Skip to content

පටුනට යන්න

ඒදන් උයන ඇත්තටම තිබුණාද?

ඒදන් උයන ඇත්තටම තිබුණාද?

ඒදන් උයන ඇත්තටම තිබුණාද?

ආදම්, ඒව සහ ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් විස්තරය සමහරවිට ඔබ අසා ඇති. එය බයිබලයෙන්ම කියවා දැනගන්න ඔබ කැමතිද? (උත්පත්ති 1:26–3:24) අපි එම වාර්තාව සාරාංශයක් ලෙස දැන් ඔබට විස්තර කරන්නම්.

යෙහෝවා දෙවි * භූමියේ දූවිල්ලෙන් මිනිසෙකු නිර්මාණය කර ඔහුට ආදම් යන නම තැබුවා. දෙවි ඔහුව පදිංචි කළේ ඒදන්හි පිහිටි අලංකාර උයනෙයි. ඒ උයනේ විවිධාකාර පල දරන ගස් හටගැන්වූ දෙවි එයට හොඳින් ජලය ලැබෙන්නත් සැලැස්සුවා. උයන මැද “හොඳ හා නරක හඳුනාගැනීම” යන නමින් හැඳින්වූ ගසක් තිබුණා. ඒ ගසේ පල කන්න එපා කියාත් එයින් කෑවොත් මරණය අත් වෙනවා කියාත් දෙවි ඔහුට අනතුරු ඇඟෙව්වා. ආදම්ව නිර්මාණය කර යම් කලක් ගත වූ පසු දෙවි ඔහුට සහකාරියක් නිර්මාණය කර දුන්නා. ආදම්ගේම ඉළ ඇටයකින් නිර්මාණය කළ ඇයව නම් කළේ ඒව කියායි. උයන රැකබලා ගැනීමේ වගකීමත් දරුවන් බිහි කර ගණනින් වැඩි වී පොළොව පුරා මනුෂ්‍යයන්ව පදිංචි කිරීමේ වගකීමත් දෙවි ඔවුන්ට පැවරුවා.

දිනක් ඒව තනිව උයනේ සිටි අවස්ථාවක සර්පයෙක් ඇයට කතා කළා. සර්පයා ඇයට කිව්වේ උයන මැද තිබූ ගසෙන් කන්න එපා කියා දෙවි පැවසුවේ එයින් කෑවොත් ඔබ දෙවි හා සමාන වන බව දෙවි දන්න නිසා කියායි. එසේ කීමෙන් සර්පයා ඇඟෙව්වේ දෙවි ඔවුන්ට බොරු කියා ඇති බවයි. සර්පයාගේ කීමට රැවටුණු ඒව එම ගසේ පල කෑ අතර ආදම්ටත් එයින් කන්න දුන්නා. ඒ දෙදෙනාම දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට මෙන්ම සර්පයාටත් දෙවි දඬුවම් නියම කළා. ඉන්පසු ඔවුන් දෙදෙනාව ඒදන් උයනෙන් පිටමං කර දැමූ දෙවි නැවතත් ඔවුන්ට උයනට ඇතුල් වීමට නොහැකි වන ලෙස දේවදූතයන් ලවා එය මුර කළා.

එය සත්‍ය සිද්ධියක් බව විශාරදයන් සහ ඉතිහාසඥයන් කාලයකට ඉහතදී පිළිගත්තා. නමුත් වර්තමානයේ එහි නිරවද්‍යතාව ගැන බොහෝ අය ප්‍රශ්න කරනවා. ඔවුන් පවසන දේවල් හතරක් ගැන අපි දැන් සලකා බලමු. එවිට ආදම්, ඒව සහ ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් විස්තරය සැක කිරීමට පදනමක් තිබෙනවාද කියා ඔබටම පැහැදිලි කරගත හැකියි.

1. ඒදන් උයන කියලා තැනක් තිබුණේ නැහැ.

