Skip to content

පටුනට යන්න

‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’

‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’

දෙවිට ළං වෙන්න

‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’

“යෙහෝවා දෙවිගේ ආදරය ලබන්න තරම් මම වටින්නේ නැහැයි කියලා මට හිතෙනවා.” එසේ පැවසුවේ කාලයක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ එක් කාන්තාවක්. ඔබටත් එසේ හැඟෙනවාද? උදාහරණයකට දෙවිගේ ආදරය, අනුමැතිය ලබාගැනීමට ඔබ වටින්නේ නැහැ කියා ඔබට හැඟෙනවාද? එසේනම් පුරාණයේ සිටි යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ නෙහෙමියා දෙවිට කළ යාච්ඤාවක සඳහන් කළ වදන් සලකා බැලීමෙන් ඔබට මහත් සහනයක් හා දිරිගැන්වීමක් ලැබිය හැකියි.—නෙහෙමියා 13:31.

යුදෙව්වන්ගේ ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ නෙහෙමියා නිතරම යෙහෝවා දෙවිගේ කැමැත්තට මුල් තැන දී ක්‍රියා කළ කෙනෙක්. උදාහරණයකට ඔහු සතුරු ජාතීන්ගේ තර්ජන හමුවේ පවා යෙරුසලමේ පවුර නැවත ගොඩනැඟීමේ වැඩ අඛණ්ඩව සිදු කළා. එමෙන්ම යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න ඔහු යුදෙව්වන්ව දිරිගැන්වූවා. ඊට අමතරව පීඩිත ජනතාවට යම් සහනයක් සැලසූ ඔහු, දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට ඔවුන්ට උදව් කළා. ඔහු කළ එවැනි යහපත් ක්‍රියා යෙහෝවා දෙවි මතකයේ තබාගත්තාද? ඔහුට දෙවිගේ අනුමැතිය හිමි වුණාද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔහුගේම නමින් බයිබලයට ඇතුළත් කර තිබෙන පොතෙන් අපි සොයා බලමු.

නෙහෙමියා යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් ඔහුගෙන් මෙසේ ඉල්ලා සිටියා. “මාගේ දෙවියනි, මට කරුණාව පෙන්වා මාව සිහි කරන මෙන් ඉල්ලා සිටිමි.” * නෙහෙමියා එවැනි ඉල්ලීමක් කළේ තමා කළ යහපත් ක්‍රියා දෙවිට අමතක වෙයි කියා ඔහු සිතූ නිසා නොවෙයි. මන්ද තමාට කලින් සිටි බයිබල් ලේඛකයන් වාර්තා කළ තොරතුරු ඔහු හොඳින් කියවා තිබුණු නිසා දෙවි කොහොමටවත් එසේ නොකරන බව නෙහෙමියා දැන සිටියා. (නික්මයාම 32:32, 33; ගීතාවලිය 56:8) එසේනම් ‘තමාව සිහි කරන්න’ කියා නෙහෙමියා ඉල්ලා සිටියේ ඇයි? එක් පොතක සඳහන් වන ආකාරයට ‘සිහි කරන්න’ කියා පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ ‘ආදරයෙන් සිහි කරන්න’ යන්නයි. ඒ අනුව යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් නෙහෙමියා ඉල්ලා සිටියේ තමාව ආදරයෙන් සිහි කර තමාට ආශීර්වාද කරන්න කියායි.—නෙහෙමියා 2:4.

යෙහෝවා දෙවි නෙහෙමියාගේ ඉල්ලීමට සවන් දුන්නාද? ඇත්තෙන්ම ඔව්. නෙහෙමියා කළ යාච්ඤාව බයිබලයට ඇතුළත් කිරීමෙන්ම පැහැදිලි වන්නේ දෙවි ඔහුගේ යහපත් ක්‍රියා අමතක නොකර ඔහුව ආදරයෙන් සිහි කර තිබෙන බවයි. නමුත් ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ හැටියට දෙවි නෙහෙමියාගේ ඉල්ලීමට වෙනත් ආකාරයකින්ද පිළිතුරු දීමට නියමිතයි. (ගීතාවලිය 65:2) ඒ කෙසේද?

නුදුරු අනාගතයේදී යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ නමස්කාරය වෙනුවෙන් ඇපකැප වී වැඩ කළ නෙහෙමියාට ඒ කාලයේදී නැවත ජීවත් වීමට දෙවි අවස්ථාව සලසා දෙනවා. * (හෙබ්‍රෙව් 11:6; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) එමනිසා නෙහෙමියාට ඒ පාරාදීස පොළොවේ සදාකාලයට ජීවත් වීමට අවස්ථාව හිමි වෙනවා. යෙහෝවා දෙවි තමාව කොතරම් ආදරයෙන් සිහිපත් කර තිබෙනවාද කියා එදාට නෙහෙමියාට හොඳින්ම පැහැදිලි වෙයි.

තමාව සිහි කරන ලෙසට නෙහෙමියා යෙහෝවා දෙවිට කළ යාච්ඤාවෙන් පුරාණයේ සිටි දාවිත් රජු එක් අවස්ථාවක පැවසූ දෙයක සත්‍යතාව තහවුරු වෙනවා. ඔහු පැවසුවේ මෙයයි. “යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද කරන්නෙහිය. ඔබේ අනුමැතිය ඔවුන්ට ලබා දෙන්නෙහිය. විශාල පලිහක් මෙන් ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.” (ගීතාවලිය 5:12) යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ගේ යහපත් ක්‍රියා අගය කරන බව අපට එයින් පැහැදිලියි. ඔබත් යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබේ උපරිමය කරනවා නම් ඔහු ඔබවත් ආදරයෙන් සිහි කරමින් ඔබට ආශීර්වාද කරන බවට නිසැක වන්න.

පෙබරවාරි මාසයට නියමිත බයිබල් කියවීම

නෙහෙමියා 1-13

[පාදසටහන්වල]

^ 3 ඡේ. නෙහෙමියා තමා කළ යහපත් ක්‍රියා වෙනුවෙන් ‘තමාව සිහි කරන්න’ කියා හතර වතාවක්ම දෙවිට යාච්ඤා කළ බව බයිබලයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් කරන්නේ අවසාන අවස්ථාව ගැනයි.—නෙහෙමියා 5:19; 13:14, 22, 31.

^ 5 ඡේ. දෙවි අනාගතයේදී කිරීමට නියමිත දේවල් ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන හා 7වන පරිච්ඡේද බලන්න.