Skip to content

පටුනට යන්න

‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය දැන් උදා වී ඇත’

‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය දැන් උදා වී ඇත’

‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය දැන් උදා වී ඇත’

‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය දැන් උදා වී ඇත. ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.’—2 කොරි. 6:2.

1. යම් නිශ්චිත කාලයක් තුළ අප කළ යුතු දේ ගැන අපට අවබෝධයක් තිබිය යුත්තේ ඇයි?

“අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා සලමොන් පැවසුවා. (දේශ. 3:1) නියමිත කාලය තුළදී කළ යුතු නියමිත දේ කුමක්ද කියා අවබෝධ කරගැනීමේ වැදගත්කම සලමොන් එහිදී කාවැද්දුවා. උදාහරණයකට ගොවිතැන් කිරීමට, ගමන්බිමන් යෑමට හා ව්‍යාපාරික කටයුතු වැනි දේ කිරීමට නියමිත කාලයක් තිබෙනවා. අපිට ලැබී තිබෙන කාලය තුළදී අප කළ යුතු වඩාත් වැදගත්ම කාර්යය කුමක්ද කියා තීරණය කළ යුතුයි. වෙනත් විදිහකින් පවසනවා නම් මුල් තැන දිය යුතු දේවල් සම්බන්ධයෙන් අපට හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

2. තමා ජීවත් වූ කාලය ගැන යේසුස්ට හොඳ අවබෝධයක් තිබූ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

2 යේසුස් පොළොවේ සිටියදී ඔහු ජීවත් වූ කාලය ගැනත් ඒ කාලයේදී කළ යුත්තේ කුමක්ද යන්න ගැනත් ඔහුට පැහැදිලි අවබෝධයක් තිබුණා. තමා ජීවත් වන්නේ ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි බොහොමයක් ඉටු වන කාලයක බව ඔහුට අවබෝධයක් තිබුණා. (1 පේතෘ. 1:11; එළි. 19:10) ඒ නිසා තමා පොරොන්දු වූ ගැලවුම්කරු බවට පැහැදිලි සාක්ෂි ලබා දීම සඳහා යේසුස් බොහෝ දේ කළ යුතු වුණා. ඊට දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම සහ තමා සමඟ එම රාජ්‍යයේ හවුල් පාලකයන් ලෙස පිරිසක්ව තෝරාගැනීම අයත්. එමෙන්ම ක්‍රිස්තියානි සභාව පිහිටුවීමටද ඔහු ක්‍රියා කළ යුතු වුණා. එමගින් පොළොව කෙළවර දක්වා ශුභාරංචිය ව්‍යාප්ත කිරීමටත් තමාගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීමටත් හැකි වන බව ඔහු දැන සිටියා.—මාක් 1:15.

3. තමා ජීවත් වූ කාලය ගැන යේසුස්ට තිබූ අවබෝධය ඔහුගේ ක්‍රියාවලට බලපෑවේ කොහොමද?

3 යේසුස් තම පියාගේ කැමැත්ත උද්‍යෝගයෙන් ඉටු කළේ තමා ජීවත් වූ කාලය ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබූ නිසයි. ඔහු තම ගෝලයන්ට එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (ලූක් 10:2; මලා. 4:5, 6) යේසුස් මුලින්ම 12දෙනෙක්වද පසුව 70දෙනෙක්වද තෝරාගෙන ඔවුන්ට නිශ්චිත උපදෙස් ලබා දී “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියා දේශනා කරන්න කියා පැවසුවා. යේසුස්ද එම කාර්යයෙහි නියැලුණු බව බයිබලයේ සඳහන් මෙම වදන්වලින් පැහැදිලියි. “යේසුස් තම ගෝලයන් දොළොස්දෙනාට උපදෙස් දුන් පසු එතැනින් පිටත් වී අවට නුවරවල ඉගැන්වීමටත් දේශනා කිරීමටත් ගියේය.”—මතෙ. 10:5-7; 11:1; ලූක් 10:1.

4. පාවුල් යේසුස්ව අනුකරණය කළේ කොහොමද?

