Skip to content

පටුනට යන්න

දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමු

දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමු

දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමු

“මම ඔබට විශ්වාසවන්තව ජීවත් වුණෙමි.”—ගීතා. 26:11.

1, 2. දෙවිට දැක්වූ විශ්වාසවන්තකම ගැන යෝබ් පැවසුවේ කුමක්ද? යෝබ් 31වන පරිච්ඡේදයෙන් අපට දැනගත හැක්කේ කුමක්ද?

පුරාණ කාලයේ ව්‍යාපාරිකයන් බර කිරීමට යොදාගත්තේ අද දින පොදුවේ භාවිත කරන ආකාරයේ තරාදියි. ව්‍යාපාර කටයුතුවලදී දෙවිගේ සෙනඟ ක්‍රියා කළ යුතු ආකාරය ගැන දෙවි උපදෙස් දී තිබුණා. එනම් හොර තරාදි භාවිත නොකළ යුතු බවත් නිවැරදි මිනුම් පඩි භාවිත කළ යුතු බවත් දෙවි ඔවුන්ට පවසා තිබුණා.—හිතෝ. 11:1.

2 දෙවිට කීකරුව සිටි යෝබ් සාතන්ගෙන් එල්ල වුණු පීඩාවලට මුහුණ දෙමින් සිටි අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවා. “[දෙවි] මාව නිවැරදි තරාදියක තබා කිරා මැන බලා, මාගේ විශ්වාසවන්තකම දැනගනු ඇත.” (යෝබ් 31:6) කෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිටිනවාද නැද්ද යන්න ඔප්පු කිරීමට අවස්ථා උදාවන බව යෝබ් සඳහන් කළා. ඒ වගේම ඔහුට පැමිණි සෑම පීඩාවකින්ම ඔහු ජය ගත් බව යෝබ් 31වන පරිච්ඡේදයේ සඳහන් දෙයින් අවබෝධ කරගත හැකියි. ඔහුගේ ආදර්ශය සලකා බැලීමෙන් ඔහුව අනුකරණය කිරීමට අප තුළත් පෙලඹීමක් ඇති වෙනවා. අප එසේ කරනවා නම් දාවිත් මෙන් අපටත් මෙසේ පැවසිය හැකියි. “මම ඔබට විශ්වාසවන්තව ජීවත් වුණෙමි.”—ගීතා. 26:11.

3. සුළු කාරණාවලදී මෙන්ම බැරෑරුම් කාරණාවලදීද දෙවිට කීකරු වීම වැදගත් ඇයි?

3 දරුණු පීඩාවලට ලක් වුණත් යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියා. ඒ සම්බන්ධයෙන් ඔහු ඉතා විශිෂ්ට ආදර්ශයක්. ඔහු මුහුණ දුන්නා හා සමාන පීඩාවලට අද අප මුහුණ නොදෙන බව ඇත්තයි. කෙසේවෙතත් සුළු කාරණාවලදී මෙන්ම බැරෑරුම් කාරණාවලදීද අප දෙවිට කීකරු විය යුතුයි. එවිට අප දෙවිට විශ්වාසවන්තව සිටින බවත් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය පිළිගන්න බවත් පැවසිය හැකියි.ලූක් 16:10 කියවන්න.

සදාචාර ප්‍රමිති රැකීම අත්‍යවශ්‍යයි

4, 5. සදාචාරය සම්බන්ධයෙන් දෙවි දී තිබූ ප්‍රමිතිවලට එකඟව යෝබ් ක්‍රියා කළේ කොහොමද?

