Skip to content

පටුනට යන්න

අතීතයේ සිටි අය දිගු කලක් ජීවත් වුණාද?

අතීතයේ සිටි අය දිගු කලක් ජීවත් වුණාද?

අතීතයේ සිටි අය දිගු කලක් ජීවත් වුණාද?

ජීන් ලුවීස් කල්මාන් නමැති ප්‍රංශ ජාතික කාන්තාව 1997 අගෝස්තු 5වනදා මිය ගියා. මිය යන විට ඇයට වයස අවුරුදු 122යි.

විද්‍යාවේ දියුණුව සහ නවීනතම ඖෂධ වර්ග නිසා මිනිසුන්ට තම ආයු කාලය මදක් දික් කරගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ වුණත් වසර 100 ඉක්මවා ජීවත් වූ කෙනෙකු ගැන අහන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. දිගු කලක් ජීවත් වූ ජීන් කල්මාන් වැනි අය බොහෝදෙනාගේ කතාබහට ලක් වෙන්නේ ඒ නිසයි.

නමුත් ඈත අතීතයේ සිටි ඇතැම් අය අවුරුදු 900 ඉක්මවා ජීවත් වූ බව බයිබලයේ සඳහන් වෙනවා. එය සත්‍යයක්ද? ඒ පිළිබඳව සොයා බැලීම අපට ප්‍රයෝජනවත්ද?

දිගු කලක් ජීවත් වූ අය

අවුරුදු 900 ඉක්මවා ජීවත් වූ හත්දෙනෙකු ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් නම් ආදම්, සෙත්, ඒනොෂ්, කේනාන්, යාරද්, මෙතූසලා සහ නෝවා යන අයයි. (උත්පත්ති 5:5-27; 9:29) සමහරවිට ඔබ මේ අය ගැන අසා නැතුව ඇති. ඔවුන් අයත් වුණේ මිනිස් ඉතිහාසයේ මුල්ම පරම්පරා දහයටයි. ඔවුන් අතරින් වැඩිම කාලයක් ජීවත් වුණේ මෙතූසලායි. ඔහු අවුරුදු 969ක් ජීවත් වුණා.

ඒ අයට අමතරව අවුරුදු 300, 400 සහ 700 ඉක්මවා ජීවත් වූ අයත් අතීතයේ සිටියා. අඩුම තරමින් ඔවුන් අතරින් 25දෙනෙක් ගැනවත් බයිබලයේ වාර්තා වී තිබෙනවා. (උත්පත්ති 5:28-31; 11:10-25) නමුත් සමහරු සිතන්නේ එතරම් කලක් ජීවත් වූ අය පිළිබඳ බයිබලයේ සඳහන් තොරතුරු බොරු බවයි.

ඇත්තද බොරුද?

ඉහත සඳහන් කළ ජීන් කල්මාන්ගේ වයස ගණනය කිරීම සඳහා ඇය සහ ඇගේ නෑදෑයන් සම්බන්ධයෙන් ජීන් කල්මාන් පැවසූ දේවල් මෙන්ම ඇගේ ජීවිත කාලය තුළ සිදු වූ සිද්ධීන් උපයෝගි කරගත් බව ජර්මනියේ පිහිටි එක් පර්යේෂණ ආයතනයක් පැවසුවා. පල්ලිවල තිබෙන වාර්තා, පුවත්පත්වල පළ වූ දේවල් සහ වෙනත් ලියකියවිලි සමඟ ඇය පැවසූ තොරතුරු සැසඳීමෙන් යම් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම විවිධ කාල වකවානුවල ගන්නා ලද ජන සංගණනවල ඇගේ නම සඳහන්ව තිබීමත් ඇගේ වයස ගණනය කිරීමට උපකාරවත් වී තිබෙනවා. ඇය පැවසූ සෑම තොරතුරක්ම තහවුරු කරගැනීමට නොහැකි වුණත් තිබෙන සාක්ෂිවලින් ඔප්පු වී ඇත්තේ ඇය දිගු කලක් ජීවත් වී ඇති බවයි.—එම ආයතනය, Max Planck Institute for Demographic Research.

නමුත් ඉතා දිගු කලක් ජීවත් වූ අය පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තා නිවැරදිද? ඒවා ඔප්පු කිරීමට සාක්ෂි තිබෙනවාද? සෑම තොරතුරක්ම ඔප්පු කිරීමට සාක්ෂි නොතිබුණත් බයිබලයේ වාර්තා වී තිබෙන තොරතුරු ඓතිහාසිකව සහ විද්‍යාත්මකව නිවැරදියි. * ඇත්තෙන්ම එය පුදුමයට හේතුවක් නොවෙයි. මන්ද බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි “සත්‍යවාදී” කෙනෙක්. (රෝම 3:4) ඒ නිසා ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ ලියවී තිබෙන බයිබලයෙහි අසත්‍ය තොරතුරු තිබිය නොහැකියි.—2 තිමෝති 3:16.

