළමුවන කොරින්ති 7:31හි පාවුල් පැවසුවේ කුමක්ද?

‘මේලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතින’ බව පාවුල් පැවසුවා. (1 කොරි. 7:31) එසේ පවසද්දී වේදිකා නාට්‍යයක දර්ශන වෙනස් වන ආකාරය පාවුල්ගේ මනසේ තිබෙන්න ඇති.

2, 3. (අ) දෙවිගේ පාලනය සම්බන්ධයෙන් සාතන් මතු කළ ප්‍රශ්නය සමාන කළ හැක්කේ කුමන තත්වයකටද? (ආ) අප සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

2 වේදිකා නාට්‍යයක දර්ශන වෙනස් වෙනවා හා සමානව අද දින ලෝකයේ තත්වය වෙනස් වෙමින් පවතිනවා. එය ඔබටත් බලපානවා. ඊට හේතුව ඔබටත් යම් තීරණයක් ගැනීමට සිදු වීමයි. එය තේරුම්ගැනීමට මේ නිදසුන සලකා බලමු. රටක ආණ්ඩුවක් හා කැරලිකාර සංවිධානයක් තිබෙනවා. එම සංවිධානය මගින් වංචාව, අපරාධ සහ මිනී මැරුම් වැනි දුෂ්ට දේවල් සිදු කරනවා. ඒ වගේම ආණ්ඩුව පාලනය කරන ආකාරය සුදුසු නැති බව පවසමින් ඊට විරුද්ධව කැරලිගසනවා. එවැනි සංවිධානයක් තිබෙන නිසා තමන් යටත් වන්නේ කාටද කියා පෙන්වීමට ජනයාට සිදු වී තිබෙනවා.

3 මුළු විශ්වයම පාලනය කිරීම සම්බන්ධයෙන් පවතින්නේ ඒ හා සමාන තත්වයක්. ‘විශ්වයේ පාලකයාණන් වන්නේ යෙහෝවා දෙවියි.’ (ගීතා. 71:5) කැරලිකාර සංවිධානයේ නායකයා වන්නේ සාතන්. (1 යොහ. 5:19) සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැන සාතන් ප්‍රශ්න කළා. මිනිසුන් ඊට දක්වන පක්ෂපාතකම ගැනත් ඔහු ප්‍රශ්න කළා. එවැනි තත්වයක් උදා වීමට හේතු වුණේ කුමක්ද? දෙවි ඊට ඉඩ දී තිබෙන්නේ ඇයි? අප ඊට සම්බන්ධ වන්නේ කොහොමද?

චෝදනාවට ඇතුළත් දේ

4. සාතන් එල්ල කළ චෝදනාවට ඇතුළත් වන්නේ කුමක්ද?

4 සාතන් එල්ල කළ චෝදනාවට ඇතුළත් වන්නේ සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය හා මිනිසුන් දෙවිට දක්වන විශ්වාසවන්තකමයි. යෙහෝවා දෙවි “විශ්වයේ පාලකයාණන්” බව බයිබලයේ පවසා තිබෙනවා. දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබූ ගීතිකාකරුද මෙසේ පැවසුවා. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයයි.’ (ගීතා. 73:28) දෙවි බලයෙන් පූර්ණයි. මුළු විශ්වයේම අධිකාරිය හිමි වන්නේ ඔහුටයි. ඒ නිසා අතිශ්‍රේෂ්ඨ තැනැත්තා වන යෙහෝවා දෙවිව විශ්වයේ පාලකයාණන් ලෙස සැලකීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා.—දානි. 7:22.

5. සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය අප පිළිගත යුත්තේ ඇයි?

5 අහස, පොළොව මෙන්ම එහි ඇති සෑම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා ඒවා පාලනය කිරීමට අයිතිය ඇත්තේ ඔහුටයි. (එළිදරව් 4:11 කියවන්න.) එමෙන්ම යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරු, නීතිදායකයාණන් හා රජයි. (යෙසා. 33:22) අපට ජීවිතය ලැබුණෙත් එය පවත්වාගෙන යන්නේත් දෙවි නිසයි. ඒ නිසා ඔහුව අපගේ පාලකයාණන් ලෙස සැලකිය යුතුයි. “යෙහෝවා දෙවි තම සිංහාසනය ස්වර්ගයේ ස්ථිර ලෙස පිහිටුවා ඇත. ඔහු සියල්ලන් කෙරෙහි රජකම් කරන්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. ඔබ එය මතකයේ තබාගන්නවා නම් යෙහෝවා දෙවිගේ අතිශ්‍රේෂ්ඨ තත්වය පිළිගැනීමට එය උපකාරයක් වෙනවා.—ගීතා. 103:19; ක්‍රියා 4:24.