ඒදන් උයන ගැන මිනිසුන්ගේ සිත්වල ප්‍රශ්නයක් ඇති වීමට දර්ශනවාදී අදහස් හේතු වන්න ඇති. ආගම් පිළිබඳව ගැඹුරින් හැදෑරු උගතුන් සියවස් ගණනාවක් පුරා විශ්වාස කළේ ඒදන් උයන තවමත් කොහේ හරි තැනක තිබෙනවා කියායි. නමුත් අංග සම්පූර්ණයි කියා පැවසිය හැකි කිසිවක් මේ පොළොවේ නැති බවත් හැම අතින්ම පරිපූර්ණයි කියා පැවසිය හැක්කේ ස්වර්ගයට පමණක් බවත් ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන ග්‍රීක දර්ශනවාදීන් කියා සිටියා. * ඒ නිසා ඒදන් උයන ස්වර්ගයට කිට්ටු තැනක තිබිය යුතුයි කියා ආගම් පිළිබඳව හැදෑරු අය විශ්වාස කරන්න පටන්ගත්තා. ඒදන් උයන මේ පිරිහුණු ලෝකයෙන් වෙන්ව තිබීමට එය උසම උස කන්දක් මුදුනේ පිහිටා තිබුණු බවත් සමහරු විශ්වාස කරනවා. තවත් අය සිතන්නේ උත්තර ධෘවයේ හෝ දක්ෂිණ ධෘවයේ ඒදන් උයන තිබුණා කියලයි. ඊට අමතරව ඒදන් උයන හඳේ හෝ හඳට යාබදව තිබුණා කියා විශ්වාස කරන පිරිසක්ද සිටිනවා. මෙවැනි අදහස් නිසා ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් තොරතුරු සුරංගනා කතාවක් ලෙස මිනිසුන් සැලකීම පුදුමයක්ද! ඒ නිසා සමහර විශාරදයන් පවසන්නේ එවැනි උයනක් කවමදාවත් තිබුණේ නැහැ කියායි.

විවිධ අය ඒදන් උයන ගැන එකිනෙකට පටහැනි අදහස් දැරුවත් බයිබලයේ ඒදන් උයන ගැන ඉතා පැහැදිලි තොරතුරු ඇතුළත් වී තිබෙනවා. උදාහරණයකට ඒ උයන පිහිටා තිබුණේ ඒදන්හි නැඟෙනහිර දෙසින් බවත් ඒ උයනට ජලය සැපයූ ගංගාව අතුගංගා හතරකට බෙදී ගිය බවත් එහි පෙන්නුම් කරනවා. එමෙන්ම ඒ අතුගංගා හතරේ නම් සහ ඒවා ගලා ගිය දේශ පිළිබඳව විස්තරත් එහි අඩංගුයි. (උත්පත්ති 2:8-14) සමහර විශාරදයන් ඒදන් උයන තිබුණු ස්ථානය දැනගැනීම සඳහා ඒ තොරතුරු ගැන ගැඹුරින් සොයා බලා තිබෙනවා. නමුත් ඔවුන්ට එය සොයාගැනීමට හැකි වී නැහැ. ඉන් අදහස් වෙන්නේ ඒදන් උයන සහ අතුගංගා හතර ගැන බයිබලයේ සඳහන් තොරතුරු මනඃකල්පිත ඒවා බවද?

මේ ගැන සිතන්න. ඒදන් උයන තිබුණේ මීට වසර 6,000කට පමණ පෙරයි. ඒ ගැන විස්තර බයිබලයට ඇතුළත් කළේ දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් විසිනුයි. ඔහු ඒ ගැන ලියන විට ඒ සිද්ධීන් සිදු වී වසර 2,500ක් පමණ ගත වී තිබුණා. එසේනම් එතරම් කාලයක් තුළ ඒදන් උයනේ භූ ලක්ෂණ වෙනස් නොවී පවතීද? පෘථිවි පෘෂ්ඨයේ භූ ලක්ෂණ නිතරම වෙනස්වීම්වලට ලක් වෙනවා. ඒදන් උයන තිබුණායයි සිතන ප්‍රදේශය භූමිකම්පා නිතර සිදු වන ප්‍රදේශයක්. ලොව සිදු වන විශාලතම භූමිකම්පාවලින් සියයට 17ක්ම සිදු වෙන්නේ ඒ අවටයි. එමනිසා එහි තිබෙන භූ ලක්ෂණ අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අනික් අතට නෝවාගේ කාලයේ සිදු වූ මහා ජලගැල්ම හේතුවෙන් ඒදන් උයන තිබූ ස්ථානය සොයාගැනීමට නොහැකි වන තරමටම භූ විෂමතා සිදු වී තිබෙනවා. *

ඒදන් උයන තිබූ ස්ථානය සොයාගැනීමට නොහැකි වුණත් ඒ ගැන බයිබලයේ සඳහන් සමහර තොරතුරු අද දිනත් දකින්න තිබෙනවා. ඒදන් වෙතින් ගලා ගිය ගඟේ අතුගංගා හතරෙන් යුප්‍රටීස් සහ හිද්දෙකෙල් (ටයිග්‍රීස්) යන අතුගංගා දෙක අදටත් තිබෙනවා. එම ගංගා ගලා ගිය දේශවල තිබූ ස්වාභාවික සම්පත් පිළිබඳ විස්තරයක්ද බයිබලයේ අඩංගුයි.

