Skip to content

පටුනට යන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න

‘ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කළා.’—ගීතා. 45:7.

1. ‘ධර්මිෂ්ඨ මාවත්වල යන්න’ අපට උපකාර කරන්නේ කුමක්ද?

දෙවි ඔහුගේ වචනය හා බලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟව ‘ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යනවා.’ (ගීතා. 23:3) නමුත් අප පාපය උරුම කරගෙන සිටින නිසා ඒ මාවත්වලින් ඉවතට යන අවස්ථාද තිබෙනවා. එවැනි අවස්ථාවල නැවත නිවැරදි මාවතට පැමිණෙන්න වෑයමක් දැරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා යේසුස්ට මෙන් අපටත් හරි දේ කිරීමට ආශාවක් තිබිය යුතුයි.ගීතාවලිය 45:7 කියවන්න.

2. දෙවිගේ ‘ධර්මිෂ්ඨ මාවත්වල යනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

2 දෙවිගේ ‘ධර්මිෂ්ඨ මාවත්වල යනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමයි. එම පදයේ සඳහන් “ධර්මිෂ්ඨ” යන්නට යොදා ඇති හෙබ්‍රෙව් හා ග්‍රීක වචනවලින් අදහස් කරන්නේ “නිර්දෝෂ” යන්නයි. ඊට හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිතිවලට දැඩිව ඇලී සිටීම යන අදහසද ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි “ධර්මිෂ්ඨකමේ උල්පත” වන නිසා හරි වැරැද්ද පිළිබඳ දෙවි ලබා දෙන ප්‍රමිතිවලට අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට ඔහුගේ සෙනඟ ඔහු මත රඳා සිටිනවා.—යෙරෙ. 50:7

3. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන ඉගෙනගන්න නම් අප කුමක් කළ යුතුද?

3 දෙවිව පූර්ණ ලෙස සතුටු කිරීමට හැකි වෙන්නේ මුළු හදවතින්ම ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අප වෑයම් කරනවා නම් පමණයි. (ද්වි. 32:4) ඒ සඳහා දෙවිගේ වචනය අධ්‍යයනය කළ යුතුයි. ඔහු ගැන වඩ වඩා ඉගෙනගනිද්දී හා ඔහුට තව තවත් ළං වෙද්දී ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින්න අප තුළ තිබෙන ආශාව වැඩි වෙනවා. (යාකො. 4:8) ඒ වගේම වැදගත් තීරණ ගැනීමට සිදු වන විට දෙවිගේ වචනයේ මඟ පෙන්වීම් අදාළ කරගැනීම අවශ්‍යයි.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

4. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමට ඇතුළත් වන්නේ කුමක්ද?

4 මතෙව් 6:33 කියවන්න. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමට ඇතුළත් වන්නේ දේවරාජ්‍යය ගැන කතා කිරීමට කාලය වැය කිරීම පමණක් නොවෙයි. අපගේ හැසිරීමත් දෙවිගේ උසස් ප්‍රමිතිවලට එකඟ විය යුතුයි. අපගේ පරිශුද්ධ සේවය දෙවි පිළිගන්නේ එවිට පමණයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන කෙනෙක් තවදුරටත් කළ යුත්තේ කුමක්ද? ඔහු “අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.”—එෆී. 4:24.

5. අධෛර්යයට පත් වී සිටින විට ඉන් ගොඩ එන්න අපට උපකාර කරන්නේ කුමක්ද?

