Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න

“අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි.”—මතෙ. 9:37.

1. යම් කාර්යයක් කිරීමට හදිසි වූ විට ක්‍රියා කරන ආකාරය ගැන උදාහරණ දෙන්න.

යම් ලියවිල්ලක් දවස අවසාන වීමට පෙර තව කෙනෙකු ලවා පරීක්ෂා කරගත යුතු නම් ඔබ කරන්නේ කුමක්ද? එහි “හදිසියි” කියා සඳහන් කරනවා. ඔබ නිශ්චිත වේලාවකට කෙනෙකුව හමු වීමට සැලසුම් කර තිබෙනවා කියා සිතන්න. නමුත් නියමිත වේලාව ළං වී තිබෙනවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඉක්මනින්ම එම ස්ථානයට යනවා. ඔබට යම් කාර්යයක් නිශ්චිත වේලාවට අවසන් කිරීමට තිබෙනවා නම් හා ඒ සඳහා ඉතුරු වී තිබෙන්නේ කෙටි වේලාවක් නම් ඔබ වැඩ කරන්නේ ඉතා කලබලයෙන්. එවැනි අවස්ථාවක ඔබගේ ශරීරයේ විශේෂ හෝමෝනයක් (ඇඩ්ඩ්‍රිනලින් හෝමෝනය) නිපදවෙනවා. ඒ හෝමෝනය නිසා ඔබට අවශ්‍ය කර්යය කිරීමට වැඩි ශක්තියක් ලැබෙනවා.

2. ක්‍රිස්තියානීන් කල් නොදමා ඉක්මනින්ම ඉටු කළ යුතු කාර්යය කුමක්ද?

2 සැබෑ ක්‍රිස්තියානීන් කල් නොදමා ඉක්මනින්ම ඉටු කළ යුතු කාර්යය වන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා සියලු ජාතීන්ට අයත් ජනයාට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමයි. (මතෙ. 24:14; 28:19, 20) ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන යේසුස් පැවසුවේ එය “මුලින්ම” කළ යුතු දෙයක් බවයි. එනම් අවසානයට කලින් එය සිදු කළ යුතු බවයි. (මාක් 13:10 පාදසටහන) ඇත්තෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීම හදිසි කාර්යයක්. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. සාමාන්‍යයෙන් අස්වැන්න පැසී තිබෙන කාලයේදී ප්‍රමාද නොකර එය නෙළීම අවශ්‍යයි.—මතෙ. 9:37.

3. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට බොහෝදෙනා හවුල් වී තිබෙන්නේ කොහොමද?

3 ශුභාරංචිය ප්‍රකාශ කිරීම වඩා වැදගත්ම කාර්යය ලෙස අප සලකන නිසා අපගේ කාලය, ශක්තිය හා අවධානය ඊට උපරිමයෙන් ලබා දීම අවශ්‍යයි. බොහෝදෙනෙක් එසේ කිරීම සතුටට කරුණක්. සමහරුන් පුරෝගාමීන්, මිෂනාරීන් හෝ බෙතෙල් සාමාජිකයන් ලෙස සේවයේ නියැලීම සඳහා ඔවුන්ගේ ජීවිත සරල කරගෙන තිබෙනවා. ඔවුන් දෙවිගේ සේවයේ ඉතා කඩිසරව නියැලෙනවා. ඔවුන්ට බොහෝ පරිත්‍යාග කිරීමටත් සිදු වී ඇති. ඒ විතරක් නොවෙයි ඔවුන්ට බොහෝ අභියෝගවලටත් මුහුණ දීමට සිදු වෙනවා. නමුත් යෙහෝවා දෙවි ඔවුන්ට බොහෝ සේ ආශීර්වාද කරනවා. එමෙන්ම ඔවුන් ගත් තීරණය ගැන අපත් සතුටු වෙනවා. (ලූක් 18:28-30 කියවන්න.) පූර්ණකාලීන සේවය කිරීමට නොහැකි අය ඔවුන්ට හැකි අයුරින් එම ජීවිත ගලවන කාර්යයෙහි නියැලෙනවා. ගැලවීම ලැබීමට තම දරුවන්ට උපකාර කිරීමත් ඊට ඇතුළත්.—ද්වි. 6:6, 7.

