Skip to content

පටුනට යන්න

ගයමු ගී දෙවි යෙහෝවාට

ගයමු ගී දෙවි යෙහෝවාට

ගයමු ගී දෙවි යෙහෝවාට

“ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.”—ගීතා. 146:2.

1. දාවිත් සමහර ගීතිකා රචනා කිරීමට පෙලඹුණේ ඇයි?

දාවිත් තරුණ කාලයේදී ඔහුගේ පියාගේ බැටළු රැළවල් රැකබලා ගනිමින් බෙත්ලෙහෙම් තණ පිට්ටනිවල පැය ගණන් ගත කළා. ඒ කාලයේදී ඔහු, අහසේ තාරකා, ‘වනසතුන්, අහසේ පියාසර කරන කුරුල්ලන්’ වැනි යෙහෝවා දෙවිගේ පුදුමාකාර නිර්මාණයන් නිරීක්ෂණය කළා. ඒ දේවල් ඔහුට මොන තරම් බලපෑමක් ඇති කළාද කියනවා නම් ඔහුගේ මනසට නැඟුණු සිතුවිලි ගීතයට නඟන්නත් ඒ තුළින් ඔහු දුටු දේවල් නිර්මාණය කළ තැනැත්තාට ප්‍රශංසා කරන්නත් ඔහු පෙලඹුණා. ඔහු රචනා කළ ගීතිකා බොහොමයක් ගීතාවලිය පොතේ සඳහන් වෙනවා. *ගීතාවලිය 8:3, 4, 7-9 කියවන්න.

2. (අ) සංගීතය පුද්ගලයෙකු කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරනවාද? උදාහරණයක් දෙන්න. (ආ) ගීතාවලිය 34:7, 8 හා 139:2-8 දක්වා පදවලින් දාවිත් හා දෙවි අතර තිබූ මිත්‍රත්වය ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2 දාවිත් සංගීතය ගැන ඔහු සතු හැකියාවන් දියුණු කරගත්තේ ඔහු බැටළුවන් බලාගත් කාලයේදී විය හැකියි. ඔහු සංගීතය සම්බන්ධයෙන් කොතරම් දක්ෂ වුණාද කියනවා නම් සාවුල් රජ ඉදිරියේ වීණාව වාදනය කිරීම සඳහා ඔහුට ආරාධනා කළා. (හිතෝ. 22:29) සාවුල් රජුට වියවුල්සහගත සිතුවිලි ඇති වූ විට දාවිත් වාදනය කළ සංගීතය නිසා ඔහුගේ මනස සන්සුන් කරගැනීමට හැකි වුණා. අද දිනත් මනසට සහනයක් ලබා දීම සඳහා සංගීතය හොඳ ඔසුවක් ලෙස සැලකෙනවා. දාවිත් සංගීතය වාදනය කරන සෑම අවස්ථාවකම “සාවුල් රජුගේ සිත සන්සුන්” වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමු. 16:23) දෙවිට ගරුබිය දැක්වූ මෙම සංගීතඥයා හා ගීත රචකයාගේ ගීත අද දිනට පවා ඉතා වටිනාකමක් තිබෙනවා. එම ගීතිකා ලියා අවුරුදු 3,000කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණත් අදටත් විවිධ රටවල සිටින අයට මෙන්ම විවිධ තත්වයන්ට මුහුණ දෙන අයට සහනයක් හා බලාපොරොත්තුවක් ලබාගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත් වී තිබෙනවා.—2 ලේක. 7:6; ගීතාවලිය 34:7, 8; 139:2-8 කියවන්න; ආමො. 6:5.

සැබෑ නමස්කාරයේදී සංගීතයට හිමි තැන

3, 4. ගීතිකා ගායනා කිරීම සැබෑ නමස්කාරයේ කොටසක් කිරීමට දාවිත් රජ සිදු කළේ කුමක්ද?

3 දාවිත්ට තිබුණු දක්ෂතාව ඔහු යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා උපරිමයෙන් යොදාගත්තා. ඔහු රජ වූ පසු ශුද්ධ කූඩාරමේ සිදු වන නමස්කාර කටයුතුවලට සංගීතය ඇතුළත් කළා. ශුද්ධ කූඩාරමේ සේවය කළ ලෙවීවරුන්ගෙන් දහයෙන් එකකට එනම්, 4,000කට පමණ නියම වී තිබුණේ “සංගීත භාණ්ඩ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා” කිරීමයි. ඒ අය අතර සිටි 288දෙනෙක් ‘යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා හොඳින් පුහුණුව ලැබූ ඉතා දක්ෂ’ අයයි.—1 ලේක. 23:3, 5; 25:7.