4 යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමට නම් යෝබ් මෙන් අපත් සදාචාරය සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබෙන ප්‍රමිති රැකීම අත්‍යවශ්‍යයි. ඒ ගැන යෝබ් මෙසේ පැවසුවා. ‘මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි. එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද? මා වෙනත් ස්ත්‍රියක දෙස කාමාශාවකින් බලන්නේ නම් මාගේ අසල්වැසියාගේ දොරකඩ ළඟ සැඟවී ඔහුගේ භාර්යාව එන තුරු රැක සිටින්නේ නම් මාගේ භාර්යාව වෙනත් පුරුෂයෙකු වෙනුවෙන් ධාන්‍ය අඹරනු ලැබේවා! ඇය වෙනත් පුරුෂයන් සමඟ සයනය කරාවා!’—යෝබ් 31:1, 9, 10.

5 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානයක් ගෙන තිබූ යෝබ් තරුණියක් දෙස වැරදි චේතනාවකින් බැලුවේ නැහැ. ස්වාමිපුරුෂයෙක් ලෙස ඔහු තරුණියක් හෝ විවාහක ස්ත්‍රියක් තුළ ඔහු ගැන ආලවන්ත හැඟීමක් ඇති වන ආකාරයෙන් හැසිරුණේ නැහැ. කන්ද උඩ දේශනාවේදී යේසුස් සදාචාර ප්‍රමිති ගැන ඉතා වැදගත් කාරණයක් පැවසුවා. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට කැමති සියලුදෙනාම එය අනිවාර්යයෙන්ම මතක තබාගත යුතුයි.මතෙව් 5:27, 28 කියවන්න.

අවංක වන්න!

6, 7. (අ) දෙවි අපගේ විශ්වාසවන්තකම මැන බලන්නේ කොහොමද? (ආ) අප වංක හෝ කපටි අය නොවිය යුත්තේ ඇයි?

6 දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් අප සියලුම වංක ක්‍රියාවලින් වැළකී සිටිය යුතුයි. (හිතෝපදේශ 3:31-33 කියවන්න.) යෝබ් මෙසේ පැවසුවා. “මා වංක මිනිසුන් සමඟ ඇසුරු කරමින් වංචනික දේ කිරීමට මාන බලන්නේ නම් [දෙවි] එය දකින්නේ නැද්ද? ඔහු මාව නිවැරදි තරාදියක තබා කිරා මැන බලා, මාගේ විශ්වාසවන්තකම දැනගනු ඇත.” (යෝබ් 31:5, 6) යෙහෝවා දෙවි සියලුදෙනාවම සෝදිසි කර බලනවා. එමෙන්ම ඔහු යෝබ්ව සෝදිසි කළා හා සමානව ඔහුගේ සෑම සේවකයෙක්ම තම ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවාද කියා ‘කිරා මැන බලනවා.’

7 දෙවිට විශ්වාසවන්තව සිටින අය, ‘හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් ප්‍රතික්ෂේප කරන’ අතර ‘කපටිකමින් හැසිරෙන්නේද’ නැහැ. (2 කොරි. 4:1, 2) මන්ද එසේ කරනවා නම් දෙවිට විශ්වාසවන්තව සිටින බව පැවසිය නොහැකියි. අප කපටි ලෙස කරන හෝ කියන දෙයක් නිසා සෙසු ක්‍රිස්තියානියෙක් අධෛර්යයට පත් වී, ඒ ගැන දෙවිට යාච්ඤාවෙන් පැවසුවොත් ඉන් අපට සිදු වන්නේ බරපතළ හානියක්. ගීතිකාකරුද එක් අවස්ථාවකදී මෙසේ කන්නලව් කළා. “මාගේ විපතේදී මම යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි. ඔහු මට පිළිතුරු දුන්නේය. යෙහෝවා දෙවියනි, බොරු කියන අයගෙන්ද රැවටිලිකාරයන්ගෙන්ද මාගේ දිවි රැක දෙන්න.” (ගීතා. 120:1, 2) දෙවිට අපගේ සිතුවිලි සෝදිසි කළ හැකි බව අප මතක තබාගත යුතුයි. දෙවි අපගේ ‘සිත් සෝදිසි කර ඇතුළාන්ත හැඟීම් විමසා බලා’ අප ඔහුට සැබවින්ම විශ්වාසවන්තව සිටිනවාද කියා සොයා බලනවා.—ගීතා. 7:8, 9.

