Skip to content

පටුනට යන්න

ඔවුන් ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කළේ ඇයි?

ඔවුන් ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කළේ ඇයි?

ඔවුන් ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කළේ ඇයි?

යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීමෙන් මිනිසුන් බොහෝ සේ සතුටු වුණා. එමෙන්ම ඔහුගේ බලවත් ක්‍රියා දැකීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා. ඒ නිසා බොහෝදෙනෙක් ‘ඔහු කෙරෙහි විශ්වාසය තබා ඔහු ක්‍රිස්තුස්ම විය යුතුයි’ කියා පැවසුවා.—යොහන් 7:31.

පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් කියා පිළිගැනීමට අපමණ සාක්ෂි තිබුණත් විශාල පිරිසක් ඔහුව ප්‍රතික්ෂේප කළා. තවත් අය ඔහු ගැලවුම්කරු කියා විශ්වාස කළත් කාලයක් සමඟම ඒ විශ්වාසය නැති වුණා. ඔවුන්ට එවැනි දෙයක් සිදු වීමට බලපෑ හේතු මොනවාද කියාත් එවැනි දෙයක් අපේ අතින් සිදු නොවීම සඳහා කළ හැක්කේ කුමක්ද කියාත් අපි සලකා බලමු.

බලාපොරොත්තු ඉටු නොවීම

යේසුස් උපත ලැබූ අවධියේ සිටි බොහෝ යුදෙව්වන් ගැලවුම්කරුවෙකුගේ පැමිණීම ගැන මහත් අපේක්ෂාවෙනුයි සිටියේ. උදාහරණයකට බිලිඳු යේසුස්ව ඔහුගේ දෙමාපියන් දේවමාලිගාවට රැගෙන ගිය අවස්ථාවේ “යෙරුසලමට ගැලවීම ලබා දෙන තුරු බලාගෙන සිටි” අය එහි සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:38) ඉන් කාලයකට පසුව මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්ව දුටු අවස්ථාවේදීත් “මොහු ක්‍රිස්තුස් වෙන්න බැරිද” කියා මිනිසුන් සිතන්න පටන්ගත්තා. (ලූක් 3:15) පොරොන්දු වූ ගැලවුම්කරුගෙන් නැත්නම් ක්‍රිස්තුස්ගෙන් යුදෙව්වන් බලාපොරොත්තු වුණේ කුමක්ද?

සියලුම යුදෙව්වන් පාහේ සිතාගෙන සිටියේ ගැලවුම්කරු පැමිණ පීඩාකාරි රෝම පාලනයෙන් තමන්ව නිදහස් කර ඊශ්‍රායෙල් දේශයේ රාජ්‍යයක් පිහිටුවයි කියායි. යේසුස්ට කලින් සිටි ඇතැම් ප්‍රසිද්ධ යුදෙව් නායකයන් රෝමයට විරුද්ධව කැරලිගසමින් සටන්කාමී අයුරින් ක්‍රියා කර තිබුණා. එමනිසා පොරොන්දු කර තිබූ ගැලවුම්කරුත් ඒ ආකාරයෙන්ම ක්‍රියා කරමින් තමන්ට නිදහස උදා කර දෙයි කියා යුදෙව්වන් සිතන්න ඇති.

එහෙත් යේසුස් ක්‍රියා කළේ ඊට හාත්පසින්ම වෙනස්වයි. රෝමයට විරුද්ධව කැරලිගසනවා වෙනුවට ඔහු සියලුදෙනාටම ඉගැන්වූයේ සතුරන්ට ප්‍රේම කරමින් බලතල තිබෙන පාලකයන්ට යටත්ව සිටින්න කියායි. (මතෙව් 5:41-44) එමෙන්ම යුදෙව්වන් ඔහුව බලෙන් රජකමට පත් කරන්න උත්සාහ කළ අවස්ථාවේදීත් යේසුස් එය ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ, “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියායි. (යොහන් 6:15; 18:36) ඒත් ගැලවුම්කරු ගැන තිබූ වැරදි අවබෝධය මිනිසුන්ගේ සිත්වලින් ඉවත් කිරීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ.

මදකට මිනිසුන්ව බව්තීස්ම කළ යොහන් ගැන සිතන්න. ඔහු ඇසූ දුටු දේවල් නිසා යේසුස් දෙවිගේම පුත්‍රයා බව යොහන් හොඳින්ම දැනගෙන සිටියා. නමුත් යොහන් අයුක්තිසහගත ලෙස අත්අඩංගුවේ සිටි අවස්ථාවේ යේසුස් වෙත පණිවිඩයක් යවමින් ඇසුවේ, “පැමිණීමට සිටින තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුද” කියායි. (මතෙව් 11:3) සමහරවිට ඔහු එසේ අසන්න ඇත්තේ යුදෙව්වන්ගේ බලාපොරොත්තු ඉටු කරන ගැලවුම්කරු ඇත්තටම යේසුස්ද කියා ඔහු කල්පනා කළ නිසා විය හැකියි.