4 උද්‍යෝගය හා කැපවීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්. පාවුල්ද යේසුස්ව අනුකරණය කළා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන ආකාරයටම ඔබත් මාව අනුකරණය කරන්න” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (1 කොරි. 11:1) පාවුල් ක්‍රිස්තුස්ව අනුකරණය කළ මූලික ක්‍රමය වූයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තමන්ට හැකි උපරිමය කිරීමයි. ඔහු සභාවලට ලියූ ලිපිවල මේ ආකාරයෙන් සඳහන් කළා. ‘කම්මැළි නොවන්න,’ “යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න,” “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න,” ‘ඔබ කුමක් කළත් යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.’ (රෝම 12:11; 1 කොරි. 15:58; කොලො. 3:23) දමස්කයට යන අතරමඟදී යේසුස්ව දර්ශනය වූ ආකාරය පාවුල්ට කිසිදා අමතක නොවුණු බව ස්ථිරයි. එමෙන්ම යේසුස්, අනනියස්ට පැවසූ මේ දේ අනනියස් පාවුල්ට පවසන්න ඇති. “මේ මිනිසාව විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඔහු මගේ නාමය ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත් ප්‍රකාශ කරයි.” එයද පාවුල්ගේ මතකයේ තිබුණා විය හැකියි.—ක්‍රියා 9:15; රෝම 1:1, 5; ගලා. 1:16.

‘විශේෂ අනුමැතිය ඇති කාලය’

5. උද්‍යෝගයෙන් දේවසේවය කිරීමට පාවුල් තුළ පෙලඹීමක් ඇති වුණේ ඇයි?

5 පාවුල් දේවසේවයේ යෙදෙන විට ඔහුට තිබූ උද්‍යෝගය හා ධෛර්යය ක්‍රියා පොත කියවද්දී අපිට පැහැදිලි වෙනවා. (ක්‍රියා 13:9, 10; 17:16, 17; 18:5) තමා ජීවත් වූ කාලය ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. ඒ ගැන ඔහු පැවසුවේ, “දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත. ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත” කියායි. (2 කොරි. 6:2) ඔහු එහිදී සඳහන් කරන්නේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දෙයයි. ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීමේ දිනය උදා වුණේ, බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී ක්‍රිස්තු පූර්ව 537දී ඔවුන් තම මව්බිමට පැමිණි විටයි. (යෙසා. 49:8, 9) එසේනම් පාවුල් පැවසූ දෙයින් අදහස් කළේ කුමක්ද? ඊට පිළිතුර දැනගැනීම සඳහා අවට පාඨ සලකා බලමු.

6, 7. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලබා දී තිබෙන විශේෂ වරප්‍රසාදය කුමක්ද? අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහාය වන්නේ කවුරුන්ද?

6 පාවුල් තමන්ටත් සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ලැබී තිබෙන විශේෂ වරප්‍රසාදයක් ගැන සඳහන් කළා. (2 කොරින්ති 5:18-20 කියවන්න.) දෙවි විශේෂ අරමුණක් සඳහා එනම් ‘ඔහු සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයක්’ සඳහා ඔවුන්ව තෝරාගෙන තිබෙන බව ඔහු පැවසුවා. ඒ අනුව අභිෂේක ලත් අය ජනයාගෙන් ඉල්ලා සිටියේ “දෙවි සමඟ සමාදාන වන්න” කියායි.

7 ඒදන් උයනේදී මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වූ දා සිට මුළු මිනිස් වර්ගයාම සිටින්නේ දෙවිගෙන් ඈත් වූ තත්වයකයි. (රෝම 3:10, 23) ඒ නිසා මිනිසුන්ට දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් කිසි අවබෝධයක් නැහැ. එමෙන්ම මිනිසුන්ට දුක හා මරණය උරුම වුණා. “මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටින බව අපි දනිමු” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (රෝම 8:22) නමුත් තමන් සමඟ සමාදාන වෙන්න කියා දෙවි මිනිසුන්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තා. පාවුල්ට සහ එදා සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට භාර දුන් සේවය වූයේ එයයි. ‘දෙවිගේ අනුමැතිය ඇති කාලයේදී ගැලවීම ලබන්නේ’ යේසුස් කෙරෙහි විශ්වාසය තබන අය පමණයි. සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා “වෙනත් බැටළුවන්” එකට එකතු වී ‘දෙවිගේ අනුමැතිය ඇති කාලයෙන්’ ප්‍රයෝජන ගන්න කියා ජනයාට දිගටම ආරාධනා කරන්නේ ඒ නිසයි.—යොහ. 10:16.