4. දෙවි ලබා දී ඇති කාර්යය ප්‍රමාද නොකර ඉක්මනින්ම ඉටු කළ යුතුය යන හැඟීම නැති වී යා හැක්කේ කුමන හේතුව නිසාද?

4 කෙනෙක් යම් කාර්යයක ඉක්මනින්ම නිරත වන්න පෙලඹෙන්නේ එය අවසන් කිරීමට නිශ්චිත කාල සීමාවක් තිබෙන විටයි. අප ජීවත් වෙන්නේ මේ සමාජයේ අවසාන කාලයේයි. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසයෙන් හා බයිබලයෙන් සොයාගත හැකියි. (මතෙ. 24:3, 33; 2 තිමෝ. 3:1-5) නමුත් මේ සමාජයේ අවසානය පැමිණෙන නිශ්චිත වේලාව කිසිම කෙනෙක් දන්නේ නැහැ. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගැනීමට “ලකුණක්” ගැන සඳහන් කරන විට යේසුස් පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.” (මතෙ. 24:36) ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීම ප්‍රමාද නොකර ඉටු කළ යුතු කාර්යයක් යන හැඟීම දිගටම තබාගැනීමට සමහරුන්ට නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් බොහෝ කාලයක සිට යෙහෝවා දෙවිට සේවය කරනවා නම් එසේ හැඟෙන්න පුළුවන්. (හිතෝ. 13:12) සමහර අවස්ථාවලදී ඔබටත් එසේ හැඟෙනවාද? එසේනම් යෙහෝවා දෙවි සහ යේසුස් අපට දී තිබෙන කාර්යය ප්‍රමාද නොකර ඉක්මනින්ම කළ යුතු දෙයක් යන හැඟීම ඇතුව සිටීමට ඔබට උපකාර කරන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

අපට ඇති හොඳම ආදර්ශය

5. ශුභාරංචිය ප්‍රකාශ කිරීම ප්‍රමාද නොකර කළ යුතු කාර්යයක් බව යේසුස් පෙන්නුවේ කොහොමද?

5 දෙවිට කරන සේවය ප්‍රමාද නොකර ඉටු කළ යුතුයි යන හැඟීම ඇතුව සේවය කළ බොහෝ අය සිටියා. ඒ අය අතරින් විශිෂ්ටතම ආදර්ශය වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු එය ප්‍රමාද නොකර ඉටු කිරීමට එක් හේතුවක් වුණේ ඒ සඳහා වසර තුනහමාරක පමණ කෙටි කාලයක් ඔහුට තිබීමයි. ඒ කෙටි කාලය තුළ වෙන කිසි කෙනෙකු නොකරන ආකාරයේ සේවයක් යේසුස් කළා. ඔහු දෙවිගේ නාමයත් ඔහුගේ අරමුණත් ජනයාට දැනුම් දුන්නා. ඔහු දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළ අතර ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම් හා කුහකකම් හෙළි කළා. ඒ වගේම මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිමින් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ඔහු තහවුරු කළා. ඔහු ගිය සෑම තැනකම ජනයාට ඉගැන්නුවා, උපකාර කළා සහ ලෙඩ රෝග සුව කළා. (මතෙ. 9:35) කෙටි කාලයක් තුළ එතරම් විශාල සේවයක් කළ වෙන කිසිවෙක් නැහැ. ඇත්තෙන්ම දෙවිට සේවය කිරීමේදී යේසුස් ඔහුගේ උපරිමය කළ බව පැවසිය හැකියි.—යොහ. 18:37.

6. යේසුස් මූලිකවම අවධානය යොමු කළේ කුමක් ගැනද?