නමුත් සුරංගනා කතාවල එවැනි පැහැදිලි විස්තර අඩංගු වී තිබෙනවාද? නැහැ. බොහෝවිට “එකමත් එක කාලෙක” කියා පටන්ගන්නා සුරංගනා කතාවල නිශ්චිත තැන් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒත් සැබෑ ඓතිහාසික සිද්ධියක් වාර්තා කරන විට නිශ්චිත තැන් ගැන සඳහන් කරනවා. ඒදන් උයන හා සම්බන්ධ විස්තරය ඊට කදිම උදාහරණයක්.

2. ආදම්ව භූමියේ දූවිල්ලෙන් සාදා ඔහුගේම ඉළ ඇටයකින් ඒවව සෑදුවා කියන කතාව විශ්වාස කරන්න බැහැ.

මිනිස් ශරීරය සෑදී තිබෙන්නේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් සහ වෙනත් මූලද්‍රව්‍යයන් එකතු වීමෙන් බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ මූලද්‍රව්‍යයන්ම පස්වලත් තිබෙනවා. ඒත් එවැනි මූලද්‍රව්‍යයන් එකතු වීමෙන් සෑදුණු ශරීරයකට ජීවිතය ලැබුණේ කොහොමද?

බොහෝ විද්‍යාඥයන් කියා සිටින්නේ රසායනික ද්‍රව්‍යයන් සංකීර්ණ අණු බවට පත් වී බෙදෙන්න පටන්ගැනීමත් සමඟම “සරල” සෛල සෑදුණු බවයි. ඉන්පසු ඒ සෛල ක්‍රමක්‍රමයෙන් බෙදී වසර මිලියන ගණනකට පසු ජීවීන් ඇති වුණා කියා ඔවුන් පවසනවා. නමුත් ඉතා සංකීර්ණ ජීවීන් එලෙස අහම්බෙන් ඇති වුණා කියා සිතිය හැකිද? ‘සරලයි’ කියා හඳුන්වන ඒක සෛලීය ජීවියෙක් පවා සිතාගත නොහැකි තරම් ඉතා සංකීර්ණයි. ඇත්තෙන්ම ජීවීන් අහම්බෙන් ඇති වුණා කියා ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉතා බුද්ධිමත් බලවත් කෙනෙක් ජීවීන්ව නිර්මාණය කළා කියා පැවසීමට පැහැදිලි සාක්ෂි තිබෙනවා. *රෝම 1:20.

කවදා හෝ දවසක ඉතා අලංකාර ලෙස ඇඳ තිබෙන චිත්‍රයක් හෝ නවීන තාක්ෂණය යොදාගෙන සාදා ඇති ඉලෙක්ට්‍රෝනික උපාංගයක් හෝ දැකීමෙන් ඔබ පුදුමයට පත් වී තිබෙනවාද? එවැනි දෙයක් ඉබේ ඇති වුණා කියා ඔබ කොහොමටවත් පවසයිද? නැහැ. එවැනි දේවල් නිර්මාණය කරන්න යම් කෙනෙක් සිටිය යුතු නම් ඊටත් වඩා අතිශයින් සංකීර්ණ මෙන්ම පුදුමසහගත මිනිස් ශරීරය නිර්මාණය කරන්න බුද්ධිමත් කෙනෙක් සිටිය යුතු නැද්ද? බයිබලයේ පැහැදිලිවම පෙන්වා තිබෙන්නේ පොළොවේ ජීවීන්ව නිර්මාණය කළේ යෙහෝවා දෙවි බවයි. ඒ සියලු ජීවීන් අතරින් දෙවි හා සමාන ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කළේ මිනිසාවයි. (උත්පත්ති 1:26) කලාව සහ තාක්ෂණය අතින් පුදුමාකාර නිර්මාණයන් බිහි කිරීමට මිනිසාට හැකි වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරු වන යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ඇතුව ඔවුන්ව නිර්මාණය කර තිබෙන නිසයි.