8. තමා සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න කියා දෙවි කරන ආරාධනය සුවිශේෂී එකක් වන්නේ ඇයි?

8 තමා සමඟ සමාදාන වීමට දෙවි මිනිසාට ආරාධනා කිරීම ඉතා සුවිශේෂී දෙයක්. ඊට හේතුව දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැති කරගත්තේ මිනිසා විසින්ම වීමයි. දෙවිගේ පැත්තෙන් කිසිම වරදක් සිදු නොවුණත් ඔහු තමන් සමඟ සමාදාන වීමට මිනිසුන්ට ආරාධනා කරනවා. (1 යොහ. 4:10, 19) ඒ සඳහා දෙවි ගත් පියවර ගැන පාවුල් මෙසේ සඳහන් කළා. ‘මිනිස් වර්ගයා කළ වැරදිවලට දඬුවම් නොදී තමන් සමඟ සමාදාන වීමට දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් මඟ උදා කර ඇත. එම සමාදාන වීමේ පණිවිඩය දෙවි භාර දුන්නේ අපටය.’—2 කොරි. 5:19; යෙසා. 55:6.

9. දෙවිගේ කරුණාව අගය කරන බව පාවුල් පෙන්නුවේ කොහොමද?

9 යේසුස්ගේ ජීවිත පූජාව ලබා දීමෙන් තමන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් පව්වලට සමාව ලබාගැනීමටත් දෙවි අපට මාර්ගය විවෘත කර දී තිබෙනවා. එමෙන්ම දෙවි තමා සමඟ සමාදාන වීම සඳහා මිනිසුන්ට ආරාධනා කිරීමට නියෝජිතයන්වද එවා තිබෙනවා. (1 තිමෝති 2:3-6 කියවන්න.) උදාහරණයකට, දෙවිගේ කැමැත්ත ගැන සහ තමන් ජීවත් වූ කාලය ගැන හොඳ අවබෝධයකින් සිටි පාවුල් ‘දෙවි සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයේ’ වෙහෙස මහන්සි නොබලා නිරත වුණා. දෙවිගේ කැමැත්ත අද දිනත් වෙනස් වී නැහැ. ඔහු තවමත් තමන් සමඟ සමාදාන වීමට මිනිසුන්ට ආරාධනා කරනවා. “දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත. ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත” කියා පාවුල් පැවසූ වදන් අදටත් අදාළයි. යෙහෝවා දෙවි මොන තරම් දයාන්විත හා කරුණාවන්ත දෙවි කෙනෙක්ද!—නික්. 34:6, 7.

‘දෙවිගේ මහත් කරුණාව අමතක නොකරන්න’

10. පළමු ශතවර්ෂයේ මෙන්ම වර්තමානයේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ගැලවීම ලබා දෙන දිනය” සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙන්නේ කොහොමද?

