Skip to content

පටුනට යන්න

“මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ”

“මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ”

හයිටිවලින් ලිපියක්

“මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ”

වර්ෂ 2010 ජනවාරි 12වනදා හයිටිවල සිදු වුණ දරුණු භූමිකම්පාව ප්‍රවෘත්තිවල පෙන්නුවාම මට ඒවා බලන්න හුඟක් අමාරු වුණා. දවස් කීපයකට පස්සේ මගේ කිට්ටු මිතුරියක් වුණ කාමන් මගෙන් ඇහුවා හයිටිවලට ගිහින් විපතට පත් වෙලා ඉන්න අයට උදව් කරමුද කියලා. මට කාමන්ව මුණගැහුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉදි කිරීම් වැඩකටයුතු සිද්ධ වුණ තැනක හෙදියන් විදිහට ස්වේච්ඡාවෙන් වැඩ කළ කාලයකයි. එදා ඉඳන් අපි ඒ වගේ ව්‍යාපෘති කීපයකම එකට වැඩ කරලා තියෙනවා.

විපතට පත් වෙලා ඉන්න අයව සනසවන්න මට බැරි වෙයි කියලා මම කාමන්ට කිව්වා. එතකොට එයා මට කිව්වා අපි දෙන්නා කලිනුත් එකට වැඩ කරලා තියෙන නිසා මේ වතාවෙත් අපි දෙන්නා එකට වැඩ කළොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට දුරකථන ඇමතුමක් දීලා කිව්වා හයිටිවලට ගිහින් උදව් කරන්න මමත් කැමතියි කියලා. ඒ වගේම කාමන් එක්ක මම එකට වැඩ කරලා තියෙන නිසා හයිටිවලට ගිහින් එයත් එක්ක වැඩ කරන්න කැමතියි කියලත් කිව්වා. කොහොමවුණත් අපි දෙන්නට හයිටිවලට යන්න අවස්ථාව ලැබෙයිද කියලාවත් දෙන්නට එකට වැඩ කරන්න පුළුවන් වෙයිද කියලාවත් කියන්න බැරි බව මට මූලස්ථානයෙන් දැනුම් දුන්නා.

මූලස්ථානයෙන් පිළිතුරක් ලැබෙන කල් මම සාමාන්‍ය විදිහට මගේ වැඩකටයුතු කරගෙන ගියා. දවස් හතරකට පස්සේ, පුළුවන් නම් හෙටම හයිටිවලට යන්න කියලා මට මූලස්ථානයෙන් දැනුම් දුන්නා. මට ඒක අදහාගන්න බැරුව ගියා. මම ඉක්මනින්ම මගේ රැකියා ස්ථානයෙන් නිවාඩු ඉල්ලුම් කළා. ඒත් කාමන්ට හයිටිවලට යන්න අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. මොකද එයාට ප්‍රංශ භාෂාව කතා කරන්න බැහැ. හයිටිවලට යන්න අවස්ථාව ලැබුණු එක ගැන මට ලොකු සතුටක් වගේම එක අතකින් පුංචි භයකුත් තිබුණා.

ජනවාරි 28වනදා මම නිව් යෝර්ක් නගරයේ ඉඳලා ඩොමිනිකන් ජනරජයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරය බලා පිටත් වුණා. එහේ තියෙන ශාඛා කාර්යාලයට මාව එක්කගෙන යන්න තරුණ සාක්ෂිකරුවෙක් ගුවන් තොටුපොළට ඇවිත් හිටියා. එදාම එක්සත් ජනපදයෙනුත් හෙදියන් දෙන්නෙක් ආවා. ඊළඟ දවසේ පාන්දරින්ම අපි හයිටිවල සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ගියා. එහෙට යන්න පැය හතහමාරක් විතර ගත වුණා.

හයිටිවලට ඇතුල් වෙන කොටම භූමිකම්පාවෙන් වෙලා තිබුණු විනාශය අපිට හැබැහින්ම දැකගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ ඇති වුණ හැඟීම් මට වචනවලින් විස්තර කරන්න අමාරුයි. තත්පර 35ක් වගේ කෙටි කාලයකින් මේ තරම් විනාශයක් වුණේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. ජනාධිපති මන්දිරය ඇතුළු නිවාස ගණනාවකටම අලාභහානි සිද්ධ වෙලා තිබුණා. සමහර ගෙවල් බිමටම සමතලා වෙලා. ඒවා මිනිසුන් හදාගෙන තියෙන්නේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලිවලිනුයි. මිලමුදල් සහ වස්තුව ජීවිතයේ වටිනාම දේවල් විදිහට සලකන එක මොන තරම් අඥානද කියලා එදා මට තේරුණා.