4 ලෙවීවරු ගායනා කළ ගීත බොහොමයක් රචනා කළෙත් ඒවායේ ගී තනු නිර්මාණය කළෙත් දාවිත් රජුයි. එම ගීතිකා ගායනා කරනවා ඇසුණු ඕනෑම ඊශ්‍රායෙල්වරයෙකුට එමගින් විශාල බලපෑමක් ඇති වෙන්න ඇති. ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට රැගෙන ආ විට ‘දාවිත් රජ ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට යම් මඟ පෙන්වීම් දුන්නා. ඔවුන්ගේ සහෝදරයන් වූ ගායක පිරිස ඔවුන්ට නියම කළ ස්ථානවල සිටිය යුතු බවත් වීණා, කුඩා වීණා, අත්තාළම් යනාදි සංගීත භාණ්ඩ ඔවුන් මහත් හඬින් වාදනය කළ යුතු බවත් එම නාදයට තමන්ගේ ප්‍රීතිමත් හඬ එකතු කළ යුතු බවත් ඔහු ඔවුන්ට පැවසුවා.’—1 ලේක. 15:16.

5, 6. (අ) දාවිත් රජුගේ කාලයේ ගීතිකා ගායනා කිරීම සඳහා වැඩි අවධානයක් දුන්නේ ඇයි? (ආ) නමස්කාරයේදී ගීතිකාවලට විශේෂ තැනක් හිමි වී තිබුණු බව අප දන්නේ කොහොමද?

5 දාවිත් රජ සංගීතයට හා ගායනයට වැඩි අවධානයක් දුන්නේ ඔහු දක්ෂ සංගීතඥයෙක් වූ නිසා පමණක්ද? නැහැ. ඊට තවත් හේතුවක් තිබුණා. හෙසකියා රජගේ කාලයේදී දේවමාලිගාවේ සේවාවන් නැවත ආරම්භ කළ අවස්ථාව ගැන බයිබලයේ සඳහන් දෙයකින් එය පැහැදිලි වෙනවා. “[හෙසකියා] රජුගේ අණ පරිදි ලෙවීවරු යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්, වීණා සහ කුඩා වීණා අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද අනාගතවක්තෘවරුන් වූ ගාත් සහ නාතන් මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.”—2 ලේක. 29:25.

6 ගීතිකා තුළින් තමන්ට ප්‍රශංසා කරන්න කියා අනාගතවක්තෘවරු මාර්ගයෙන් උපදෙස් ලබා දුන්නේ යෙහෝවා දෙවියි. ගීත රචනා කරන්න කාලය අවශ්‍ය වූ නිසා ලෙවී ගෝත්‍රයට අයත් ගායකයන්ට වෙනත් වගකීම් පැවරුවේ නැහැ. සමහරවිට ඒවා පුහුණු වෙන්නත් කාලය අවශ්‍ය වුණා විය හැකියි.—1 ලේක. 9:33.

7, 8. අප ගීතිකා ගායනා කරන විට දක්ෂකමට වඩා වැදගත් වන්නේ කුමක්ද?

7 “මට ගායනා කරන්න බැරි නිසා මට කවදාවත් ශුද්ධ කූඩාරමේ ගායක කණ්ඩායමට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ” කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතිකා ගායනා කළ සියලුම ලෙවීවරු දක්ෂ අය නෙවෙයි. එම කණ්ඩායමේ ‘ආධුනිකයන්ද’ සිටි බව පළමුවෙනි ලේකම් 25:8හි සඳහන් වෙනවා. අනික් අතට ඊශ්‍රායෙලයේ වෙනත් ගෝත්‍රවලත් දක්ෂතා තිබෙන ගායකයන් හා වාදකයන් සිටින්න ඇති. ඒත් යෙහෝවා දෙවි එම පැවරුම ලබා දුන්නේ ලෙවීවරුන්ට පමණක් බව මතක තබාගන්න. දෙවිට විශ්වාසවන්තව සිටි එම ලෙවීවරුන් ‘ප්‍රවීණයන්’ හෝ ‘ආධුනිකයන්’ වුණත් ඒ සියලුදෙනාම ඔවුන්ට හැකි උපරිමයෙන් එම කාර්යයෙහි හවුල් වූ බවට කිසිම සැකයක් නැහැ.

