Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් වියළි කාලයේදී ජලය ලබාගැනීමට යොදාගත් ක්‍රම මොනවාද?

ඔක්තෝබර් සහ අප්‍රියෙල් අතර කාලයේදී ඇතැම්විට ගංගා පිටාර ගලන තරමට ඊශ්‍රායෙල් දේශයට වැහි ඇද හැළෙනවා. නමුත් ගිම්හාන කාලයේදී බොහෝ “ගංගාවන්” හිඳී යනවා. සමහරවිට මාස ගණනක් යන තුරු වැහි පොදක්වත් වැටෙන්නේ නැහැ. එවැනි කාලවලදී ඊශ්‍රායෙල්වරුන් ජලය සොයාගත්තේ කෙසේද?

ශීත කාලයේදී කඳුකරයට ඇද හැළෙන වැසි ජලය ගලා ඒමට ඔවුන් අගල් තැනුවා. ඉන්පසු පොළොව යට සාදා තිබූ කුටීරවලට හෝ පොකුණුවලට එම ජලය එක්රැස් කළා. බොහෝ අය තම නිවෙස් අවටත් ජලය එස්රැස් කිරීම සඳහා පොකුණු සාදා තිබුණා. ඇතැම් නිවෙස්වල වහල සාදා තිබුණේ වැහි වතුර කෙළින්ම ගලා ගොස් පොකුණේ එක්රැස් වෙන ආකාරයටයි. එසේ එක්රැස් කරගත් ජලය එදිනෙදා වැඩකටයුතු සඳහා යොදාගැනුණා.—2 රාජාවලිය 18:31; යෙරෙමියා 6:7.

ශීත කාලයේදී කඳුකරයට ඇද හැළෙන වර්ෂාව පොළොව යටටම කිඳා ගොස් දිය උල්පත්වලින් මතු වෙනවා. එවැනි දිය උල්පත්වලිනුත් ඊශ්‍රායෙල්වරුන් වියළි කාලයේදී ජලය ලබාගත්තා. ඔවුන් එවැනි දිය උල්පත් අවට ගම්මාන පිහිටුවාගෙන තිබුණු බව විවිධ ප්‍රදේශ හඳුන්වා ඇති නම්වලින් පැහැදිලි වෙනවා. උදාහරණයකට උල්පත යන අර්ථය ඇති “ඒන්” යන හෙබ්‍රෙව් වචනය යොදාගෙන ප්‍රදේශ කිහිපයක්ම හඳුන්වා තිබෙනවා. ඒන්-ෂෙමෙෂ්, ඒන්-රොගෙල් සහ ඒන්-ගෙදී ඒ අතරින් කිහිපයක් පමණයි. (යොෂුවා 15:7, 62) ඊට අමතරව උල්පත් ජලය ගෙන්වාගැනීම සඳහා පර්වතයක් විවර කරමින් සෑදූ අගලක් අදටත් යෙරුසලමේ තිබෙනවා.—2 රාජාවලිය 20:20.

ජලය ලබාගැනීමට ඊශ්‍රායෙල්වරුන් යොදාගත් තවත් ක්‍රමයක් වූයේ ළිං හෑරීමයි. බෙයර්-ෂෙබා නුවර තිබුණු එවැනි ළිඳක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 26:32, 33) “ජලය ලබාගැනීමට ඊශ්‍රායෙල්වරුන් යොදාගත් ක්‍රම ගැන අදටත් මිනිසුන් පුදුම වෙනවා” කියා ඔන්ඩ්‍රෙ ෂූරාකි නම් ලේඛකයා පවසනවා.

ආබ්‍රහම් ජීවත් වෙන්න ඇත්තේ කුමානාකාරයේ නිවසකද?

ආබ්‍රහම් සහ සාරා ජීවත් වුණේ කල්දිවරුන්ගේ සමෘද්ධිමත් දේශයක් වන ඌර්වලයි. නමුත් යෙහෝවා දෙවිගේ අණට කීකරු වීමක් වශයෙන් ඔවුන් ඒ දේශය අත්හැර ගොස් කූඩාරම්වල වාසය කිරීමට පටන්ගත්තා. (උත්පත්ති 11:31; 13:12) ඒ සඳහා ඔවුන් මොන වගේ දේවල් පරිත්‍යාග කරන්න ඇද්ද කියා සලකා බලමු.

ඌර් දේශය පිහිටා තිබෙන්නේ ඉරාකයෙයි. වර්ෂ 1922ත් 1934ත් අතර කාලයේදී ඒ ප්‍රදේශයේ කැණීම් කළ ලෙනාඩ් වූලී නම් පුරාවිද්‍යාඥයාට ගඩොලින් සාදන ලද නිවෙස් 73ක් සොයාගැනීමට හැකි වුණා. එවැනි බොහෝ නිවෙස්වල ගල් ඇතිරූ මැද මිදුලක් තිබුණු අතර කාමර තනා තිබුණේ ඊට මුහුණ ලායි. ජලය නොරැඳෙන ලෙස මද බෑවුමක් සහිතව සාදා තිබූ එම මිදුලේ හරි මැද ජලය ඉවත් කිරීමට කුහරයක්ද තිබුණා. එවැනි සුවිසල් නිවෙස්වල අමුත්තන් සඳහා වෙන් කර තිබූ කාමරවල වැසිකිළි පහසුකම්ද තිබුණා. දෙමහල් නිවෙස්වල පහත මහලයේ ගිනි උදුන් සහිත මුළුතැන්ගෙවල් සහ සේවකයන් සඳහා නිදන කාමර ඉදි කර තිබුණා. නිවසේ අයිතිකරු හා ඔහුගේ පවුලේ අය ජීවත් වුණේ උඩුමහලෙයි. උඩුමහලට යෑම සඳහා තරප්පු පෙළක් තිබූ අතර එයින් කාමර ඉදිරිපස පිහිටි ලී බැල්කනියට පිවිසිය හැකි වුණා. එහි සිට පහත බලන කෙනෙකුට මැද මිදුල දැකිය හැකි වුණා.

එවැනි නිවෙස් ගැන වූලී පැවසුවේ මෙයයි. ‘මැද මිදුලක්, කපරාරු කළ හුණු ආලේපිත බිත්ති, කාණු පද්ධති සහ කාමර ගණනාවකින් සමන්විත නිවෙස් තිබීමෙන් පෙනී යන්නේ එදා ඌර් දේශයේ සිටි අයට උසස් ජීවන රටාවක් තිබුණු බවයි. නමුත් ඒවායේ ජීවත් වුණේ ගෘහ සේවකයන්, සාමාන්‍ය වෙළෙඳුන් සහ පිටපත්කරුවන් වැනි මධ්‍යම පන්තියේ අයයි.’

[19වන පිටුවේ පින්තූරය]

ජලය එක්රැස් කළ පොකුණක්

[හිමිකම් විස්තර]

© Masada National Park, Israel Nature and Parks Authority

[19වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම්ගේ කාලයේ තිබූ සුවිසල් නිවසක්

[හිමිකම් විස්තර]

© Drawing: A. S. Whitburn