6 යේසුස් වෙහෙස මහන්සි නොබලා දෙවිට සේවය කළේ ඇයි? දෙවිට සේවය කිරීම සඳහා තමාට කොතරම් කාලයක් තිබෙනවාද කියා යේසුස් දානියෙල්ගේ අනාවැකියෙන් දැන සිටියා විය හැකියි. (දානි. 9:27) එහි සඳහන් ලෙස යේසුස් පොළොව මත දෙවිට කරන සේවය “සතිය මැදදී” එනම් වසර තුනහමාරකින් අවසන් විය යුතුව තිබුණා. ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස් රජෙකු ලෙස යෙරුසලමට ඇතුල් වීමෙන් පසු මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයාව තේජසට පත් කරන්න නියමිත වේලාව දැන් ඇවිත් තිබෙනවා.” (යොහ. 12:23) තමා ඉක්මනින්ම මිය යෑමට නියමිත බව යේසුස් දැන සිටියත් ඔහු ඒ ගැනම අවධානය යොමු කළේ නැහැ. ඔහු වෙහෙස මහන්සි වී දෙවිට සේවය කළේ ඒ නිසාම නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ කැමැත්ත කිරීමටත් ජනයාට තම ප්‍රේමය පෙන්වීමටත් හැකි සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. ජනයා කෙරෙහි යේසුස්ට තිබුණු ප්‍රේමය නිසා තම අනුගාමිකයන් ලෙස පිරිසක්ව තෝරාගන්නත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් ඔහු පෙලඹුණා. තමා ආරම්භ කළ කාර්යය ඔවුන් දිගටම කරගෙන යන බවත් තමා කළ සේවයට වඩා වැඩි සේවයක් කිරීමට ඔවුන්ට හැකි වන බවත් යේසුස් දැන සිටියා.යොහන් 14:12 කියවන්න.

7, 8. යේසුස් දේවමාලිගාවේදී කළ දේ ගෝලයන්ට බලපෑවේ කොහොමද? යේසුස් එසේ ක්‍රියා කළේ ඇයි?

7 දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් යේසුස්ට මොන තරම් උද්‍යෝගයක් තිබුණාද කියා මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. යේසුස් දේවසේවය ආරම්භ කළ මුල් කාලයේදී එනම්, ක්‍රි.ව. 30 පාස්කු උත්සවය පැවති කාලයේදී ඔහු ඔහුගේ ගෝලයන් සමඟ යෙරුසලමේ දේවමාලිගාවට පැමිණියා. එවිට එහි “ගවයන්, බැටළුවන් හා පරෙවියන් විකුණමින් සිටින ආකාරයද මුදල් මාරු කරන්නන් ඉඳගෙන සිටින ආකාරයද” ඔහු දුටුවා. ඒ අවස්ථාවේ යේසුස් ක්‍රියා කළේ කොහොමද? ඔහු ක්‍රියා කළ ආකාරය ඔහුගේ ගෝලයන්ට බලපෑවේ කොහොමද?යොහන් 2:13-17 කියවන්න.

8 යේසුස් ඒ අවස්ථාවේදී කළ දේ නිසා ඔහුගේ ගෝලයන්ට දාවිත් පැවසූ මේ අනාවැකිය මතක් වුණා. “ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.” (ගීතා. 69:9) යේසුස් ඒ අවස්ථාවේ කළ දේ නිසා ඔහුගේ ජීවිතයට පවා තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබුණා. මන්ද දේවමාලිගාවේදී වංචනික ලෙස සිදු කළ ව්‍යාපාරික කටයුතු පිටුපස සිටියේ පූජකයන් හා ලියන්නන්. ඔවුන්ගේ ක්‍රියා හෙළි කිරීමෙනුත් ඊට බාධා කිරීමෙනුත් යේසුස් ඔවුන්ගේ සතුරෙක් බවට පත් වුණා. ‘දෙවිගේ ගෘහය සඳහා’ එනම්, දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් යේසුස්ට තිබුණු ළැදියාව නිසා ඔහු දැඩි උද්‍යෝගයෙන් ඒ අවස්ථාවේ ක්‍රියා කළා. උද්‍යෝගය කියන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

උද්‍යෝගය යනු කුමක්ද?