8 දාවිත්ට සංගීතයට ලොකු ඇල්මක් තිබුණු අතර ඒ සඳහා ඔහුට දක්ෂකමක්ද තිබුණා. නමුත් දෙවි බලන්නේ කෙනෙකුගේ දක්ෂකම විතරද? දාවිත්ම ගීතාවලිය 33:3හි මෙසේ ලිව්වා. “මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.” ඉන් පැහැදිලි වන්නේ මුළු හදවතින්ම එනම්, අපිට හැකි උපරිමයෙන් දෙවිට ප්‍රශංසා කිරීමට හවුල් විය යුතු බවයි.

දාවිත්ගේ කාලයෙන් පසු

9. සලමොන්ගේ කාලයේ දේවමාලිගාව කැප කරන අවස්ථාවට ඔබ සහභාගි වුණා නම් ඔබට දැකගැනීමටත් සවන් දීමටත් හැකි වන්නේ කුමකටද?

9 සලමොන් රජුගේ පාලන කාලයේ සැබෑ නමස්කාරය වෙනුවෙන් සංගීතයට විශේෂ තැනක් දී තිබුණා. දේවමාලිගාව කැප කරන අවස්ථාව සඳහා විශාල සංගීත කණ්ඩායමක් සහභාගි වූ අතර ඊට හොරණෑ පිඹින පූජකයන් 120දෙනෙක් ඇතුළත් වුණා. (2 ලේකම් 5:12 කියවන්න.) එම අවස්ථාව ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “හොරණෑ පිඹිමින්, ‘දෙවි යහපත්ය. ඔහුගේ මහත් ප්‍රේමය සදාකල් පවතින්නේය’ කියා ගායනා කරමින් ඔවුහු එක හඬින් යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළෝය.” ඒ සමඟම ‘දේවමාලිගාව වලාකුළකින් පිරී ගියේය.’ ඉන් පැහැදිලි වුණේ යෙහෝවා දෙවිගේ අනුමැතිය ඊට ලැබුණු බවයි. හොරණෑ හඬ හා දහස් ගණන් ගායකයන්ගේ හඬ එකට මුසු වී එක හඬක් මෙන් ඇසුණු විට රැස්ව සිටි ජනයා තුළ මොන තරම් සතුටක් හා දේවගරුබියක් ඇති වෙන්න ඇද්ද!—2 ලේක. 5:13.

10, 11. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කිරීමේදී ගීතිකා ගායනා කළ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

10 පළමු ශතවර්ෂයේදීත් දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ගීතිකා ගායනා කළා. ඔවුන් දෙවිට නමස්කාර කිරීම සඳහා රැස් වුණේ ශුද්ධ කූඩාරමක හෝ දේවමාලිගාවක නොව නිවෙස්වලයි. පීඩා සහ වෙනත් බාධා නිසා ඔවුන්ට නිදහසේ නමස්කාර කටයුතුවල හවුල් වීමට හැකි වුණේ නැතත් ඔවුන් ගීතිකා ගායනා කරමින් දෙවිට ප්‍රශංසා කළා.

11 කොලොස්සියේ සිටි සහෝදරයන්ට පාවුල් උනන්දු කළේ ‘ගීතිකාවලින්ද දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත ගයමින්ද එකිනෙකාට මඟ පෙන්වීම් ලබා දෙන්න’ කියායි. (කොලො. 3:16) පාවුල්ව සහ සීලස්ව සිරගත කළ විට ඔවුන් “යාච්ඤා කරමින් හා දෙවිට ප්‍රශංසා ගී ගයමින්” සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් ඔවුන් ළඟ ගීතිකා පොතක් තිබුණේ නැහැ. (ක්‍රියා 16:25) යම් අවස්ථාවක ඔබව සිරගත කළොත් ගීතිකා කීයක් මතකයෙන් ගායනා කරන්න ඔබට පුළුවන්ද?

