Skip to content

පටුනට යන්න

ගෞරවය පෙන්වන්න දරුවන්ට උගන්වන්න

ගෞරවය පෙන්වන්න දරුවන්ට උගන්වන්න

ගෞරවය පෙන්වන්න දරුවන්ට උගන්වන්න

නිවසකට ඇතුල් වන විට හෝ කෙනෙකුට ආචාර කරන විට හිස්වැස්ම ගැලවීම බොහෝ සංස්කෘතීන්වල සලකන්නේ ගෞරව කිරීමක් ලෙසයි. එවැනි හොඳ පුරුදු තිබෙන අයට ගෞරව කිරීමට අන් අය පෙලඹෙන්නේ නිරායාසයෙන්මයි. ‘හිස පැළඳි තොප්පිය අතට ගත් කෙනෙකුට යා නොහැකි තැනක් නැත’ කියා ජර්මනියේ කියමනක් තිබෙනවා.

යෞවනයන්ට හොඳ පුරුදු තිබෙන විට එය මොන තරම් ප්‍රසන්නද! විවිධ වයස් මට්ටම්වල සිටින ප්‍රචාරකයන් සමඟ දේවසේවයේ හවුල් වන සංචාරක සේවකයෙක් හොඳ පුරුදුවල වැදගත්කම මෙසේ පවසනවා. “හොඳින් පුහුණු කළ දරුවෙක් ගෞරවනීයව හැසිරෙන විට, මම නිවැසියෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරලා ලැබෙන ප්‍රතිචාරයට වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන බව බොහෝවිට දැකලා තියෙනවා.”

ගෞරව කිරීම අඩු වෙමින් පවතින මේ කාලයේදී අන් අයට ගෞරවනීයව සැලකීමට ඉගෙනගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. බයිබලයේද අපට උනන්දු කරන්නේ “නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න” කියායි. (ෆිලි. 1:27; 2 තිමෝ. 3:1-5) ඒ නිසා අන් අයට ගෞරව කිරීමට අපගේ දරුවන්ට ඉගැන්වීම අත්‍යවශ්‍ය දෙයක්. ගෞරව කිරීමේදී එය මූණිච්චාවට නොකර අවංකව කරන්න උගන්වන්නේ කොහොමද? *

ආදර්ශයෙන් උගන්වන්න

දරුවන් බොහෝ දේ ඉගෙනගන්නේ දකින දේ තුළිනුයි. ඒ නිසා දෙමාපියන් හොඳ පුරුදු ඇතුව සිටින විට දරුවන්ට ඒවා ඉගැන්වීම පහසුයි. (ද්වි. 6:6, 7) අන් අයට කරුණාවන්තව සලකන ආකාරය දරුවන්ට කියා දීම ඉතා වැදගත්. නමුත් වඩාත් වැදගත් වන්නේ දෙමාපියන් ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබීමයි.

ක්‍රිස්තියානි මවක් යටතේ කුඩා කල සිට හැදී වැඩුණු පෝලි * ගැන සලකා බලන්න. අන් අයට ගෞරව කිරීමට ඇය නිරායාසයෙන්ම පෙලඹෙනවා. ඊට හේතුව ඇය මෙසේ පවසනවා. “අපේ අම්මා අපිට හොඳ ආදර්ශයක්. ඒ නිසා අපි හැමෝම පොඩි කාලේ ඉඳලම අන් අයට ගෞරව කරන්න ඉගෙනගත්තා.” වෝල්ට නමැති සහෝදරයා ඔහුගේ පුතාලට සාක්ෂිකාරියක් නොවන ඔවුන්ගේ මවට ගෞරව කරන්න ඉගැන්නුවා. ඔහු ඒ සඳහා කළ දේ මෙසේ විස්තර කරනවා. “මම මගේ භාර්යාවගේ වැරදි ගැන කතා කළේ නැහැ. ඒ ආදර්ශය නිසා අම්මට ගෞරව කරන්න දරුවන් තුළ පෙලඹීමක් ඇති වුණා.” වෝල්ට දිගටම දේවවචනය දරුවන්ට ඉගැන්වූ අතර ඒ සඳහා දෙවිගේ උපකාරයද ඉල්ලා සිටියා. දැන් ඔහුගේ එක පුතෙක් ශාඛා කාර්යාලයක සේවය කරන අතර අනික් පුතා පුරෝගාමි සේවයේ යෙදෙනවා. ඔවුන් තම මව සහ පියා යන දෙදෙනාටම ගෞරව කරනවා.

“දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්” කියා බයිබලයේ පවසනවා. (1 කොරි. 14:33) දෙවි සෑම දෙයක්ම කරන්නේ පිළිවෙළටයි. දෙවිගේ මෙම ගතිලක්ෂණය අනුකරණය කරමින් තම නිවෙස් පිළිවෙළකට තබාගැනීමට ක්‍රිස්තියානීන් වෑයම් කළ යුතුයි. තම දරුවන් පාසැල් යෑමට පෙර ඔවුන්ගේ ඇඳ සකස් කරන්න සමහර දෙමාපියන් ඔවුන්ව පුහුණු කර තිබෙනවා. ඒ වගේම ඇඳුම් නියමිත ස්ථානයේ තබන්නත්, ගෙදරදොරේ සුළු සුළු වැඩ කරන්නත් දරුවන්ට උගන්වා තිබෙනවා. නිවස පිරිසිදුව හා පිළිවෙළකට තිබෙනවා දරුවන් දකින විට ඔවුන්ගේ කාමරත් එහි තිබෙන දේවලුත් පිරිසිදුව හා පිළිවෙළකට තියාගන්න ඔවුන් පෙලඹෙනවා.