එවැනි අතිශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙකුට ආදම්ගේ ඉළ ඇටයෙන් ඒවව නිර්මාණය කිරීම කොහෙත්ම අපහසු කාර්යයක් නොවෙයි. * අවශ්‍ය නම් වෙන ක්‍රමයක් යොදාගෙන ඒවව නිර්මාණය කරන්න ඔහුට හැකියාව තිබුණා. නමුත් දෙවි ආදම්ගේම ඉළ ඇටයක් ගෙන ඒවව නිර්මාණය කළේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ වී යුවළක් ලෙස කිට්ටු බැඳීමක් ඇති කරගෙන “එක් කෙනෙකු මෙන්” ජීවත් වෙනවා දැකීම ඔහුගේ අරමුණ වූ නිසයි. (උත්පත්ති 2:24) විවාහ වූ පසු ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර කිට්ටු මිත්‍රත්වයක් සහ බැඳීමක් ඇති වෙන ආකාරයට දෙවි ඔවුන්ව නිර්මාණය කර තිබීමෙන් පැහැදිලි වන්නේ ඔහු ප්‍රඥාවන්ත මෙන්ම ප්‍රේමණීය නිර්මාණකරුවෙක් බව නොවේද!

ජාන විද්‍යාඥයන් පවසා සිටින්නේ සියලුම මිනිසුන් පැවතෙන්නේ එක ස්ත්‍රියකගෙන් සහ පුරුෂයෙකුගෙන් බවයි. එවැනි කරුණු කාරණා ගැන සලකා බලන විට බයිබලයේ සඳහන් තොරතුරු වැරදියි කියා පැවසිය හැකිද?

3. “හොඳ හා නරක හඳුනාගැනීම” යන වෘක්ෂයත් “ජීවන” වෘක්ෂයත් ඇත්තක් කියලා හිතන්න බැහැ.

ඉහත සඳහන් ගස් දෙක සැබෑ ගස් දෙකක් වුණත් ඒවාට අසාමාන්‍ය බලයක් තිබුණු බව බයිබලයේ පෙන්වා නැහැ. නමුත් ඒ ගස් දෙකට යෙහෝවා දෙවි සංකේතමය අර්ථ දී තිබුණා.

යම් දේවලට සංකේතමය අර්ථයක් දීම අපටත් හුරුපුරුදු දෙයක්. උදාහරණයකට ඔටුන්නක් ගැන සිතන්න. එයින් සංකේතවත් වන්නේ රාජකීයත්වයයි. එමෙන්ම රාජ යෂ්ටියෙන් සංකේතවත් වන්නේ අධිකාරියයි. එසේනම් ඒදන් උයනේ තිබූ ගස් දෙකෙන් සංකේතවත් වුණේ කුමක්ද?

හොඳ සහ නරක හඳුනාගැනීම යන නමින් හැඳින්වූ ගසෙන් සංකේතවත් කළේ හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට පමණක් බවයි. (යෙරෙමියා 10:23) එමනිසා ඒ ගසෙන් ගෙඩි කෑම දෙවිට පමණක් අයිති දෙයක් සොරාගැනීමක් වෙනවා. ජීවන වෘක්ෂයෙන් සංකේතවත් කළේ දෙවිට පමණක් ලබා දිය හැකි සදාකාල ජීවනයයි.—රෝම 6:23.

4. සර්පයෙක් කතා කළා කියන එක සුරංගනා කතාවක්.

ඒදන් උයනේදී ඒව සමඟ සර්පයෙක් කතා කළ බවට බයිබලයේ සඳහන් වාර්තාව බොහෝදෙනෙක් වරදවා තේරුම්ගෙන තිබෙනවා. නමුත් ඒ සිද්ධිය වෙනත් බයිබල් පද හා සැසඳීමෙන් ඒ සර්පයා ගැන බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකියි.

සතුන්ට කතා කරන්න නොහැකි වුණත් සතෙක් කතා කරනවා වගේ පෙනෙන්න සලස්වන්න දේවදූතයන්ට හැකියි. ඒ බව පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දැන සිටියා. උදාහරණයකට දේවදූතයෙකු ලවා යෙහෝවා දෙවි බාලාම් නමැති මිනිසාගේ බූරුදෙනට කතා කිරීමට සැලැස්වූ සිද්ධිය මෝසෙස් බයිබලයේ වාර්තා කර තිබෙනවා.—ගණන් කතාව 22:26-31; 2 පේතෘස් 2:15, 16.