අපි ශාඛා කාර්යාලයට ඇතුල් වෙනවත් එක්කම පිළිගැනීමේ නිලධාරිනිය විදිහට වැඩ කළ සහෝදරිය දුවගෙන ඇවිත් අපිව සිපගත්තා. අපේ පෞද්ගලික වැඩ පැත්තකින් තියලා මෙහෙ ඉන්න අයට උදව් කරන්න ආව එක ගැන එයා අපිට ස්තුති කළා. දවල් කෑමෙන් පස්සේ අපි සමුළු ශාලාවකට ගියා. ඒ වෙන කොට ඒ සමුළු ශාලාව තාවකාලික රෝහලක් විදිහට පාවිච්චි කරමින් තිබුණා. විපතට පත් වී සිටි අයට උදව් කරන්න ජර්මනියෙන් පැමිණි වෛද්‍ය යුවළකුත් ඒ අයගේ සහායට ඇවිත් හිටිය කෙනෙකුත් ස්විට්සර්ලන්තයෙන් ඇවිත් හිටිය සෞඛ්‍ය සේවිකාවකුත් එතැනදී මට මුණගැහුණා. ඒ හැමෝම සාක්ෂිකරුවන්.

මම එදා රෑම වැඩ පටන්ගත්තා. එතන සාක්ෂිකරුවන් හා සාක්ෂිකරුවන් නොවන රෝගීන් 18දෙනෙක් හිටියා. ඒ හැම කෙනෙක්ටම සාක්ෂිකරුවන්ගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් නිසි අවධානය ලැබුණා. ඔවුන්ට ලබා දුන් ප්‍රතිකාරවලට කිසිම අය කිරීමක් කළෙත් නැහැ.

එදා රෑ වයස අවුරුදු 80ක රෝගියෙක් මිය ගියා. ඒ වෙලාවේ එයාගේ බිරිඳත් එතන හිටියා. ටික වෙලාවකට පස්සේ කෙට්ලි කියන තරුණ ගෑනු ළමයා වේදනාවෙන් අඬන්න පටන්ගත්තා. එයාගේ දකුණු අත කපලයි තිබුණේ. එයාට බයිබලයේ තියෙන දේවල් කියලා දුන්න සහෝදරියත් ඒ වෙලාවේ එයා ළඟින්ම හිටියා. හැම රැයකම වගේ ඒ සහෝදරිය කෙට්ලි එක්ක ඉඳලා තියෙනවා.

කෙට්ලිව සනසවන්න හිතාගෙන මම එයා ළඟට ගියා. ඒ වෙලාවේ කෙට්ලි ශාරීරිකවත් මානසිකවත් ලොකු වේදනාවකිනුයි හිටියේ. භූමිකම්පාව ඇති වුණ වෙලාවේ එයා ඉඳලා තියෙන්නේ යාළුවෙක්ගේ ගෙදර. වෙන්නේ මොකක්ද කියලා හරියටම තේරුණේ නැති නිසා කෙට්ලි යාළුවගේ අතින් අල්ලගෙන දුවලා තියෙනවා. එතකොටම ලොකු බිත්තියක් ඒ දෙන්නගේ ඇඟට කඩාගෙන වැටිලා. කෙට්ලි එයාගේ යාළුවට කතා කළත් යාළුවා කතා කරලා නැහැ. යාළුවා මිය ගිහින් කියලා කෙට්ලිට තේරිලා තියෙනවා. පැය හතරකට පස්සේ සුන්බුන් අතරින් කෙට්ලිව එළියට ගන්න කොට යාළුවා මිය ගිහින් ඉඳලා තියෙන්නේ කෙට්ලිගේ ඇඟ උඩමයි. කෙට්ලිගේ දකුණු අතට හුඟක් හානි වෙලා තිබුණ නිසයි එයාගේ අත කපලා තියෙන්නේ.

කෙට්ලි නිදාගන්න උත්සාහ කළත් එයාට ඒ අමිහිරි සිද්ධිය විටින් විට මතක් වුණ නිසා එයා මට ඒ ගැන කිව්වා. ඒ වෙලාවේ එයා හැඬූ කඳුළින් මට මෙහෙමත් කිව්වා. “අන්තිම දවස්වල භූමිකම්පා වෙනවා කියලා බයිබලයේ කියලා තියෙන දේත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියෙනවා කියලත් මම දන්නවා. මගේ ජීවිතය බේරුණ එක ගැන මම සතුටු වෙන්න ඕන තමයි. ඒත් මේ තත්වෙට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් මොනවා වෙයිද? හැම දෙයක්ම තිබිලා එක දවසකින් ඒවා නැතුව ගියොත් ඔයාට කොහොම හැඟෙයිද?” ඒ වෙලාවේ මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. අපි දෙන්නා හොඳටම ඇඬුවා. අඬඅඬා ඉන්න ගමන්ම එයාට නින්ද ගියා.

හැම දවසකම ප්‍රතිකාර අවශ්‍ය අයව බලන්න වෛද්‍යවරයෙකුවත් හෙදියන් දෙන්නෙකුවත් පිටත් කර යැව්වා. ඒ විදිහට මාවත් ෆ්ලෝරිඩාවෙන් ඇවිත් හිටිය හෙදියක් සහ ප්‍රංශයෙන් ඇවිත් හිටිය වෛද්‍යවරයෙක් එක්ක වෙනත් ප්‍රදේශයකට පිටත් කර ඇරියා. අපි එහෙ යන කොට උදේ 9:30ට විතර ඇති. අපි ඉක්මනින්ම අපේ බඩු ටික වාහනයෙන් බාගෙන සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ශාලාව ඇතුළට ඒවා අරගෙන ගියා. අපි එන බව ආරංචි වෙලා තිබුණ නිසා මිනිස්සු අපි එන්නත් කලින් එතනට ඇවිත් හිටියා.

