Skip to content

පටුනට යන්න

ඒවව රැවටීමට යක්ෂයා සර්පයෙකුව යොදාගත්තේ ඇයි?

ඒවව රැවටීමට යක්ෂයා සර්පයෙකුව යොදාගත්තේ ඇයි?

පාඨකයන් අසයි

ඒවව රැවටීමට යක්ෂයා සර්පයෙකුව යොදාගත්තේ ඇයි?

▪ මෙම සඟරාවේ අටවන පිටුවේ සඳහන් වූ ආකාරයට සර්පයෙක් කතා කරන බව දැකීමට සලස්වා ඒවව රැවැට්ටුවේ යක්ෂයායි. බයිබලයේ සඳහන් තොරතුරුවලින් එය ඔප්පු කළ හැකියි. නමුත් ඉතා බලවත් කෙනෙක් වූ යක්ෂයා ඒවව රැවටීමට සර්පයෙකුව යොදාගත්තේ ඇයි?

බයිබලයේ සඳහන් වෙන්නේ යක්ෂයා විවිධ ‘උපායන්’ හෝ ‘කපටි ක්‍රියාවන්’ යොදාගෙන මිනිසුන්ව නොමඟ යවන බවයි. (එෆීස 6:11, පාදසටහන) ඔහු එසේ කරන්නේ මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීම සඳහයි. ඒදන් උයනේදී ඔහු ඒවව නොමඟ යැවූ ආකාරයෙන් එය සත්‍යයක් බව අපට තේරුම්ගත හැකියි.

යක්ෂයා තම අරමුණ ඉටු කරගැනීම සඳහා ඒවව තෝරාගත්තේ හොඳ හේතුවක් ඇතුවයි. ආදම්ට තරම් ඒවට අද්දැකීම් තිබුණේ නැහැ. ඉන් ප්‍රයෝජන ගත් යක්ෂයා සියලු සතුන්ට වඩා සුපරීක්ෂාකාරී සතෙක් වූ සර්පයෙකුව යොදාගෙන ඇයව රවටා තම අරමුණ ඉටු කරගත්තා. (උත්පත්ති 3:1) සර්පයෙකු කතා කරනවා දැකීම ඒවට කෙසේ බලපාන්න ඇද්ද?

සියලුම සතුන්ව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසු උන්ට නම් තැබුවේ ආදම් විසිනුයි. (උත්පත්ති 2:19) එමනිසා සතුන්ට කතා කිරීමේ හැකියාව නැහැ කියා ඒව හොඳින්ම දැන සිටියා. සුපරීක්ෂාකාරී සතෙක් වූ සර්පයා ගැනත් ඒව හොඳින්ම දැන සිටින්න ඇති. ඒ නිසා නොසිතූ ලෙස සර්පයෙක් කතා කරනවා දැකීම ඒව තුළ කුතුහලයක් ඇති කළා. යක්ෂයාටත් අවශ්‍ය වී තිබුණේ ඇය තුළ කුතුහලයක් ඇති කර ඇගේ අවධානය සොරාගන්නයි. සර්පයෙකු යොදාගෙන යක්ෂයා යෙදූ උපාය සාර්ථක වුණා. ඒ නිසා දෙවි තහනම් කර තිබූ ගස ගැන ඒව තුළ වැරදි ආකල්පයක් ඇති වුණා. ඒව සමඟ කතා කළ අවස්ථාවේ සර්පයා සිටියේ දෙවි කන්න එපා කියා තහනම් කළ ගසේ නම් එය ඒවට කෙසේ බලපාන්න ඇද්ද කියා මදකට සිතන්න. සර්පයාට කතා කිරීමට හැකියාව ලැබුණේ තහනම් ගසෙන් ගෙඩි කෑමෙන් කියා ඇය සිතන්න ඇද්ද? තහනම් ගසෙන් ගෙඩි කෑමෙන් සර්පයෙකුට කතා කිරීමේ හැකියාව ලැබුණා නම් තමන්ට ඊටත් වඩා ප්‍රයෝජනයක් ලැබෙයි කියා ඇය සිතන්න ඇද්ද? ඒව ඒ අවස්ථාවේ සිතුවේ කුමක්ද කියාවත් සර්පයා එම ගසෙන් ගෙඩි කෑවාද කියාවත් අප දන්නේ නැහැ. කොහොමවුණත් ඇය යක්ෂයාගේ කපටි උපායට කොතරම් හසු වුණාද කියනවා නම් එම ගසෙන් ගෙඩි කෑමෙන් “දෙවිට සමාන වන” බව සර්පයා පැවසූ විට ඇය එකහෙළාම එය පිළිගෙන එම ගසෙන් ගෙඩි කෑවා.

දෙවි ඇගේ නිදහස සීමා කර තිබෙන බවත් යහපත් දෙයක් ඇයට නොදී සිටින බවත් යක්ෂයා ඉතා කපටි ලෙස ඒවට අඟවමින් දෙවි ගැන ඇගේ මනසේ සැකයක් ඇති කළා. (උත්පත්ති 3:4, 5) යක්ෂයාගේ ඒ කපටි උපායට ඒව හසු වී ඇය දෙවිට පිටු පෑවා නම් ඇත්තෙන්ම එය යක්ෂයාට මහත් ජයග්‍රහණයක්. කනගාටුදායක ලෙස තමන්ට සියලුම දේ ලබා දී තිබූ යෙහෝවා දෙවි කෙරෙහි කිසිම ප්‍රේමයක් හෝ අගයක් නොතිබූ ආදම් සහ ඒව යක්ෂයාගේ ඒ උපායට හසු වුණා. එදා මෙන් අදත් යක්ෂයා ඉතා උපායශීලී ලෙස මිනිසුන්ව පොලඹවන්නේ තමන් ගැන පමණක් සිතමින් ක්‍රියා කිරීමටයි.

යක්ෂයා තුළ තිබෙන නරක ආකල්ප ගැන අපට ඉන් හෙළි වෙනවා. ඔහු ඒවව රැවට්ටුවේ තමාගේ සැබෑ ස්වභාවය සඟවාගෙනයි. නමුත් යේසුස්ව වරදට හසු කරගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු යේසුස්ට කෙළින්ම මෙසේ පැවසුවා. “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා.” (මතෙව් 4:9) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට පමණක් හිමි විය යුතු නමස්කාරය තමා වෙත ලබාගැනීමට යක්ෂයා තුළ දැඩි ආශාවක් තිබෙන බවයි. ඒ නිසා ඒ ආශාව ඉටු කරගෙන දෙවි සමඟ මිනිසුන්ට තිබෙන බැඳීම බිඳ දැමීමට යක්ෂයා ඕනෑම දෙයක් කිරීමට සූදානම්.

මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමට යක්ෂයා මොන තරම් මාරාන්තික උපායන් යොදාගන්නවාද කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඔහු “කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා” දන්නා අපි, ඒව මෙන් ඔහුට හසු නොවීමට වගබලා ගමු!—2 කොරින්ති 2:11.