ගැලවුම්කරු හැටියට යේසුස් ඊශ්‍රායෙල්හි රාජ්‍යයක් පිහිටුවයි කියා ඔහුගේ ගෝලයන් පවා විශ්වාස කළා. ඒ නිසා ඔහු මිය ගොස් නැවත නැඟිටිය යුතුයි කියා පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. එක් අවස්ථාවකදී තමා මිය යා යුතුයි කියා යේසුස් පැවසූ විට ‘පේතෘස් ඔහුව පැත්තකට ගෙන ගොස් ඔහුට තදින් කතා කළා.’ (මාක් 8:31, 32) ඉන් පැහැදිලි වන්නේ ගැලවුම්කරු ලෙස යේසුස්ට ඉටු කිරීමට තිබූ වැඩ කොටස ගැන ඒ වන විට පේතෘස්ට හොඳින් අවබෝධ වී නොතිබූ බවයි.

ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු දිනයට කලින් යේසුස් යෙරුසලමට පැමිණි අවස්ථාවේ යුදෙව්වන් ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුව රජෙකු ලෙස පිළිගත්තා. (යොහන් 12:12, 13) නමුත් ඒ සිද්ධිය සිදු වූ සතියේම ඔහුව අත්අඩංගුවට ගෙන මරණයට පත් කරනු ලැබූ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ගියා. ඊට හේතුව ‘ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා යේසුස්’ බව යුදෙව්වන් ඇතුළු යේසුස්ගේම ගෝලයන් පවා විශ්වාස කිරීමයි. (ලූක් 24:21) යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු පසුත් ගෝලයන් සිතාගෙන සිටියේ ඔහු ඊශ්‍රායෙල් දේශයේ රාජ්‍යයක් පිහිටුවයි කියායි. “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියා ඔවුන් ඇසුවේ ඒ නිසයි. (ක්‍රියා 1:6) පොරොන්දු කර තිබූ ගැලවුම්කරු ගැන එදා සිටි අය තුළ මොන තරම් වැරදි වැටහීමක් තිබුණාද කියා එයින් පැහැදිලි වෙනවා.

කොහොමවුණත් ගෝලයන්ට දෙවිගේ බලය ලැබුණු පසු ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන්නේ පොළොවේ සිට නොව ස්වර්ගයේ සිට බව ඔවුන් තේරුම්ගත්තා. (ක්‍රියා 2:1-4, 32-36) එමනිසා පේතෘස් සහ යොහන් නිර්භීතව යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ප්‍රචාරය කළ අතර නොයෙක් බලවත් ක්‍රියා කිරීම තුළින් තමන්ට දෙවිගේ අනුමැතිය තිබෙන බවත් පෙන්නුවා. (ක්‍රියා 3:1-9, 13-15) ප්‍රතිඵලයක් ලෙස යෙරුසලමේ සිටි දහස් ගණන් මිනිසුන් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබුවා. නමුත් යුදෙව් ආගමික නායකයන් ඒ ගැන සතුටු වුණේ නැහැ. යේසුස්ව ප්‍රතික්ෂේප කළා හා සමානවම ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන්වත් ප්‍රතික්ෂේප කළා. ඒ ආගමික නායකයන් යේසුස්ට එතරම් වෛර කළේ ඇයි?

ආගමික නායකයන්ගේ වෛරයට ලක් වී

යේසුස්ගේ කාලයේ සිටි පරිසිවරුන්, සද්දුසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් ක්‍රියා කරමින් සිටියේ දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනිවයි. ඒ ආගමික නායකයන් සියවස් ගණනාවක් තිස්සේ ශුද්ධ ලියවිල්ල අමතක කර දමා තමන් පිහිටුවාගත් සම්ප්‍රදායට ඇලී සිටියා. යේසුස් සබත් දිනවලදී බලවත් ක්‍රියා කිරීම ගැන ඔවුන් කොහෙත්ම සතුටු වුණේ නැහැ. එම ආගමික නායකයන් ශුද්ධ ලියවිල්ලට පටහැනිව කළ දේවල් හෙළාදුටු යේසුස්, ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැහැ කියා ප්‍රසිද්ධියේම පැවසුවා. යේසුස් දිලිඳු පවුලක ඉපදුණු නිසාත් ප්‍රසිද්ධ පාසැල්වලට ගොස් නීතිය ගැන ඉගෙනගෙන නොතිබූ නිසාත් යුදෙව් ආගමික නායකයන් ඔහුව පොරොන්දු කරන ලද ගැලවුම්කරු ලෙස පිළිගත්තේ නැහැ. ඔවුන් යේසුස්ට කොතරම් වෛර කළාද කියනවා නම් ‘ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළා.’—මතෙව් 12:1-8, 14; 15:1-9.

යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළි නොගත් ආගමික නායකයන් ඔහු කළ බලවත් ක්‍රියා ගැන පැවසුවේ කුමක්ද? යේසුස් කළ බලවත් ක්‍රියා ඔවුන් පිළිගත්තත් ඔහු ඒවා කළේ දෙවිගේ බලයෙන් කියා ඔවුන් පිළිගත්තේ නැහැ. ඔවුන් පැවසුවේ, “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ [එනම් යක්ෂයාගේ] උපකාරයෙනුයි. ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ” කියායි. (මතෙව් 12:24) යක්ෂයාගේ බලයෙන් ඔහු ඒ දේවල් කරනවා කියා පැවසීමෙන් ඔවුන් කිරීමට උත්සාහ කළේ ගැලවුම්කරු ලෙස මිනිසුන් තුළ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය බිඳ දැමීමටයි.

එදා සිටි ආගමික නායකයන් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළි නොගැනීමට බලපෑ තවත් හේතුවක් තිබුණා. යේසුස් ලාසරුස්ට නැවත ජීවිතය ලබා දුන් සිද්ධියෙන් පසු සියලුම ආගමික නායකයන් එකට රැස් වී සාකච්ඡා කළ මේ දෙයින් ඒ හේතුව කුමක්ද කියා දැනගත හැකියි. “මේ මිනිසා බොහෝ පුදුමසහගත දේවල් කරනවා. අපි මොනවාද කරන්නේ? ඔහුට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් සියලුදෙනාම ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගනියි. එවිට රෝමවරුන් ඇවිත් අපේ දේවමාලිගාවත් අපේ ජාතියත් අපෙන් උදුරාගනියි.” සියලුදෙනාම යේසුස් කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තොත් තමන්ට බලය සහ තත්වය අහිමි වී යයි කියා ආගමික නායකයන් බිය වුණා. ඔවුන් යේසුස්වත් ලාසරුස්වත් මරන්න සැලසුම් කළේ ඒ නිසයි.—යොහන් 11:45-53; 12:9-11.

යුදෙව්වන්ගෙන් පැමිණි තාඩන පීඩන

පළමු සියවසේ සිට ආගමික නායකයන් නිසා යුදෙව්වන්ට යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගැනීම මහත් අභියෝගයක් වුණා. “පාලකයන් හා පරිසිවරුන් අතරින් එක් කෙනෙක්වත් ඔහු කෙරෙහි විශ්වාසය තබා තිබෙනවාද” කියා අසමින් ඔවුන් මිනිසුන්ව බියගැන්වූවා. (යොහන් 7:13, 48) යුදෙව්වරුන්ගේ නායකයන් ලෙස කටයුතු කළ නිකදේමස් සහ අරිමාතියේ උපන් යෝසෙප් වැනි අය යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවත් බිය නිසා ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ පැවසුවේ නැහැ. (යොහන් 3:1, 2; 12:42; 19:38, 39) යම් කිසි කෙනෙක් “යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට” යුදෙව් ආගමික නායකයන් තීරණය කළා. (යොහන් 9:22) සිනගෝගයෙන් නෙරපා දැමූ කෙනෙකුට සමාජයෙන් කිසිම පිළිගැනීමක් නොලැබුණු අතර ඔහුව කොන් කරනු ලැබුවා.

යේසුස්ගේ මරණින් පසුව ඔහුගේ අනුගාමිකයන්ට එල්ල වූ පීඩා දරුණු අතට හැරෙන්න පටන්ගත්තා. ඔවුන් නිර්භීතව යේසුස් ගැන සාක්ෂි දැරූ නිසා යුදෙව් මන්ත්‍රණ සභාව ඔවුන්ට විරුද්ධව නැඟී සිටියා. (ක්‍රියා 5:40) උදාහරණයකට ස්තේපන්ට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරමින් දෙවිට අපහාස කරන්නෙකු ලෙස සලකා ඔහුව ගල් ගසා මරා දැමීමට තීරණය කළේ යුදෙව් මන්ත්‍රණ සභාවයි. ඒ සිද්ධියෙන් පසු “යෙරුසලමෙහි පිහිටි සභාවට දැඩි පීඩා පැමිණි” නිසා ‘යේසුස්ගේ නියෝජිතයන් හැර අන් සියලුදෙනාම යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියා.’ (ක්‍රියා 6:8-14; 7:54–8:1) යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට කලින් සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කළේ උත්තම පූජකයාගේ සහ ‘වැඩිමහල්ලන් සියලුදෙනාගේ’ අනුග්‍රහය ඇතුවයි.—ක්‍රියා 9:1, 2; 22:4, 5.

