Skip to content

පටුනට යන්න

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්

එදින ෂීලෝ නගරයෙන් ඇසුණු දුක් අඳෝනාව සාමුවෙල්ට මහත් ශෝකයක් ගෙන දෙන්න ඇති. විලාප හඬක් නොඇසුණු නිවසක් එදා ෂීලෝ නුවරේ නොතිබූ තරම්. පිලිස්තිවරුන් සමඟ සටනට ගිය ඊශ්‍රායෙල්වරුන් 30,000කට එදා ජීවිත අහිමි වුණා. ඒ සටනින් තම ස්වාමිපුරුෂයන්ව, දරුවන්ව, පියවරුන්ව සහ තම සහෝදරයන්ව අහිමි වූ අය මොන තරම් විලාප නඟන්න ඇද්ද! ඒ දරුණු සටනට කලින් සිදු වූ තවත් සටනකිනුත් පිලිස්තිවරු අතින් ඊශ්‍රායෙල්වරුන් 4,000ක් මිය ගියා.—1 සාමුවෙල් 4:1, 2, 10.

ඊශ්‍රායෙල්වරුන්ගේ ශෝකය දෙගුණ තෙගුණ කළ තවත් දෙයකුත් එදින සිදු වුණා. එවකට උත්තම පූජකයාව සිටි ඒලීගේ කිසිකමකට නැති පුතුන් දෙදෙනා වූ හොප්නී සහ පිනෙහාස් පිලිස්තිවරුන් හා සටනට ගියේ ගිවිසුම් පෙට්ටියද රැගෙනයි. එය රැගෙන සටනට ගියොත් යෙහෝවා දෙවි තමන්ට ජයග්‍රහණය අත් කර දෙයි කියා ඔවුන් සිතන්න ඇති. නමුත් සිදු වුණේ බලාපොරොත්තු නොවූ දෙයක්. හොප්නී සහ පිනෙහාස්ව මරා දැමූ පිලිස්තිවරුන් ගිවිසුම් පෙට්ටියත් පැහැරගත්තා.—1 සාමුවෙල් 4:3-11.

සියවස් ගණනාවක් පුරා එම ගිවිසුම් පෙට්ටිය සුරක්ෂිතව තබා තිබුණේ ෂීලෝ නුවරේ තිබූ මණ්ඩපයෙයි. නමුත් දැන් එය පිලිස්තිවරුන් අතට පත් වී හමාරයි. ඒ බව ආරංචි වූ විට 98වන වියේ පසු වූ ඒලී ඒ මොහොතේම මිය ගියා. ඒ වන විට ගැබ්බරව සිටි පිනෙහාස්ගේ බිරිඳ සිටියේ දරු ප්‍රසූතියට ආසන්නවයි. සිදු වූ සියල්ල ආරංචි වූ විට ඇයට ඒ මොහොතේම ප්‍රසව වේදනාව ඇති වී ඇය දරුවාව බිහි කළා. නමුත් වැඩි වේලාවක් යෑමට මත්තෙන් ඇයත් මිය ගියා. මිය යන්න කලින් ඇය මෙවැනි දෙයක් පැවසුවා. “ඊශ්‍රායෙල්හි තේජස නැති වී ගිහින්.”—1 සාමුවෙල් 4:12-22.

ඒ ශෝචනීය තත්වය හමුවේ සාමුවෙල් කෙසේ ක්‍රියා කරයිද? යෙහෝවා දෙවිගේ අනුමැතිය සහ ආරක්ෂාව අහිමි වූ ඊශ්‍රායෙල් සෙනඟට නැවත දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උපකාර කරන්න ඔහු ඉදිරිපත් වෙයිද? සාමුවෙල් මෙන් අපි හැමෝමත් විවිධ දුෂ්කරතා සහ බලාපොරොත්තු සුන් වූ තත්වයන් අද්දකිනවා. ඇතැම්විට ඒවා යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය දුර්වල කරන්න හේතු විය හැකියි. එමනිසා ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය සාමුවෙල්ගේ ආදර්ශයෙන් අපි සලකා බලමු.