9. උද්‍යෝගය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

9 එක් ශබ්දකෝෂයක “උද්‍යෝගය” යන වචනය විස්තර කර තිබෙන්නේ “යම් දෙයක් කිරීමට මහත් උනන්දුවක් හා ඇල්මක් දැක්වීම” කියායි. යේසුස්ට දේවසේවය සම්බන්ධයෙන් තිබුණෙත් ඒ හා සමාන උද්‍යෝගයක්. දේවමාලිගාවේදී යේසුස් ක්‍රියා කළ ආකාරය දුටු ගෝලයන්ට දාවිත් පැවසූ වචන මතක් වුණේ ඒ නිසයි. එලෙස ක්‍රියා කිරීමට යේසුස්ව පෙලඹුවේ කුමක්ද?

10. බයිබලයේ “උද්‍යෝගය” යන වචනය භාවිත කර ඇත්තේ කොහොමද?

10 “උද්‍යෝගය” කියා පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයට අර්ථ කිහිපයක් තිබෙන අතර තනි භක්තිය ලබාගැනීම යන අර්ථයද ඊට ඇතුළත්. (නික්මයාම 20:5; 34:14; යොෂුවා 24:19 කියවන්න.) විවාහ බැඳීම ගැන සඳහන් කරන බොහෝ අවස්ථාවලදී එම හෙබ්‍රෙව් වචනය භාවිත කරන බව එක් බයිබල් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. ‘ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට අයිති වීම හා එකිනෙකාට විශ්වාසවන්තව සිටීම එකිනෙකාගෙන් බලාපොරොත්තු වීම සාධාරණයි. ඒ හා සමානව තමන්ට පමණක් නමස්කාරය ලබාගැනීමට දෙවිට සාධාරණ අයිතියක් තිබෙනවා’ කියාද එහි සඳහන් වෙනවා. බයිබලයේ උද්‍යෝගය කියා සඳහන් කරද්දී ඉන් අදහස් කරන්නේ තමන් කැමති දෙයකට දක්වන සාමාන්‍ය උනන්දුවට වඩා වැඩි දෙයක්. උදාහරණයකට තමන් කැමති ක්‍රීඩාවක් සඳහා තිබෙන උනන්දුවට වඩා වැඩි දෙයක් ඉන් අදහස් කරනවා. දාවිත්ට සැබෑ නමස්කාරය ගැන තිබුණේද ඒ හා සමාන දැඩි උද්‍යෝගයක්. දෙවිගේ නාමය නින්දාවට ලක් වෙනවාට ඔහු කැමති වුණේ නැහැ.

11. යේසුස් උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමට පෙලඹුණේ ඇයි?

11 යේසුස් දේවමාලිගාවේදී ක්‍රියා කළ ආකාරය දුටු ගෝලයන්ට දාවිත් පැවසූ වදන් මතක් වීම ගැන අප පුදුම විය යුතු නැහැ. යේසුස් කාර්යබහුලව සිටියේ ඔහුට සීමිත කාලයක් තිබුණු නිසාම නොව යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහාත් සැබෑ නමස්කාරය සඳහාත් ඔහුට තිබූ උද්‍යෝගය නිසයි. දෙවිගේ නාමයට ඇති වී තිබෙන නින්දාව හා අපහාසය දුටු යේසුස් එය ඉක්මනින්ම නිවැරදි කිරීමට පියවර ගත්තා. එමෙන්ම ආගමික නායකයන් නිසා හිරිහැර විඳිමින් සිටින මිනිසුන්ට සහනයක් ලබා දුන්නෙත් ආගමික නායකයන්ගේ ක්‍රියා හෙළාදැක්කෙත් යේසුස්ට තිබුණු උද්‍යෝගය නිසයි.—මතෙ. 9:36; 23:2, 4, 27, 28, 33.

සැබෑ නමස්කාරය සඳහා උද්‍යෝගය

12, 13. (අ) දෙවිගේ නාමය සම්බන්ධයෙන් පූජකයන් කර තිබෙන්නේ කුමක්ද? (ආ) පල්ලිවල පූජකයන් දෙවිගේ රාජ්‍යයට පක්ෂ නොවන බව පෙන්වා තිබෙන්නේ කොහොමද?