12. අප ගීතිකා අගය කරන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවිට කරන නමස්කාරයේදී ගීතිකා ගායනා කිරීම ඉතා වැදගත් වන නිසා මේ ප්‍රශ්න ගැන කල්පනා කර බලමු. ‘රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීම මම වැදගත් දෙයක් ලෙස සලකනවාද? රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවල ආරම්භක ගීතිකාවට හවුල් වීම සඳහා මම වේලාසනින්ම පැමිණෙනවාද? මම ගීතිකා ගායනා කරන්නේ හැඟීමෙන්ද? සේවා පාසැල හා සේවා රැස්වීම මෙන්ම ප්‍රසිද්ධ කථාව හා මුරටැඹ පාඩම අතරතුර ගීතිකා ගායනා කිරීමට ලැබෙන අවස්ථා මම අගය කරනවාද? ගීතිකා ගායනා කිරීමට හවුල් වෙන්න කියා මම දරුවන්ට දිරිගන්වනවාද? එසේ නැත්නම් එය විවේක කාලයක් කියා සිතා දරුවන් අනවශ්‍ය ලෙස එහේ මෙහේ ඇවිදින විට මම ඊට ඉඩහරිනවාද?’ ගීතිකා ගායනා කිරීම අපගේ නමස්කාරයේ කොටසක්. ඒ නිසා අපි ‘ප්‍රවීණයන්’ වුණත් ‘ආධුනිකයන්’ වුණත් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කිරීමට හවුල් විය යුතුයි.—2 කොරින්ති 8:12 බලන්න.

කාලයත් සමඟ සිදු වන වෙනස්කම්

13, 14. රැස්වීම්වලදී මුළු හදවතින්ම ගීතිකා ගායනා කිරීමට හවුල් වීමේ ප්‍රයෝජන මොනවාද? උදාහරණයක් දෙන්න.

13 මීට වසර සියයකටත් කලින් පළ වූ සයන්ස් වොච් ටවර් සඟරාවේ ගීතිකාවල ඇති වැදගත්කම ගැන මෙසේ සඳහන් වුණා. “බයිබලයේ සඳහන් ඉගැන්වීම් සිතේ රඳවාගැනීමට හැකි හොඳ ක්‍රමයක් වන්නේ ඒවා ගීතිකාවලට ඇතුළත් කර ගායනා කිරීමයි.” අප ගායනා කරන ගීතිකා බොහොමයක ඇති වචන රැගෙන තිබෙන්නේ බයිබල් පදවලිනුයි. ඒ නිසා එම ගීතිකාවල වචන පාඩම් කරගැනීමෙන් බයිබල් පද හිතේ රඳවාගැනීමට හැකි වෙනවා. අපගේ රැස්වීම්වලට ප්‍රථම වතාවට පැමිණි අයට අප ගයන ගීතිකා මහත් බලපෑමක් වී තිබෙනවා.

14 වර්ෂ 1869 එක් සැන්දෑවක සී. ටී. රසල් ඔහුගේ වැඩ අවසන් කර නිවසට පැමිණෙන විට අසල ශාලාවකින් ගීතිකා ගායනා කරන හඬක් ඔහුට ඇසුණා. ඒ කාලයේදී ඔහු දෙවි ගැන සත්‍යය සෙවීම අත්හැර තිබුණා. ඒ නිසා ඔහු තම ව්‍යාපාරික කටයුතුවලට වැඩි කාලයක් කැප කිරීමට තීරණය කර කළා. ජනයාට දෙවි ගැන සත්‍යය ඉගෙනගන්න උපකාර කිරීමට නොහැකි වුණත් අඩුම තරමින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා උපකාර කිරීමටවත් වැඩි මුදලක් හොයන්න ඔහු තීරණය කර තිබුණා. කෙසේවෙතත් ඒ ගීතිකා හඬ ඇසුණු ශාලාවට ඔහු ඇතුල් වුණා. එය අපිරිසිදු ස්ථානයක් වූ අතර එහි ආගමික මෙහෙයක් සිදු වන බව ඔහුට දැකගන්න ලැබුණා. ඔහු එහි පැත්තකින් හිඳගෙන ඊට සවන් දුන්නා. ඒ අවස්ථාවට සහභාගි වීම නිසා ලැබුණු ප්‍රයෝජන ගැන ඔහු මෙවැනි දෙයක් ලිව්වා. “බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන පොතක් කියා තිබුණු විශ්වාසය අඩු වෙමින් තිබුණු කාලයක නැවත එම විශ්වාසය වැඩි කරගන්න දෙවිගේ උපකාරය මට ලැබුණා.” ඇත්තෙන්ම එම ස්ථානයට යෑමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ ඔහුට ඇසුණු ඒ ගීතිකා හඬයි.

