Skip to content

පටුනට යන්න

ශුභාරංචිය කුමක්ද?

ශුභාරංචිය කුමක්ද?

ශුභාරංචිය කුමක්ද?

“මේ ශුභාරංචිය”—මතෙව් 24:14.

“ශුභාරංචිය” යන වචනය බයිබලයේ විවිධ ආකාරවලින් යොදාගෙන තිබෙනවා. “ගැලවීම පිළිබඳ ශුභාරංචිය,” “දෙවිගේ ශුභාරංචිය,” ‘යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය’ ඒ අතරින් කිහිපයක් පමණයි. (ගීතාවලිය 96:2; රෝම 15:16; මාක් 1:1) ඇත්තෙන්ම යේසුස් පැවසූ සෑම දෙයක්ම සහ ඔහුගේ ගෝලයන් ලියා තිබෙන සෑම දෙයක්ම “ශුභාරංචියට” ඇතුළත්.

දෙවිගේ “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” මිනිසුන්ට පැවසීමේ වගකීම පැවරී තිබෙන්නේ ක්‍රිස්තියානීන්ටයි. ස්වර්ගයට යෑමට කලින් යේසුස් තම ගෝලයන්ට මෙසේ ආඥා කළා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) ඒ අනුව ශුභාරංචිය දේශනා කරනවාට අමතරව සැබෑ ක්‍රිස්තියානීන්ට තවත් වගකීමකුත් පැවරී තිබෙනවා. එනම් යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උපකාර කිරීමයි.

නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නා අය එම වගකීම ඉටු කරනවාද? ඇත්තෙන්ම දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද කියාවත් හරිහැටි නොදන්නා ඔවුන්ට ඒ ගැන අන් අයට කියා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් කරන්නේ පව්වලට සමාව ලබාගැනීම සහ යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම වැනි මිනිසුන් අසන්න කැමති මාතෘකා ගැන දේශන පැවැත්වීමයි. එමෙන්ම මිනිසුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට ඔවුන් රෝහල්, පාසැල් සහ නිවාස ආදිය ඉදි කරමින් විවිධ සමාජ සේවාවල නියැලෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පල්ලියට එන සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යා හැකි වුණත් සැබෑ ක්‍රිස්තියානීන් ලෙස යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමට ඒ දේවලින් මිනිසුන් පෙලඹෙන්නේ නැහැ.

ආගම් ගැන හදාරන මහාචාර්යවරයෙක් පැවසූ මේ දෙය සලකා බලන්න. “යේසුස් ඉගැන්වූ සියල්ල අපි අන් අයට කියා දිය යුතු බවත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න අපි උපකාර කළ යුතු බවත් ක්‍රිස්තියානි ආගමික නායකයන් බොහෝදෙනෙක් පිළිගන්නවා. ඒත් ඒ දේවල් කරන්න අපිට වුවමනාවක් නැහැ. අඩුම තරමින් ඒ දේ කරන්න අපි උත්සාහයක්වත් ගන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් ඒ දේ කරන්නේ කොහොමද කියලවත් අපි දන්නේ නැහැ.”

එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ ශුභාරංචිය දේශනා කිරීමට තමන්ට වගකීමක් තිබෙන බව එහි සිටින කතෝලික අයගෙන් සියයට 95ක්ම පිළිගෙන තිබෙන බවයි. නමුත් එම වගකීම ඉටු කළ හැක්කේ ඒ ගැන කතා කිරීමෙන් නොව ආදර්ශවත් ජීවිතයක් ගත කිරීමෙන් බව ඔවුන් වරදවා තේරුම්ගෙන තිබෙනවා. එම සමීක්ෂණයට ඇතුළත්ව සිටි එක් කාන්තාවක් මෙසේ පැවසුවා. “ශුභාරංචිය ගැන අන් අයට කියලා දෙන්න ඕනේ වචනවලින් නෙවෙයි. ඒ වෙනුවට ආදර්ශවත් ජීවිතයක් ගත කිරීමෙනුයි.” පල්ලිවලින් උගන්වා තිබෙන අපැහැදිලි ඉගැන්වීම් සහ ආගමික නායකයන්ගේ ලිංගික අපචාර මෑතක සිට ප්‍රසිද්ධ වීම නිසා බොහෝ අය තම විශ්වාසයන් ගැන අන් අයට පැවසීමට පසුබට වෙනවා කියා එක් සඟරාවක පෙන්නුම් කර තිබුණා.—U.S. Catholic.

මෙතෝදිස්ත බිෂොප්වරයෙක් ඉතා ශෝකයෙන් පැවසුවේ ඔහුගේ ආගමේ සාමාජිකයන් තමන්ට හිමි වගකීම ඉටු කිරීමට ධෛර්යය නොමැතිව එකිනෙකාගෙන් වෙන් වී සමාජයේ රැල්ලට හසු වී සිටින බවයි. එමනිසා කලකිරුණු ස්වභාවයකින් ඔහු මෙසේ ඇසුවා. “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන් අයට ප්‍රකාශ කිරීමේ වගකීම ඔබ පැහැරහරිනවා නම් ඒ කාර්යය ඉටු කරන්නේ කවුද?”

එම ප්‍රශ්නයට බිෂොප්වරයා පිළිතුරක් සඳහන් කළේ නැහැ. නමුත් එම ප්‍රශ්නයට පිළිතුර ඔබට ඊළඟ ලිපියෙන් සොයාගත හැකියි.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශුභාරංචියට දෙවිගේ රාජ්‍යයත් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් ලැබෙන ගැලවීමත් ඇතුළත් වෙනවා