Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තැබෑරුමක මත්පැන් පිළිගැන්වූ කාන්තාවක් ජීවිතය වෙනස් කරගත්තේ කෙසේද? කිසිම ආගමක් නොඇදහූ දේශපාලනඥයෙක් දෙවිගේ සේවකයෙක් බවට පත් වුණේ ඇයි? රුසියානු පොලිසියේ සටන් ක්‍රම පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ කෙනෙකුට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීම සඳහා කුමන බාධක ජය ගැනීමට සිදු වුණාද? ඒ ගැන අපි ඔවුන්ගෙන්ම අසා දැනගමු.

“දැන් මට අම්මත් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා.”—නැටලි හැම්

උපත ලැබූ වසර: 1965

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: මත්ද්‍රව්‍ය භාවිත කළ කෙනෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ දකුණු ඕස්ට්‍රේලියාවේ රෝබ් කියන නගරයෙයි. එහේ ඉන්න අය වැඩියෙන්ම කාලය ගත කරන්නේ නගරයේ තිබුණු අවන්හලෙයි. දෙමාපියන් වගේම දරුවනුත් නිතරම එහෙට යන එන නිසා පුංචි කාලේම ඒ දරුවන් මත්පැන්වලට, දුම්පානයට සහ අසභ්‍ය කතාබහට හුරු වෙනවා.

වයස අවුරුදු 12දීම මමත් දුම්පානය කරන්න පටන්ගත්තා. නරක වචනත් පාවිච්චි කළා. හැමදාම වගේ මායි අම්මයි අතර ආරවුල් ඇති වුණා. මට වයස අවුරුදු 15දී මගේ අම්මයි තාත්තයි වෙන් වුණා. අවුරුදු එකහමාරකට විතර පස්සේ මමත් ගේ අත්හැරලා ගියා. ඒ වෙන කොට මම මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් අනාචාරමය ජීවිතයක් ගත කරමින් හිටියා. මම නිතරම හිටියේ කේන්තියෙන්. අවුරුදු පහක් පුරා මම සටන් ශිල්පය හදාරලා තිබුණු නිසාත් කාන්තාවන් වෙනුවෙන් තිබුණු ආත්මාරක්ෂක ක්‍රම දැනගෙන හිටිය නිසාත් මට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතුවා. ඒත් සමහර වේලාවට මට ලොකු කලකිරීමක් දැනුණා. ඒ වේලාවට මම දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා මට උදව් කරන්න කියලා. ඒත් “පල්ලියට නම් යන්න කියන්න එපා” කියලත් මම දෙවියන්ට කිව්වා.

එක දවසක් මගේ යාළුවෙක් මට බයිබලයක් ගෙනත් දුන්නා. එයාත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ කෙනෙක්. එයා පල්ලි ගියේ නැතත් දෙවියන් ගැන නම් එයාට ලොකු විශ්වාසයක් තිබුණා. එයා මට කිව්වා බව්තීස්ම වෙන්න කියලා. ඊටපස්සේ එයා මාව විලක් ළඟට අරන් ගිහින් බව්තීස්ම කළා. ඒ වේලාවේ ඉඳලා මට දැනුණා මට දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා. ඒත් මම බයිබලය නම් කියෙව්වේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1988දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඒ අයගෙන් එක් කෙනෙක් මගෙන් ඇහුවා ‘ඔයා දෙවියන්ගේ නම දන්නවාද’ කියලා. මම දැනගෙන හිටියේ නැති නිසා ඒ අය බයිබලයේ ගීතාවලිය 83:17 [18]වෙනි පදේ මට පෙන්නුවා. එකේ තිබුණේ මෙහෙමයි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” ඒක දැකලා මට පුදුම හිතුණා. ඒ අය ගියාට පස්සේ මම කිලෝමීටර් 56ක් ඈතින් තිබුණු පොත් සාප්පුවකට ගිහින් වෙන බයිබල්වලත් ශබ්දකෝෂවලත් දෙවියන්ගේ නම තියෙනවාද කියලා හොයලා බැලුවා. අන්තිමේදී මට තේරුණා දෙවියන්ගේ නම ‘යෙහෝවා’ කියලා. ඊටපස්සේ මම කල්පනා කළා මම නොදන්න තව කොච්චර දේවල් ඇද්ද කියලා.