6. විශ්වාසවන්ත පුද්ගලයෙක් ක්‍රියා කරන්නේ කොහොමද?

6 දෙවිගේ පාලන අයිතිය පිළිගන්න බව පෙන්වීමට නම් අප ඔහුට දිගටම විශ්වාසවන්තව සිටිය යුතුයි. “විශ්වාසවන්තකම” යන්නට පූර්ණ, නිකැළැල් යන අදහස් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින කෙනෙක් ඔහුට පමණක් මුළු හදවතින්ම නමස්කාර කරමින්, නිර්දෝෂව හා අවංකව ජීවත් වෙනවා. යෝබ් එවැනි පුද්ගලයෙක්.—යෝබ් 1:1.

ගැටලුවේ ආරම්භය

7, 8. දෙවිගේ පාලන අයිතිය ගැන සාතන් චෝදනා එල්ල කළේ කොහොමද?

7 මීට වසර 6,000කට පමණ පෙර, පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන දේවදූතයෙක් ප්‍රශ්නයක් මතු කළා. ඊට මූලික හේතුව වුණේ නමස්කාරය ලබාගැනීමට ඔහු තුළ තිබුණා වූ දුෂ්ට ආශාවයි. ඔහු ආදම් සහ ඒවව දෙවිට අකීකරු වීමට සැලැස්සුවා. එමගින් දෙවි බොරුකාරයෙක් බව අඟවමින් ඔහුගේ නාමයට කැළැලක් ඇති කිරීමට වෑයම් කළා. (උත්පත්ති 3:1-5 කියවන්න.) එම කැරලිකරුව සාතන් (විරුද්ධකාරයා), යක්ෂයා (අපහාස කරන්නා) සහ මකරා යන නම්වලින් හඳුන්වනවා.—එළි. 12:9.

8 සාතන් දුෂ්ට පුද්ගලයෙක් වුණේ ඔහු විසින්මයි. ඔහු එල්ල කළ චෝදනාව ගැන සියලු බලය හිමි දෙවි කුමක් කරයිද? සාතන්, ආදම් සහ ඒව යන තිදෙනාවම දෙවි ඒ මොහොතේදීම විනාශ කරයිද? එසේ කිරීමට දෙවිට බලය තිබුණා. ඔහු එසේ කළා නම් උසස්ම බලය හිමි තැනැත්තා තමන් බව ඔප්පු වෙනවා. එමෙන්ම යෙහෝවා දෙවි තමන්ගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන අයට ලැබෙන දඬුවම ගැන පැවසූ දේ සත්‍යයක් බවත් ඉන් ඔප්පු වෙනවා. එසේනම් දෙවි එවැනි තීරණයක් නොගත්තේ ඇයි?

9. සාතන් ප්‍රශ්න කළේ කුමක් ගැනද?

9 සාතන්, බොරු කියා ආදම් සහ ඒවව දෙවිගෙන් ඈත් කළා. එසේ කිරීමෙන් ඔහු උත්සාහ කළේ මිනිසුන්ව පාලනය කිරීමට දෙවිට අයිතියක් නැති බව පෙන්වීමටයි. එමෙන්ම මුල් මිනිස් යුවළව අකීකරු වීමට සැලැස්වීමෙන් මිනිසුන් හා දේවදූතයන් දෙවිට දක්වන විශ්වාසවන්තකම ගැන සාතන් ප්‍රශ්න කළා. යෝබ්ගේ සිද්ධියෙන්ද පැහැදිලි වන්නේ සියලුම මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමට තමන්ට හැකි බවට සාතන් අභියෝග කළ බවයි.—යෝබ් 2:1-5.

10. පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන සාතන් ප්‍රශ්න කළ අවස්ථාවේදී දෙවි කළේ කුමක්ද?

10 පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන සාතන් ප්‍රශ්න කළ අවස්ථාවේදීම එය තහවුරු කරනවා වෙනුවට ඔහු එල්ල කළ චෝදනාව ඔප්පු කිරීමට දෙවි ඔහුට අවස්ථාව ලබා දුන්නා. එමෙන්ම තමා කෙරෙහි තිබෙන විශ්වාසය පෙන්වීමට දෙවි මිනිසුන්ටද අවස්ථාවක් ලබා දුන්නා. ගත වී තිබෙන මේ කාලය තුළදී සාතන් බලවත් දුෂ්ට සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. නමුත් දෙවි ඉක්මනින්ම එම සංවිධානය හා සාතන්ව විනාශ කර තමන්ගේ පාලන අයිතිය තහවුරු කරනවා. සාතන්ට අවසානයේදී සිදු වන්නේ කුමක්ද කියා දෙවි නිශ්චිතව දැන සිටි නිසා සාතන් චෝදනා කළ අවස්ථාවේදීම ඔහු එය ප්‍රකාශ කළා.—උත්. 3:15.

11. බොහෝදෙනෙක් ඔප්පු කර තිබෙන්නේ කුමක්ද?

11 බොහෝ මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටිමින් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තමන් පිළිගන්න බව පෙන්වා තිබෙනවා. එමගින් ඔවුන් දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කිරීමටද දායක වී තිබෙනවා. ඔවුන් අතර ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, දාවිත්, යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් සිටිනවා. එමෙන්ම අද දින සිටින විශ්වාසවන්ත මිලියන ගණන් දෙනාද ඊට ඇතුළත්. සියලුදෙනාවම දෙවිගෙන් ඈත් කිරීමට තමන්ට හැකි බවට සාතන් පැවසූ දේ බොරු බව ඔවුන් ඔප්පු කර තිබෙනවා.—හිතෝ. 27:11.

විනාශය ස්ථිරයි

12. දෙවි දිගටම දුෂ්ටකම පවතින්න ඉඩ නොදෙන බව ස්ථිරව පවසන්න පුළුවන් ඇයි?

12 දෙවි දිගටම දුෂ්ටකම් පවතින්න ඉඩ දෙන්නේ නැහැ. සියල්ල පාලනය කිරීමට තමන්ට තිබෙන අයිතිය යෙහෝවා දෙවි ඉක්මනින්ම ඔප්පු කරනවා. අප ජීවත් වන්නේ අවසාන කාලයේ නිසා එය ළඟදීම සිදු වන බව ස්ථිරයි. අතීතයේ දෙවි ජලගැල්මක් මාර්ගයෙන් දුෂ්ටයන්ව විනාශ කළා. ඒ වගේම ඔහු සොදොම් සහ ගොමෝරාව යන නගරත් පාරාවෝ සහ ඔහුගේ හමුදාවත් විනාශ කළා. සිසෙරා සහ ඔහුගේ හමුදාව මෙන්ම සෙනකෙරිබ් හා ඔහුගේ භටයන්වද දෙවි විනාශ කර දැමුවා. (උත්. 7:1, 23; 19:24, 25; නික්. 14:30, 31; විනි. 4:15, 16; 2 රාජා. 19:35, 36) තමාගේ නාමයට නින්දා කිරීමටත් තමන්ගේ සාක්ෂිකරුවන්ට පීඩා කිරීමටත් දෙවි දිගටම ඉඩහරින්නේ නැති බව ඉන් අපට පැහැදිලි වෙනවා. අප ජීවත් වන්නේ යේසුස් පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේ බවට සාක්ෂි අපට දැකගත හැකියි. ඉන් පැහැදිලි වන්නේ දෙවි ඉක්මනින්ම දුෂ්ට මිනිසුන්ව විනාශ කරන බවයි.—මතෙ. 24:3.

