Skip to content

පටුනට යන්න

“අවසානය” යනු කුමක්ද?

“අවසානය” යනු කුමක්ද?

“අවසානය” යනු කුමක්ද?

“එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

අද බොහෝදෙනෙක් ලෝකාන්තිමය ගැන කතාබහ කරනවා. ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් පොත් පත්, චිත්‍රපටි හා සඟරා හාස්‍යමය තොරතුරුවල සිට විද්‍යාත්මක තොරතුරු දක්වා විහිදී යනවා. න්‍යෂ්ටික යුද්ධයකින්, උල්කාපාතයක් වැටීමෙන්, මාරාන්තික වසංගතයකින්, දේශගුණික විපර්යාසයකින් හෝ පිටසක්වල ජීවීන්ගෙන් මුළු ලෝකයම විනාශ වන බව ඒවායේ පෙන්වා තිබෙනවා.

ආගම් මගින්ද ලෝක අවසානය ගැන විවිධ මත පළ කරනවා. උදාහරණයකට “අවසානය” පැමිණි විට පොළොවේ වෙසෙන මිනිසුන් ඇතුළු සියලුම ජීවීන් විනාශ වන බව උගන්වා තිබෙනවා. ආගම් ගැන හදාරන එක් විශාරදයෙක් මතෙව් 24:14හි සඳහන් දෙය ගැන මෙසේ අදහස් දැක්වූවා. ‘මේ පදය බයිබලයේ තියෙන ඉතා වැදගත් පදයක්. ඇත්තටම මේ පරම්පරාව ඉදිරියේදී මහත් විනාශයක් අද්දකිනවා. ඒ විනාශය කොයි තරම් භයානකද කියනවා නම් ඒ ගැන හිතන්නවත් කවුරුත් කැමති නැහැ.’

කොහොමවුණත් එවැනි අදහස් දරන අය යම් වැදගත් කරුණක් එනම් දෙවි ‘පොළොව නිර්මාණය කර ස්ථිර ලෙස පිහිටෙව්වේ එය හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහා’ බව අමතක කර තිබෙනවා. (යෙසායා 45:18) “අවසානය” කීමෙන් යේසුස් අදහස් කළේ මුළු පොළොවම හෝ පොළොවේ වෙසෙන ජීවීන්ගේ අවසානයක් ගැන නොවෙයි. ඒ වෙනුවට හිතාමතාම දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන දුෂ්ටයන්ගේ අවසානය එනම් විනාශය ගැනයි.

එම කාරණය තේරුම්ගැනීමට උදාහරණයක් සලකා බලමු. ඔබට අලංකාර විශාල නිවසක් තිබෙනවා කියා සිතන්න. ඔබ මිනිසුන් කිහිපදෙනෙකුට එහි ජීවත් වීමට ඉඩ දෙනවා. ඔබ ඔවුන්ගෙන් කිසිම මුදලක් අය කරන්නෙත් නැහැ. ඔවුන් අතරින් ටික දෙනෙක් ඉතා සාමකාමී ලෙස ජීවත් වෙමින් නිවස හොඳින් බලාගන්නවා. නමුත් අනික් අය නිතරම අඬදබර ඇති කරගනිමින් සාමකාමීව ජීවත් වන අයටත් ප්‍රශ්න ඇති කරන අතර නිවසටත් බොහෝ අලාභහානි කරනවා. ඔබ ඔවුන්ව හමු වී ඒ ගැන කතා කළත් ඔබට සවන් දෙන්නවත් ඔවුන් කැමති නැහැ.

එම ප්‍රශ්නය ඔබ විසඳන්නේ කෙසේද? ඔබ ඔබේ නිවස සම්පූර්ණයෙන් කඩා දමනවාද? ඔබ එවැනි ක්‍රියාමාර්ගයක් නොගන්නා බව නිසැකයි. කළ හැකි හොඳම දේ නම් මුරණ්ඩු ලෙස කටයුතු කරන අයව නිවසෙන් ඉවත් කර දමා නිවස පිළිසකර කිරීමයි.