ඔහු ‘ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළා’

ඊශ්‍රායෙල්වරුන්ට මුහුණ දීමට සිදු වූ ඒ ශෝචනීය සිද්ධියෙන් පසුව බයිබලයේ වාර්තා කර තිබෙන්නේ ගිවිසුම් පෙට්ටිය රැගෙන යෑමෙන් පිලිස්තිවරුන්ට අද්දකින්න සිදු වූ විපත්ති ගැනයි. ඒවායින් බේරීමට නම් පිලිස්තිවරුන් එම ගිවිසුම් පෙට්ටිය නැවත භාර දිය යුතු වුණා. ඒ සියලු සිද්ධීන්වලින් පසුව බයිබලයේ නැවතත් සාමුවෙල් ගැන සඳහන් කරන්නේ වසර 20කට පමණ පසුවයි. (1 සාමුවෙල් 7:2) ඒ කාලය අතරතුර සාමුවෙල් කුමක් කරන්න ඇද්ද?

ඊශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන් අතින් දරුණු ලෙස පරාජයට පත් වූ කාලයට කලින් සිටම යෙහෝවා දෙවි ‘තමාට හෙළි කළ වචන සාමුවෙල් දිගටම ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රකාශ කරමින්’ සිටියා කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 4:1) අවුරුදු 20කට පසුව සාමුවෙල් ගැන යළි සඳහන් කරන විට ඔහු අවුරුදු පතා විවිධ නුවරවල් තුනකට ගොස් ඊශ්‍රායෙල්වරුන්ගේ නඩු විභාග කරමින් සිටි බවත් වාර්තා කර තිබෙනවා. (1 සාමුවෙල් 7:15-17) ඒ අනුව සාමුවෙල් ගැන කිසිම තොරතුරක් සඳහන් නොවන ඒ අවුරුදු 20ක කාලය පුරා ඔහු දිගටම යෙහෝවා දෙවිට සේවය කරමින් සිටි බව පැහැදිලියි.

ඒ අවුරුදු 20 පුරාම සාමුවෙල් නොමඟ ගිය ඊශ්‍රායෙල්වරුන්ව යහමඟට ගන්න වෙහෙස මහන්සි වී වැඩ කළා. මන්ද ඒලීගේ පුතුන් දෙදෙනා ඉතා පහත් ආකාරයෙන් හැසිරුණු නිසා බොහෝ අයට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ඒ වන විට දුර්වල වී තිබුණා. බොහෝ අය සැබෑ නමස්කාරය අත්හැර රූපවලට නමස්කාර කිරීමට හේතුව එය විය හැකියි. ඒ නිසා සාමුවෙල් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර යෙහෝවා දෙවි වෙතට හැරෙන්න. ඔහුට පමණක් නමස්කාර කරන්න. එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”—1 සාමුවෙල් 7:3.

ඊශ්‍රායෙල්වරුන් “පිලිස්තිවරුන්ගේ අතින්” අන්ත පරාජයට පත් වූ කාලයේ සිටම ඔවුන් හිතක් පපුවක් නොමැතිව ඊශ්‍රායෙල්වරුන්ට දරුණු ලෙස පීඩා කළා. පිලිස්තිවරුන්ගේ අමානුෂික වධ හිංසාවලින් බේරෙන්න නම් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගත යුතු බව සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. එවිට ඔවුන් බොරු දෙවිවරුන්ගේ රූප සියල්ල ඉවත් කර දමා, “යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමට පටන්ගත්” බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන්පසු යෙරුසලමට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක් වූ මිෂ්පා නුවරට රැස් වෙන්න කියා සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. ඒ ස්ථානයේ රැස් වූ සියලුම ඊශ්‍රායෙල්වරුන් එදින නිරාහාරව සිටිමින් තමන් කළ පව් ගැන පසුතැවිලි වුණා.—1 සාමුවෙල් 7:4-6.

ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරේ එක් රැස් වී සිටින බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට ඔවුන් හමුදාවක් යවා ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න සැරසුණා. ඒ ගැන ආරංචි වූ විට බියෙන් සලිත වූ ඊශ්‍රායෙල්වරුන් තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා සාමුවෙල්ගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා සාමුවෙල් බැටළු පැටවෙකු පූජාවක් ලෙස ඔප්පු කරමින් යෙහෝවා දෙවිට කන්නලව් කළා. ඒ අතරතුරේදී යුද්ධයට සැරසුණු පිලිස්තිවරුන් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියටම ආවා. එවිට සාමුවෙල්ගේ කන්නලව්වට සවන් දුන් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේ ‘යෙහෝවා දෙවි මහත් ගිගුරුම් හඬක් ඇති කරමින් පිලිස්තිවරුන්ව වියවුලට පත් කළ’ බව බයිබලයේ සඳහන් වෙනවා.—1 සාමුවෙල් 7:7-10.