අන් අයට සැලකීමේදී ආදර්ශයක් වන්න

8. යෝබ් අන් අයට සැලකුවේ කොහොමද?

8 යෝබ් සාධාරණව හා නිහතමානීව ක්‍රියා කළ අතර අන් අය ගැනද සැලකිලිමත් වුණා. ඒ ගැන ඔහු මෙසේ විස්තර කළා. “මාගේ දාසයා හෝ දාසිය හෝ මට විරුද්ධව පැමිණිල්ලක් ගෙනා විට මා ඔවුන්ට යුක්තිය ඉටු නොකළේ නම් දෙවි ඔවුන් වෙනුවෙන් නැඟී සිටින දවසේදී මා කුමක් කරන්නද? දෙවි ඉදිරියේ ගණන් දෙන විට මාගේ නිර්දෝෂකම ඔප්පු කරන්නේ කෙසේද? ඔවුන්ව නිර්මාණය කළෙත් මාව මව්කුසේ නිර්මාණය කළ තැනැත්තාම නොවේද? අප සියල්ලන්ව මව්කුසේ වැඩෙන්න සැලැස්වූයේ ඒ තැනැත්තාම නොවේද?” (යෝබ් 31:13-15) අපත් දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් යෝබ් මෙන් ක්‍රියා කළ යුතුයි.

9. යෝබ් දාසයන් සමඟ ක්‍රියා කළ විට විදහාපෙන්වූ ගුණාංග මොනවාද? අප ක්‍රියා කළ යුත්තේ කොහොමද?

9 යෝබ්ගේ කාලයේදී නඩු විභාග කිරීම සඳහා තිබුණේ සංකීර්ණ ක්‍රම නොවෙයි. සෑම දෙයක්ම සිදු වුණේ පිළිවෙළකටයි. දාසයන්ට පවා නීතියේ පිහිට පැතීමට හැකියාව තිබුණා. නඩු විභාග කිරීමේදී යෝබ් ඔහුගේ දාසයන්ට පවා සාධාරණව හා කාරුණිකව සැලකුවා. අපත් දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් එවැනි ගුණාංග විදහාපෙන්විය යුතුයි. විශේෂයෙන්ම සභාවේ වැඩිමහල්ලන් එසේ කිරීම වැදගත්.

පරිත්‍යාගශීලී වන්න, තණ්හාවෙන් වළකින්න

10, 11. (අ) යෝබ් ත්‍යාගශීලී මෙන්ම අන් අයට උපකාර කරන කෙනෙක් කියා අප දන්නේ කොහොමද? (ආ) යෝබ් 31:16-25හි සඳහන් අදහසට සමාන අදහස ඇති තවත් බයිබල් ඡේද මොනවාද?

10 යෝබ් ත්‍යාගශීලීවන්ත මෙන්ම අන් අයට උපකාර කිරීමට කැමැති කෙනෙක්. ඔහු තමා ගැන පමණක් සිතුවේවත් ගිජු ලෙස ක්‍රියා කළේවත් නැහැ. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. ‘මා වැන්දඹුවගේ දුකේදී ඉවත බලාගත්තා නම් පියා නැති දරුවන්ගේ කුසගින්න නොතකා මාගේ කුස විතරක් පුරවාගත්තා නම් ඇඟට ඇඳුමක් නොමැතිව පීඩා විඳින දුගියෙකු දුටු විට ඔහුට පිහිට නොවුණා නම් දෙවි එය දකින්නේ නැද්ද? නුවර දොරටුව අසලදී පියා නැති දරුවන්ට උපකාර කරනවා වෙනුවට අත මිටමොළවා ඔවුන්ට තර්ජනය කළා නම් මාගේ උරහිසෙන් අත ගැලවී වැටේවා!’ එමෙන්ම රන්වලට “ඔබ මාගේ විශ්වාසය” කියා යෝබ් පැවසුවා නම් දෙවි කෙරෙහි විශ්වාසය දිගටම තබාගැනීමට ඔහුට හැකි වෙයිද?—යෝබ් 31:16-25.