කලින් දේවදූතයන්ව සිටියත් දැන් දෙවිගේ සතුරන්ව සිටින යක්ෂයාට සහ භූතයන්ටත් එවැනිම බලවත් ක්‍රම යොදාගෙන තම අරමුණු ඉටු කිරීමට හැකියාව තිබෙනවා. එය තේරුම්ගැනීම සඳහා මෝසෙස් ඊජිප්තුවට ගොස් දෙවිගේ මඟ පෙන්වීමෙන් යම් බලවත් ක්‍රියා කළ විට සිදු වූ දේ ගැන සිතන්න. ඔහු සිදු කළ ඇතැම් බලවත් ක්‍රියා ඊජිප්තුවේ සිටි කට්ටඩියන්ද කළා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ යක්ෂයාගේ සහ භූතයන්ගේ බලයෙනුයි.—නික්මයාම 7:8-12.

මෝසෙස් විසින් රචනා කළායයි සිතිය හැකි බයිබලයේ සඳහන් යෝබ් නමැති පොතේ යක්ෂයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියා විස්තර කර තිබෙනවා. එහි ඔහුව හඳුන්වා තිබෙන්නේ දෙවිගේ සියලුම සේවකයන්ට විරුද්ධව බොරු චෝදනා නඟන දුෂ්ටයෙක් ලෙසයි. (යෝබ් 1:6-11; 2:4, 5) ඒ නිසා ඒදන් උයනේදී සර්පයෙක් කතා කරනවා සේ දකින්න සලස්වා ඒවව රවටමින් දෙවිට අකීකරු වීමට ඇයව පෙලඹෙව්වේ යක්ෂයා කියා ඊශ්‍රායෙල්වරුන් හොඳින්ම දැන සිටින්න ඇති.

එදා ඒදන් උයනේදී සර්පයෙකුව යොදාගෙන ඒවව රැවට්ටුවේ යක්ෂයා කියා තහවුරු කිරීමට තිබෙන තවත් සාක්ෂියක් සලකා බලන්න. යේසුස් එක් අවස්ථාවක යක්ෂයාව “බොරුකාරයෙක්” සහ “බොරුවේ පියා” ලෙස හැඳින්වූවා. (යොහන් 8:44) යක්ෂයාව “බොරුවේ පියා” ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වන්නේ ඔහු බොරුවේ නිර්මාතෘ බවයි. උයන මැද තිබූ ගසෙන් ගෙඩි කෑවොත් අනිවාර්යයෙන්ම මිය යනවා කියා දෙවි පවසා තිබුණත් සර්පයා ඒවට පැවසුවේ එයින් කෑවොත් “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියායි. (උත්පත්ති 3:4) ඉතිහාසයේ මුල්ම බොරුව එයයි. එසේනම් සර්පයෙකු ලවා ඒ බොරුව ඒවට පැවසුවේ යක්ෂයාම බව අපට පැහැදිලියි. ඒවව රැවට්ටුවේ යක්ෂයා බව යේසුස් හොඳින්ම දැන සිටියා. යොහන්ට එළිදරව් පොත ලියන්න යේසුස් මඟ පෙන්වූ අවස්ථාවේ යක්ෂයාව “මුල් සර්පයා” කියා යේසුස් හැඳින්වූයේ ඒ නිසයි.—එළිදරව් 1:1; 12:9.

සර්පයෙක් කතා කරනවා සේ දකින්න සලස්වමින් ඒවව රැවටුවේ යක්ෂයා කියා සිතන්න අමාරුයිද? එසේනම් මෙසේ සිතන්න. රූකඩවලට කතා කරන්න නොහැකි වුණත් විවිධ කටහඬවල් මුසු කරමින් ඒවා කතා කරනවා සේ පෙනෙන්න සලස්වන්න මිනිසුන්ට පුළුවන්. එසේනම් මිනිසුන්ට වඩා බලවත් යක්ෂයාට සර්පයෙකු කතා කරන ආකාරයට ඒවව රවටන්න බැරිද?

ප්‍රබලතම සාක්ෂිය

ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් තොරතුරු පිළිගන්න බැහැ කියා බොහෝ අය ඉදිරිපත් කරන අදහස්වලට පදනමක් නැති බව දැන් ඔබට වැටහෙනවාද? ඇත්තෙන්ම බයිබලයේ සඳහන් ඒ තොරතුරු සත්‍යයයි කියා ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂි තිබෙනවා. ඒ අතරින් ප්‍රබලතම සාක්ෂිය ගැන සලකා බලන්න.