යුද්ධයටම උපන්, රණශූර, නිර්භීත පිලිස්තිවරුන් ගිගුරුම් හඬක් ඇසී වියවුලට පත් වෙන්න නම් ඒ ගිගුරුම් හඬ මොන තරම් ප්‍රබල හඬක් වන්න ඇද්ද! එවැනි ගිගුරුම් හඬක් මින් පෙර කිසිදාක ඔවුන් අසා නොතිබෙන්න ඇති. ඔවුන් ඒ හඬ ඇසී මහත් සේ බියට පත් වුණේ කිසිම වැහි වලාකුළක් නැති පැහැදිලි අහස්කුසක් තිබියදීත් එවැනි හඬක් ඔවුන්ට ඇසුණු නිසාද? එසේත් නැත්නම් කඳුකරය දෙසින් ඒ හඬ පැමිණි නිසාද? ඒ කුමන හේතුවක් නිසා ඔවුන් බියට පත් වුණත් අවසානයේදී ඔවුන් අන්ත අසරණ තත්වයකට පත් වී ඒ මේ අත දුවන්න පටන්ගත්තා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දෙවිගේ සෙනඟ සැතපුම් ගණනාවක් ඔවුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව මරා දැමුවා.—1 සාමුවෙල් 7:11.

මේ සටන ඊශ්‍රායෙල්වරුන්ට බොහෝ සෙයින් වැදගත් වුණා. මන්ද ඔවුන් කෙරෙහි අණසක පතුරුවමින් සිටි පිලිස්තිවරුන් මේ සටනින් පසු ටිකෙන් ටික පසුබැස්සා. එමෙන්ම ඔවුන් යටත් කරගෙන තිබූ ප්‍රදේශ නැවත ඊශ්‍රායෙල්වරුන් අතට පත් වුණා.—1 සාමුවෙල් 7:13, 14.

මිෂ්පා නුවරේදී පිලිස්තිවරුන්ව අන්ත පරාජයකට පත් කළ පසු එය යෙහෝවා දෙවිගේ උපකාරයෙන් කළ බව සිහි කිරීම සඳහා සාමුවෙල්, මිෂ්පා සහ යෙෂානා නුවරවල් අතර ගලක් තැබුවා. ඉන් පෙනී යන්නේ සාමුවෙල්ට යෙහෝවා දෙවි කරන දේවල් ගැන මහත් අගයක් තිබූ බවයි. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ බලාපොරොත්තු සුන් වුණත් ඔහු යෙහෝවාදෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කළා. ඒ නිසා ඉතා සාර්ථක සේවයක් දෙවි වෙනුවෙන් ඉටු කරන්න ඔහුට හැකි වුණා. සාමුවෙල්ට අවශ්‍ය වුණේ දෙවි බලාපොරොත්තු වූ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු කරන්නයි. ඇත්තෙන්ම සාමුවෙල්ව ‘ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළ’ කෙනෙක් ලෙස බයිබලයේ හඳුන්වා තිබීම මොන තරම් උචිතද!—1 සාමුවෙල් 7:12; හෙබ්‍රෙව් 11:32, 33.

සාමුවෙල් මෙන් ‘ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරන්න’ ඔබත් කැමතිද? එසේනම් ඔබත් හැම දෙයක්ම අගය කරමින්, ඉතා ඉවසිලිවන්තව සහ නිහතමානීව ජීවත් වීමට පුරුදු විය යුතුයි. සාමුවෙල් යෞවන කාලයේ සිට එලෙස කටයුතු කිරීමට පුරුදු වූ නිසා ජීවිතයේ ඇතැම් බලාපොරොත්තු සුන් වූ අවස්ථාවලදී පවා නොසැලී සිටීමට ඔහුට හැකි වුණා.

