Skip to content

පටුනට යන්න

බොහෝ අය තුළ තිබෙන පොදු විශ්වාසයක්

බොහෝ අය තුළ තිබෙන පොදු විශ්වාසයක්

බොහෝ අය තුළ තිබෙන පොදු විශ්වාසයක්

යුරෝපයේ සිටින එක් මහලු කාන්තාවක් පල්ලියකට ගොස් මරියතුමියගේ සුරුවමක් ඉදිරියේ දණ ගසා කොන්තේ කියයි. අප්‍රිකාවේ සිටින යුවළක් නෑදෑයෙකුගේ සොහොනක් ඉදිරියේ මත්පැන් ස්වල්පයක් වත් කරයි. ඇමරිකාවේ සිටින තරුණයෙක් තම රැකවල් දේවදූතයාගේ පිහිට ලබාගැනීම සඳහා නිරාහාරව සිටියි. ආසියාතික රටක පූජකයෙක් වෛවර්ණ කොළවලින් සෑදූ දේවල් පුලුස්සමින් මිය ගිය මුතුන්මිත්තන්ට ගරුබුහුමන් කරයි.

ඉහත සඳහන් කළ සියලුදෙනා තුළ එක් පොදු විශ්වාසයක් තිබෙනවා. ඒ කොහේ හෝ තැනක නොපෙනෙන බලවත් අය සිටින බවට වූ විශ්වාසයයි. එමනිසා ඔවුන්ගේ පිහිට උපකාර ලබාගැනීමට මිනිසුන් පෙලඹෙනවා. නමුත් ඒ නොපෙනෙන අය කවුද, ඔවුන් සිටින්නේ කොහේද යන්න ගැන මිනිසුන් තුළ තිබෙන අදහස් එකිනෙකට වෙනස්.

මුස්ලිම් භක්තිකයන් අදහන්නේ අල්ලාහ් දෙවියන්වයි. * ක්‍රිස්තියානියයි කියාගන්නා අය විශ්වාසය තබන්නේ පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් එකතු වී සෑදුණු ශුද්ධ වූ ත්‍රිත්වය කෙරෙහියි. හින්දු භක්තිකයන් දෙවි දේවතාවුන් දහස් ගණනක් කෙරෙහි විශ්වාස කරනවා. එමෙන්ම ගස්, ගල්, සතුන් සහ ගංගා තුළ මිය ගිය අයගේ ආත්ම පවතින බවට විශ්වාස කරන අයද සිටිනවා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන්වල, චිත්‍රපටිවල සහ පොත් පත්වල දේවදූතයන්, භූතයන්, මිය ගිය අයගේ ආත්ම සහ දෙවි දේවතාවුන් ගැන නොයෙක් දේවල් ප්‍රචාරය වන නිසා ඒවාද මිනිසුන්ගේ සිත්වලට බලපා තිබෙනවා.

දෙවි දේවතාවුන් ගැන මිනිසුන් තුළ නොයෙක් අදහස් තිබෙනවා හා සමානව ඒ දෙවිවරුන් වෙත ළඟා විය යුතු ආකාරය ගැන තිබෙන අදහස්ද පරස්පර විරෝධියි. නමුත් ඒ දෙවිවරුන් හා සම්බන්ධ වීමට මිනිසුන් කරන සෑම දෙයක්ම හරියි කියා පවසන්න බැහැ. මදකට මේ ගැන සිතන්න. ඔබ දුරකථන ඇමතුමක් දෙන්නේ ඔබ හොඳින් දන්න, ඔබේ ඇමතුමට ප්‍රතිචාරය දක්වයි කියා ඔබට විශ්වාසය තැබිය හැකි කෙනෙකුට විතරයි. ඔබ කිසිම සොයා බැලීමකින් තොරව නොදන්නා කෙනෙකුට ඇමතුමක් දෙන්න කොයිම අවස්ථාවකවත් තැත් කරන්නේ නැහැ. සමහරවිට නොදන්නාකමින් ඔබ අපරාධකරුවෙකු සමඟ කතා කළා නම් කුමක් සිදු විය හැකිද? ඉන් ඔබේ ජීවිතයටත් හානියක් සිදු විය හැකියි.

ඇත්තටම අපිට නොපෙනෙන බලවත් අය කවුද? ඔවුන් සිටින්නේ කොහේද? ඒ ප්‍රශ්නවලට බයිබලයේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා. එමෙන්ම අපි ළඟා විය යුතු සැබෑ දෙවි කවුද කියාත් එහි පෙන්වනවා. ඒ ගැන දැනගැනීමට මේ ලිපි පෙළ කියවා බලන්න.

[පාදසටහන]

^ 4 ඡේ. “අල්ලාහ්” යන වචනයේ අර්ථය “දෙවි” යන්නයි.