5 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අප වෑයම් කළත් සමහර අවස්ථාවලදී අපේම වැරදි නිසා අප අධෛර්යයට පත් විය හැකියි. එයින් ගොඩ ඒමටත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ළැදිව සිටීමටත් ඒවා පිළිපැදීමටත් අපට උපකාර කරන්නේ කුමක්ද? (හිතෝ. 24:10) ඒ සඳහා “අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින්” අප නොකඩවා දෙවිට යාච්ඤා කළ යුතුයි. (හෙබ්‍රෙ. 10:19-22) එමෙන්ම අප අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වුවත් පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය වුවත් යේසුස්ගේ ජීවිත පූජාව හා ශ්‍රේෂ්ඨ උත්තම පූජක ලෙස ඔහු කරන සේවය ගැන විශ්වාසය තබන්න අවශ්‍යයි. (රෝම 5:8; හෙබ්‍රෙ. 4:14-16) යේසුස් වැගිරෙවූ රුධිරයේ ඇති වටිනාකම මුරටැඹ සඟරාවේ පළමු කලාපයේ මෙසේ නිදර්ශනය කර තිබුණා. (1 යොහ. 1:6, 7) “හොඳින් ආලෝකය තිබෙන අවස්ථාවක රතු පාට වීදුරු කැබැල්ලක් තුළින් තද රතු පාට භාණ්ඩයක් දෙස බැලූ විට එය පෙනෙන්නේ සුදු පාටටයි. අපගේ පව් තද රතු පාටට තිබුණත් යේසුස් වැගිරෙවූ රුධිරය නිසා දෙවි ඒවා සුදු පාට වෙන්න සලස්වනවා.” (1879 ජූලි, 6 පි.) යෙහෝවා දෙවි ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයාගේ ජීවිත පූජාව තුළින් අපට ලබා දී තිබෙන්නේ කොතරම් උතුම් ත්‍යාගයක්ද!—යෙසා. 1:18.

යුද්ධායුධ කට්ටලය පරීක්ෂා කර බලන්න

6. දෙවි ලබා දී තිබෙන යුද්ධායුධ කට්ටලය අප පැළඳ සිටිනවාද කියා පරීක්ෂා කිරීම වැදගත් ඇයි?

6 යෙහෝවා දෙවි ලබා දී තිබෙන යුද්ධායුධ කට්ටලයේ වැදගත් කොටසක් වන “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” අප සැමවිටම පැළඳ සිටිය යුතුයි. (එෆී. 6:11, 14) අපගේ ජීවිත අප දෙවිට කැප කළේ මෑතක වුවත් දශක ගණනාවකට පෙර වුවත් දෙවි ලබා දී තිබෙන යුද්ධායුධ කට්ටලයේ සියලුම කොටස් අප පැළඳ සිටිනවාද කියා දිනපතා පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ඊට හේතුව සාතන්ව හා ඔහුගේ භූතයන්ව පොළොවට හෙළා තිබීමයි. (එළි. 12:7-12) සාතන් සිටින්නේ ඉතා කෝපයෙන්. එමෙන්ම තමාට තිබෙන්නේ කෙටි කාලයක් බව ඔහු දන්නවා. ඒ නිසා දෙවිගේ සෙනඟට එල්ල කරන ප්‍රහාර ඔහු වැඩි කර තිබෙනවා. “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” පැළඳ සිටීම මොන තරම් වැදගත්ද කියා ඉන් පැහැදිලි වෙනවා.

7. “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” පැළඳ සිටීම වැදගත් කියා සලකන කෙනෙක් ක්‍රියා කරන්නේ කෙසේද?