යේසුස්ගේ මරණයෙන් පසු ක්‍රිස්තියානීන්ට එතරම් තාඩන පීඩන පැමිණියත් දහස් ගණන් දෙනා යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ වුණත් යේසුස්ගේ අනුගාමිකයන්ට සමාජයෙන් ඒ තරම් පිළිගැනීමක් ලැබුණේ නැහැ. කෙනෙක් තමාව යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස හඳුන්වා දුන්නා නම් ඒ පුද්ගලයාට අමානුෂික ලෙස සලකන තරමටම මිනිසුන් ඔවුන්ට වෛර කළා.

අපට පාඩමක්

ගැලවුම්කරු ගැන මිනිසුන් තුළ තිබූ වැරදි අවබෝධය නිසාත් යේසුස් ආගමික නායකයන්ගේ වෛරයට ලක් වූ නිසාත් ක්‍රිස්තියානීන්ට දරුණු පීඩා පැමිණි නිසාත් බොහෝදෙනෙක් ගැලවුම්කරු කෙරෙහි විශ්වාසය තැබුවේ නැහැ. එවැනිම දෙයක් අද දිනත් සිදු වෙනවා. එය සිදු වන්නේ යේසුස් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත් මිනිසුන් දරන වැරදි අදහස් නිසයි. බොහෝ අය කියන්නේ යේසුස් ඉගැන්වූ දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිතේ තිබෙන දෙයක් බවයි. තවත් අය ගැලවුම්කරු වන යේසුස් කෙරෙහි විශ්වාසය නොතබා තම ප්‍රශ්න ගැටලුවලට විද්‍යාවෙන් පිළිතුරු සොයමින් සිටිනවා. එමෙන්ම විවේචකයන්ද යේසුස් ගැන බයිබලයේ ඇති තොරතුරු ඓතිහාසික වශයෙන් නිවැරදි නැහැ කියා පවසනවා.

එවැනි දේවල් නිසා බොහෝ අයට ගැලවුම්කරු ලෙස යේසුස් ක්‍රිස්තුස්ගේ කාර්යභාරය හරි හැටි අවබෝධ කරගැනීමට හැකි වී නැහැ. කොහොමවුණත් ගැලවුම්කරු ගැන බයිබලයේ සඳහන් වන අනාවැකි එලෙසින්ම යේසුස්ගේ ජීවිතය තුළ ඉටු වූ ආකාරය සලකා බැලීමෙන් පොරොන්දු කරන ලද ගැලවුම්කරු ඔහුම බවට අපට සහතික විය හැකියි. * ඒ අතින් බලන විට එදාට වඩා අද පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස්ම බව විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවා.

පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස් බව තේරුම්ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඊට හේතුව ළඟදීම දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස ඔහු මේ පොළොව විනාශ කරන අයව නැති කර දමා ධර්මිෂ්ඨ අයට මේ පොළොවේ සදහටම ප්‍රීතියෙන් ජීවත් වීමට අවස්ථාව උදා කර දෙන නිසයි. (දානියෙල් 2:44; එළිදරව් 11:15, 18; 21:3-5) ඒ ආශීර්වාදය අද්දකින්න නම් ඔබ යේසුස් ගැන ඉගෙනගෙන ඔහුව ගැලවුම්කරු ලෙස පිළිගෙන ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඒ ගැන යේසුස්ම පැවසුවේ මෙයයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

[පාදසටහන]

^ 22 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 200වන පිටුවේ ඇති “පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්” නමැති මාතෘකාවෙන් යුත් කොටස බලන්න.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබ යේසුස්ගේ කාලයේ ජීවත් වුණා නම් ඔබ ඔහුව ගැලවුම්කරු ලෙස පිළිගනීද?

[21වන පිටුවේ පින්තූරය]

යේසුස් ගැන තිබෙන වැරදි අදහස් නිසා ඔහු ගැන ඉගෙනගැනීමට පසුබට වෙන්න එපා