එදා හරිම රස්නේ දවසක්. බෙහෙත් ගන්න ඇවිත් හිටිය අයගේ පෝළිමත් එන්න එන්නම දික් වුණා. හැන්දෑවේ තුනට තමයි අපිට විවේකයක් ගන්න පුළුවන් වුණේ. ඒ දවස ඇතුළත අපි එන්නත් 114ක් දුන්නා. ඒ වගේම රෝගීන් 105දෙනෙකුවත් පරීක්ෂා කළා. එදා අපිට ලොකු වෙහෙසක් දැනුණත් අවශ්‍යතා තිබුණ අයට උදව් කරන්න ලැබුණ එක ගැන ලොකු සතුටක් දැනුණා.

සති දෙකක් විතර හයිටිවල සහන සේවයේ යෙදෙන්න මට පුළුවන් වුණා. හැම රාත්‍රියකම වගේ මම පැය 12ක් සමුළු ශාලාවේ සේවය කළා. ඒක ලොකු වගකීමක්. ඇත්තම කියනවා නම් මීට කලින් කවදාවත් මට ඒ වගේ අද්දැකීමක් ලැබිලා තිබුණේ නැහැ. ඒත් භූමිකම්පාවෙන් විපතට පත් වුණ අයට සහනයක් දෙන්න යම් ආකාරයකින් හරි දායක වෙන්න ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනවා.

විපතට පත් වුණ අයගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් වන එලීසෙයිගේ අද්දැකීම සලකා බලන්න. භූමිකම්පාව නිසා එලීසෙයිට පාදයක් අහිමි වුණා. ඔහුගේ ඥාති සහෝදරයෙක් වුණු ජිමී තමයි රෑට ඔහුව බලාගන්න ආවේ. එලීසෙයි හැම දවසකම එයාගේ කෑමෙන් පංගුවක් ජිමීටත් අරන් තියනවා. එලීසෙයි මට කිව්වා එයා එහෙම කරන්නේ ජිමී සමහර දාට කන්නේ නැතුව එයාව බලාගන්න එන නිසා කියලා. අපේ ආර්ථික මට්ටම මොකක් වුණත් අපි මොන තත්වයක හිටියත් අපි ළඟ තියෙන දේවල් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් කියන වටිනා පාඩම මම එලීසෙයිගෙන් ඉගෙනගත්තා.

අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිටිය අයත් වෙහෙස මහන්සිය නොබලා රෝගීන් වෙනුවෙන් වැඩ කළා. ඒ අය අතරින් දෙන්නෙක් අසනීපයෙන් හිටියත් අනික් අය වගේම ඒ දෙන්නත් තමන්ගේ පහසුව නොතකා රෝගීන් වෙනුවෙන් ඇපකැප වී සේවය කළා. ඒ කාලය තුළ අපි හැමෝම මානසිකවත් ශාරීරිකවත් වෙහෙසට පත් වෙලයි හිටියේ. ඒ වුණත් අපි සහයෝගයෙන් වැඩ කළ නිසා අපිට ඒක ලොකු ශක්තියක් වුණා. ඒ අද්දැකීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ප්‍රේමණීය, කරුණාවන්ත මෙන්ම පරිත්‍යාගශීලී සෙනඟක් සිටින සංවිධානයකට අයත්ව සිටීමට ලැබුණු එක ගැන මම හුඟක් සතුටු වෙනවා.

මම හයිටිවලින් පිටත් වෙන්න කලින් දකුණු අත් අහිමි වෙලා හිටිය කාන්තාවන් දෙන්නෙක් මට ස්තුති කරලා ලිපි දෙකක් ලියලා දුන්නා. හැබැයි ගුවන් යානයට නඟින්න කලින් ඒවා කියවන්න එපා කියලා ඒ අය කිව්වා. මම ඒ විදිහටම කළා. ඒ ලිපිවල තිබුණු දේවල් මගේ හිතට කොච්චර තදින් දැනුණාද කියනවා නම් මට හොඳටම ඇඬුණා.

හයිටිවලදී මට අලුත් යාළුවන්ව මුණගැහුණා. අපේ මිත්‍රත්වය තාමත් ඒ විදිහටම තියෙනවා. යම් අසීරු තත්වයන්වලට මුහුණ දුන්නාම තමයි අපේ මිත්‍රත්වය කොච්චර ශක්තිමත්ද කියලා ඔප්පු වෙන්නේ. අනාගතයේදී අපිට මොන දේකට මුහුණ දෙන්න සිද්ධ වුණත් අපේ මිත්‍රත්වය හැමදාමත් පවතියි කියලා මට විශ්වාසයි. ඒ දේවල් ගැන හිතන කොට මට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.