මගේ අම්මා මට කිව්වේ සාක්ෂිකරුවන් හරිම අමුතු කට්ටියක් කියලයි. ඒ නිසා ඒ අය ජීවිතය රස විඳින්න දන්නේ නැති දැඩි මතධාරීන් කියලා මමත් හිතාගෙන හිටියා. හැබැයි සාක්ෂිකරුවන් ආවාම මම ඔවුන්ව පිළි අරන් ඒ අයත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා.

බයිබලයෙන් ඉගෙනගත්ත හැම දෙයක්ම මගේ පෙම්වතා වුණු ක්‍රේග්ටත් මම කිව්වා. අපි කරන හුඟක් දේවල් බයිබලයට එකඟ නැහැ කියලා මම නිතරම එයාට කියන නිසා දවසක් එයා කේන්තියෙන් වගේ මම බයිබලය ඉගෙනගන්න පාවිච්චි කළ පොත උදුරගෙන ගිහින් කියවන්න පටන්ගත්තා. සති තුනකට පස්සේ ක්‍රේග් මට කිව්වා දෙවි ගැන සත්‍යය එයා දැන් දන්නවා කියලා. එදායින් පස්සේ අපි දෙන්නා මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක අත්හැරියා. ඒ වගේම තැබෑරුමේ කළ රැකියාවෙනුත් මම අස් වුණා. ඊටපස්සේ අපි විවාහ වෙන්න තීරණය කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබලය ගැන ඉගෙනගන්න කලින් මගෙයි ක්‍රේග්ගෙයි ප්‍රේම සම්බන්ධය නතර වෙන තැනටම ඇවිත් තිබුණා. ඒත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගෙන ඒ අනුව අපේ ජීවිත වෙනස් කළාට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. ක්‍රේග් දැන් හොඳ ස්වාමිපුරුෂයෙක්. අපිට ලස්සන දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේම සාක්ෂිකරුවන් අතරේ හොඳ මිතුරනුත් අපිට ඉන්නවා.

මම සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරනවා කියලා දැනගත්තාම අම්මාට හුඟාක් කේන්ති ගියා. එහෙම වුණේ අම්මා සාක්ෂිකරුවන්ව වරදවා වටහාගෙන හිටිය නිසයි. හැබැයි දැන් මට අම්මත් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා. යෙහෝවා දෙවි ගැන දැනගන්න කලින් මගේ ජීවිතයේ තිබුණු හිස්බව දැන් මට නැහැ.—මතෙව් 5:3.

“නොදැන හිටිය හුඟක් දේවල් ඒ පොතෙන් මම දැනගත්තා.”—ඉසාකාලා පායෙනු

උපත ලැබූ වසර: 1939

රට: ටුවාලු

අතීතයේදී: දේශපාලනඥයෙක්

මගේ අතීතය: මම ඉපදුණේ පැසිෆික් සාගරයේ තිබෙන ටුවාලුවලට අයත් නුකුලායිලායි කියන දූපතෙයි. ඒක හරිම ලස්සන දූපතක්. ඒ දූපතේ හැම දෙයක්ම සිද්ධ වුණේ පූජකයන්ට ඕන විදිහටයි. ඒ පූජකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට කන්න බොන්න, ඉන්න හිටින්න දෙන්න ඕනේ දූපතේ අයමයි. තමන්ට කන්න නැතත් පූජකයන්ට කන්න දෙන්න ඔවුන් බැඳී සිටියා.

නුකුලායිලායි දූපතේ පාසැල භාරව සිටියෙත් පූජකයෙක්. ඒ පූජකයා ආගම, ගණිතය හා භූගෝල විද්‍යාව වැනි විෂයන් ඉගැන්නුවා. මට මතකයි ඒ පූජකයා සමහර දවස්වලට දරුවන්ට ගහන හැටි. එයා කොච්චර තදින් ගහනවාද කියනවා නම් දරුවන්ගේ ලේ ගලනකම් ඔවුන්ට ගහනවා. හැබැයි ඒ දරුවන්ගේ දෙමාපියන් පූජකයාට විරුද්ධව කිසි පියවරක් ගත්තේ නැහැ. මොකද හැමෝම ඒ පූජකයාට සලකන්නේ දෙවි කෙනෙකුට වගෙයි.