‘ඔබේ පුත්‍රයන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි’

ඊශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ව අන්ත පරාජයට පත් කළ සිද්ධියෙන් පසුව බයිබලයේ සාමුවෙල් ගැන සඳහන් කරන්නේ අවුරුදු ගණනාවකට පසුවයි. ඒ වන විට ‘මහලු වියේ පසු වූ’ සාමුවෙල්ට යෝවෙල් සහ අබියා කියා පුතුන් දෙදෙනෙක් සිටියා. විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කරමින් තම මහලු පියාට සහයෝගය දීමේ වගකීම තිබුණේ ඔවුන්ටයි. නමුත් ඔවුන් සාමුවෙල් මෙන් ධර්මිෂ්ඨව සහ අවංකව එම වගකීම ඉටු කළේ නැහැ. ඔවුන් තම බලය අනිසි ලෙස යොදාගනිමින් යුක්තිය පෙරළා අල්ලස් ලබාගත්තා.—1 සාමුවෙල් 8:1-3.

දිනක් ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සාමුවෙල් වෙතට පැමිණ ඔහුගේ පුතුන් දෙදෙනාට විරුද්ධව මෙසේ පැමිණිලි කළා. “ඔබේ පුත්‍රයන් ඔබට වඩා ගොඩක් වෙනස්. ඔවුන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි.” (1 සාමුවෙල් 8:4, 5) පුතුන් දෙදෙනා කරමින් සිටි වැරදි ගැන සාමුවෙල් දැනගෙන සිටියේ නැද්ද? ඒ ගැන බයිබලයේ නිශ්චිතවම සඳහන් වී නැහැ. කොහොමවුණත් කලින් අවස්ථාවක උත්තම පූජකයාව සිටි ඒලීගේ පුතුන් දෙදෙනා දුෂ්ටකම් කරමින් සිටි විට ඒලී ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගත් නිසා යෙහෝවා දෙවි ඔහුට තරවටු කළා. නමුත් සාමුවෙල්ගේ පුතුන් වැරදි කළ අවස්ථාවේ දෙවි එසේ ක්‍රියා කළේ නැහැ. (1 සාමුවෙල් 2:27-29) ඉන් පෙනී යන්නේ පුතුන්ගේ වැරදිවලට සාමුවෙල් වග කිව යුතු නැති බවයි.

යෝවෙල් සහ අබියා කළ වැරදි ගැන සාමුවෙල් කොතරම් දුක් වුණාද කියාවත් ඒ ගැන ඔහුට කොතරම් ලැජ්ජාවක් ඇති වුණාද කියාවත් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් පියෙක් හැටියට ඔහුට දැනුණු වේදනාව එවැනි දරුවන් සිටින ඇතැම් දෙමාපියන්ට තේරුම්ගත හැකියි. කොහොමවුණත් සාමුවෙල් තම දරුවන් අතින් සිදු වූ වැරදි ගැන කලකිරී දෙවිට කරමින් සිටි සේවය අඩාළ කරගත්තේ නැහැ. එය දෙමාපියන්ට මොන තරම් වටිනා ආදර්ශයක්ද! දෙමාපියන්ගේ උපදෙස් නොසලකාහරිමින් ඔවුන්ට විරුද්ධව කැරලිගසන දරුවන් මේ කාලයෙත් සිටිනවා. (2 තිමෝති 3:1-5) ඔබත් එවැනි තත්වයක් අද්දකිමින් සිටිනවාද? ඇතැම්විට ඔබ දරුවන්ට කොතරම් උපදෙස් දුන්නත් හික්මවීම් දුන්නත් එයින් ඔවුන්ගේ ජීවිතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියා ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් ඔබේ වටිනා ආදර්ශයට දරුවන් තුළ හොඳ වෙනසක් ඇති කළ හැකි බව අමතක කරන්න එපා. දරුවන් කෙසේ ක්‍රියා කළත් සාමුවෙල් මෙන් ඔබටත් යෙහෝවා දෙවිව සතුටට පත් කරන්න ඕනෑ තරම් අවස්ථාවන් තිබෙනවා.

