Skip to content

පටුනට යන්න

‘කිරියෙන් හා පැණියෙන් ඉතිරුණු දේශයක්’

‘කිරියෙන් හා පැණියෙන් ඉතිරුණු දේශයක්’

‘කිරියෙන් හා පැණියෙන් ඉතිරුණු දේශයක්’

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවාගත් පසු ඔවුන්ව ‘කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයකට’ ගෙන යන බවට පොරොන්දු වුණා.—නික්මයාම 3:8.

ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසු එළදෙනුන්, බැටළුවන් සහ එළුවන් වැනි සතුන් රාශියක් ඇති කළ නිසා ඔවුන්ට කිරිවලින් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒ හා සමානව ඒ දේශයේ කිසි අඩුවක් නැතුව පැණිත් තිබුණාද? පොරොන්දු දේශයේදී ඊශ්‍රායෙල්වරුන් ආහාරයට ගත්තේ රටඉඳි, අත්තික්කා හෝ මිදි වැනි පලතුරුවලින් සාදාගනු ලැබූ පැණි වර්ග කියා සමහරු විශ්වාස කරනවා. අනික් අතට පොරොන්දු දේශයේ මීමැසි පාලනයක් සිදු වූ බව බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේද නැහැ. එහි මීපැණි ගැන සඳහන් කර තිබෙන බොහෝ අවස්ථාවලදී එය යොමු දක්වා තිබෙන්නේ වනයෙන් ලබාගත් මීපැණිවලටයි. (විනිශ්චයකරුවෝ 14:8, 9; 1 සාමුවෙල් 14:27; මතෙව් 3:1, 4) එසේනම් පොරොන්දු දේශය කිරියෙන් වගේම පැණියෙන් ‘ඉතිරී ගිය’ සාරවත් දේශයක්ව තිබුණා කියා පැවසිය හැකිද?

මෑතකදී ඊශ්‍රායෙලයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අනාවරණය වුණේ අතීතයේදී ඒ දේශයේ මීමැසි පාලනය මහා පරිමාණයෙන් සිදු වී ඇති බවයි. ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “පෙරදිග රටක මීමැසි පාලනය සිදු වී තිබෙන බවට දැනට සොයාගෙන තිබෙන පැරණිතම සාක්ෂිය මෙයයි. මෙය ක්‍රිස්තු පූර්ව දහවන සහ නවවන සියවසට අයත් වෙනවා.”

පේළියට තට්ටු තුනක් සිටින සේ තබා තිබූ මීමැසි පාලනය සඳහා භාවිත කළ මැටි බඳුන් 30කට වඩා වැඩි ප්‍රමාණයක් කැණීම්වලින් සොයාගනු ලැබූ අතර ඒ අවට එවැනි බඳුන් 100ක් පමණ තිබෙන්න ඇති බවත් පුරාවිද්‍යාඥයන් කියා සිටිනවා. එමෙන්ම කැණීම් කටයුතුවලින් මීමැස්සන්ගේ ශරීරයේ කොටස් සහ මීඉටි පවා සොයාගෙන තිබෙනවා. එම මීමැසි පාලනයෙන් “වාර්ෂිකව මීපැණි ටොන් භාගයක් පමණ රැස් කරගන්න ඇති කියා” ඇතැම් විශාරදයන් පවසනවා.

මීපැණි ප්‍රණීත ආහාරයක් වුණා හා සමානවම මීඉටිද ලෝහ සහ සත්ව සම් කර්මාන්තයට ප්‍රයෝජනවත් වුණා. එමෙන්ම ලේඛන කටයුතු සඳහා භාවිත කළ ලී පුවරු සෑදීමටත් මීඉටි භාවිත කර තිබෙනවා. එම සොයාගැනීම්වලින් පුරාවිද්‍යාඥයන් පැමිණි නිගමනය කුමක්ද?

එම වාර්තාවේ මෙසේද සඳහන් වෙනවා. “පොරොන්දු දේශයේ මීමැසි පාලනය සිදු වූ බව බයිබලයේ සඳහන් නොවුණත් සලමොන්ගේ දේවමාලිගාව පැවති කාලය තුළ ටාල් රෙකෝ නම් ප්‍රදේශයේ මීමැසි පාලනය වෘතිමය මට්ටමින් සිදු වී ඇති බව කැණීම්වලින් ඔප්පු වෙනවා. එමනිසා බයිබලයේ ‘පැණි’ ලෙස යොමු දක්වා තිබෙන්නේ මීපැණිවලට කියා සිතිය හැකියි.”

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Institute of Archaeology/​Hebrew University © Tel Rehov Excavations