11 යෝබ්ගේ අදහසට සමාන අදහසක් යාකොබ්ද පැවසුවා. “අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර මේ ලෝකයේ දේවලින් කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.” (යාකො. 1:27) යේසුස් තණ්හාව ගැන මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.” ඉන්පසු ‘ජීවිතේ මුල් තැන දෙවිට නොදී’ මිය ගිය මසුරු ධනවතෙක් ගැන උපමාවක් යේසුස් පැවසුවා. (ලූක් 12:15-21) දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් අප ගිජු හෝ කෑදර අය නොවිය යුතුයි. ගිජු පුද්ගලයෙක් වස්තුව කෙරෙහි මුළු අවධානයම යොමු කරන නිසා ඔහු ඊට නමස්කාර කරනවා කියා පැවසිය හැකියි.—කොලො. 3:5.

සැබෑ නමස්කාරයෙන් ඉවත්ව නොයන්න

12, 13. රූප නමස්කාරයෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් යෝබ් හොඳ ආදර්ශයක් වන්නේ කොහොමද?

12 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින කෙනෙක් සැබෑ නමස්කාරයෙන් ඉවත් වන්නේ නැහැ. යෝබ් සැබෑ දෙවිට පමණක් නමස්කාර කළ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “දීප්තියෙන් බැබළෙන හිරු දෙස හෝ ආලෝකය විහිදුවමින් ගමන් කරන සඳු දෙස හෝ බලා, මා මුළාව ගොස් ඒවාට ආචාර කිරීමට පෙලඹුණා නම් එය සැබෑ දෙවිට විරුද්ධව කරන ද්‍රෝහිකමකි. එයත් විනිශ්චයකරුවන් ඉදිරියට ගෙන යා යුතු වරදකි.”—යෝබ් 31:26-28.

13 යෝබ් රූපවලට නමස්කාර කළේ නැහැ. පුරාණ කාලයේ සිටි මිනිසුන් හඳට නමස්කාර කළේ තමාගේ ‘අත සිඹ ආචාර කිරීමෙනුයි.’ යෝබ් හඳට ආචාර කළා නම් එනම්, ඊට නමස්කාර කළා නම් ඔහු දෙවිව ප්‍රතික්ෂේප කරන රූප නමස්කාරකයෙක් බවට පත් වෙනවා. (ද්වි. 4:15, 19) දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් අපත් සෑම ආකාරයකම රූප නමස්කාරයෙන් වැළකී සිටිය යුතුයි.1 යොහන් 5:21 කියවන්න.

පළි නොගන්න, කුහක නොවන්න

14. යෝබ් දුෂ්ට කෙනෙක් නොවන බව අප දන්නේ කොහොමද?

14 යෝබ් දුෂ්ට හෝ කෲර කෙනෙක් නොවෙයි. තමන් එසේ ක්‍රියා කළා නම් දෙවිට විශ්වාසවන්තව සිටිය නොහැකි බව ඔහු දැන සිටියා. ඔහු පැවසුවේ “මට වෛර කරන කෙනෙකුගේ විනාශය දැක මා සතුටු වුණා නම් ඔහුගේ විපතේදී මා උදම් ඇනුවා නම් දෙවි මට දඬුවම් කළ යුතුයි. එහෙත් මම එවැනි කෙනෙකුට විරුද්ධව පව් කර, ඔහුට ශාප කිරීමට තරම් එඩිතර වූයේ නැත” කියායි.—යෝබ් 31:29, 30.

15. අපට සතුරුකම් කරන අයට විපතක් සිදු වන විට ඒ ගැන ප්‍රීති වීම වැරදි දෙයක් වන්නේ ඇයි?

