Skip to content

පටුනට යන්න

ඔහු අපි ‘එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ හොඳින්’ දන්නවා

ඔහු අපි ‘එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ හොඳින්’ දන්නවා

දෙවිට ළං වෙන්න

ඔහු අපි ‘එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ හොඳින්’ දන්නවා

2 ලේකම් 6:29, 30

අපි හැමෝම නොයෙක් ආකාරයේ දුෂ්කරතා අද්දකිනවා. සමහරවිට අපි අද්දකින වේදනාව සහ අපේ තත්වය අන් අය තේරුම්ගන්නේ නැහැ කියා අපිට හැඟෙන්න පුළුවන්. කොහොමවුණත් අපේ තත්වය හොඳින් තේරුම්ගත හැකි එක් කෙනෙක් සිටිනවා. ඒ යෙහෝවා දෙවියි. එසේ පැවසීමට හේතුව තේරුම්ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව 1026දී දෙවිගේ මාලිගාව කැප කළ අවස්ථාවේ සලමොන් රජු දෙවිට කළ යාච්ඤාවේ සඳහන් කරුණු කිහිපයක් අපි සලකා බලමු.

සලමොන් කළ එම යාච්ඤාව විනාඩි දහයක් පමණ දීර්ඝ එකක් වන්න ඇති. එම යාච්ඤාවේදී ඔහු යෙහෝවා දෙවිව විස්තර කළේ පොරොන්දු ඉටු කරන, යාච්ඤාවලට සවන් දෙන ඉතා විශ්වාසවන්ත කෙනෙකු ලෙසයි.—1 රාජාවලිය 8:23-53; 2 ලේකම් 6:14-42.

දෙවිගේ සෙනඟට මුහුණ දීමට සිදු විය හැකි පීඩාකාරී තත්වයන් කිහිපයක් ගැනත් ඔහු එම යාච්ඤාවේදී සඳහන් කළා. (2 ලේකම් 6:28) ඉන්පසු ඔහු දෙවිට ආයාචනා කළේ “එක් එක් කෙනා තම තමාගේ සිතේ ඇති වන වේදනාව” ගැන යාච්ඤා කරන විට ඊට සවන් දෙන්න කියායි. (2 ලේකම් 6:29) ‘තම තමාගේ වේදනාව’ කීමෙන් ඔහු අදහස් කළේ එකිනෙකා මුහුණ දෙන දුෂ්කරතා සහ අද්දකින වේදනාව එකිනෙකට වෙනස් බවයි.

කොහොමවුණත් දෙවිගේ සේවකයන් තම සිතේ ඇති වන වේදනාව තනිවම දරාගත යුතු නැහැ. ඒ වේදනාව යාච්ඤාවෙන් දෙවිට පවසා එය ඔහුට භාර දෙන්න ඔවුන්ට හැකියි. වේදනාවෙන් සිටින කෙනෙක් දෑත් ඔසවා යාච්ඤා කරන විට ඊට සවන් දෙන්න කියා සලමොන් රජ යෙහෝවා දෙවිගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි. * සලමොන්ගේ පියා වූ දාවිත්ද දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න” කියා පැවසුවා. සමහරවිට එම වදන් සලමොන්ගේ මතකයේ තිබෙන්න ඇති.—ගීතාවලිය 55:4, 22.

උපකාර ඉල්ලමින් යාච්ඤා කරන විට දෙවි එයට සවන් දෙනවාද? ඇත්තෙන්ම ඔව්. සලමොන් තම යාච්ඤාවේදී ඒ ගැන මෙසේ සඳහන් කළා. “දෙවියනි, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ වැරදිවලට ඔවුන්ට සමාව දෙන්න.” (2 ලේකම් 6:30) ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වන යෙහෝවා දෙවි තම සේවකයන් එක් එක් කෙනා ගැන පෞද්ගලිකව සැලකිලිමත් වන බව සලමොන් හොඳින් දැන සිටියා. (ගීතාවලිය 65:2) එමනිසා තම වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙමින් දෙවිට කන්නලව් කරන අයට යෙහෝවා දෙවි සමාව දී උපකාර කරනවා.—2 ලේකම් 6:36-39.

සමාව ඉල්ලමින් කරන යාච්ඤාවලට දෙවි සවන් දෙයි කියා සලමොන් තුළ ස්ථිර විශ්වාසයක් තිබුණේ ඇයි? ඊට පිළිතුර සලමොන් ඔහුගේ යාච්ඤාවේදී පැවසූ මෙම වදන්වලින් සොයාගත හැකියි. “ඔවුන් එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ ඔබ හොඳින් දන්නා නිසා ඔවුන්ට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.” ඒ අනුව යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන් එක් එක් කෙනා ගැන සැලකිල්ලෙන් සිටින නිසා ඔවුන්ගේ සිතේ තිබෙන වේදනාව ඔහුට හොඳින් දැනෙනවා. ඒ නිසා සමාව ඉල්ලමින් කරන යාච්ඤාවලට ඔහු අනිවාර්යයෙන්ම සවන් දෙනවා.—ගීතාවලිය 37:4.

අන් අයට අපේ ‘සිතේ තිබෙන වේදනාව’ නොතේරුණත් යෙහෝවා දෙවිට එය තේරුම්ගත හැකි බව සලමොන් කළ යාච්ඤාවේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (හිතෝපදේශ 14:10) එමනිසා අප ගැන බෙහෙවින් සැලකිලිමත් වන දෙවිට අපේ සිතේ තිබෙන සියල්ල පැවසීමෙන් අපට මහත් සහනයක් අද්දැකිය හැකියි. ‘දෙවි ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. —1 පේතෘස් 5:7

[පාදසටහන]

^ 7 ඡේ. පුරාණයේ සිටි යෙහෝවා දෙවිගේ සේවකයන් දෑත් අහස දෙසට ඔසවා දෙවිට යාච්ඤා කළා.—2 ලේකම් 6:13.