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඇතුව උත්පත්ති පොත ඇතුළු බයිබලයේ මුල් පොත් පහ ලියනු ලැබුවේ පුරාණයේ විසූ මෝසෙස් විසිනුයි. ඉතිහාසයේ ජීවත් වූ සුප්‍රසිද්ධ කෙනෙක් ලෙස බොහෝදෙනා මෝසෙස්ව සලකනවා. යුදෙව්වන් ඔහුව සලකන්නේ උතුම් ගුරුවරයෙක් ලෙසයි. ඉස්ලාම් භක්තිකයන් ඔහුව සලකන්නේ ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක් ලෙසයි. එමෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නා ජන පිරිස් අතරත් මෝසෙස් ඉතා ප්‍රසිද්ධයි. ඔහුගේ ජීවිතයේ සිදු වූ ඇතැම් දේවල් සංකේතමය අර්ථයකින් යේසුස්ට අදාළ වන බව බයිබලයේ පෙන්නුම් කරනවා. එසේනම් දිගු කලක් ජීවත් වූ අය ගැන මෝසෙස් වැනි සුප්‍රසිද්ධ කෙනෙක් බයිබලයට ඇතුළත් කළ තොරතුරු අවිශ්වාස කිරීමට පදනමක් තිබෙනවාද?

එදා කාලය මැන්නේ අදට වඩා වෙනස්වද?

බයිබලයේ සඳහන් තොරතුරු බොරු බව පෙන්වීම සඳහා අතීතයේදී කාලය මැන්නේ අදට වඩා වෙනස්ව කියා ඇතැම් අය පවසනවා. ඔවුන් කියා සිටින්නේ අතීතයේදී අවුරුද්දක් ලෙස යොමු දැක්වූයේ මාසයකට බවයි. නමුත් ඒ අදහස වැරදියි. එදා කාලය මැන තිබෙන්නේ අද අපි කාලය මනින ආකාරයටමයි. එය තේරුම්ගැනීමට සාක්ෂි දෙකක් සලකා බලන්න. නෝවාගේ කාලයේදී මහා ජලගැල්මක් හටගත්තේ “නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී” කියා බයිබලයේ සඳහන් වෙනවා. එම ජල කඳෙන් දවස් 150ක් පොළොව වැසී තිබුණු බවත් ‘හත්වන මාසයේ දහහත්වන දිනයේදී නැව අරරත් කඳුකරය මත නැවතුණු’ බවත් එහි සඳහන් වෙනවා. (උත්පත්ති 7:11, 24; 8:4) ඒ අනුව දෙවන මාසයේ 17වන දිනයේ සිට හත්වන මාසයේ 17වන දිනය දක්වා ගත වූ මාස පහට දවස් 150ක් තිබුණා කීමෙන් අදහස් වෙන්නේ අද මෙන් අතීතයේදීත් මාසයකට දවස් 30ක් තිබුණු බවයි.

දෙවන සාක්ෂියද සලකා බලන්න. මහලලෙල්ට දාව පුත්‍රයෙකු උපදින විට ඔහුට වයස අවුරුදු 65ක් වූ බව බයිබලයේ සඳහන් වෙනවා. මහලලෙල් ජීවත් වූ මුළු අවුරුදු ගණන 895යි. (උත්පත්ති 5:15-18) එමෙන්ම ඔහුගේ මුනුපුරා වූ ඒනොක්ට දාව මෙතූසලා ඉපදෙන විට ඒනොක්ටත් වයස අවුරුදු 65ක් වුණා. (උත්පත්ති 5:21) නමුත් ඇතැම් අය පවසන ආකාරයට අතීතයේදී අවුරුද්දකින් නියෝජනය වුණේ මාසයක් නම් ඔවුන් දෙදෙනාම පියවරුන් වී තිබෙන්නේ වයස අවුරුදු පහේදීයි. එවැනි දෙයක් සිදු විය හැකිද?

බොහෝ කාලයක් ජීවත් වූ අය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂිද උපකාරවත් වෙනවා. උදාහරණයකට පුරාණයේ සිටි ආබ්‍රහම් ඌර් දේශයේ වාසය කළ බවත් පසුව ඔහු කානාන් දේශය අවට පිහිටි නගරයක් වූ හාරාන්වල පදිංචි වූ බවත් ඒලාම්හි කෙදොර්ලායොමෙර් රජුව ඔහු පරාජය කළ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 11:31; 12:5; 14:13-17) එම සිද්ධීන්, ස්ථාන සහ පුද්ගලයන් ගැන බයිබලයේ වාර්තා වී තිබෙන තොරතුරු නිවැරදි බව පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් ඔප්පු වී තිබෙනවා. බයිබලයේ සඳහන් එම තොරතුරු ඓතිහාසික වශයෙන් නිවැරදි නම් ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වූ බවට එහි සඳහන් දේ අවිශ්වාස කළ යුතුද?—උත්පත්ති 25:7.

මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ බොහෝ කාලයක් ජීවත් වූ අය ගැන බයිබලයේ සඳහන් තොරතුරු සැක කිරීමට පදනමක් නැති බවයි. නමුත් අතීතයේදී බොහෝ කාලයක් ජීවත් වූ අය ගැන දැනගැනීම අපිට වැදගත් වන්නේ ඇයි?

ඔබටත් බොහෝ කල් ජීවත් විය හැකියි!

අතීතයේ සිටි අය බොහෝ කාලයක් ජීවත් වීමෙන් පැහැදිලි වන්නේ මිනිස් ශරීරය සදාකාලයටම පවතින ආකාරයෙන් නිර්මාණය කර ඇති බවයි. මිනිස් ශරීරය පුදුම දනවන දෙයක් බව විද්‍යාඥයන් පවා පිළිගන්නවා. අපේ ශරීරයේ තිබෙන සෛල මැරුණත් ඒ වෙනුවට නිතිපතා අලුත් සෛල නිපදවෙන බව සොයාගෙන තිබෙනවා. සදාකාලයටම පවතින ආකාරයේ ශරීරයක් මිනිසාට තිබුණත් ඔවුන් “මහලු වී මිය යන්නේ ඇයි යන ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාවට තවමත් අභිරහසක්” කියා ඖෂධ සම්බන්ධ මහාචාර්යවරයෙක් වන ටොම් කර්ක්වුඩ් පවසා තිබෙනවා.

එය වෛද්‍ය විද්‍යාවට රහසක් වුණත් යෙහෝවා දෙවිට නම් එය රහසක් නොවෙයි. මිනිසුන් මහලු වී මිය යන්නේ ඇයි කියා ඔහු හොඳින්ම දන්නවා. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සදහටම ජීවත් වීම සඳහායි. නමුත් මුල් මිනිසා වූ ආදම් දෙවිට පිටුපෑවා. ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙන් බිහි වූ සියලුදෙනාටම පාපය උරුම වුණා. අපි අසනීප වන්නෙත් මහලු වී මිය යන්නෙත් ඒ නිසයි. එය බයිබලයේ විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

කොහොමවුණත් මිනිසා සම්බන්ධයෙන් දෙවිට තිබූ අරමුණ වෙනස් වී නැහැ. අපව පාපයෙන් සහ මරණයෙන් ගලවාගැනීම සඳහා දෙවි තම එකම පුත්‍රයාව දීමෙන් එය පැහැදිලි වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.” (1 කොරින්ති 15:22) පුරාණයේ සිටි අය අපිට වඩා වැඩි කාලයක් ජීවත් වූයේ දෙවි මුල් මිනිසාව නිර්මාණය කළ කාලයට ආසන්න කාලයක ඔවුන් ජීවත් වූ නිසයි. කෙසේවෙතත් අද අපි ජීවත් වෙන්නේ ඒ මුල්ම මිනිසා වූ ආදම්ගෙන් උරුම වූ පාපය දෙවි විසින් ඉවත් කර දැමීමට ආසන්න කාලයකයි. දෙවි එලෙස පාපය ඉවත් කළ පසු මිනිසුන් අසනීප වන්නේවත් මිය යන්නේවත් නැහැ.—යෙසායා 33:24; තීතස් 1:2.

යෙහෝවා දෙවි අපට ලබා දීමට නියමිත ඒ සදාකාල ජීවනය අත් කරගැනීමට නම් අපි කළ යුත්තේ කුමක්ද? යේසුස් පැවසූ මේ දෙයින් එයට පිළිතුර දැනගත හැකියි. ‘මා පවසන දේවලට සවන් දී මා එවූ තැනැත්තාව විශ්වාස කරන පුද්ගලයාට සදාකාල ජීවනය හිමි වෙනවා.’ (යොහන් 5:24) සදාකාල ජීවනය භුක්ති විඳීමට කැමති අය බයිබලයේ සඳහන් දැනුම ලබාගෙන ඒ අනුව ජීවත් විය යුතුයි. එලෙස කටයුතු කරන අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එසේ කිරීමෙන් අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක් ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට ඔවුන්ට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් ඔවුන් සමත් වනු ඇත.” (1 තිමෝති 6:19) දෙවි අතීතයේදී ඇතැම් අයට දිගු කාලයක් ජීවත් වීමට අවස්ථාව ලබා දුන්නා නම් ඔබටත් සදාකාල ජීවිතය ලබා දීමට ඔහුට හැකියි.

[පාදසටහන]

^ 10 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන The Bible—God’s Word or Man’s යන පොත බලන්න.

[12වන පිටුවේ ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

1000

969 මෙතූසලා

950 නෝවා

930 ආදම්

900

800

700

600

500

400

300

200

100 අද දින මිනිසා

වයස