වයස අවුරුදු දහයේදී මම වෙන දූපතකට ගිහින් රජයේ පාසැලක ඉගෙනගත්තා. ඒ කාලේ ඒ හැම දූපතක්ම තිබුණේ බ්‍රිතාන්‍ය පාලනය යටතෙයි. අධ්‍යාපනය අවසන් කළාට පස්සේ මට රජයේ රැකියාවක් ලැබුණා. ඊටපස්සේ රජයේ පුවත්පතක සංස්කාරකයෙක් විදිහට මම වැඩ කළා. වේල්ස් කුමරාගේ පැමිණීම වෙනුවෙන් හුඟක් මුදල් වියදම් කිරීම ගැන විවේචනය කරලා පාඨකයෙක් එවූ ලිපියක් මම පුවත්පතේ පළ කළා. ඒ ලිපිය ලියූ කෙනා යොදාගෙන තිබුණේ ව්‍යාජ නමක්. ඒ කෙනා ගැන වහාම තොරතුරු හොයන්න කියලා ඉහළ බලධාරීන් මට බල කළත් මම එය ප්‍රතික්ෂේප කළා. ඒක ලොකු ප්‍රශ්නයකට මුලපිරුවා.

ඒ සිද්ධියෙන් පස්සේ මම දේශපාලනයට පිවිසුණා. මම නුකුලායිලායි දූපතේ ඡන්දේ දින්න නිසා මට අමාත්‍යධූරයකුත් ලැබුණා. කිරිබාති සහ ටුවාලුවලට අයිති දූපත්වල අය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙනවාත් එක්කම ආණ්ඩුකාරවරයා මට ටුවාලුවල පරිපාලන කටයුතු භාර දීමට උත්සාහ කළා. ඒත් මිනිසුන් මාව බ්‍රිතාන්‍ය පාලනයට සම්බන්ධ කෙනෙක් විදිහට දකිනවාට මම අකමැති වුණු නිසා මම ඒක භාරගත්තේ නැහැ. දේශපාලනඥයෙක් විදිහට ඉදිරියටම යන්න තිබුණු වුවමනාව නිසා මම මහා මැතිවරණයෙත් තරඟ කළා. ඒත් මම ඒකෙන් පැරදුණා. ඒ නිසා මායි මගේ බිරිඳයි ආයෙත් නුකුලායිලායි දූපතට පදිංචියට ගිහින් සාමාන්‍ය ජීවිතයක් ගත කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මේ දූපතේ අයට ඉරිදා සබත් දවසක්. ඒ නිසා ඒ දවස එයාලා විශේෂ දවසක් විදිහට සලකනවා. කිසිම කෙනෙක් එදාට වැඩ කරන්නේ නැහැ. ඒත් මම නම් මුහුදු යන්නේ ඒ දවසෙයි. මම එහෙම කරනවාට මගේ තාත්තයි මේ දූපතේ අයයි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මම එහෙම කළේ පල්ලියේ දේවල්වලට කොහොමටවත් සම්බන්ධ වෙන්න මම ආස කළේ නැති නිසයි.

දවසක් මම ෆූනාෆූටි දූපතට ගිය වේලාවක එහේ හිටිය මගේ බාල මල්ලී මට කිව්වා එයත් එක්ක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට යන්න එන්න කියලා. පිටරටින් ඇවිත් මෙහේ සේවය කරන සාක්ෂිකරුවෙක් මට මුරටැඹ හා පිබිදෙව්! සඟරා ටිකක් දුන්නා. ඒ වගේම පල්ලිවල උගන්වන ආගමික මූලධර්ම ආරම්භ වෙලා තියෙන්නේ කොහොමද කියලා විස්තර කර තිබෙන පොතකුත් එයා මට දුන්නා. මම ඒ පොත කිහිප සැරයක්ම කියෙව්වා. නොදැන හිටිය හුඟක් දේවල් ඒ පොතෙන් මම දැනගත්තා. ඒ වගේම සබත පවත්වන්න අපි බැඳිලා නැහැයි කියන එකත් ඒ පොතෙන් මම දැනගත්තා. * මම ඒ දේවල් මගේ බිරිඳට කියලා දුන්නට පස්සේ එයත් පල්ලි යන එක නතර කළා.