13. දෙවි ඔහුගේ සතුරන් විනාශ කරන විට ඉන් ගැලවීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

13 දෙවි ඔහුගේ සතුරන්ව විනාශ කරන විට ඉන් ගැලවීම ලැබීමට නම් අප ඔහුගේ පාලනයට පක්ෂපාත බව ඔප්පු කිරීම අවශ්‍යයි. එය කරන්නේ කොහොමද? සාතන්ගේ දුෂ්ට පාලනයට කිසි ලෙසකින්වත් සම්බන්ධ නොවීමෙන් හා ඔහුගේ නියෝජිතයන්ගේ තර්ජනවලට බිය නොවී සිටීමෙන් එය කළ හැකියි. (යෙසා. 52:11; යොහ. 17:16; ක්‍රියා 5:29) අප එසේ කරනවා නම් පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය පිළිගන්න බව අපට පෙන්වන්න පුළුවන්. එවිට යෙහෝවා දෙවි, පාලනය කිරීමට තමාට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහාත් ඔහුගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කිරීම සඳහාත් ගෙනෙන විනාශයෙන් ගැලවීම ලැබීමට අපට බලාපොරොත්තුවක් තබාගත හැකියි.

14. බයිබලයේ සඳහන් වී තිබෙන තොරතුරු සමහරක් මොනවාද?

14 දෙවිගේ පාලනය හා මිනිසා ගැන තොරතුරු බයිබලය පුරාම සඳහන් වී තිබෙනවා. එහි මුල් පරිච්ඡේද තුනෙහි දෙවි මිනිසාව නිර්මාණය කළ ආකාරය සහ ඔවුන් දෙවිට අකීකරු වූ ආකාරය ගැන සඳහන් කර තිබෙනවා. බයිබලයේ අවසන් පරිච්ඡේද තුනෙහි මිනිසුන් නැවත පරිපූර්ණ වන ආකාරය සඳහන් වෙනවා. බයිබලයේ අනිකුත් පොත්වල තම පාලන අයිතිය තහවුරු කිරීමට දෙවි ගෙන තිබෙන පියවර ගැනත් මිනිස් වර්ගයා, පොළොව සහ විශ්වය සඳහා දෙවිගේ අරමුණ ගැනත් පවසා තිබෙනවා. සාතන් සහ දුෂ්ටකම ඇති වූ ආකාරය උත්පත්ති පොතෙත් එය අවසන් වන ආකාරය මෙන්ම ස්වර්ගයේ මෙන් පොළොවේ දෙවිගේ කැමැත්ත සිදු වන ආකාරය එළිදරව් පොතෙත් සඳහන් වෙනවා. එහි පාපය සහ මරණයට හේතුව සඳහන් වී තිබෙන අතර පොළොවෙන් ඒවා ඉවත් කරන ආකාරයත් දෙවිට විශ්වාසවන්තව සිටින අයට සදාකාලයටම ජීවත් වීමට හැකි ආකාරයත් සඳහන් වෙනවා.

15. ඉදිරියේදී ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට නම් අප කුමක් කළ යුතුද?

15 ඉතා ඉක්මනින් මේ ලෝකයේ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සාතන්ට සම්පූර්ණ විනාශයක් අත් වන අතර දෙවිගේ කැමැත්ත පොළොව පුරාම සිදු වෙනවා. ඒ කාලයේදී බයිබලයේ සඳහන් ආශීර්වාද භුක්ති විඳීමට නම් අප දැන් සිටම දෙවිගේ පාලනයට පක්ෂපාත බව පෙන්වන්න අවශ්‍යයි. දැන් වැට උඩ සිටීමට කාලය නොවෙයි. ඒ වෙනුවට අප දෙවිගේ පැත්තේ සිටිය යුතුයි. එවිට “යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින” බව අපට පැවසිය හැකියි.—ගීතා. 118:6, 7.

අපට විශ්වාසවන්තව සිටිය හැකියි!

16. දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට හැකි බව ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

16 අපට දෙවිගේ පාලනයට පක්ෂපාත බව පෙන්වමින් ඔහුට විශ්වාසවන්තව සිටිය හැකි බව පාවුල් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න. නමුත් දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.” (1 කොරි. 10:13) පාවුල් එහි සඳහන් කරන ආකාරයට වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඇති වන්නේත් ඉන් යටපත් නොවී සිටීමට දෙවි අපට උපකාර කරන්නේත් කොහොමද?