“අපිටත් රජෙක් හිටියා නම් හොඳයි”

සාමුවෙල්ගේ දරුවන් දෙදෙනා විනිශ්චයකරුවන් ලෙස තමන් සතු බලය අනිසි ලෙස භාවිත කරමින් කළ දේවල් ඊශ්‍රායෙල් ජාතියට අහිතකර ලෙස බලපෑවා. එමනිසා විනිශ්චයකරුවෙක් වෙනුවට “වෙනත් ජාතීන්ට මෙන් අපිටත් රජෙක් හිටියා නම් හොඳයි” කියා වැඩිමහල්ලන් සාමුවෙල්ට පැවසුවා. සාමුවෙල් වෙනුවට විනිශ්චයකරුවෙක් ලෙස ක්‍රියා කිරීමට රජෙකුව පත් කරන්න කියා ඔවුන් කළ ඉල්ලීම සාමුවෙල්ට කෙසේ බලපාන්න ඇද්ද? දශක ගණනාවක් පුරා විනිශ්චයකරුවෙක් ලෙස ක්‍රියා කළ තමාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බවක් ඔහුට හැඟුණාද? බයිබලයේ සඳහන් වන්නේ ‘ඒ ඉල්ලීම ගැන ඔහු කනගාටු වුණා’ කියායි.—1 සාමුවෙල් 8:5, 6.

සාමුවෙල් ඒ ගැන දෙවිට යාච්ඤා කළ විට දෙවි ඔහුට පැවසුවේ මෙයයි. “සෙනඟ පවසන දේට සවන් දෙන්න. මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාවය.” ඒ වදන්වලින් සාමුවෙල්ට යම් සහනයක් දැනෙන්න ඇති. නමුත් ඊශ්‍රායෙල්වරුන් එවැනි ඉල්ලීමක් කිරීමෙන් දෙවිට කර තිබෙන්නේ මොන තරම් අගෞරවයක්ද! එසේ රජෙකුව පත් කළොත් මුහුණ දීමට සිදු වන දුෂ්කරතා ගැන සාමුවෙල් මාර්ගයෙන් දෙවි ඔවුන්ට පැවසුවා. නමුත් “අපව පාලනය කරන්න රජෙක්ව පත් කළ යුතුමයි” කියා ඔවුන් එකහෙළාම ඉල්ලා සිටියා. අවසානයේදී යෙහෝවා දෙවිට නිරතුරුවම කීකරු වූ සාමුවෙල්, ඔවුන් වෙනුවෙන් දෙවි තෝරාගත් කෙනා වූ සාවුල්ව රජු හැටියට අභිෂේක කළා.—1 සාමුවෙල් 8:7-19.

සාවුල්ව රජකමට පත් කිරීම ගැන ඔහුගේ සිතේ කලකිරීමක් හෝ තරහක් ඇති වුණාද? නැහැ. ඔහු සාවුල්ව සැලකුවේ දෙවි තෝරාගත් තැනැත්තා ලෙසයි. ඒ අවස්ථාවේ සාමුවෙල් ඔහුව සාදරෙන් පිළිගෙන ඔහුව සිපගත් බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් පෙනී යන්නේ අලුත් පාලකයා වූ සාවුල්ට යටත්ව සිටීමට සාමුවෙල් කැමැත්තෙන් සිටි බවයි. එමෙන්ම ඔහු ඊශ්‍රායෙල් සෙනඟව අමතා “යෙහෝවා දෙවි තෝරාගත් තැනැත්තාව ඔබ දුටුවාද? ජනයා අතරේ ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද” කියා අසමින් සාවුල්ව ගෞරවයටත් පත් කළා.—1 සාමුවෙල් 10:1, 24.

මුළු ඊශ්‍රායෙල් සෙනඟව අමතමින් සාමුවෙල් කතා කළ අවස්ථාවේ තමා කොතරම් විශ්වාසවන්තව යෙහෝවා දෙවිට සේවය කළාද කියා ඔහු සඳහන් කළා. (1 සාමුවෙල් 12:1-4) යෙහෝවා දෙවිගේ අනුමැතිය අහිමි වීමට හේතු විය හැකි දේවල් ගැනත් අනතුරු ඇඟවූ ඔහු, නිරතුරුවම දෙවිට විශ්වාසවන්තව සිටීමට සෙනඟට දිරිගැන්වූවා. එසේ ඔහු තම පැවරුම නිසි ලෙස ඉටු කළා. ඔහු පැවසූ දේවල් ඔවුන්ගේ සිත්වලට කොතරම් දැනුණාද කියනවා නම් තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ඔවුන් සාමුවෙල්ගෙන් ඉල්ලා සිටියා. එවිට ඔහු ඉතා හැඟීම්බරව පැවසුවේ මෙයයි. “මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත් එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔබ යා යුතු හරි මඟ මම කියා දෙන්නම්.”—1 සාමුවෙල් 12:21-24.