ඒත් ආගමකට සම්බන්ධ වෙන්න මම පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ වුණත් සඟරා පොත් පත්වලින් කියෙව්ව දේවල් මගේ හිතට කොච්චර කාවැදිලා තිබුණාද කියනවා නම් අවුරුදු දෙකක් ගත වුණාට පස්සෙත් ඒ දේවල් මට අමතක වුණේ නැහැ. ඒ නිසා බයිබලය ගැන තවත් ඉගෙනගන්න මම කැමතියි කියලා මට සඟරා පොත් පත් දුන්න කෙනාට ලිපියකින් මම දැනුම් දුන්නා. ඒ ලිපිය ලැබුණු ගමන්ම එයා ඊළඟ බෝට්ටුවෙන් නැඟලා මාව හම්බ වෙන්න ආවා. මම සාක්ෂිකරුවෙක් වෙනවාට තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මම තාත්තාට පැහැදිලි කරලා කිව්වා සාක්ෂිකරුවෙක් වෙන්න ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ කියලා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: වර්ෂ 1986දී මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. අවුරුද්දකට පස්සේ මගේ බිරිඳත් බව්තීස්ම වුණා. මගේ දුවලා දෙන්නත් බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න ආසාවෙන් ඉන්නවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර පූජකයන්වත් පංති බෙදීම්වත් නැහැ. (මතෙව් 23:8-12) ඇත්තටම එවැනි ආගමකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනවා. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන හැමෝටම කියලා දෙනවා. (මතෙව් 4:17) යෙහෝවා දෙවි තමා ගැනත් තම සෙනඟ ගැනත් සත්‍යය දැනගන්න මට අවස්ථාව ලබා දීම ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා.

“සාක්ෂිකරුවන් ඔවුන්ගේ ඉගැන්වීම් විශ්වාස කරන්න කියලා මට කිව්වේ නැහැ.”—අලික්සාන්ඩර් සස්කොව්

උපත ලැබූ වසර: 1971

රට: රුසියාව

අතීතයේදී: සටන් පුහුණුකරුවෙක්

මගේ අතීතය: මම ඉපදුණේ මොස්කව්වලයි. අපි ජීවත් වුණේ නිවාස සංකීර්ණයක. අපේ හුඟක් අසල්වාසීන් වැඩ කළේ එකම කර්මාන්ත ශාලාවෙයි. පුංචි කාලේ ඉඳලාම මම හුඟක් දඩබ්බර නිසා කවදා හරි මම අකාලේ මැරෙයි නැත්නම් හිරගෙදරට යයි කියලා අසල්වාසීන් කිව්වා. කිව්ව විදිහටම අවුරුදු දහයේදී මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් තිබුණා.