10 දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලබන මුල්ම පිරිස වන්නේ “ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින” අයයි. (2 කොරි. 5:17, 18) ඔවුන්ට “ගැලවීම ලබා දෙන දිනය” ආරම්භ වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිටයි. එදා සිට ඔවුන්ට “සමාදාන වීමේ පණිවිඩය” ප්‍රකාශ කිරීමට භාර දී තිබෙනවා. අද දින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතුරු කොටසද ‘දෙවි සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයේ’ දිගටම නියැලෙනවා. යොහන් දර්ශනයෙන් දුටු ආකාරයට දේවදූතයන් සතරදෙනෙක් ‘පොළොවට සුළං නොවදින පිණිස පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටින’ බව ඔවුන් අවබෝධ කරගෙන තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ “ගැලවීම ලබා දෙන දිනය” තවම අවසන් වී නොමැති බවයි. එනම් අපි තවමත් සිටින්නේ ‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලයේයි.’ (එළි. 7:1-3) ඒ නිසා අභිෂේක ලත් ඉතුරු අය 20වෙනි ශතවර්ෂය ආරම්භයේ සිට ‘දෙවි සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයේ’ වඩාත් උද්‍යෝගයෙන් නියැලෙනවා.

11, 12. විසිවෙනි සියවසේ මුල් කාලයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තමන් ජීවත් වන කාලය ගැන අවබෝධයෙන් සිටි බව පෙන්වූයේ කොහොමද? (15වෙනි පිටුවේ පින්තූරය බලන්න.)

11 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන සඳහන් පොතේ මෙවැනි දෙයක් පවසනවා. “තමන් ජීවත් වන්නේ අස්වැන්න නෙළන කාලයක බවත් ජනයාට ගැලවීමේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න අවස්ථාවක් ලබා දිය යුතු බවත්” 20වෙනි ශතවර්ෂය ආරම්භයේදී “සහෝදර සී. ටී. රසල් සහ ඔහු සමඟ සිටි අය අවබෝධ කරගත්තා.” (Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom) ඉන්පසු ඔවුන් කළේ කුමක්ද? තමන් ‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලයේ’ ජීවත් වන බව තේරුම්ගත් ඔවුන් ජනයාට ආගමික මෙහෙයකට පැමිණෙන්න කියා ආරාධනා කිරීමට පමණක් සීමා වුණේ නැහැ. තමන් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් නම් කරන්නේ එයයි. නමුත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට විවිධ ක්‍රම යොදාගත්තා. ඊට නවීන තාක්ෂණය යොදාගැනීමද ඇතුළත්.

12 එම කුඩා කණ්ඩායම ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා පත්‍රිකා, සඟරා සහ පොත් යොදාගත්තා. එමෙන්ම ඔවුන්ගේ දේශන ඇතුළත් විවිධ ලිපි බොහෝ පුවත්පත්වල පළ කළා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ගුවන්විදුලියෙන් බයිබලය මත පදනම් කතා දේශීයව මෙන්ම වෙනත් රටවලත් ප්‍රචාරය කළා. චිත්‍රපට නිෂ්පාදකයන් විසින් ශබ්ද හා චලන රූප සහිත චිත්‍රපට නිපදවන්න පෙර සිටම ඔවුන් එම තාක්ෂණය යොදාගෙන චිත්‍රපට නිෂ්පාදනය කළා. මෙලෙස ඔවුන් උද්‍යෝගයෙන් කළ සේවයේ ප්‍රතිඵල මොනවාද? අද වන විට මිලියන හතකට වඩා වැඩි පිරිසක් ඊට හොඳින් ප්‍රතිචාරය දක්වා ඇති අතර “දෙවි සමඟ සමාදාන වන්න” යන පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔවුන්ද එක් වී තිබෙනවා. ඇත්තෙන්ම ඒ කාලයේ සිටි යෙහෝවා දෙවිගේ සේවකයන් සීමිත පහසුකම් මැද වුවද ඔවුන්ට හැකි උපරිමයෙන් සේවය කළා. ඔවුන් අපට කදිම ආදර්ශයක්.

13. දෙවිගේ අරමුණ කුමක්ද?

13 ‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය’ ගැන පාවුල් පැවසූ දේ අදටත් අදාළයි. යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා අපට දෙවි සමඟ සමාදාන වීමට අවස්ථාව ලබා දීම ගැන අපි ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! ඒ ගැන සතුටු වන අප එතැනින් නතර නොවී පාවුල් පැවසූ මේ දේ සිතට ගනිමු. “එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න.” (2 කොරි. 6:1) මන්ද දෙවිගේ අරමුණ වන්නේ ‘මුළු මිනිස් වර්ගයාම ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ සමාදාන’ වෙනවා දැකීමයි.’—2 කොරි. 5:19.