යෙහෝවා දෙවිත් කටයුතු කරන්නේ ඒ හා සමානවයි. ඔහු කිරීමට නියමිත දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය. නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය. තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:9-11.

ඒ කාරණය ගැන බයිබල් ලේඛකයෙක් වන පේතෘස්ද මෙවැනි දෙයක් පැවසුවා. “පුරාණයේ සිට පැවතුණු අහසක් තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක් තිබූ බවත්, ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගිය බවත් ඔවුහු අමතක කර දමති.” (2 පේතෘස් 3:5, 6) එහිදී පේතෘස් ජලගැල්ම කියා යොමු දැක්වූයේ නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මටයි. එම ජලගැල්මෙන් විනාශ වුණේ දෙවිට අකීකරු වූ මිනිසුන් මිස පොළොව නොවෙයි. ඇත්තෙන්ම එම ජලගැල්මෙන් පෙන්නුම් කළේ ‘දෙවිට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැනයි.’—2 පේතෘස් 2:6.

පේතෘස් තවදුරටත් මෙසේද පැවසුවා. “දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය. එනම් විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.” ඉන් අදහස් වන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත විනාශයෙන් මේ පොළොව විනාශ වී යන බව නොවෙයි. පේතෘස් ඊළඟට වාර්තා කරන මේ වදන්වලින් අපට එය තේරුම්ගත හැකියි. “අලුත් අහසක් [එනම් දෙවිගේ රාජ්‍යය] සහ අලුත් පොළොවක් [එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජය] පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.”—2 පේතෘස් 3:7, 13.

ඉතාමත් ළඟදී “අවසානය” පැමිණෙන බව බයිබලයේ සඳහන් අනාවැකිවලින් පැහැදිලි වෙනවා. එය සහතික කරගැනීම සඳහා මතෙව් 24:3-14 හා 2 තිමෝති 3:1-5 යන බයිබල් පද කියවා බලන්න. *

මතෙව් 24:14හි සඳහන් අනාවැකිය කුඩා දරුවෙකුට වුණත් තේරුම්ගත හැකි අයුරින් වාර්තා කර තිබුණත් බොහෝදෙනෙක් එහි අදහස නිවැරදිව තේරුම්ගෙන නැත්තේ ඇයි? ඊට බලපා තිබෙන ප්‍රධාන හේතුව නම් දෙවිගේ සතුරා වන යක්ෂයා බයිබලයේ සඳහන් සත්‍යයන් තේරුම්ගැනීමට නොහැකි වන සේ මිනිසුන්ගේ සිත් අන්ධ කර තිබීමයි. (2 කොරින්ති 4:4) තවත් හේතුවක් වන්නේ උඩඟු අයට බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට දෙවි හැකියාව ලබා නොදීමයි. ඔහු ඒ හැකියාව ලබා දී තිබෙන්නේ නිහතමානී අයට පමණයි. යේසුස් පවා ඒ ගැන සඳහන් කරමින් යෙහෝවා දෙවිට මෙසේ ප්‍රශංසා කළා. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි.” (මතෙව් 11:25) දෙවිගේ රාජ්‍යය ගැන දැනගැනීමට අවස්ථාව ලැබී තිබෙන නිහතමානී අය අතර සිටීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! ඇත්තෙන්ම දෙවිගේ රාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන කාලයේදී ඒ නිහතමානී අය බොහෝ ආශීර්වාද භුක්ති විඳීමට නියමිතයි.

[පාදසටහන]

^ 11 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 9වෙනි පරිච්ඡේදය කියවා බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය මගින් පොළොවේ පවතින සියලුම දුෂ්ටකම්වලට ‘අවසානයක්’ ගෙන ඒමට නියමිතයි