7 ළයවැස්මකින් හදවත ආරක්ෂා වෙනවා හා සමානව ධර්මිෂ්ඨකම අපගේ සිත ආරක්ෂා කරනවා. අප පාපය උරුම කරගෙන සිටින නිසා අපගේ සිත රැවටිලිකාරයි. (යෙරෙ. 17:9) අපගේ සිත නිතරම අපව පොලඹවන්නේ වැරදි දේ කිරීමට නිසා දෙවිගේ ප්‍රමිතිවලට අනුව සිතන්න අප පුහුණු විය යුතු අතර අපගේ සිතුවිලි හික්මවාගැනීමත් අවශ්‍යයි. (උත්. 8:21) අප “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” පැළඳ සිටීම වැදගත් කියා සලකනවා නම් සුළු මොහොතකට හෝ එය ගලවා දමන්නේ නැහැ. උදාහරණයකට, අප දෙවි පිළිකුල් කරන විනෝදාස්වාදවල නියැලෙන්නේවත් මනසේ ඇති වන වැරදි සිතුවිලි ගැන දිගින් දිගටම කල්පනා කරන්නේවත් නැහැ. එමෙන්ම බොහෝ වේලාවක් රූපවාහිනිය නැරඹීමෙන් අපගේ වටිනා කාලය නාස්ති කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි සතුටු කරන දේවල් කිරීමට දැඩි වෑයමක් දරනවා. කෙසේවෙතත් අප අතින් යම් වරදක් සිදු වුණොත් දෙවිගේ උපකාරය ඇතුව ඉක්මනින්ම ඒ වරද හදාගන්න අපට පුළුවන්.හිතෝපදේශ 24:16 කියවන්න.

8. “විශ්වාසය නමැති විශාල පලිහ” අපට අවශ්‍ය ඇයි?

8 දෙවි ලබා දී තිබෙන යුද්ධායුධ කට්ටලයට ‘විශ්වාසය නමැති විශාල පලිහද’ අයත්. ‘දුෂ්ටයා අප දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට’ එම පලිහ අපට උපකාරවත් වෙනවා. (එෆී. 6:16) අප දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් සහ මුළු හදවතින්ම ඔහුට ප්‍රේම කරනවා නම් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින්නත් සදාකාල ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කරන්නත් අපට හැකියි. අප යෙහෝවා දෙවිට වැඩි වැඩියෙන් ප්‍රේම කරන විට ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති වැඩියෙන් අගය කිරීමට පෙලඹෙනවා. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ළැදිව සිටීමට හෘදය සාක්ෂියත් අපට උපකාරවත් වෙනවා. ඒ කොහොමද කියා දැන් අපි සලකා බලමු.

නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න

9. නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

9 අප බව්තීස්ම වූ අවස්ථාවේදී “නිදොස් හෘදය සාක්ෂියක්” ලබා දෙන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලා සිටියා. (1 පේතෘ. 3:21) අප යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු වැගිරෙවූ රුධිරය මගින් අපගේ පව්වලට සමාව ලැබෙන අතර දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ අය වීමට අපට හැකි වෙනවා. දිගටම එසේ සිටීමට නම් අප සැමවිටම නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටිය යුතුයි. අප කරන දේ වැරදි බවට අපගේ හෘදය සාක්ෂිය ඇඟවීමක් කළොත් ඉන් පැහැදිලි වෙන්නේ අප එය හොඳින් පුහුණු කර ඇති බවයි. එමෙන්ම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති නොසලකාහැරීමට තරම් අපගේ හෘදය සාක්ෂිය දැඩි වී නැති බවත් ඉන් පැහැදිලි වෙනවා. (1 තිමෝ. 4:2) කෙසේවෙතත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින්න ආශාවෙන් සිටින අයට හෘදය සාක්ෂිය මගින් තවත් උපකාරයක් ලැබෙනවා.

10, 11. (අ) අපගේ පුහුණු කරන ලද හෘදය සාක්ෂියට සවන් දිය යුතු හේතුව පෙන්වන අද්දැකීමක් දෙන්න. (ආ) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දැක්වීම සන්තෝෂයට හේතුවක් වන්නේ ඇයි?