15 ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යෝබ් ඔහුට සතුරුකම් කළ අය විපතට පත් වන විට ඒ ගැන සතුටු වුණේ නැහැ. හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “ඔබට සතුරුකම් පාන කෙනෙකු විපතට වැටුණොත් ප්‍රීති නොවන්න. ඔහුගේ පය පැටලුණොත් සිතින් සතුටු නොවන්න. ඔබ ඒ ගැන සතුටු වුවහොත් යෙහෝවා දෙවි එය දැක ඔබ ගැන අසතුටු වන්නේය. ඒ තැනැත්තාට විරුද්ධව දෙවිට ඇති වූ කෝපයද පහව යන්නේය.” (හිතෝ. 24:17, 18) කෙනෙකුගේ හදවතේ තිබෙන දේ තේරුම්ගැනීමට යෙහෝවා දෙවිට පුළුවන්. ඒ නිසා තව කෙනෙකුගේ විපතේදී අප සිත ඇතුළතින් හෝ සතුටු වෙනවා නම් දෙවි එය දකිනවා. ඔහු එය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. (හිතෝ. 17:5) අපට සාධාරණය ඉටු කරන්නේ යෙහෝවා දෙවියි. “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි” කියා දෙවි පවසා තිබෙනවා.—ද්වි. 32:35.

16. අප ධනවත් නොවුණත් ආගන්තුක සත්කාරය පෙන්වන්න පුළුවන් කොහොමද?

16 යෝබ් ආගන්තුක සත්කාරයට ළැදි පුද්ගලයෙක්. (යෝබ් 31:31, 32) අප එතරම් ධනවත් නොවුණත් අපට ‘ආගන්තුක සත්කාරය පෙන්විය හැකියි.’ (රෝම 12:13) කෙනෙකුට සුළු සංග්‍රහයක් කිරීමෙන් වුවද ආගන්තුක සත්කාරය දැක්විය හැකියි. ‘වෛරයෙන් යුතුව ගව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳයි’ කියා බයිබලයේද පවසනවා. (හිතෝ. 15:17) යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සහෝදර සහෝදරියන් සමඟ සුළු සංග්‍රහයක් භුක්ති විඳින අතරතුර කරන ආශ්‍රයෙන් සියලුදෙනාම දිරිගැන්වීමක් ලබනවා.

17. බරපතළ වැරදි සැඟ වීමට උත්සාහ නොකළ යුත්තේ ඇයි?

17 යෝබ් කුහක පුද්ගලයෙක් නොවුණ නිසා ඔහු සමඟ ඇසුරු කිරීමෙන් අන් අය සතුටක් ලබන්න ඇති. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ සිටි, දෙවිට කිසි ගෞරවයක් නොදක්වන ‘තමාට යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් ඇතැම් පුද්ගලයන්ව වර්ණනා කරන’ අය මෙන් යෝබ් ක්‍රියා කළේ නැහැ. (යූද් 3, 4, 16) තමන් අතින් වරදක් සිදු වුණත් ඔහු එය සඟවාගෙන සිටියේ නැහැ. දෙවි සෝදිසි කර බලද්දී තමා අතින් වරදක් සිදු වී ඇත්නම් දෙවිගෙන් සමාව ලබාගැනීමටත් යෝබ් කැමති වුණා. (යෝබ් 31:33-37) අප අතින් බරපතළ වරදක් සිදු වුණොත් අපගේ නමට කැළැලක් ඇති වෙයි යන බිය නිසා එය සැඟ වීමට උත්සාහ නොකරමු. එවැනි අවස්ථාවකදී දෙවිට විශ්වාසවන්තකම පෙන්වන්න පුළුවන් කොහොමද? අප අතින් සිදු වූ වරද පිළිගෙන, පසුතැවිලි වී, දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන, වරද නිවැරදි කරගැනීමට කළ හැකි සියල්ල කිරීමෙන් අපට එය කළ හැකියි.—හිතෝ. 28:13; යාකො. 5:13-15.