වයස අවුරුදු 18දී මාව හමුදා සේවයට බඳවාගත්තා. මම වැඩ කළේ දේශසීමා ආරක්ෂකයෙක් විදිහටයි. අවුරුදු දෙකකට විතර පස්සේ මම ගෙදර ඇවිත් කර්මාන්ත ශාලාවක වැඩ කරන්න පටන්ගත්තා. ඒත් ඒ රස්සාවට මම එච්චර කැමති වුණේ නැහැ. ඒ නිසා මම එතනින් අස් වෙලා මොස්කව් පොලිසියේ කැරලි මර්ධන බලකායට සම්බන්ධ වෙලා සටන් පුහුණුකරුවෙක් විදිහට වැඩ කළා. ඒ වගේම අපරාධකරුවන්ව හසු කරගන්න මම පොලිසියට සහාය වුණා. විවිධ පළාත්වල ගැටුම් ඇති වුණු අවස්ථාවල මම පොලිසියත් එක්ක ඒ තැන්වලට ගිහින් ඒවා මර්ධනය කරන්නත් හවුල් වෙලා තියෙනවා. ඒ නිසා ඒ දවස්වල මම හිටියේ පුදුම පීඩනයකින්. සමහර දවස්වලට ගැටුම්වලට සම්බන්ධ වෙලා ගෙදර ආවම මම මගේ බිරිඳත් එක්ක නිදාගන්නේ නැතුව වෙනම නිදාගන්නවා. මොකද රෑ නින්දෙන් මම එයාට ගහයි කියලා මම බය වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ ගැටුම්වලට සම්බන්ධ වෙන එක බයිබලයට එකඟ නැහැයි කියලා දැනගත්තා. ඒ වගේම දුම්පානය වැරදියි කියලත් මත්පැන් පානය පාලනය කරන්න ඕනේ කියලත් මම දැනගත්තා. ඒත් මට වෙන රස්සාවක් කරන්න තරම් සුදුසුකම් නැති නිසා රස්සාවෙන් අයින් වෙන්න මම බය වුණා. ඒ වගේම සාක්ෂිකරුවන් වගේ ශුභාරංචිය දේශනා කරන්න මට කවදාවත් පුළුවන් වෙන එකක් නැහැ කියලත් මම හිතුවා.

කාලයත් එක්කම මට තේරුණා බයිබලයේ තියෙන තොරතුරු නිවැරදියි කියලා. බයිබලයේ එසකියෙල් 18:21, 22හි සඳහන් වෙන මේ වදන් මට ලොකු සහනයක් වුණා. ‘දුෂ්ටයෙක් තමා කළ සියලු පාප ගැන පසුතැවුණොත් ඔහු අතින් සිදු වූ වැරදි නැවත නැවතත් මතක් කරනු ලබන්නේ නැත.’

සාක්ෂිකරුවන් ඔවුන්ගේ ඉගැන්වීම් විශ්වාස කරන්න කියලා මට කිව්වේ නැහැ. ඒ වෙනුවට බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන හොඳින් හිතලා බලන්න ඒ අය මට මඟ පෙන්නුවා. දවසක් මම සාක්ෂිකරුවන්ගෙන් සඟරා 40කට වඩා ඉල්ලගෙන සති තුනක් ඇතුළත ඒ ඔක්කොම කියෙව්වා. මම ඉගෙනගත්ත දේවල්වලින් මට තේරුණා මට සත්‍ය ආගම ලැබුණා කියලා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබලය ගැන ඉගෙනගන්න කලින් දික්කසාද වෙන තරමටම අපේ විවාහ ජීවිතයේ ප්‍රශ්න තිබුණා. නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මාත් එක්කම මගේ බිරිඳත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. දැන් අපි දෙන්නම යෙහෝවා දෙවිට සේවය කරන නිසා අපේ පවුල් ජීවිතය හරිම සන්තෝෂවත්. ඒ වගේම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නැති රැකියාවක් හොයාගන්නත් මට පුළුවන් වුණා.

මට හරි ඉක්මනින්ම කේන්ති යන නිසා සාක්ෂිකරුවන් එක්ක දේවසේවයේ ගිය මුල් දවස්වල මට මාව හුඟක් පාලනය කරගන්න සිද්ධ වුණා. ඒත් දැන් කවුරු මට බැන්නත් මට සන්සුන්ව ඉන්න පුළුවන්. මොකද මිනිසුන් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න මම ඉගෙනගෙන තියෙනවා. මගේ ජීවිතයේ වැඩි හරියක්ම නිරපරාදේ නාස්ති වුණ එක ගැන මට හරි දුකයි. කොහොමවුණත් දැන් මගේ ජීවිතයට වටිනාකමක් තියෙනවා කියලා මට දැනෙනවා. මගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් මම ලබන්නේ ලොකු සතුටක්.

[පාදසටහන]

^ 24 ඡේ. වැඩි විස්තර සඳහා 2010 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 11 සිට 15 දක්වා පිටුවල පළ වූ “ඔබ සබත පැවැත්විය යුතුද?” යන ලිපිය බලන්න.