15. අලුත් ගීතිකා පොතක් ප්‍රකාශයට පත් කිරීමට හේතු වූයේ කුමක්ද?

15 කාලයත් සමඟම දේවවචනය ගැන අප සතු අවබෝධය වැඩි වී තිබෙනවා. එසේ සිදු වන බව හිතෝපදේශ 4:18හි පවසා තිබෙනවා. “ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි.” ඒ නිසා අප ගායනා කරන ගීතිකාවලද යම් යම් වෙනස්කම් සිදු කළ යුතුව තිබෙනවා. පසුගිය වසර 25 පුරා බොහෝ රටවල භාවිත කළේ යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න යන ගීතිකා පොතයි. * මේ වන විට විවිධ විෂයන් සම්බන්ධයෙන් අප සතු අවබෝධය වැඩි වී තිබෙන නිසා අප ඒ කාලයේ භාවිත කළ සමහර වචන දැන් භාවිත කරන්නේ නැහැ. උදාහරණයකට “නව ක්‍රමය” වෙනුවට දැන් අප භාවිත කරන්නේ “නව ලොව” කියායි. එමෙන්ම “ශුද්ධාත්මය” වෙනුවට අප භාවිත කරන්නේ “දෙවිගේ බලය” කියායි. මින් පැහැදිලි වන්නේ අපගේ ගීතිකාවලත් යම් වෙනස්කම් සිදු කළ යුතු බවයි.

16. පාවුල් එෆීස 5:19හි පැවසූ දේ අදාළ කරගැනීමට අලුත් ගීතිකා පොත අපට උපකාරවත් වන්නේ කොහොමද?

16 ඉහත සඳහන් හේතුව හා තවත් හේතු නිසා ගයමු ගී දෙවි යෙහෝවාට යන අලුත් ගීතිකා පොත ප්‍රකාශයට පත් කිරීමට පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. එම පොතේ තිබෙන්නේ ගීතිකා 135ක් පමණයි. එමෙන්ම ඒවායේ වචන සරල නිසා පහසුවෙන්ම මතක තබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ගීතිකා කිහිපයක් හෝ මතක තබාගැනීමට උත්සාහ කරන්න. එසේ කරනවා නම් ගීතිකා ගායනයට මුළු හදවතින්ම හවුල් වීමට හැකියාව ලැබෙනවා.එෆීස 5:19 කියවන්න.

ගායනා කිරීමෙන් ඔබේ අගය පෙන්වන්න

17. රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීමට නම් අප කුමන ආකල්පයෙන් වැළකී සිටිය යුතුද?

17 අපට තාලයට ගායනා කිරීමට නොහැකි නිසා රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීමෙන් වැළකී සිටිය යුතුද? නැහැ. එය තේරුම්ගැනීමට අපි උදාහරණයක් බලමු. අප කතාබහ කරන විට අපිට වචන ‘වරදිනවා.’ (යාකො. 3:2) එය නිදහසට කරුණක් කරගෙන අප ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවාද? නැහැ. එසේනම් අපට තාලයට ගායනා කරන්න බැරි නිසා ගීතිකා ගායනා කිරීමෙන් දෙවිට ප්‍රශංසා කිරීමෙන් වැළකී සිටීම සාධාරණද? “මනුෂ්‍යයාට මුඛයක් දුන්නේ” යෙහෝවා දෙවියි. එයින් ඔහුට ප්‍රශංසා ගී ගයනවා ඇසෙද්දී ඔහු මොන තරම් සතුටු වෙනවා ඇද්ද!—නික්. 4:11.

18. බොහෝ සහෝදර සහෝදරියන්ට ගීතිකාවලට හුරු වීමට උපකාරයක් වී තිබෙන්නේ කුමක්ද?

18 අලුත් ගීතිකාවලට හුරු වීම සඳහා සංගීතය අඩංගු CD තැටි බොහෝ සහෝදර සහෝදරියන්ට මහත් උපකාරයක් වී තිබෙනවා. නිවසේදී එම සංගීතයට සවන් දෙන අතරතුර ගීතිකා පොත යොදාගෙන ගායනා කිරීමට පුහුණු වෙනවා නම් ඔබට වචන මතක තබාගන්නත් රාජ්‍ය ශාලාවේදී ගීතිකා හොඳින් ගායනා කරන්නත් හැකියාව ලැබෙනවා.