යේසුස් කිසිම දිනක බොරුවක් පැවසුවේ නැහැ. බයිබලයේ ඔහුව “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” කියා හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (එළිදරව් 3:14) ඔහු පොළොවට පැමිණීමට කලින් බොහෝ කාලයක් පුරා සිටියේ ස්වර්ගයෙයි. යේසුස්ම කියා සිටියේ “ලෝකය පවතින්න කලින්” සිටම තමා යෙහෝවා දෙවි සමඟ ස්වර්ගයේ සිටි බවයි. (යොහන් 17:5) ඒ නිසා පොළොවේ සිදු වූ සෑම දෙයක් ගැනමත් ආදම් සහ ඒව ගැනත් ඔහු හොඳින්ම දැන සිටියා.

එක් අවස්ථාවකදී විවාහය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ඇති කර තිබෙන සැලැස්ම කුමක්ද කියා පැහැදිලි කිරීමට ආදම් සහ ඒව ගැන යේසුස් සඳහන් කළා. (මතෙව් 19:3-6) ආදම් සහ ඒව මෙන්ම ඔවුන් ජීවත් වූ ඒදන් උයන මනඃකල්පිත නම් යේසුස් ඒවා සැබෑ ඒවා ලෙස විස්තර කළේ ඇයි? යේසුස් කිසිම අවස්ථාවක නොතිබූ දෙයක් තිබුණා කියා පවසමින් බොරු කියයිද? නැහැ. ඔහු පැවසුවේ ස්වර්ගයේ සිටියදී ඔහු දුටු දෙයයි. ඒදන් උයනේ ඇති වූ ගැටලුව ඔහු හොඳින්ම දැක්කා. ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ලෙස ආදම් සහ ඒව ගැන යේසුස්ම පවසා තිබෙනවා නම් ඒ තොරතුරු සත්‍යයයි කියා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍යද?

යම් කෙනෙක් ආදම්, ඒව සහ ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් තොරතුරු විශ්වාස කරන්නේ නැත්නම් ඔහුට ඒ තොරතුරු තහවුරු කළ යේසුස් කෙරෙහිද විශ්වාසයක් නැහැ. එමෙන්ම එවැනි කෙනෙකුට බයිබලයේ තිබෙන මූලික ඉගැන්වීම් සහ අපේ අනාගතය ගැන බයිබලයේ සඳහන් පොරොන්දු කෙරෙහිද විශ්වාසය තැබීමට බැහැ. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. එකම සැබෑ දෙවිගේ නාමය යෙහෝවා බව බයිබලයේ පෙන්නුම් කරනවා.

^ 7 ඡේ. පොළොව දූෂ්‍ය තැනක් නිසා එහි පරිපූර්ණ දෙයකට පැවතිය නොහැකියි යන අදහස බයිබලයට පටහැනියි. ඊට හේතුව දෙවි පොළොව නිර්මාණය කළේ දූෂ්‍ය තැනක් ලෙස නොවෙයි. පොළොව නිර්මාණය කළ පසු එය “ඉතා හොඳින්” සාදා තිබුණා කියා දෙවිම පැවසුවා. (උත්පත්ති 1:31) දෙවි කුමක් කළත් එහි කිසිම අඩුවක් හෝ දෝෂයක් දකින්න නැහැ. එසේනම් පොළොව දූෂ්‍ය තැනක් බවට පත් වී තිබෙන්නේ දෙවි නිසා නොවෙයි.—ද්විතීය කතාව 32:4, 5.

^ 9 ඡේ. යෙහෝවා දෙවි ඇති කළ මහා ජලගැල්මෙන් ඒදන් උයන සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ‘ඒදන්හි ගස් පොළෝගැබටම’ ගොස් තිබුණා කියා ක්‍රිස්තු පූර්ව හත්වෙනි සියවසේ සිටි දෙවිගේ සේවකයෙක් පැවසුවේ ඒ නිසයි. (එසකියෙල් 31:18) එමනිසා අද දින ඒදන් උයන තිබූ ස්ථානය සොයා යන අයට එය කිසි දිනක සොයාගැනීමට හැකි වෙන්නේ නැහැ.

^ 14 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරාව බලන්න.

^ 16 ඡේ. ශරීරයේ අනික් අස්ථිවලට වඩා වෙනස්ව ඉළ ඇටවලට නැවතත් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. පටකවලට හානියක් නොවන සේ ඉළ ඇටයක් කැඩුණොත් එය නැවත වර්ධනය වන බව වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තිබෙනවා.