14. බොහෝ රටවල සිදු වන වෙනස කුමක්ද?

14 මිනිසුන්ගෙන් වැඩිදෙනෙකුව සාතන් විසින් අන්ධකර ඇති නිසා දෙවි ගැනවත් ඔහුගේ අරමුණු ගැනවත් කිසිවක් ඔවුන් දන්නේ නැහැ. තවමත් බොහෝදෙනෙක් සිටින්නේ දෙවිගෙන් ඈත් වූ තත්වයකයි. (2 කොරි. 4:3, 4; 1 යොහ. 5:19) මිනිසුන් මෙතරම් දුක් වේදනාවලට මුහුණ දෙන්නේ දෙවිගෙන් ඈත් වීම නිසා කියා පිළිගන්න අද ලෝකයේ සිදු වන දරුණු දේවල් හේතු වී තිබෙනවා. අප ප්‍රකාශ කරන පණිවිඩයට එතරම් උනන්දුවක් නොදැක්වූ ජනයා සිටින රටවල පවා දැන් බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන දෙවි සමඟ සමාදාන වීමට පියවර ගනිමින් සිටින්නේ ඒ නිසයි. “දෙවි සමඟ සමාදාන වන්න” කියා මිනිසුන්ට පැවසීම පෙරට වඩා වැඩි උද්‍යෝගයකින් කළ යුතු කාලයක ජීවත් වන බව ඔබ තේරුම්ගෙන සිටිනවාද?

15. ජනයා ආශා කරන පණිවිඩයක් ඔවුන්ට ප්‍රකාශ කරනවා වෙනුවට අප ඔවුන්ට දැන්විය යුත්තේ කුමක්ද?

15 අප සතු කාර්යය වන්නේ දෙවිට නමස්කාර කරනවා නම් මිනිසුන්ගේ සියලු ගැටලු විසඳගන්න දෙවි උපකාර කරන බවත් ඒ තුළින් ඔවුන්ට සහනයක් ලැබිය හැකි බවත් පැවසීම පමණක් නොවෙයි. නමුත් පූජක පක්ෂය නම් කරන්නේ එයයි. බොහෝදෙනෙක් පල්ලි යන්නේද ඒ බලාපොරොත්තුව ඇතුවයි. (2 තිමෝ. 4:3, 4) අපගේ සේවයේ අරමුණ එය නොවෙයි. අප ජනයාට ප්‍රකාශ කරන පණිවිඩය වන්නේ මිනිසුන්කෙරෙහි දෙවිට තිබෙන ප්‍රේමය නිසා ඔහු, යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත මිනිසුන්ගේ පව්වලට සමාව දෙන බවයි. ඒ තුළින් මිනිසුන්ට දෙවි සමඟ සමාදාන වීමට හැකි වෙනවා. (රෝම 5:10; 8:32) කෙසේවෙතත් ‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය’ ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිතයි.

“දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න”

16. ධෛර්යයෙන් හා උද්‍යෝගයෙන් සේවය කිරීමට පාවුල්ට හැකි වුණේ කොහොමද?