19. එක්රැස්වීම් හා සමුළු සඳහා සංගීතය සපයන්න මොන වගේ වෑයමක් දරනවාද?

19 එක්රැස්වීම් හා සමුළුවල සැසිවාර ආරම්භයේදී ඇසෙන සංගීතය ගැන දැන් අපි සලකා බලමු. එම සංගීතය එතරම් වැදගත් නැහැයි කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් ඒවා සූදානම් කරන්න දැඩි වෑයමක් සහ මහන්සියක් දරන බව ඔබ දැන සිටියාද? ඒ සඳහා මුලින්ම කරන්නේ අවශ්‍ය සංගීතය තෝරාගැනීමයි. පසුව සංගීත කණ්ඩායමේ සිටින අයට ඒ අය වාදනය කරන සංගීත භාණ්ඩවලට අනුව අවශ්‍ය ස්වර ලියා දෙනවා. එම කණ්ඩායමට සාමාජිකයන් 64දෙනෙක් ඇතුළත් වෙනවා. පසුව ඔවුන් පුහුණු වී පෙරහුරු කර නිව් යෝර්ක් පැටසන්හි පිහිටි ශබ්දාගාරයේ ඒවා පටිගත කරනවා. එම කණ්ඩායමට අයත් දහදෙනෙක් ජීවත් වන්නේ එක්සත් ජනපදයේ නොවෙයි. සංගීත කණ්ඩායමට අයත් සියලුදෙනාම ඔවුන්ට ලැබී තිබෙන පැවරුම වරප්‍රසාදයක් ලෙස සලකා එය බොහෝ සෙයින් අගය කරනවා. ඔවුන් ගන්නා වෑයම අගය කරන බව අපටත් පෙන්විය හැකියි. එසේ කළ හැක්කේ එක්රැස්වීමේ හෝ සමුළුවේ සැසිවාර සභාපති අපට අසුන්ගන්න කියා පැවසූ විගස අසුන්ගෙන සාවධානව සංගීතයට සවන් දීමෙනුයි.

20. ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

20 අප ගීතිකා ගායනා කරමින් දෙවිට ප්‍රශංසා කරන විට දෙවි ඒ ගැන ඉතා සතුටු වෙනවා. ඔහු එය ඉතා වැදගත් දෙයක් ලෙස සලකනවා. ඒ නිසා අප නමස්කාරය සඳහා එක් රැස් වන විට ගීතිකා ගායනයට හවුල් වී දෙවිගේ සිත සතුටු කරමු. අප ප්‍රවීණයන් වුණත් ආධුනිකයන් වුණත් ‘යෙහෝවා දෙවිට ගී ගයමින්’ ඔහුට ප්‍රශංසා කරමු.—ගීතා. 104:33.

[පාදසටහන්වල]

^ 1 ඡේ. දාවිත්ගේ මරණයෙන් සියවස් දහයකට පමණ පසු ගැලවුම්කරු ඉපදුණු අවස්ථාවේදී එම ආරංචිය දේවදූතයන් දැනුම් දුන්නේ බෙත්ලෙහෙම් තණ පිට්ටනිවල බැටළුවන් බලාගත්ත එඬේරුන් පිරිසකටයි.—ලූක් 2:4, 8, 13, 14.

^ 15 ඡේ. ගීතිකා 225කින් යුත් ගීතිකා පොත භාෂා 100කට වැඩි ප්‍රමාණයකින් ප්‍රකාශයට පත් කළා.

ඔබේ පිළිතුර කුමක්ද?

• නමස්කාරයේදී සංගීතයට වැදගත් තැනක් හිමි වන බව පෙන්වන බයිබලයේ සඳහන් උදාහරණ මොනවාද?

මතෙව් 22:37හි යේසුස් දුන් ආඥාව සහ මුළු හදවතින්ම ගීතිකා ගායනා කිරීම අතර ඇති සම්බන්ධය කුමක්ද?

• අප ගීතිකා අගය කරන බව පෙන්වන්න පුළුවන් ක්‍රම මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

ගීතිකා ගායනා කරන විට ඔබේ දරුවන් අනවශ්‍ය ලෙස එහේ මෙහේ යන විට ඔබ ඔවුන්ව වළක්වනවාද?

[24වන පිටුවේ පින්තූරය]

ඔබ නිවසේදී අලුත් ගීතිකා පුහුණු වෙනවාද?