17-19. (අ) ඊශ්‍රායෙල්වරුන් හසු වුණේ කුමනාකාරයේ වැරදි පෙලඹීමකටද? (ආ) දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට හැකි බව පවසන්න පුළුවන් ඇයි?

17 ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දෙයින් පැහැදිලි වන්නේ දෙවිගේ නීති කැඩීමට “පෙලඹීමක්” ඇති විය හැකි තත්වයන්වලට අපටත් මුහුණ දීමට සිදු විය හැකි බවයි. (1 කොරින්ති 10:6-10 කියවන්න.) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මසකට අවශ්‍ය වටුවන් ලබා දුන් අවස්ථාවේදී දෙවිට අකීකරු නොවී සිටීමට ඔවුන්ට හැකියාව තිබුණා. නමුත් ඔවුන් “හානිකර දේවලට” ආශා වෙමින් වැරදි දේ කිරීමට පෙලඹුණා. ඔවුන්ට යම් කලකට කෑම සඳහා මස් නොතිබුණත් දෙවි ඇති තරම් මන්නා ලබා දුන්නා. ඒ වුණත් දෙවි ඔවුන්ට වටුවන් ලබා දුන් විට ඔවුන් කෑදරකමින් ක්‍රියා කළා.—ගණන්. 11:19, 20, 31-35.

18 ඉහත සිදුවීමට පෙර ඔවුන් දෙවිට අකීකරු වූ තවත් අවස්ථාවක් දැන් අපි සලකා බලමු. මෝසෙස් දෙවිගේ නීතිය ලබාගැනීම සඳහා සීනයි කන්දට ගිය අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන් රූප නමස්කාරයේ හා අනාචාරයේ යෙදුණා. ඔවුන්ගේ නායකයා ඔවුන් සමඟ නොසිටි අවස්ථාවේදී වැරදි දේ කිරීමට ඇති වූ පෙලඹීමෙන් වැළකී සිටීමට ඔවුන් අපොහොසත් වුණා. (නික්. 32:1, 6) එමෙන්ම පොරොන්දු දේශයට ඇතුල් වීමට ආසන්නයේ සිටියදී ඊශ්‍රායෙල්වරුන් මෝවබීය ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණා. ඒ අවස්ථාවේදී දහස් ගණනක් ඊශ්‍රායෙල්වරුන් ඔවුන් කළ වරද නිසා මිය ගියා. (ගණන්. 25:1, 9) ඒ වගේම සමහර අවස්ථාවලදී ඔවුන් මෝසෙස් හා යෙහෝවා දෙවිට විරුද්ධව චෝදනා එල්ල කළා. (ගණන්. 21:5) එක් අවස්ථාවක කෝරා, දාතාන්, අබිරාම් සහ ඔවුන් සමඟ සිටි අයව විනාශ කිරීම අසාධාරණ බව පවසමින් ඊශ්‍රායෙල්වරු මැසිවිලි නැඟුවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි ඊශ්‍රායෙල්වරුන් 14,700ක් විනාශ කළා.—ගණන්. 16:41, 49.

19 ඉහත සඳහන් කළ වැරදි පෙලඹීම්වලට ඊශ්‍රායෙල්වරුන් හසු වුණේ දැන දැනමයි. ඊට හේතුව ඔවුන්ට යෙහෝවා දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති වීම හා දෙවිවත් ඔහුගේ ප්‍රේමණීය රැකවරණයත් අමතක වීමයි. එමෙන්ම දෙවිගේ මාර්ග ධර්මිෂ්ඨ බවද ඔවුන් අමතක කළා. අප මුහුණ දෙන්නේත් ඊශ්‍රායෙල්වරුන් මුහුණ දුන්නා හා සමාන තත්වයන්වලටයි. වරදට පෙලඹීම් ඇති වන විට ඊට විරුද්ධ වීමට අප වෑයම් කරනවා නම් හා යෙහෝවා දෙවි ලබා දෙන ශක්තිය මත රඳා සිටිනවා නම් දෙවිට විශ්වාසවන්තව සිටින්න අපටත් හැකියි. “දෙවි විශ්වාසවන්ත” නිසාත් වැරදි “පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම යටපත් වී යෑමට ඔහු ඉඩ” දෙන්නේ නැති නිසාත් ඔහුට විශ්වාසවන්තව සිටින්න අපට පුළුවන්. දෙවිගේ කැමැත්ත කිරීමට නොහැකි වන තරමට ඔහු අපව පීඩාවලින් යටපත් වීමට කිසි දිනක ඉඩ දෙන්නේ නැහැ.—ගීතා. 94:14.