සාමුවෙල්ගේ වටිනා ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? යම් කෙනෙකුට ඔබට වඩා ඉහළ තත්වයක් හෝ විශේෂ වරප්‍රසාදයක් ලැබුණොත් ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාවක් හෝ කලකිරීමක් ඇති වෙනවාද? එවැනි දේවලට ඔබේ ජීවිතයේ කිසිම ඉඩක් නොදිය යුතු බවට වූ වටිනා පාඩම සාමුවෙල්ගෙන් ඉගෙනගත හැකියි. යෙහෝවා දෙවිගේ සේවය තුළ සියලුදෙනාටම සතුට පිරි වැඩකටයුතු රාශියක් තිබෙන බව අමතක කරන්න එපා.

“ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?”

සාවුල් උස, කඩවසම් පෙනුමක් තිබූ එඩිතර මෙන්ම ඉතා නිහතමානී කෙනෙක් වුණා. ප්‍රශ්න ගැටලු හොඳින් හැසිරවීමේ හැකියාවත් ඔහු සතුව තිබුණා. සාමුවෙල් ඔහු ගැන ඉතා ඉහළින් කතා කළේ ඒ නිසයි. (1 සාමුවෙල් 10:22, 23, 27) සාවුල්ට එවැනි කෙනෙක් ලෙස දිගටම සිටීමට නම් තීරණ ගැනීමට ඔහුට තිබූ නිදහස නිසි අයුරින් භාවිත කළ යුතු වුණා.—ද්විතීය කතාව 30:19.

නමුත් කනගාටුදායක ලෙස බලය සහ ප්‍රසිද්ධිය ලැබෙනවාත් සමඟම සාවුල්ගේ නිහතමානිකම නැති වී ගියා. වැඩි කල් යන්න මත්තෙන් ඔහු මුරණ්ඩු ආකාරයකින් කටයුතු කිරීමට පටන්ගත්තා. සාමුවෙල් මාර්ගයෙන් දෙවි පැවසූ දේවල් ඔහු ගණනකටවත් ගත්තේ නැහැ. එක් අවස්ථාවකදී සාමුවෙල් විසින් පමණක් ඔප්පු කළ යුතු පූජාවක් ඔහු ඔප්පු කළා. ඒ නිසා සාමුවෙල් ඉතා තදින් ඔහුට උපදෙස් දුන් අතර රජකම ඔහුගේ පෙළපතින් නැති වී යනවා කියා පැවසුවා. නමුත් සාවුල් එයින්වත් පාඩමක් ඉගෙනගත්තේ නැහැ.—1 සාමුවෙල් 13:8, 9, 13, 14.

දුෂ්ට ආගග් රජුවත් අමලෙක්වරුන්වත් ඔවුන්ට අයිති සියලු දේත් සහමුලින්ම විනාශ කර දමන්න කියා දිනක් සාමුවෙල් මාර්ගයෙන් දෙවි සාවුල්ට අණ කළා. සාවුල් ඔවුන්ට විරුද්ධව යුද්ධ කළත් ආගග් රජුව සහ අමලෙක්වරුන්ගේ තර සතුන්ව ඉතුරු කරගත්තා. සාමුවෙල් ඔහුගේ වරද පෙන්වා දුන්නත් සාවුල් එය පිළිගත්තේ නැහැ. ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරමින් සෙනඟ පිට වරද පැටවීමට උත්සාහ කළා. තමන් සතුන්ව ඉතුරු කරගත්තේ දෙවිට දවන පූජාවක් ලෙස ඔප්පු කිරීමටයි කියා සාවුල් පැවසුවා. එවිට සාමුවෙල් ඔහුට කියා සිටියේ, ‘පූජාවලට වඩා දෙවිට කීකරුකම වටිනවා’ කියායි. එමෙන්ම යෙහෝවා දෙවි සාවුල්ව ප්‍රතික්ෂේප කර ඔහුට වඩා හොඳ වෙනත් රජෙකුව තෝරාගන්නා බවත් සාමුවෙල් නිර්භීතව පැවසුවා.—1 සාමුවෙල් 15:1-33.