16 සැබෑ නමස්කාරය වෙනුවෙන් අපට තිබෙන උද්‍යෝගය වර්ධනය කරගෙන එය දිගටම පවත්වාගැනීමට අපට කුමක් කළ හැකිද කියා පාවුල්ගේ ආදර්ශයෙන් සලකා බලමු. සමහර අය ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී නිසා ඔවුන්ට විවෘතව අදහස් ප්‍රකාශ කරන්න හා මිත්‍රශීලී වන්න අපහසු විය හැකියි. කෙසේවෙතත් උද්‍යෝගය කියන්නේ තමන්ගේ හැඟීම් හෝ උනන්දුව පිටතින් පෙන්වීම පමණක් නොවෙයි. එමෙන්ම එය කෙනෙකුගේ පෞද්ගලිකත්වය මත රඳා පවතින දෙයක්ද නොවෙයි. පාවුල් උනන්දු කළේ “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න” කියායි. (රෝම 12:11) යේසුස්ගේ නියෝජිතයන්ට ධෛර්යයෙන් හා විඳදරාගැනීමෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකි වුණේ ඔවුන්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණු නිසයි. යේසුස් පාවුල්ව තම අනුගාමිකයෙක් ලෙස තෝරාගත් දා සිට ඔහු රෝමයේ සිරකරුවෙකු ලෙස මිය ගිය දවස දක්වා එනම් අවුරුදු 30කට වඩා වැඩි කාලයක් පුරා තමාට තිබූ උද්‍යෝගය පාවුල් අඩු කරගත්තේ නැහැ. ඔහුට එසේ උද්‍යෝගයෙන් සේවය කිරීමට හැකි වුණේ ඔහු දෙවිගේ බලය මත රඳා සිටි නිසයි. ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබෙනවා’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ෆිලි. 4:13) ඔහුගේ ආදර්ශයෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි.

17. “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න” අපට පුළුවන් කොහොමද?

17 ග්‍රීක භාෂාවේ “උද්‍යෝගිමත්” යන වචනයට “උතුරනවා” යන අදහසද ඇතුළත් වෙනවා. කේතලයක ඇති වතුර දිගටම උතුරන තත්වයේ තබාගන්න නම් ඒ සඳහා ගින්දර තිබීම අවශ්‍යයි. ඒ හා සමානව දිගටම උද්‍යෝගිමත්ව සිටින්න නම් අපට දිගටම දෙවිගේ බලය අවශ්‍යයි. ඒ සඳහා දෙවි අපට දී තිබෙන සැපයුම්වලින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. නොකඩවා පෞද්ගලික පාඩම හා පවුලේ පාඩම කිරීමත් යාච්ඤා කිරීමත් රැස්වීම්වලට සහභාගි වීමත් ඊට අයත් වෙනවා. අප එසේ කරනවා නම් දිගටම ‘දෙවිගේ බලය ලබා උද්‍යෝගයෙන්’ ඔහුට සේවය කිරීමට අපට හැකියි.ක්‍රියා 4:20; 18:25 කියවන්න.

18. දෙවිට කැප වූ අය ලෙස අප අවධානය දිය යුතු වැදගත්ම කාර්යය කුමක්ද?

18 දෙවිට කැප වූ ක්‍රිස්තියානීන් ලෙස අපට කුමක් කළ හැකිද? යම් දෙයකට කැප වූ පුද්ගලයෙක් මුළු අවධානයම යොමු කරන්නේ ඒ දේ කෙරෙහි පමණයි. ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන්න උත්සාහ කළත් ඔහු ඊට ඉඩ දෙන්නේවත් අධෛර්යයට පත් වන්නේවත් නැහැ. දෙවිට කැප වූ අය ලෙස අපගේ එකම අධිෂ්ඨානය විය යුත්තේ දෙවි අපෙන් බලාපොරොත්තු වන ඕනෑම දෙයක් කිරීමයි. යේසුස් ක්‍රියා කළෙත් එලෙසයි. (හෙබ්‍රෙ. 10:7) අද දින දෙවිගේ කැමැත්ත වන්නේ හැකි සෑම කෙනෙක්ම ඔහු සමඟ සමාදාන වෙනවා දැකීමයි. ඒ නිසා අප සියලුදෙනාම යේසුස්ව හා පාවුල්ව අනුකරණය කරමින් වඩා වැදගත් කාර්යය වන ශුභාරංචිය උද්‍යෝගයෙන් ප්‍රකාශ කරමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• පාවුල්ට හා සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට භාර දුන් “සේවය” කුමක්ද?

• අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතුරු කොටස ‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලයෙන්’ උපරිම ප්‍රයෝජන ගෙන තිබෙන්නේ කොහොමද?

• ක්‍රිස්තියානීන්ට “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න” පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

යේසුස්ව දර්ශනය වීම පාවුල් කිසිදා අමතක නොකළ බව ස්ථිරයි