20, 21. අප වරදට පෙලඹෙන අවස්ථාවලදී ඉන් “ගොඩ ඒමට” දෙවි මඟක් සලසා දෙන්නේ කොහොමද?

20 වැරදි පෙලඹීම්වලින් ‘ගොඩ එන්න’ අවශ්‍ය ශක්තිය දෙවි අපට ලබා දෙනවා. උදාහරණයකට දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය බිඳ දැමීමට සමහරු අපට පහර දිය හැකියි. පහරදීම්වලට, පීඩාවලට හා මරණයට මුහුණ දීමට තිබෙන බිය නිසා එවැනි අවස්ථාවලදී දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය අත්හරින්න අප පෙලඹෙන්න පුළුවන්. පළමුවන කොරින්ති 10:13හි පාවුල් ලබා දුන් සහතිකයට අනුව අපට ඇති වන පීඩා තාවකාලික බව අප දන්නවා. දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය නැති වන තරමට අපට පීඩා ගෙන ඒමට දෙවි ඉඩහරිනේ නැහැ. ඒ වෙනුවට දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න අවශ්‍ය ශක්තිය ඔහු අපට ලබා දෙනවා.

21 දෙවි අපට එවැනි ශක්තියක් ලබා දෙන්නේ ඔහුගේ බලය මාර්ගයෙනුයි. එම බලයේ උපකාරය නිසා වැරදි පෙලඹීම්වලින් යටපත් නොවී සිටීම සඳහා උපකාරවත් වන බයිබල් පද අපට මතක් කරගත හැකියි. (යොහ. 14:26) එහි ප්‍රතිඵලයක් ලෙස වැරදි පියවරක් ගැනීමෙන් අපට වැළකී සිටින්න පුළුවන්. උදාහරණයකට පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය හා අප දෙවිට විශ්වාසවන්තව සිටීම ගැන සාතන් නැඟූ චෝදනාව අප දන්නවා. බොහෝදෙනෙකුට මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඒ ගැන දැන සිටීම හා දෙවි ලබා දී තිබෙන උපකාරය ප්‍රයෝජනවත් වී තිබෙනවා. ඔවුන් දෙවිට විශ්වාසවන්ත අය බව ඔප්පු වන්නේ ඔවුන්ගේ මරණය නිසා නොවෙයි. ඒ වෙනුවට මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටීමට දෙවි උපකාර කළ නිසයි. අපටත් ඒ ආකාරයෙන්ම උපකාර කිරීමට දෙවිට හැකියි. ඒ සඳහා ඔහු අප වෙනුවෙන් “සේවය කිරීමට” තම දේවදූතයන්වද යොදාගන්නවා. (හෙබ්‍රෙ. 1:14) අප ඊළඟ ලිපියෙන් සලකා බලන පරිදි සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය සදාකාලයටම පිළිගැනීමේ වරප්‍රසාදය හිමි වන්නේ ඔහුට විශ්වාසවන්තව සිටින අයට පමණයි. ඒ අය අතර සිටීමට නම් අප දෙවිගේ පාලනයට පක්ෂපාත බව පෙන්වන්න අවශ්‍යයි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• සියල්ල පාලනය කිරීමට දෙවිට අයිතිය තිබෙන බව අප පිළිගත යුත්තේ ඇයි?

• දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද?

• පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ඔහු ඉක්මනින්ම තහවුරු කරයි කියා අප දන්නේ කොහොමද?

පළමුවන කොරින්ති 10:13ට අනුව දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට හැකි බව පවසන්න පුළුවන් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට අකීකරු වීමට සාතන්, ආදම් සහ ඒවව පෙලඹුවා

[26වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පාලනයට පක්ෂපාත වීමට අධිෂ්ඨාන කරගන්න