විශ්වාසවන්තකම ඔප්පු කළ යෝබ්

18, 19. (අ) යෝබ් කිසි කෙනෙකුට අයුතු ලෙස නොසැලකූ බව පවසන්න පුළුවන් ඇයි? (ආ) තමන් අතින් වරදක් සිදු වී තිබෙනවා නම් යෝබ් කැමැත්තෙන් සිටියේ කුමක් කිරීමටද?

18 යෝබ් අවංක මෙන්ම සාධාරණ කෙනෙක් නිසා ඔහුට මෙසේ පැවසීමට හැකි වුණා. “මාගේම වගාබිම් මා නිසා හඬා වැලපෙනවා නම් මාගේ කෙත්වල සීසාන ලද පොළොව කඳුළුවලින් තෙමී ඇත්නම් දෙවි එය දකිනු ඇත. මා කිසිවක් නොගෙවා කෙත්වතුවල පලදාව භුක්ති වින්දා නම් නියම අයිතිකරුවන්ගෙන් එම කෙත්වතු පැහැරගන්න වෑයම් කළා නම් මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස්ද බාර්ලි වෙනුවට වල් පැළෑටිද හටගනු ලැබේවා!” (යෝබ් 31:38-40) යෝබ් අසාධාරණ ලෙස අන් අය සතු ඉඩකඩම් ලබාගත්තේවත් තම දාසයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත්තේවත් නැහැ. ඔහු මෙන් අපත් සුළු කාරණාවලදී මෙන්ම බැරෑරුම් කාරණාවලදීත් දෙවිට විශ්වාසවන්ත විය යුතුයි.

19 තමා ජීවත් වූ ආකාරය ගැන යෝබ් ඔහුගේ මිතුරන් තිදෙනාට හා එලිහුට පැවසුවා. ඒ වගේම තමන්ට විරුද්ධව යම් චෝදනාවක් තිබෙන ඕනෑම කෙනෙකුට එය ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා. ඔහු අතින් වරදක් සිදු වී තිබෙනවා නම් ඊට සුදුසු දඬුවම විඳින්නද ඔහු කැමති වුණා. එමෙන්ම එය විනිශ්චය කිරීමට ඔහු දෙවිට ඉඩහැරියා. ඒත් සමඟම “යෝබ්ගේ කතාව අවසන්” වෙනවා.—යෝබ් 31:35, 40.

දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබටත් හැකියි!

20, 21. (අ) දෙවිට විශ්වාසවන්තව සිටීමට යෝබ්ට හැකි වුණේ ඇයි? (ආ) දෙවි කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගන්න අපට පුළුවන් කොහොමද?

20 යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියේ ඔහු දෙවිට ප්‍රේම කළ නිසා හා දෙවි ඔහුට ප්‍රේම කරමින් ඔහුට උපකාර කළ නිසයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “[යෙහෝවා දෙවි] මට ජීවිතය ලබා දී කරුණාවෙන් [‘ළැදි ප්‍රේමයෙන්,’ පාදසටහන] මට සැලකුවෙහිය. මාගේ හුස්ම පොද රැකුණෙත් ඔබ නිසාමය.” (යෝබ් 10:12) කෙනෙක් අන් අයට ප්‍රේමය පෙන්වන්නේ නැත්නම් ඔහුට දෙවි කෙරෙහි ගරුබියක් තිබෙන බව කිව නොහැකියි. එය දැන සිටි යෝබ් අන් අයට ප්‍රේම කළා. (යෝබ් 6:14) දෙවිට විශ්වාසවන්තව සිටීමට කැමති සියලුදෙනාත් දෙවිට සහ අසල්වාසීන්ට ප්‍රේම කරනවා.—මතෙ. 22:37-40.