දරුවන් පාසැලේදී ඉගෙනගන්න දේවල් ගැන ඔවුන්ට තිබෙන ආකල්පය කුමක්ද? ඔවුන් ගුරුවරුන් කරන සේවය අගය කරනවාද? අනික් අතට දෙමාපියන් හැටියට ඔබ ගුරුවරුන්ව අගය කරනවාද? පාසැලේ උගන්වන දේවල් හා ක්‍රියාකාරකම් ගැනත් ගුරුවරුන් ගැනත් ඔබ හොඳ ආකල්පයක් දරද්දී ඔබේ දරුවනුත් එය විදහාපෙන්වීමට පෙලඹිය හැකියි. ගුරුවරුන්ව අගය කිරීමේ පුරුද්ද ඇති කරගැනීමට දරුවන්ව දිරිගන්වන්න. ගුරුවරුන්, වෛද්‍යවරුන්, වෙළඳසැල්වල සිටින සේවක සේවිකාවන් හෝ වෙනත් අය අපට ලබා දෙන සේවය අගය කිරීම ඔවුන්ට ගෞරවය දැක්වීමක් වෙනවා. (ලූක් 17:15, 16) පාසැලේ සිටින අනික් ශිෂ්‍යයන්ට වඩා යහපත් පුරුදු තිබෙන හොඳින් හැසිරෙන ක්‍රිස්තියානි දරුවන්ව බොහෝදෙනා අගය කරනවා.

ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනාම හොඳ පුරුදු සම්බන්ධයෙන් ආදර්ශයක් තැබිය යුතුයි. “සමාවෙන්න” සහ “ස්තුතියි” වැනි වචන පැවසීමෙන් ආචාරශීලී පුරුදු විදහාපෙන්වන යෞවනයන්ව සභාවේ දැකීම කොතරම් ප්‍රසන්නද? වේදිකාවෙන් ඉදිරිපත් කරන තොරතුරුවලට හොඳින් අවධානය යොමු කිරීම මගින් වැඩිහිටියන් යෙහෝවා දෙවිට ගෞරව කරන විට දරුවන්ද එය අනුකරණය කරන්න පෙලඹෙනවා. රාජ්‍ය ශාලාවේදී හොඳ පුරුදු දකින දරුවන් අන් අයට ගෞරව කිරීමට ඉගෙනගන්නවා. උදාහරණයකට වැඩිහිටියන් කතාබහ කරමින් සිටින විට ඒ අතරින් යෑමට අවශ්‍ය අවස්ථාවලදී “සමාවෙන්න” කියා පවසන්න ඇන්ඩෘ වයස අවුරුදු හතර වන විටත් පුරුදු වී සිටියා.

යහපත් හැසිරීමට තවදුරටත් ඇතුළත් වන්නේ කුමක්ද කියා දැනගැනීම සඳහා දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? තමන් ඉගෙනගෙන තිබෙන බයිබලයේ සඳහන් ආදර්ශ ගැන දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට පුළුවන්.—රෝම 15:4.

බයිබලයේ සඳහන් ආදර්ශ උගන්වන්න

උත්තම පූජක ඒලීට ආචාර කරන්න සාමුවෙල්ගේ මව ඔහුට ඉගැන්වූ බවට කිසිම සැකයක් නැහැ. ඇය සාමුවෙල්ව ශුද්ධ කූඩාරමට රැගෙන යන විට ඔහුට අවුරුදු තුනක් හෝ හතරක් වූවා විය හැකියි. (1 සාමු. 1:28) “සුබ උදෑසනක්,” “සුබ රාත්‍රියක්” කියා පැවසීමට හෝ ඔබ ජීවත් වන ප්‍රදේශයේ තිබෙන ආචාර ක්‍රම හෝ ඔබේ දරුවන්ට උගන්වන්න. එවිට සාමුවෙල් මෙන් ඔබේ දරුවන්ටද ‘යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලැබිය’ හැකියි.—1 සාමු. 2:26.

ගෞරව කිරීම හා අගෞරව කිරීම අතර වෙනස දැනගැනීමට බයිබලයේ සඳහන් වාර්තා යොදාගන්න ඔබට පුළුවන්. මේ උදාහරණය සලකා බලන්න. දෙවිට අවිශ්වාසවන්ත වූ අහසියා රජු එලියාව තමා වෙතට ගෙන්වාගැනීමට අවශ්‍ය වූ විට “පනස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක්ද ඔවුන්ගේ නායකයාවද” ඔහු ළඟට යැව්වා. එම නායකයා එලියාට කතා කළ අවස්ථාවේදී දෙවිගේ නියෝජිතයා හැටියට එලියාට කිසිම ගෞරවයක් දැක්වූයේ නැහැ. එලියා ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක් ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඔහු එසේ පැවසූ විට ‘අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවා.’—2 රාජා. 1:9, 10.