12 දෙවිට සේවය කරනවායයි පැවසූ පළමු ශතවර්ෂයේ සිටි අය ක්‍රියා කළ ආකාරයට වඩා අද දින එසේ පවසන අය ක්‍රියා කරන ආකාරය ඉතා දරුණුයි. උදාහරණයකට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූ යාච්ඤාවේ මුලින්ම සඳහන් කළේ, “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියායි. (මතෙ. 6:9) අද දින සිටින ආගමික නායකයන් විශේෂයෙන්ම පල්ලිවල සිටින පූජක පක්ෂය දෙවිට නමක් තිබෙන බවත් ඊට ගෞරව කළ යුතු බවත් ජනයාට උගන්වනවාද? නැහැ. ඒ වෙනුවට ත්‍රිත්වය, අමරණීය ආත්මය හා නිරාගින්න වැනි බොරු ඉගැන්වීම්වලින් දෙවි අද්භූත, දරුණු හා තේරුම්ගත නොහැකි කෙනෙක් යන හැඟීම ඔවුන් මිනිසුන් තුළ ඇති කර තිබෙනවා. ඔවුන් කරන නින්දිත හා කුහක ක්‍රියාවලින්ද ඔවුන් දෙවිව අගෞරවයට පත් කරනවා. (රෝම 2:21-24 කියවන්න.) එපමණක්ද නොව දෙවිගේ නාමය දැනගැනීමෙන් මිනිසුන්ව වැළැක්වීමට කළ හැකි සෑම දෙයක්ම ඔවුන් කරනවා. බයිබල් පරිවර්තනවලින්ද ඔවුන් දෙවිගේ නාමය ඉවත් කර තිබෙනවා. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට මිනිසුන්ට තිබෙන අවස්ථාවද එමගින් ඔවුන් අහිමි කර තිබෙනවා.—යාකො. 4:7, 8.

13 යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාවේ මෙසේද සඳහන් කළා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙ. 6:10) පල්ලිවල පූජක පක්ෂය එය නිතර නිතර පැවසුවත් දේශපාලනයට හා විවිධ සංවිධානවලට සහාය දක්වන මෙන් ඔවුන් ජනයාව උනන්දු කරනවා. ඒ විතරක් නොවෙයි දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කරන අයව ඔවුන් පහත් කර සලකනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ක්‍රිස්තියානියයි කියා ගන්නා බොහෝදෙනෙකුට දේවරාජ්‍යය ගැන කිසි අවබෝධයක්වත් ඒ ගැන විශ්වාසයක්වත් නැහැ.

14. පූජකයන් විසින් බයිබලයේ සඳහන් දෙවිගේ ඉගැන්වීම් බාල කර තිබෙන්නේ කොහොමද?

14 යේසුස් දෙවිට යාච්ඤා කළ එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා. “ඔබ පවසන දේ සත්‍යයයි.” (යොහ. 17:17) දෙවි පැවසූ සත්‍යයන් මිනිසුන්ට දැනුම් දීම සඳහා ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පත් කරන බව යේසුස් ස්වර්ගයට යෑමට ටික කාලයකට පෙර පැවසුවා. (මතෙ. 24:45) තමන් එම දාසයා බව පල්ලිවල පූජකයන් පැවසුවත් යේසුස් පවරා තිබෙන කාර්යය ඔවුන් ඉටු කරනවාද? නැහැ. ඔවුන් මිනිසුන්ට උගන්වන්නේ බයිබලයේ තිබෙන දේවල් මිථ්‍යාවක් බවයි. පූජකයන් ඔවුන්ගේ අනුගාමිකයන්ට දෙවි ගැන උගන්වා ඔවුන්ට අවබෝධයක් හා සහනයක් ලබා දෙනවා වෙනුවට මිනිසුන් ඇසීමට ප්‍රිය කරන විවිධ දර්ශනවාදී අදහස් උගන්වනවා. ඊට අමතරව දෙවි දී තිබෙන ප්‍රමිති බාල කර ඔවුන්ගේම ප්‍රමිති පිහිටුවාගෙන තිබෙනවා.—2 තිමෝ. 4:3, 4.