10 අප අතින් වරදක් සිදු වූ විට අපගේ හෘදය සාක්ෂිය අපට වධ දෙනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සලකා බලමු. එක් යෞවනයෙක් ‘ධර්මිෂ්ඨ මාවත්වලින්’ ඉවත් වුණා. ඔහු කාමුක දර්ශන නැරඹීමටත් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණා. එවැනි ජීවිතයක් ගත කරන අතරතුර රැස්වීම් හා දේවසේවයේ සහභාගි වීමෙන් තමා කරන්නේ වංචාවක් බව ඔහුට වැටහුණා. ඒ නිසා ඒවාට සහභාගි වීම ඔහු නතර කළා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මගේ හෘදය සාක්ෂිය මේ තරම් වධ දෙයි කියලා මම හිතුවේ නැහැ. අවුරුදු හතරක් පුරා මගේ ජීවිතය ගෙවුණේ ඒ ආකාරයටයි.” නැවත යෙහෝවා දෙවි වෙතට හැරෙන්න අවශ්‍යයි කියා ඔහු සිතුවා. දෙවි තමන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන එකක් නැහැ කියා ඔහු සිතුවත් සමාව ඉල්ලා ඔහු දෙවිට යාච්ඤා කළා. යාච්ඤා කර විනාඩි දහයක් ගත වෙන්නත් කලින් ඔහුගේ මව ඔහුව හමු වීමට පැමිණි අතර නැවත රැස්වීම්වලට සහභාගි වෙන්න කියා ඔහුව දිරිගැන්නුවා. ඔහු රැස්වීමට ගිය අතර තමා සමඟ බයිබල් පාඩමක් පටන්ගන්නා ලෙස වැඩිමහල්ලෙකුගෙන් ඉල්ලා සිටියා. පසුව ඔහු බව්තීස්ම වුණා. තමාගේ ජීවිතය ආරක්ෂා කර දීම ගැන ඔහු දෙවිට ස්තුතිවන්ත වෙනවා.

11 හරි දේ කිරීමෙන් ලැබෙන ප්‍රීතිය මොන තරම්ද කියා ඔබ අද්දැක නැද්ද? දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වමින් හා ඒවා පිළිපදිමින් අපගේ ස්වර්ගික පියාගේ කැමැත්ත කරන විට අප වැඩි සතුටක් ලබනවා. සියලුදෙනාම දෙවිගේ ගතිලක්ෂණ පරිපූර්ණව විදහාපෙන්වමින් යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටින කාලය ගැන සිතා බලන්න! ඒ නිසා අපි දැන් සිටම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම් කරමින් දෙවිව සතුටට පත් කරමු.—හිතෝ. 23:15, 16.

12, 13. අපගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?

12 අපගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද? බයිබලය හා ඒ මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කර ඒ ගැන ‘හොඳින් සිතා බැලීමෙන්’ අපට එය කළ හැකියි. (හිතෝ. 15:28) උදාහරණයකට රැකියාවක් තෝරාගැනීමේදී එසේ කිරීම ප්‍රයෝජනවත් වන ආකාරය සලකා බලන්න. යම් රැකියාවක් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට පටහැනි බව පැහැදිලිව තේරුම්ගැනීමට හැකි අවස්ථාවලදී අපෙන් බොහෝදෙනෙක් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කරන්න පෙලඹෙනවා. නමුත් අප තෝරාගැනීමට යන රැකියාව සුදුසුද නැද්ද කියා පැහැදිලිව තීරණය කිරීමට නොහැකි වන අවස්ථාවලදී ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති සොයා බලා ඒ ගැන හොඳින් කල්පනා කරන්නත් ඒවා අදාළ කරගැනීමට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්නත් අවශ්‍යයි. * ඒ වගේම අන් අයගේ හෘදය සාක්ෂියට හානියක් නොකළ යුතුයි යන ප්‍රතිපත්තියද අප අදාළ කරගත යුතුයි. (1 කොරි. 10:31-33) විශේෂයෙන්ම තීරණ ගැනීමේදී දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට හානියක් සිදු නොවන තීරණ ගැනීමට අප වගබලා ගත යුතුයි. යෙහෝවා දෙවි අපට සැබෑ පුද්ගලයෙක් නම් අප මුලින්ම කල්පනා කරන්නේ ‘මම තෝරගන්න රැකියාව ගැන දෙවි සතුටු වෙයිද’ කියායි.—ගීතා. 78:40, 41.