21 දිනපතා දේවවචනය කියවීමෙන් හා එයින් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා කල්පනා කිරීමෙන් ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති කරගත හැකියි. එමෙන්ම දෙවිට ප්‍රශංසා කරන්නත් ඔහුගේ යහපත්කමට ස්තුති කරන්නත් යාච්ඤාව තුළින් අපට පුළුවන්. (ෆිලි. 4:6, 7) දෙවිට ප්‍රශංසා ගී ගායනා කිරීමටත් නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමටත් අපට හැකියි. (හෙබ්‍රෙ. 10:23-25) දෙවි “ලබා දෙන ගැලවීම පිළිබඳ ශුභාරංචිය” ප්‍රකාශ කිරීමෙන්ද අපට දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කරගන්න පුළුවන්. (ගීතා. 96:1-3) එවැනි දේවල් කිරීමෙන් ගීතිකාකරු මෙන් අපටත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිය හැකියි. ගීතිකාකරු මෙසේ ගායනා කළා. ‘දෙවිට ළං වී සිටීම මට යහපතකි. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයය.’—ගීතා. 73:28.

22, 23. අතීතයේදී දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ක්‍රියාවන්ට සමානව අප කරන ක්‍රියාවන් මොනවාද?

22 ශතවර්ෂ ගණනාවක් පුරා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට විවිධ පැවරුම් දී තිබෙනවා. නෝවාට නැවක් සෑදීමටත් “ධර්මිෂ්ඨකම ගැන දේශනා” කිරීමටත් පැවරුමක් ලැබුණා. (2 පේතෘ. 2:5) ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු දේශයට යෑමට මඟ පෙන්වීම සඳහා යොෂුවාට පැවරුමක් ලැබුණා. ඔහුට එම පැවරුම සාර්ථකව ඉටු කිරීමට හැකි වුණේ ‘නීතියේ සඳහන් සියල්ල දිවා රෑ දෙකේම කියවා’ ඊට එකඟව ක්‍රියා කළ නිසයි. (යොෂු. 1:7, 8) පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට, යේසුස්ගේ ගෝලයන් වෙන්න ජනයාට උපකාර කරන ලෙසටත් දේවවචනය අධ්‍යයනය කිරීමට එකට එක් රැස් වන ලෙසටත් පවසා තිබුණා.—මතෙ. 28:19, 20.

23 පාලනය කිරීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතිය අප පිළිගන්න බවත් අප ඔහුට විශ්වාසවන්තව සිටින බවත් පෙන්විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවාට ශුභාරංචිය ප්‍රකාශ කිරීම, යේසුස්ගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීම, බයිබලයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීම, රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවලට සහභාගි වීම වැනි දේ ඇතුළත්. එවැනි දේවල් කිරීමෙන් අපට ධෛර්යය වඩවාගැනීමටත් දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමටත් සතුටින් දෙවිගේ කැමැත්ත කිරීමටත් හැකි වෙනවා. යෙහෝවා දෙවිගේ සහ ඔහුගේ පුත්‍රයාගේ උපකාරය අපට තිබෙන නිසා එය කිරීම අපහසු නැහැ. (ද්වි. 30:11-14; 1 රාජා. 8:57) එමෙන්ම පාලකයාණන් හැටියට යෙහෝවා දෙවිව පිළිගන්න හා ඔහුට විශ්වාසවන්තව සිටින ‘සහෝදරයන් සියලුදෙනාගේම’ සහයෝගයද අපට නොමදව ලැබෙනවා.—1 පේතෘ. 2:17.

ඔබගේ පිළිතුර කුමක්ද?

• යෙහෝවා දෙවි දී තිබෙන සාදාචාර ප්‍රමිති ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

• ඔබගේ සිත්ගත්තේ යෝබ්ට තිබූ කුමන ගුණාංගද?

• යෝබ් ක්‍රියා කළ ආකාරය ගැන යෝබ් 31:29-37හි සඳහන් වන්නේ කුමක්ද?

• දෙවිට විශ්වාසවන්තව සිටින්න අපට හැකි බව පවසන්න පුළුවන් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

යෝබ් මෙන් අපටත් දෙවිට විශ්වාසවන්තව සිටිය හැකියි!

[32වන පිටුවේ පින්තූරය]

දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨාන කරගන්න