රජ දෙවෙනි වතාවටත් නායකයෙක් සමඟ තවත් පනස්දෙනෙකුව එලියා වෙතට යැව්වා. ඔහු එලියාට කතා කළේ පළමු තැනැත්තා කතා කළ ආකාරයටයි. ඔවුන් සියලුදෙනාටම සිදු වුණෙත් පළමු කණ්ඩායමට සිදු වූ දෙයමයි. නමුත් තුන්වෙනි වතාවට පැමිණි කණ්ඩායමේ නායකයා එලියාට ගෞරවනීයව කතා කළා. ඔහු එලියාට පැවසුවේ “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබගෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයත් ඔබේ සේවකයන් වන මේ පනස්දෙනාගේ ජීවිතත් විනාශ කරන්න එපා කියායි. ඔබව හමු වීමට කලින් ආ නායකයන් දෙදෙනාත් ඔවුන්ගේ භට පිරිසත් ගින්නෙන් විනාශ වී ගියා. අනේ, මට අනුකම්පා කරන්න. මට අනතුරක් කරන්න එපා” කියායි. බිය වී සිටියත් ඔහු ඉතා ගෞරවාන්විතව කළ ඉල්ලීම නිසා ඔවුන්ගේ ජීවිත බේරුණා. එම නායකයා සමඟ යන්න කියා යෙහෝවා දෙවිගේ දූතයා එලියාට පැවසුවා. (2 රාජා. 1:11-15) ගෞරව කිරීම කොතරම් වැදගත්ද කියා ඒ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ නැද්ද?

ගෞරව කිරීම සම්බන්ධයෙන් පාවුල්ද හොඳ ආදර්ශයක්. දේවමාලිගාවේ සිටිද්දී රෝම සොල්දාදුවන් ඔහුව අත්අඩංගුවට ගත්තා. කතා කිරීමට අයිතියක් තිබුණත් පාවුල් එම නිලධාරියාගෙන් ගෞරවාන්විතව ඇසුවේ “ඔබට යමක් කියන්න මට අවසර තිබෙනවාද” කියායි. එහි ප්‍රතිඵලයක් ලෙස පාවුල්ට කතා කිරීමට ඔහු අවස්ථාවක් ලබා දුන්නා.—ක්‍රියා 21:37-40.

යේසුස්ගේ නඩු විභාගය අතරතුර නිලධාරියෙක් ඔහුගේ කම්මුලට ගැසුවා. ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය යේසුස් හොඳින් දැන සිටි නිසා ඔහු මෙසේ ඇසුවා. “මා කී දේ වැරදි නම් ඒ වරද මොකක්ද කියලා මට කියන්න. නමුත් මම පැවසූ දේවල වරදක් නැත්නම් ඔබ මට පහර දෙන්නේ ඇයි?” යේසුස් කතා කළ ආකාරයේ වරදක් සොයාගන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැහැ.—යොහ. 18:22, 23.

ඍජු මඟ පෙන්වීම් ලැබෙන විට ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරය ගැනත් අතීතයේ කළ වැරදි ගෞරවාන්විතව පිළිගන්නා ආකාරය ගැනත් අපට අමතක වූ දේවල් මතක් කර දෙන විට ප්‍රතිචාරය දැක්විය යුතු ආකාරය ගැනත් ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 41:9-13; ක්‍රියා 8:20-24) එක් උදාහරණයක් සලකා බලමු. තම ස්වාමිපුරුෂයා වන නාබල් දාවිත්ට විරුද්ධව කියූ දේවල් ගැන අබිගායිල් දාවිත්ගෙන් සමාව ඉල්ලූ අතර ඔහුට විශාල තෑග්ගක්ද දුන්නා. දාවිත් ඒ ගැන බොහෝ සේ සතුටු වුණා. නාබල්ගේ මරණින් පසු දාවිත් අබිගායිල්ව තම භාර්යාව කරගත්තා.—1 සාමු. 25:23-41.

අසීරු අවස්ථාවලදී පවා ගෞරවය පෙන්වීමට හෝ යහපත් පුරුදු ඇතුව සිටීමට ඔබේ දරුවන්ට ඉගැන්වීම අත්‍යවශ්‍යයි. එලෙස ‘අපගේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන විට ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ට ප්‍රශංසාව ලැබෙනවා.’—මතෙ. 5:16.

[පාදසටහන්වල]

^ 4 ඡේ. වැඩිහිටියන්ට ගෞරව කිරීම සහ වැරදි දෙයක් කිරීමට පොලඹවන වැඩිහිටියන්ට කීකරු වීම අතර වෙනසක් තිබෙන බව අවබෝධ කරගැනීමට දෙමාපියන් දරුවන්ට උගන්වන්න අවශ්‍යයි. වර්ෂ 2007 ඔක්තෝබර් පිබිදෙව්! කලාපයේ 3-11 පිටු බලන්න.

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.