සාවුල්ගේ ක්‍රියාකලාපයන් ගැන සාමුවෙල් කොතරම් දුක් වුණාද කියනවා නම් ඔහු මුළු රැයක් පුරාම හඬමින් ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. සාවුල්ට දෙවි වෙනුවෙන් කොතරම් වටිනා සේවයක් පිරිනැමීමේ හැකියාව තිබුණාද කියා සාමුවෙල් හොඳින් දැන සිටියා. නමුත් සාවුල් සම්පූර්ණයෙන්ම වෙනස් වී දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගත්තා. ඒ නිසා ඔහු ගැන සාමුවෙල් තුළ තිබූ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියා. සාවුල්ව යළි දකින්නවත් සාමුවෙල් කැමති වුණේ නැහැ. කාලයක් ගිය පසු යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ පැවසුවා. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද? මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි. ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”—1 සාමුවෙල් 15:34, 35; 16:1.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් නොමඟ ගියොත් ඔහු ලවා ඉටු කිරීමට දෙවි බලාපොරොත්තු වූ කාර්යය වෙනත් කෙනෙකු මාර්ගයෙන් ඉටු කිරීමට යෙහෝවා දෙවිට පුළුවන්. එමනිසා දෙවිගේ අරමුණු ඉටු කිරීමට කිසිවක් බාධාවක් වන්නේ නැහැ. සාමුවෙල්ද ඒ බව තේරුම්ගෙන සිටින්න ඇති. එමනිසා සාවුල් ගැන දුක් වෙවී සිටිනවා වෙනුවට දෙවිගේ මඟ පෙන්වීමට එකඟව යෙස්සේගේ පුතුන් අතරින් කෙනෙකුව රජකමට අභිෂේක කිරීම සඳහා ඔහු බෙත්ලෙහෙමට ගියා. හොඳ පෙනුමක් තිබූ පුතුන් කිහිපදෙනෙක්ම යෙස්සේට සිටි නිසා ඔවුන්ගෙන් කෙනෙක් රජකමට සුදුසුයි කියා සාමුවෙල් නිගමනය කළා. නමුත් යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.’ (1 සාමුවෙල් 16:7) යෙස්සේගේ පුතුන්ගෙන් යෙහෝවා දෙවි තෝරාගත්තේ බාලම පුතා වූ දාවිත්වයි.

සාවුල්ගෙන් පසු දාවිත්ව රජකමට පත් කිරීමට යෙහෝවා දෙවි ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව සාමුවෙල්ට ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී හොඳින් වැටහුණා. මන්ද ඊර්ෂ්‍යාවෙන් පෙළී දාවිත්ව මරන්න තැත් කළ සාවුල්ට වඩා වෙනස්ව දාවිත් ඉතා නිර්භීත, විශ්වාසවන්ත මෙන්ම අවංක කෙනෙක් බව පැහැදිලි වුණා. කෙනෙකු ප්‍රශ්න ගැටලුවලට මුහුණ දී බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටියත් යෙහෝවා දෙවිට ඔහුව ඉසිලිය හැකි බව සාමුවෙල් තම ජීවිතයෙන් අද්දැක්කා. එමෙන්ම කෙනෙක් අද්දකින ප්‍රශ්න ගැටලුවලට වඩා ඔහුට ආශීර්වාද කිරීමට දෙවිට හැකි බවත් ඔහු තේරුම්ගත්තා. සියවසක පමණ කාලයක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි කෙනෙකු ලෙස සාමුවෙල් ඔහුගේ ජීවිතය අවසන් කළේ අපට වටිනා ආදර්ශයක් තබමිනුයි. ඔහුගේ මරණය ගැන ඊශ්‍රායෙල්වරුන් හඬා වැලපීම පුදුමයක්ද! ඇත්තෙන්ම අපි සියලුදෙනාම සාමුවෙල්ගේ ආදර්ශය අනුකරණය කිරීම කොතරම් වටිනවාද!

[25වන පිටුවේ පින්තූරය]

දරාගත නොහැකි වේදනාවෙන් හඬා වැලපුණු ඊශ්‍රායෙල්වරුන්ව සාමුවෙල් සැනසුවේ කෙසේද?

[26වන පිටුවේ පින්තූරය]

පුතුන් දෙදෙනා නිසා බලාපොරොත්තු සුන් වුණත් සාමුවෙල් එය දරාගත්තේ කෙසේද?