15. දෙවිව නියෝජනය කරනවා කියා පවසන පූජකයන් කර තිබෙන දේ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

15 ඉහත සඳහන් සියලු දේ කර තිබෙන්නේ දෙවිව නියෝජනය කරනවා කියා පවසන අය නිසා අවංක හදවත් ඇති මිනිසුන් නොමඟ ගොස් තිබෙනවා. වෙනත් විදිහකින් පවසනවා නම් ඔවුන්ට දෙවි ගැනත් බයිබලය ගැනත් තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් තිබෙනවා. ඔවුන් සාතන්ගේ හා ඔහුගේ පාලනය යටතේ පවතින සමාජයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. දිනෙන් දින එවැනි දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ සේවකයෙක් ලෙස ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? දෙවිගේ නාමයට කරන අපහාස දකින විට එය නිවැරදි කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද? වංචාව හා කපටි ක්‍රියා නිසා රැවටී සිටින අහිංසක මිනිසුන්ව දකින විට ඔවුන්ට සහනයක් ලබා දෙන්න ඔබ තුළ පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? මිනිසුන් ‘එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිනවා’ දුටු යේසුස්ට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වුණා පමණක් නොව ‘ඔවුන්ට බොහෝ දේ උගන්වන්නත්’ පෙලඹුණා. (මතෙ. 9:36; මාක් 6:34) යේසුස් මෙන් සැබෑ නමස්කාරය සඳහා උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න අපටත් ඕනෑ තරම් හේතු තිබෙනවා.

16, 17. (අ) වෙහෙස මහන්සිය නොබලා දේවසේවයේ හවුල් වීමට අප පෙලඹෙන්නේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

16 අප උද්‍යෝගයෙන් දේවසේවයේ නිරත වන විට පළමුවෙනි තිමෝති 2:3, 4හි (කියවන්න.) පාවුල් පැවසූ දේ ඉටු කරනවා කියා පැවසිය හැකියි. අප දේවසේවයේ කාර්යබහුල වන්නේ පවතින මේ සමාජයේ අන්තිම කාලයේ ජීවත් වන නිසා පමණක් නොවෙයි. අප එම කාර්යයේ නියැලෙන්නේ දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට දායක වීම සඳහායි. දෙවිගේ කැමැත්ත මිනිසුන් දැනගන්නවාට අප තුළ ආශාවක්ද තිබෙනවා. මිනිසුන් තමාට නමස්කාර කිරීමත් සේවය කිරීමත් ආශීර්වාද ලබාගැනීමත් දෙවිගේ කැමැත්තයි. අප ඇත්තෙන්ම සැබෑ නමස්කාරය සඳහා උද්‍යෝගිමත් සෙනඟක්.—1 තිමෝ. 4:16.

17 මිනිසුන් සඳහාත් පොළොව සඳහාත් දෙවිගේ අරමුණ ගැන අපට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය මෙන්ම අනාගතය සඳහා සැබෑ බලාපොරොත්තුවක් තබාගත හැකි ආකාරය ගැන මිනිසුන්ට අවබෝධ කර දීමට අපට හැකියි. සාතන්ගේ පාලනය යටතේ පවතින සමාජය විනාශය අද්දකින විට ඉන් ගැලවීම සඳහා කුමක් කළ යුතුද කියා පෙන්වා දෙන්න අපට පුළුවන්. (2 තෙස. 1:7-9) දෙවිගේ දවස පැමිණීම ප්‍රමාදයි කියා සිතා ඒ ගැන අධෛර්යයට පත් වෙනවා වෙනුවට සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමට තවමත් කාලය තිබීම ගැන අප සතුටු වන්නේ නැද්ද! (මීකා 7:7; හබ. 2:3) අපට උද්‍යෝගය වර්ධනය කරගත හැකි ආකාරය ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබට පිළිතුරු දිය හැකිද?

• උද්‍යෝගයෙන් දේවසේවයේ නියැලීමට යේසුස්ව පෙලඹුවේ කුමක්ද?

• බයිබලයේ උද්‍යෝගය යන වචනය භාවිත කර තිබෙන්නේ කොහොමද?

• සැබෑ නමස්කාරය සඳහා උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමට අපව පොලඹවන හේතු මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

තම පියාගේ කැමැත්ත කිරීමත් ජනයාට ප්‍රේම කිරීමත් යේසුස් තම ජීවිතයේ වැදගත්ම දේ ලෙස සැලකුවා

[10වන පිටුවේ පින්තූරය]

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා