Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද?

දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද?

දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද?

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය”—මතෙව් 24:14.

කන්ද උඩ දේශනයේදී යාච්ඤා කළ යුතු ආකාරය ගැන යේසුස් කියා දුන් විට “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා දෙවිට යාච්ඤා කරන ලෙස ඔහු ඉගැන්වූවා. පරමණ්ඩලයේ යාච්ඤාව ලෙස බොහෝදෙනා අතර ප්‍රසිද්ධ එම යාච්ඤාව ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කටපාඩමින් නිතිපතාම කියනවා. එක් විශ්වකෝෂයක සඳහන් වන්නේ එම යාච්ඤාව “ක්‍රිස්තියානි ආගම්වලට අයිති අය එදිනෙදා කරන ප්‍රධාන යාච්ඤාවක්” කියායි. කොහොමවුණත් එම යාච්ඤාව කටපාඩමින් කියන බොහෝදෙනෙකුට දෙවිගේ රාජ්‍යය ගැනවත් එමගින් සිදු වීමට නියමිත දේ ගැනවත් නිසි අවබෝධයක් නැහැ.—මතෙව් 6:9, 10.

එය පුදුමයට හේතුවක් නොවෙයි. ඊට හේතුව ක්‍රිස්තියානියයි කියාගන්නා ආගමික නායකයන් දෙවිගේ රාජ්‍යය ගැන පරස්පර විරෝධී මෙන්ම අපහැදිලි අර්ථකථනයන් කර තිබීමයි. එක් පුද්ගලයෙක් දෙවිගේ රාජ්‍යය නිර්වචනය කළේ මෙසේයි. ‘දෙවිගේ රාජ්‍යය කියන්නේ පුද්ගලයෙකුට දෙවි සමඟ තිබෙන බැඳීමයි. එවැනි බැඳීමක් තියෙනවා නම් තමයි ගැලවීම ලැබෙන්නේ.’ තවත් කෙනෙක් එය මෙසේ නිර්වචනය කළා. ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය කියන්නේ පල්ලියේ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන ලැබෙන උපදෙස්වලටයි.’ එමෙන්ම එක් පොතක දෙවිගේ රාජ්‍යය නිර්වචනය කර තිබුණේ “ශුද්ධාත්මය තුළින් ලැබෙන ධර්මිෂ්ඨකම, සාමය සහ සතුට” ලෙසයි.—Catechism of the Catholic Church.

නමුත් දෙවිගේ රාජ්‍යය ගැන වඩාත් නිවැරදි අර්ථකථනයක් මෙම සඟරාවේ දෙවන පිටුවෙන් ඔබට සොයාගත හැකියි. එහි සඳහන් වන්නේ “ස්වර්ගයෙහි පිහිටුවා තිබෙන දේවරාජ්‍යය මගින් දුෂ්ටයන්ව ළඟදීම ඉවත් කර මේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට නියමිත” බවයි. ඒ විස්තරයට අනුව දෙවිගේ රාජ්‍යය යනු සැබෑ ආණ්ඩුවක්. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද කියා අපි දැන් සලකා බලමු.

දෙවිගේ රාජ්‍යයේ පාලකයන්

ඕනෑම රාජ්‍යයකට යම් පාලකයෙක් හෝ රජ කෙනෙක් සිටිනවා හා සමානව දෙවිගේ රාජ්‍යයටත් රජෙක් සිටිනවා. ඒ යේසුස් ක්‍රිස්තුස්. ඔහුට ස්වර්ගයේ රජකම හිමි වෙන ආකාරය පුරාණයේ සිටි දානියෙල් නම් අනාගතවක්තෘවරයාට දෙවි දර්ශනයක් මාර්ගයෙන් දකින්න සැලැස්වූවා. ඔහු එය මෙසේ පැහැදිලි කළා. “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින් මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු [එනම් යේසුස්] පුරාතන තැනැත්තා [එනම් යෙහෝවා දෙවි] වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි. සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.”—දානියෙල් 7:13, 14.

තවත් අවස්ථාවක බැබිලෝනියේ රජ සිහිනයකින් දුටු අතිවිශාල රූපයේ අර්ථය දානියෙල් පැහැදිලි කර දුන් විටත් දෙවිගේ රාජ්‍යයට අදාළ වැදගත් කරුණු කිහිපයක් හෙළි කළා. ඒ රූපයෙන් පෙන්නුම් කළේ අතීතයේ පටන් මේ දක්වා පොළොව පාලනය කරනු ලබන ලෝක අධිරාජ්‍යයන් ගැනයි. දානියෙල් ඒ සිහිනයේ අර්ථය පැහැදිලි කර දෙමින් රජුට මෙසේ පැවසුවා. “මතු දවස්වලදී” “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” (දානියෙල් 2:28, 44) දානියෙල් ඉහත කී විස්තරයට අනුව එම රාජ්‍යය පිහිටුවනු ලබන්නේ යෙහෝවා දෙවි විසිනුයි. එමෙන්ම ඒ රාජ්‍යය පොළොවේ පවතින සියලුම ආණ්ඩු නැති කර දමා සදහටම පවතිනවා.

දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් පාලනය කරන්නේ තනිවම නොවෙයි. තමන් සමඟ පාලන කටයුතුවල හවුල් වීමට තම විශ්වාසවන්ත ගෝලයන් ඇතුළු තවත් පිරිසක් ස්වර්ගයට ගනු ලබන බව යේසුස් පැවසුවා. (ලූක් 22:28-30) එසේ යේසුස් සමඟ පාලන කටයුතුවල හවුල් වන අය “සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම” තෝරාගනු ලබන බවත් ඔවුන් “රාජ්‍යයක් ලෙසද අපගේ දෙවි සඳහා පූජකයන් ලෙසද” සේවය කිරීමට නියමිත බවත් බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම ඔවුන්ට ‘පොළොවේ රජකම භාර දීමට නියමිත’ බවත් එහි පෙන්නුම් කරනවා.—එළිදරව් 5:9, 10.

දේවරාජ්‍යය ගැන පුවත ශුභාරංචියක් වන්නේ ඇයි?

අනාගතයේදී යේසුස් සියලුම ‘ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ව’ පාලනය කිරීමට නියමිත බවත් ඔහුට සහාය වන අය ස්වර්ගයේ සිට ‘පොළොවේ රජකම් කිරීමට නියමිත’ බවත් අපි සලකා බැලුවා. එසේනම් එම රාජ්‍යයේ යටත්වැසියන් වන්නේ කවුද? ශුභාරංචිය පිළිගන්නා අය ඇතුළු අනාගතයේදී මරණයෙන් නැවත නැඟිටුවනු ලබන අය එම රාජ්‍යයේ යටත්වැසියන් වෙනවා.

දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන් භුක්ති විඳීමට නියමිත ආශීර්වාද කිහිපයක් සලකා බලන්න.

“පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.”ගීතාවලිය 46:9.

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.”යෙසායා 65:21, 22.

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”එළිදරව් 21:3, 4.

“ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.”යෙසායා 35:5, 6.

‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබනවා.’යොහන් 5:28, 29.

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”ගීතාවලිය 37:11.

එය සැබවින්ම ශුභ පණිවිඩයක් නොවෙයිද! ඉටු වී තිබෙන බයිබල් අනාවැකි දෙස බලන විට පැහැදිලි වන්නේ ඉතාමත් ළඟදීම දෙවිගේ රාජ්‍යය මගින් මෙම පොළොව පාලනය කිරීමට නියමිත බවයි.