13 බයිබලය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් හෘදය සාක්ෂිය පුහුණු කරගත හැකි ආකාරය සලකා බලමු. අප මුරටැඹ පාඩමට සහ සභා බයිබල් පාඩමට සූදානම් වන විට පාඩමේ සඳහන් තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කළ යුතු බව මතක තබාගත යුතුයි. ඒ වෙනුවට අප නිතරම කරන්නේ ප්‍රශ්නයකට ඉක්මනින්ම පිළිතුරු සොයා ඒ යටින් ඉරි ගසා ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමද? එසේ කිරීමෙන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අප තුළ ඇල්මක් ඇති වෙන්නේවත් හරි වැරැද්ද නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා අපගේ හෘදය සාක්ෂිය පුහුණු වෙන්නේවත් නැහැ. ඒ වෙනුවට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් ඇති කරගැනීමට නම් බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. ඇත්තෙන්ම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ඉගෙනගැනීම සඳහා කෙටි ක්‍රම නැහැ.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන්න

14. යෙහෝවා දෙවි සහ යේසුස් කැමති අප පරිශුද්ධ සේවය කෙසේ පිරිනමනවාටද?

14 යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්ගේ කැමැත්ත වෙන්නේ අප සන්තෝෂයෙන් පරිශුද්ධ සේවය පිරිනමනවා දැකීමටයි. සන්තෝෂයට දායක වෙන්නේ කුමක්ද? දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දැක්වීමයි. “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය සන්තෝෂවත්. මන්ද ඔවුන් තෘප්තියට පත් වෙයි” කියා කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙ. 5:6) ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

15, 16. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය තෘප්තියට පත් වන්නේ කුමන ආකාරවලින්ද?

15 අප ජීවත් වෙන්නේ සාතන්ගේ බලපෑමට යටත් ලෝකයකයි. (1 යොහ. 5:19) ලෝකයේ කොහේ සිටියත් අපට දුෂ්ටකම සහ අපරාධ ගැන ප්‍රවෘත්ති අසන්න ලැබෙන්නේ ඒ නිසයි. අනික් අතට මිනිසුන් මිනිසුන්ට කරන අමානුෂික ක්‍රියා දකින ධර්මිෂ්ඨයන් ඒ ගැන දුක් වෙනවා. (දේශ. 8:9) ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන ඉගෙනගැනීමට ආශාවක් ඇති අයට ඒවා ඉගැන්වීමේ හැකියාව තිබෙන්නේ දෙවිට පමණක් බව දෙවිට ප්‍රේම කරන සෙනඟ ලෙස අප දන්නවා. දෙවි දුෂ්ටයන්ව ඉතා ඉක්මනින් විනාශ කර දමනවා. එවිට ඔවුන් කරන දුෂ්ට ක්‍රියා නිසා දුක් විඳීමට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන අයට සිදු වෙන්නේ නැහැ. (2 පේතෘ. 2:7, 8) එදාට මොන තරම් සහනයක් දැනෙයිද!

16 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය ‘තෘප්තියට පත් වන’ බව දෙවිගේ සේවකයන් හා යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අප දන්නවා. කෙසේවෙතත් අප පූර්ණ තෘප්තියක් අද්දකින්නේ දෙවිගේ අරමුණට අනුව “ධර්මිෂ්ඨකම රජයන” අලුත් අහස සහ අලුත් පොළොව පිහිටෙවූ විටයි. (2 පේතෘ. 3:13) සාතන්ගේ බලපෑම යටතේ ඇති ලෝකය තුළ පවතින දුෂ්ටකම හා අපරාධ නිසා අප අධෛර්යයට පත් වෙන්න හෝ පුදුම වෙන්න අවශ්‍ය නැහැ. (දේශ. 5:8) මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවි වර්තමානයේ සිදු වන දේ ගැන අවබෝධයෙන් සිටින අතර ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන අයව ඉතා ඉක්මනින් ගලවාගන්නවා.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ළැදි වීමේ ප්‍රයෝජන

17. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ළැදිව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 දෙවිගේ ධර්මිෂ්ඨ මාවත්වල ගමන් කිරීමෙන් ලැබෙන වටිනාම ප්‍රයෝජනයක් ගැන ගීතාවලිය 146:8හි මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.” මුළු විශ්වයේම සියලු බලය හිමි තැනැත්තාණන් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන අයට ප්‍රේම කිරීම මොන තරම් වටිනා දෙයක්ද කියා සිතා බලන්න! යෙහෝවා දෙවි අපට අතිශයින් ප්‍රේම කරන නිසා ඔහුගේ රාජ්‍යයට මුල් තැන දෙන විට ඔහු අපගේ අවශ්‍යතා සපුරන බව අපට නිසැකයි. (ගීතාවලිය 37:25; හිතෝපදේශ 10:3 කියවන්න.) අනාගතයේදී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන අයගෙන් මේ මුළු පොළොවම පිරෙනවා. (හිතෝ. 13:22) ධර්මිෂ්ඨ ජීවිත ගත කරන දෙවිගේ සෙනඟගෙන් වැඩිදෙනෙකුට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රීතිය ලැබෙනවා. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින අයට දැන් පවා පවුල තුළත් සභාව තුළත් සමාදානයෙන් සිටීමට හැකියාව දෙවි ලබා දෙනවා.—ෆිලි. 4:6, 7.

18. දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවස පැමිණීම බලා සිටින අතරතුර අපට කළ හැක්කේ කුමක්ද?

18 යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවස පැමිණෙන තුරු බලා සිටින අතරතුර අප දිගටම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දිය යුතුයි. (ශෙප. 2:2, 3) ඒ නිසා අප යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ මාවත්වලට සැබෑ ඇලුම්කමක් දක්වමු. ඊට අපගේ සිත ආරක්ෂා කරගැනීම සඳහා “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” සැමවිටම පැළඳ සිටීම අයත් වෙනවා. එමෙන්ම යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට සහ අපට ප්‍රීතියෙන් සිටීමට හැකි වීම සඳහා නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමද වැදගත්.—හිතෝ. 27:11.

19. අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද? ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

19 “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 ලේක. 16:9) නොසන්සුන්කම හා ප්‍රචණ්ඩකාරිත්වය වැඩි වන මේ දුෂ්ට ලෝකයේ හරි දේ කරන්න උත්සාහ කරන අපට එම වචනවලින් මොන තරම් සහනයක් ලැබෙනවාද! අප දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වන විට දෙවිගෙන් ඈත් වූ ජනයා ඒ ගැන පුදුම වෙන බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බව අප දන්නවා. (යෙසා. 48:17; 1 පේතෘ. 4:4) ඒ නිසා අප මුළු හදවතින්ම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම්ව සිටීමට අධිෂ්ඨාන කරගනිමු. එවිට අපට ප්‍රීතියෙන් සිටීමට හැකි වෙනවා. එමෙන්ම ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන අය දුෂ්ටකමට වෛර කළ යුතුයි. ඒ ගැන තොරතුරු ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනවා.

[පාදසටහන]

^ 12 ඡේ. රැකියාවක් තෝරාගැනීමේදී අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති 1999 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 28-30 දක්වා පිටුවල සඳහන් වෙනවා.

ඔබට මතකද?

• දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම්ව සිටීම සඳහා යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීම වැදගත් වන්නේ ඇයි?

• “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” පැළඳ සිටීම වැදගත් වන්නේ ඇයි?

• හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

රැකියාවක් සුදුසුද නැද්ද කියා තීරණය කිරීමට පුහුණු කරන ලද හෘදය සාක්ෂිය උපකාරවත් වෙනවා